විජයග්‍රහණයට වසර 15යි

112

ජාතික සැමරුම අද

පුරා තිස් වසරකට අධික කාලයක් කුරිරු කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් වෙළාගෙන තිබූ අප මාතෘභූමිය බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ වීරෝදාර රණවිරුවන් තම ජීවිත පූජා කරමින් කළ මෙහෙවර අතිමහත්ය.

තවත් රණවිරුවෝ රැසක් අදටත් සදා ආබාධිතයන් බවට පත්ව සිටිති. රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන් හමුවේ සාමාන්‍ය සිවිල් වැසියෝ රැසක් මැරුම් කෑහ. එදා බස් රථවල, දුම්රියවල, බැංකුවල, මඟතොටේ බෝම්බ පිපිරීමෙන් විශාල පිරිසකට සිය දිවි අහිමි විය. එසේම දේපළ රාශියක් විනාශ වූවා පමණක් නොව රටේ සංවර්ධනයට ද දැඩි බාධා එල්ල විය.

එවන් අවිනිශ්චිත අඳුරු කාල පරිච්ඡේදයක් අවසන් කළ වීරෝදාර රණවිරුවන් බොහෝ දෙනකු අද අමතක වී ගොසිනි. ගොඩබිමෙන්, සයුරෙන් හා ගුවනින් මේ රටේ ආරක්ෂාව රැකගනිමින් තවදුරටත් විපත් අවස්ථාවලදී පෙරමුණ ගෙන ක්‍රියා කළ රණවිරුවන් ඇගයීම වස් මැයි 19 වැනිදා ජාතික රණවිරු සැමරුම් දිනය ලෙස නම් කර තිබේ.

ඒ අනුව 15වැනි වරට පැවැත්වෙන රණවිරු දිනය මැයි 19 වැනිදා බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අබියසදී රජයේ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක ලේකම්ගේ, ත්‍රිවිධ හමුදාපති වරුන්ගේ, පොලිස්පති ඇතුළු තවත් රණවිරු ප්‍රධානීන්ගේ සහාගිත්වයෙන් පැවැත්වේ.

මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවයට යුද්ධයේදී සිය ජීවිත කැපකර ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් දිරිගැන්වීමට හා දැනට සේවයේ නියුතු රණවිරුවන් ඔප්නැංවීම සඳහා වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කුරිරු කොටි ත්‍රස්තවාදීන්ගේ බලපෑම් හමුවේ රැකියාවට ගිය සැමියා, පාසල් ගිය දරුවා නැවත නිවසට ඒවිදෝ බියෙන් බොහෝ දෙනා දිවි ගෙවූහ. කොයි මොහොතේ මඟතොට, බස් රියේ, දුම්රියේ, පොදු ස්ථානයක බෝම්බ පුපුරායාවිදෝ යන සැකයෙන් බොහෝ දෙනා දිවි ගත කළහ. සමහරක් පවුල්වල අය එකම බසයේ නොගොයින් බස් දෙකක ගමන් කළහ. ඒ බස් බෝම්බවලින් බේරී අම්මා හෝ තාත්තා දරුවන් වෙනුවෙන් ඉතිරි විය යුතුය යන සිතුවිල්ල නිසාය.

කොයි මොහොතේ යුද කඳවුරකට ප්‍රහාරයක් කොටි ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වේවි දැයි සැකයෙන් බොහෝදෙනා කටයුතු කළහ.

එවැනි බියකරු යුගයක රටේ ජනතාව දිවි ගත කළ මොහොතක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධීකරණයෙන් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන හමුදාපතිවරුන් එකට එක්ව සිදුකළ මානුෂීය මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊය නන්දිකඩාල් කළපුව වෙරළ තීරයේදී 2009 මැයි 19 වැනිදා ඝාතනය කර මාතෘභූමිය මුදා ගැනීමට හැකි විණි.

ප්‍රභාකරන් වැනි ඝාතකයකු, භීෂකයකු, ලේ පිපාසිතයකු රටට විශාල විනාශයක් සිදු කළේ ඔහුට බාහිරව ලැබුණු උපකාර ආධාර නිසා බව කවුරුත් දනිති. එසේම ඔහු පරාජයට පත්කළ නොහැකි බවට ද එදා මතයක් ද ගොඩනැඟී පැවතිනි. නමුත් වීරෝදාර රණවිරුවෝ ඒ මිනීමරු කොටි ත්‍රස්තවාදියා පරාජයට පත්කරන්නට සමත් වූහ.

2009 මැයි මාසයට පෙර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ පැවැති කුරිරු යුද්ධයේදී මාතෘභූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම උදෙසා සිය ජීවිත පූජා කළ යුද හමුදාවේ (23,962), නාවික හමුදාවේ (1,160), ගුවන් හමුදාවේ (443), පොලිසියේ (2,598), සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (456) වීරෝදාර රණවිරුවෝ මෙම රණවිරු සැමරුම් උත්සවයේදී සිහිපත් කරනු ලැබෙති.

රණවිරු විජයග්‍රහණයට වසර 15ක් සපිරෙන මොහොතක එම විජයග්‍රහණයේ සැබෑ උරුමක්කාරයෝ අපගේ වීරෝදාර ආරක්ෂක හමුදා රණවිරුවෝය. එවුන්ගේ ජීවිත, ලේ, අත් පා ඇතුළු ශරීරාංග කොටස් කැපකර මව්බිමට ඔවුන් ලබාදුන් මෙම උතුම් විජයග්‍රහණය වෙනුවෙන් මුළුමහත් ජාතියේම උත්තම ගෞරවාචාරය අභීත රණවිරුවන් වෙත පුදකර සිටිමු.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment