රාජ්‍ය මුදල් වැය කිරීමේදී මෙන්ම නිස්කාරණ වියදම් කළමනාකරණය කරන ලෙස රජය චක්‍රලේඛ නිකුත් කළත් මුදල් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ හා ආයතන එම උපදෙස් නොතකා කටයුතු කරන නිසා රජයේ අපේක්‍ෂා ඉටු නොවන තත්ත්වයක් මතුව ඇතැයි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීහු කියා සිටිති.
රජයේ විගණකාධිපතිවරයා විසින් දිගින් දිගටම විගණන වාර්තා මගින් මුදල් අමාත්‍යාංශය, පරිපාලන අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු අංශවලට මීට අදාළව පිටපත් යොමු කළත් වගේ වගක් නොමැතිව රාජ්‍ය මුදල් නිස්කාරණයේ විය පැහැදම් කරමින් කටයුතු කරන බව ද විගණන නිලධාරීහු කියා සිටිති.
මේ නිසා රජයේ විගණනය සත පහකට ඵලක් නොමැති හුදු ලියැවිලි බවට පත්ව ඇතැයි ද ඔවුහු පවසති.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී විගණන කොමිසම ස්ථාපිත කර මූල්‍ය අක්‍රමිකතා සිදුකරන රාජ්‍ය නිලධාරීන්ට අධිභාර පැනවීමට බලතල ලබාදුන්නත්, විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ‘විගණන කොමිසම’ අහෝසි කිරීම නිසා රජයේ විගණනයට වැය කරන මුදල් ද අපතේ යන බව විගණන නිලධාරීහුම කියා සිටිති.
වත්මන් මූල්‍ය අර්බුදයට යම් හෝ සහනයක් ලබා ගැනීමේ අරමුණින් විවිධ ව්‍යාපෘති, ආයතනවල උසස්වීම්, අනවශ්‍ය උත්සව, විවිධ වරදාන හා වරප්‍රසාද ඇතුළු නිස්කාරණ වියදම් සීමා කරන ලෙසට රජය චක්‍රලේඛ නිකුත් කළත් බොහෝ විගණන විමසුම්වලින් තහවුරු වී ඇත්තේ එම කටයුතු සුපුරුදු පරිදි සිදුවන බව ද ඔවුහු කියා සිටිති.
පළාත් පාලන, පළාත් සභා මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් කිසිදු පැකිලීමකින් තොරව හිතුමතේ රාජ්‍ය මුදල් අවභාවිත කරමින් කටයුතු කළත්, ඔවුනට එරෙහිව අධිභාර පනවා යළි එම මුදල් රජයට ගැනීමට හෝ ඔවුනට එරෙහිව නෛතික පියවර ගැනීමට නොහැකි වී ඇතැයි ද ඔවුහු පවසති.
රජයේ විගණන වාර්තා පදනම් කර ගනිමින් පාර්ලිමේන්තුවේ කෝපා හා කෝප් කමිටුවලට රජයේ ආයතන ප්‍රධානීන් ගෙන්වා මෙම මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ කරුණු විමසුවත් ඒවා හුදු ප්‍රවෘත්ති බවට පමණක් පත්ව ඇතැයි ද විගණන නිලධාරීහු පවසති. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව ස්ථාපිත කළ පසු රජයේ විගණනවලින් හෙළිකරන කරුණුවලට අනුව කිසිදු රාජ්‍ය නිලධාරියකුට එරෙහිව අධිභාර පනවා රජයට අහිමි කළ මුදල් අයකර ගෙන නැතැයි ද එවැනි අවස්ථාවක් තිබේ නම් ඕනෑම කෙනෙකුට කරුණු දැක්විය හැකි බව ද විගණන නිලධාරීහු පවසති.
මෙයාකාරයට තවදුරටත් රාජ්‍ය මුදල් වියපැහැදම් කළහොත් රට තවදුරටත් අරාජික වන බවට ද විගණන නිලධාරීහු අනතුරු අඟවති.
ශිරාන් රණසිංහ