විජයග්‍රහණය හෑල්ලු කරන දේශපාලන හිවල්ලු!

249

ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරය විසින් ඉකුත් ජූලි 09 වැනිදා ලබා ගන්නා ලද ඓතිහාසික විජයග්‍රහණය නිසැකයෙන්ම නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ස්ථාපිත වැඩවසම් හා ගතානුගතික දේශපාලන සම්ප්‍රදාය පමණක් නොව එයට දායක වූ සකලවිධ ප්‍රභූ දේශපාලන පැලැන්තියද ලද ඛේදනීය පරාජයකි. ජනතා අභිලාෂයන්ට පටහැනිව දසක හතකට නොඅඩු කාලයක් මුළුල්ලේ පැවත ආ ඒ දේශපාලන ධාරාව හැත්තෑවේ දසකයෙන් පසු වර්ධනය වූ ජුගුප්සාජනක ස්වරූපය විග්‍රහ කළ යුතු නැත. එහි වර්තමාන රූපය කෙතරම් විරූපී හා අශ්ලීල එකක්දැයි ජූලි 09 විජයග්‍රහණයෙන් පසු උද්ගත වූ බොහෝ ප්‍රතිචාරවලින්ද තහවුරු වේ. එහි ඇතැම් ප්‍රතිචාර මේ වන විට විවාදයටද තුඩුදී තිබේ. එය වෙනම විශ්ලේෂණය කළ යුතු පුළුල් මාතෘකාවකි.

මෙහිදී අප අවධානය විශේෂයෙන් යොමු වන්නේ එම දේශපාලන ප්‍රභූ තන්ත්‍රයෙහි වර්තමාන අධිකාරි බලය හිමිව තිබුණු රාජපක්‍ෂ පවුල කේන්ද්‍රීය දේශපාලන කඳවුරට අත්වූ දැවැන්ත විරෝධතාව කෙරෙහිය. රාජපක්‍ෂවරුන්ගේ දේශපාලන භාවිතය විසින් මෙරටේ සමාජ ආර්ථික ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක් විනාශ මුඛයට ඇද දමනු ලැබ තිබියදී එයට එරෙහිව නැඟුණු ජනතා විරෝධයෙහි ඉතා කුඩා බුබුළක් ලෙස මිරිහානෙන් මතුවූ ජනබලයේ, උත්කර්ෂණීය අවස්ථාව ගාලුමුවදොර විරෝධතාකරුවන්ගෙන් අපි දිටිමු. ජනාධිපති ගෝඨාභයට හිමිවූ හැටනව ලක්‍ෂයේ ජනවරමත් රාජපක්‍ෂරවැන්ගේම දේශපාලන පක්‍ෂය වූ පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව සතුව තිබුණු 2/3 බලයත් හිරු අබියස පිනි බිඳක් සේ විසිරී ගියේ ඒ පොදුජන අරගලයේ සම්ප්‍රාප්තියත් සමගය.

විජයග්‍රහණය හෑල්ලු කරන දේශපාලන හිවල්ලු!

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට පස්වරක්ම සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට පමණක් නොව එහි ප්‍රමුඛයන්ව සිටි සිය සහෝදරයන් සියලු දෙනාම (නෑදෑයන්ද සමග) ඉවත් කිරීමට හේතු වූයේද ඒ ගාලුමුවදොර විරෝධතාවට එක්වූ දැවැන්ත මහජන බලය නිසාමය. එහෙත් ඔහුගේ සටකපට දේශපාලන උපාය මාර්ග සියල්ලම මේ වන විට ලංකාවේ දේශපාලන අර්බුදය උත්සන්න කිරීමට හේතුවී තිබේ.

‘ජනාධිපති ගෝඨාභය සමග සෙල්ලම් බෑ’ කී පොහොට්ටුකාරයන් මෙන්ම වියත්මග ඇතැම් වන්දිභට්ටයෝද අද ජයවර්ධන එදා ප්‍රකාශ කළ ආකාරයටම තමන්ගේ ආරක්‍ෂාව තමන් විසින් සලසා ගත යුතු අසරණ තත්ත්වයට පත්ව සිටිති. එපමණක්ද? හැටනව ලක්‍ෂයේ ජනවරම අසිපතක් ලෙස හරඹ කරමින්, 2/3 පාර්ලිමේන්තු බලය වෙඩි නොවදින ආවරණයක් යැයි මමංකාරයෙන් උදම්ව සිටි ජනාධිපති ගෝඨාභය අද රට හැර පලා ගොසින් සිටීම දෛවයෙහි කෙබඳු සරදමක්ද? ගෝඨාභය මෙරටේ සිටි සුපිරි බලැති ජනාධිපතිවරයා වුවද ඔහු නොපිරි දේශපාලනඥයකු වීම ඔහුගේ ඇද වැටීමට හේතු වූ බව ඔහු වටහාගෙන තිබේද යන්න අපහැදිලිය. එහෙත් මෙරටේ රාජ්‍ය නායකයා ලෙස අභිමානයෙන් සිටි ගෝඨාභය ජනාධිපතිවරයා රටින් පලා ගිය ආකාරය මෙන්ම ඔහුට ලැබුණු හා ලැබෙමින් තිබෙන ජනතා ප්‍රතිචාරද ඔහුගේ අභිමානය බිඳ දමා මරබිය දනවන්නක් වී තිබිය හැකිය. ලංකාවේ ජනාධිපතිවරයා ලෙස ඔහුට හිමිවූ ගෞරවය තබා රැකවරණය අපේක්‍ෂාවෙන් රටින් පලා යන නායකයකුට හිමිවිය යුතු ප්‍රතිචාරයද ඔහුට නොලැබී තිබෙන බව ජනමාධ්‍ය වාර්තා අනුව පැහැදිලිවී තිබේ.

මාලදිවයින ගුවන්තොට බලධාරීහු ජනාධිපති ගෝඨාභය ගමන් කළ අපේ ගුවන් හමුදාවට අයත් වූ විශේෂ ගුවන්යානය ගොඩබැස්සවීමට පවා අවසර නොදුන්හ. පසුව රාජ්‍ය මැදිහත්වීමකින් ගුවන් මගියකු ලෙස එහි සුළු කාලයක් රැඳී සිටීමට ඔහුට අවසර ලැබී ඇත. එහෙත් ඔහුට ලබාදුන් පහසුකම් පිළිබඳව මාලදිවයින් විපක්‍ෂය ප්‍රශ්න කිරීමට සූදානම් බවද වාර්තාවේ. මේ හැර බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ලිබරල් ඩිමොක්‍රටීස් පක්‍ෂයේ නායකයා ඇතුළු ඇතැම් පිරිස්වල විරෝධයද ජනාධිපති ගෝඨාභයට එල්ල වී තිබේ. එහෙත් තවමත් ඔහු ලංකාවේ උත්සන්න වෙමින් තිබෙන දේශපාලන අර්බුදයට සංවේදී නොවන බවද පෙනේ. ව්‍යවස්ථාවට අනුව ගෝඨාභය ජනාධිපති විය හැකිය. එහෙත් ඔහු වහාම එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව අද මේ රටේ බහුතර ජනතාවගේ ඉල්ලීම වී ඇත. ජූලි 13 වනදා තමන් එම ධුරයෙන් ඉවත් වන බවට ඔහු විසින් දෙන ලද ප්‍රතිඥාව අද දේශපාලන ගුණ්ඩුවක් බව පැහැදිලිය.

ජනාධිපති ගෝඨාභය මෙරටින් බැහැරව සිටින හෙයින් එම ධුරයෙහි වැඩබැලීම ඔහුගේ අගමැති වූ රනිල්ට පැවරීම ව්‍යවස්ථානුකූලව නිවැරදි විය හැකිය. එහෙත් එය සිදුවූ ආකාරය බරපතළ විවේචනයකට තුඩුදී තිබේ. දැනට තිබෙන වාර්තා අනුව ගෝඨාභයට සුරක්‍ෂිතව රටින් බැහැර වී යෑමට එම විධායක ජනාධිපති ධුරය ආවරණයක් වී තිබේ. මේ පිළිබඳව කථානායකවරයාද පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටය. කථානායකගේ විශේෂ ප්‍රකාශ සියල්ලම සුළඟේ පාවී ගිය හිස් වදන් පමණි. ඇත්ත වශයෙන්ම රට ගිනි ගනිද්දී ඔහු මීට වඩා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුව තිබුණි. අද තිබෙන අර්බුදයේ ප්‍රමුඛ චරිත දෙක ගෝඨාභය හා රනිල් බව රහසක් නොවේ. මේ දෙදෙනාගේ ප්‍රකාශකයා බවට ඉබේම පත්ව සිටින කථානායක කෙරෙහිද සමහරු වපරැසින් බලති.

අද තිබෙන දේශපාලන විකෘතිය කුමක් වුවත් අගමැති රනිල් වැඩබලන ජනාධිපති බව ගැසට් පත්‍රයකින්ද තහවුරු කර තිබේ. එහෙත් ඔහු පාර්ලිමේන්තුවේ සිටින පක්‍ෂ නායක හමුවද මගහැර සිටියි. ඔහු බලා සිටින්නේ සර්ව පාක්‍ෂික පාලනය පිහිටුවීමෙන් පසු පත්වන අගමැති හා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා කවරහුදැයි යන කුහුලින් බවද පෙනේ. එහෙත් තම ධුරයට එල්ලවී තිබෙන විවේචන ඔහු නොතකමින් ක්‍රියා කරන බවද පෙනේ. හදිසි නීතිය, ඇඳිරි නීතිය වැනි මර්දන නීති පනවා, මේ අර්බුදය සමනය කිරීමට ඔහු දරන උත්සාහයද පෙනේ. එහෙත් අද ජනතාව ඒ කිසිවක් තඹයකට මායිම් නොකරන බව ඔහු නොදන්නෙහිද? මේ අවුල් මැද ජනතාව විඳින පීඩනය කෙබඳුදැයි ඔහු තේරුම් ගත යුතුය.

ඔහුගේ අගමැති ධුරයට මෙන්ම වැඩබලන ජනාධිපති භූමිකාවටද එරෙහිව නැගෙන පොදු විරෝධය මෙන්ම අරගලකරුවන්ගේ ප්‍රතිචාරද ඔහු නොදැන සිටිය නොහැක. අගමැති කර්යාලයට කඩා වැදීම ඔහුට එල්ල වූ අභියෝගය සංකේතවත් කරන්නකි. එහෙත් ඔහුට දේශපාලන විවේචන ඊතල ඉවසා සිටිය හැකි කිඹුල් හමක් තිබේ. ජනාධිපති ගෝඨාභය ඔහුට අගමැති ධුරය පිරිනමා ඇත්තේ රාජපක්‍ෂ දේශපාලනයට වඩාත් උචිත හා ගැළපෙන චරිතයද ඔහු වූ හෙයිනි.

ජනාධිපති ගෝඨාභය සිය අගමැති ලෙස රනිල් පත් කිරීම පිළිබඳව පොහොට්ටුවේ කිසිදු විරෝධයක් නැඟුණේද නැත. එහෙත් ඔහුට ජනවරමක් නැතැයි කියන විපක්‍ෂයේ ස.ජ.බ., ජ.වි.පෙ ඇතුළු කිසිවෙක් ඒ පත්වීම අධිකරණයෙහි අභියෝගයකට ලක් කළේද නැත. මීට පෙර යහපාලන සමයෙහි ජනාධිපතිව සිටි මෛත්‍රී එදා රනිල් නෙරපා මහින්ද අගමැති කළ අවස්ථාවේදී එය අභියෝගයට ලක්විය. මහින්දට අගමැති ධුරය අහිමි විය. එහෙව් විපක්‍ෂය අදත් රනිල් අගමැතිවීම ගැන නහයෙන් අඬයි. දැන් ඔහු වැඩබලන ජනාධිපති වීම ඔවුන් ලද වේදනා සහිත පරාජයක් වැන්න.

මේ දේශපාලන අවුල දැනට විසඳා ගැනීමට තිබෙන එකම මග පාර්ලිමේන්තුවය. එහෙත් එහි සිදුවන දේශපාලන බල පොරය ජනතාවට පැහැදිලිය. අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිවෙකුට ඒ සඳහා තිබෙන ජනවරම කුමක්ද? ගාලුමුවදොර විරෝධතාකරුවෝද ඔවුන් සියල්ලන්ම දැඩි පිළිකුලෙන් හෙළා දකිති. මැයි 9 වැනිදා රට ගිනි තැබූ විරෝධය සමහරුන්ට අමතක වී තිබේ. අරගලකරුවන් ඔවුන්ගෙන් අපේක්‍ෂා කරන සර්ව පාක්‍ෂික කෙටිකාලීන ආණ්ඩුව තුළද යළිත් දේශපාලන පල නෙළා ගැනීමට සමහරුන්ට අවශ්‍යවී තිබේ. කොටින්ම ඒ අරගලය ඔව්හු බොහෝ දෙනෙක් වටහාගෙන නොසිටිති. එදා අරගල භූමියට ගිය සමහරුන්ට ශාරීරික හිරිහැර පවා සිදුවිය.

මේ අරගලය පිළිබඳ සමහරුන්ට විවේචන තිබුණත් එය ඓතිහාසික විජයග්‍රහණයක් බව ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. ආවේගශීලී තරුණ ප්‍රතිචාර එහි තිබෙන බව සැබෑය. රාජපක්‍ෂලාට දුන් හැටනව ලක්‍ෂයේ ජනවරම නිෂ්ක්‍රීය කරමින් මැදමුලන බල කඳවුරම බිඳ දැමීමට ඒ අරගලකරුවන්ට හැකිවිය. එහි සිදුරු සෙවීමට වඩා එය දේශපාලනිකව කියවීම ප්‍රබුද්ධ ජනතා වගකීමකි. පවතින දේශපාලන හා ව්‍යවස්ථාමය සීමා පිළිබඳව අරගලකරුවන්ට තිබෙන විවේචන සියල්ල සාධාරණ නැති වුවද එහි හරය වී ඇත්තේ මේ පවතින ජරපත් දේශපාලනයත් එය සුරකින ව්‍යවස්ථාවත් බව අප පළමුව වටහා ගත යුතුය. ජනාධිපති මන්දිරය ඓතිහාසික උරුමයක් හා කෞතුක වටිනාකමක් සහිත ජනතා දේපළක් බව අරගලකරුවන් අතර සිටින අයගෙන් සමහරු පිළිගනිති. එහි තිබෙන ප්‍රකට මුල්කිරිගල චිත්‍රය මෙන්ම එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගේ ත්‍රිමාණ චිත්‍රය ඇතුළු අමිල නිර්මාණ හානිවී ඇතැයි සමහරු තැවෙති. එය සාධාරණය. එහෙත් එදා සීගිරි චිත්‍රවලටත් හානි කළ නරුමයන් ගැනද වාර්තා විය.

මේ අනුව ගාලුමුවදොර අරගලය දෙස බැලීමට වඩාත් ප්‍රබුද්ධ මනසක් වුවමනාය. මේ සාම්ප්‍රදායික දේශපාලන ගොහොරුව සැපතකැයි සිතන අයට එය තේරුම් ගැනීම දුෂ්කර වීමද ස්වාභාවිකය. එසේම මෙබඳු අරගලයක් යම් මොහොතක සංවිධායකයන්ගේ පාලනයෙන් ගිලිහී යන බවද රහසක් නොවේ. ආදරයේ අරගලය ප්‍රචණ්ඩ ගැටුමක් බවට පත්වූ පාර්ලිමේන්තු වටරවුමේ සිද්ධිය එයට සාක්‍ෂියකි. එම ගැටුමෙහි ස්වරූපය ලොමු දැහැගන්වන සුළු විය. එහිදී පොලිසියේ හා හමුදාවේ දෙදෙනකු අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූහ. එයින් හමුදා සාමාජිකයා මියගොස් තිබේ. ආදරයේ අරගල, ලෙයින් නැහැවීම කිසිවකුට අනුමත කළ නොහැක. මෙහිදී ජීව උණ්ඩ 60 ක් සමග ගිනි අවි දෙකක් උදුරාගෙන ඇති බවද හමුදාව නිවේදනය කර තිබේ. මෙය අරගලකරුවන්ට රුදුරු මර්දනයකට කදිම හේතුවක් වීමද නොවැළැක්විය හැකි.

වැඩබලන ජනාධිපති අගමැති රනිල් දැනටමත් පවසා තිබෙන්නේ ෆැසිස්ට්වාදයට ඉඩදීමට නොහැකි බවය. ඔහු මේ වන විට මහජන ආරක්‍ෂාව වෙනුවෙන් දක්වන අවධානය අපට විවේචනය කළ නොහැකිය. එහෙත් ඔහුට පෙර සිටි ඔහුගේ පූර්වගාමී නායකයන් විසින් මෙරටේ සාමකාමී ජනතා අරගල මැඩලූ ආකාරයද අපට සිහිපත් වේ. එදා ජයවර්ධනගේ කුප්‍රකට නැක්සලයිට් චෝදනාව කෙබඳු ව්‍යාජයක්ද? ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂකයන්, නීතියේ හා යුක්තියේ මුරදේවතාවන් ලෙස පෙනී සිටි බොහෝ දේශපාලනඥයන්ගේ වාර්තා කෙබඳුදැයි රටම දනී. පොලිසිය යනු පාලකයන්ගේ විධානයට දිව යන සුනඛ රැළක් ලෙස සිතාගත් මැති ඇමැතිවරුද එදා වූහ. අදත් එබඳු සුළු පිරිසක් සිටිති. මේ අරගලයේදී මාධ්‍යවේදීන්ට පහර දුන්නාහු ඒ වර්ගයේ වසලයෝය. අයුක්තියේ අණට ගිනිඅවිය එසවූවෝ ඒ අශිෂ්ට කාකි චණ්ඩීහුය.

කෙසේ හෝ අද අප අබියස තිබෙන සමාජ-දේශපාලන අවුලත් එහි දිගුවක් ලෙස වර්ධනය වන ආර්ථික පීඩනත් සුළු පටු නැත. ඒ සියල්ලම මේ ආණ්ඩුවේ උද්ධච්ඡ දේශපාලන හැසිරීම්වලත් ඔවුන්ගේ ආර්ථික කළමනාකරණයෙහි අසාර්ථකත්වයේ විපාකත් පමණි. අද ඒ සියලු බලධාරීහු සැඟව හෝ රට අත්හැර හෝ ගොස් සිටිති. මේ ලිපිය ලියන අවස්ථාව වන විට ජනාධිපති ගෝඨාභය සිංගප්පූරුවේ සිට ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යුත් තැපෑලෙන් ලංකාවට එවා ඇති බවද වාර්තා විය. එසේම අරගලකරුවන්ගේ පාර්ශ්වයෙහි සාමූහික තීරණයක් අනුව ඔවුන් යටතට පත්වූ ඒ සියලුම ආයතන (ජනාධිපති මන්දිරය, කාර්යාලය හා අරලියගහ මැදුර) ආපසු බලධාරීන්ට ලබාදී තිබීමද පැසසිය යුත්තකි.

මේ පසුබිම තුළ අපට හැඟෙන එක් දෙයක් ඇත. එනම් හැකි ඉක්මනින්ම රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමේ අවශ්‍යතාවයි. මේ වන විට සමාජ,දේශපාලන අංශවල ප්‍රමුඛ සංවාදය මෙම ජන අරගලය හා ජනාධිපතිවරයාගේ පලා යෑම හා වැඩබලන ජනාධිපති රනිල්ගේ භූමිකා පිළිබඳවය. එහෙත් තවමත් පෝලිම්වල කඹුරන හා මියයන සිදුවීම්ද අවසන් වී නැත. තවත් වටයකින් පාන් මිලද ඉහළ ගොසින්ය. ඉන්ධන මිල සූත්‍රයද ඇනහිට තිබීම නිසා එහි වාසි පාරිභෝගිකයාට නොලැබේ. එහෙත් පාර්ලිමේන්තුව තවම බලපොරයකය. තවත් දේශපාලන නූල් සූත්තරද සිදුවිය හැකිය. පොහොට්ටුවේ ඔළුගෙඩිවලින් මොනවා සිදුවිය නොහැකිද? මේ විප්ලවීය විජයග්‍රහණය සමග වැඩවසම් දේශපාලන ප්‍රභූ පන්තිය පමණක් නොව ඔවුන්ගේ සමීපතමයන්, දේශපාලන වහලුන් බෙහෙවින් කම්පා වී සිටින බවද නොරහසකි. තරුණ අරගලය විසින් ඉල්ලා සිටින ලද අභිනව දේශපාලන සංස්කෘතියට ඔවුන් කෙසේ අනුග්‍රහ දක්වනු ඇද්ද? දේශපාලන හිවලුන්ගේ ඉව ගැනද ජනතාව දනිති.

කෙසේ හෝ මෙම ඓතිහාසික විජග්‍රහණයට පිටුපා හෝ එයට උඩින් පැන යෑමට හෝ මෙරටේ සම්මත දේශපාලන සම්ප්‍රදායට හා එහි පුරෝහිත බමුණන්ට අවකාශ නැත. තරුණ අරගලයේ අපේක්‍ෂා දල්වාලීමට ඔවුන්ට ඒකාන්තයෙන්ම සිදුවනු ඇත. දේශපාලනය ස්වාර්ථය සඳහා නොව පරාර්ථය සඳහා වූ උත්තම ව්‍යාපාරයක් බව අද ඒ අරගලය විසින් තහවුරු කරනු ලැබ ඇත. ගාලුමුවදොර අරගල භූමියෙන් නිරන්තරව ඇසුණු මහාචාර්ය සුනිල් හා ආචාර්ය නන්දා මාලිනී සුසංයෝගයෙන් බිහිවූ පවනෙහි බොහෝ ගී මේ විජයග්‍රහණයට වේලාසනින් ලියූ ප්‍රස්තාවනාවක් යැයි ජීවිත සැඳෑ වෙරළෙහි සක්මන් කරන මගේ පරපුරට අයත් බොහෝ දෙනෙකුගේ හදවතට දැනෙනු ඇත. සත්තකින්ම අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් නොවන බව අද තහවුරු වී තිබේ. අයුක්තියේ අණ පිළිපැද තරු පැලඳීම නොරිසි පොලිසියෙහි හා හමුදාවල සගයන්ටද මේ තාරුණ්‍යයෙහි අභිමානය දැනෙනු ඇත. හෙට එච්චර කළුවර නැත.

ගාමිණී සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment