විගණන වාර්තාව ලැබෙන තෙක් ‘ශ්‍රී ලංකා ක්‍රිකට්’ ගැන තීරණයක් නෑ

188

ක්‍රීඩා ඇමැති අභියාචනාධිකරණයට පොරොන්දු වෙයි

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව විසින් නිකුත් කළ වාර්තාව මගින් පෙන්වාදී ඇති පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයාගෙන් විගණන වාර්තාවක් ලැබෙන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආතනය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (01දා) අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබාදුන්නේය.

ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ක්‍රීඩා අමාත්‍යවරයාගේ එම එකඟතාවය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව කුසලා සරෝජනී වීරවර්ධන කමිටු වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන පෙබරවාරි 1 වැනිදා වනතුරු පවත්නා තත්ත්වයෙන් තබා ගන්නා ලෙසට තම අධිකරණය විසින් පසුගිය 20 වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත නිකුත් කළ නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට සෝභිත රාජකරුණා හා ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 27 වැනිදා අධිකරණය හමුවට කරුණු දක්වන ලෙස දන්වා නොතිසි යැවීමට ද එහිදී නියෝග කළ විනිසුරු මඩුල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා හා ලේකම් මොහාන් සිල්වා යන මහත්වරුන් විසින් ගොනු කර තිබූ පෙත්සම සලකා බැලීම සඳහා එදිනට කැඳවීමට ද නියෝග කළේය.

කුසලා සරෝජනී වීරවර්ධන කමිටු වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට සූදානමක් පවතින බව දැන ගන්නට ලැබී ඇති බැවින් එය වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් එමගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි. එම පෙත්සම්වලට අතරමැදි පාර්ශ්වකරුවකු ලෙසින් මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා කළ ඉල්ලීමට අවසර ලබාදුන් විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් ඉදිරි නඩු දිනයේදී අවශ්‍ය ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අවසර ලබාදුන්නේය.

එම නඩුවේ පළමුවන වගඋත්තරකරුවකු ලෙස නම් කොට තිබූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද දින සිට ඉදිරි නඩු කටයුතුවලට පෞද්ගලික නීතිඥවරයකු මගින් සිදුකරනා බවට දැනුම් දී ඇති බැවින් නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී නොසිටින බවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පමණක් පෙනී සිටින බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පෙත්සම්කාර පාර්ශ්වය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි සභාපතිවරයා හා ලේකම්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා හා ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment