විජේපාලගේ පොදු සමාව

1008

විජේපාල ටිකක් මෝඩපහේ මනුස්සයෙක්. ජීවිකාව ලෙස කුලී වැඩ කරපු විජේපාල බිරිඳයි, දරුවෝ දෙන්නයි පෝෂණය කළා.

 මේ පුංචි පවුල පදිංචිවෙලා හිටියෙ අවිස්සාවේල්ලට නුදුරු බොහොම පිටිසර ගමක.

 විජේපාල තරුණ විය ඉක්මවා ගිය පුද්ගලයෙක් වුණාට එයාගේ බිරිඳ කාන්ති බොහොම තරුණ සුන්දර කාන්තාවක්.

 විජේපාල කුලී රස්සාවෙන් උපයන මුදල් මේ පවුල පෝෂණය කරන්න කොහෙත්ම ප‍්‍රමාණවත් වුණේ නැහැ. මේ ගෙදර ආර්ථික ප‍්‍රශ්න ගොඩගැහිලා. කාන්ති හැමදාම කන්කෙඳිරි ගානවා ගෙදර ප‍්‍රශ්න ගැන කියලා.

විජේපාලගේ පොදු සමාව

මෙහෙම ගියොත් මටයි දරුවෝ දෙන්නටයි හාමතේ මැරෙන්න වෙන්නෙ. මම මොකක් හරි රස්සාවක් හොයා ගන්නවා. ඔහේගේ පඩියෙන් අපිට ජීවත්වෙන්න බැහැනේ.

 කාන්ති එහෙම කියලා ගෙවල් පැත්තෙ පොල් මෝලක රස්සාවක් හොයාගත්තාල දැන් කාන්ති උදේ පාන්දරම පොල් මෝලෙ රස්සාවට යනවා. විජේපාලත් කුලීවැඩ කරගන්න යනවා. දරුවෝ දෙන්නා ඉස්කෝලෙ යනවා මේ දෙන්නා ගියාට පස්සේ.

 පොල් මෝලේ සේවකයෝ අතරේ හිටිය වික්ටර් දඩබ්බර මනුස්සයෙක්. විවාහවෙලා හිටිය වික්ටර් දරුවේ තුන්දෙනෙක්ගෙ තාත්තා කෙනෙක්. ටික කාලයක් ගතවෙද්දී වික්ටර් කාන්තිට බැල්ම හෙළන්න පටන්ගත්තා. කාන්තිත් විජේපාලගෙන් නොදැක්ක මොකක්දෝ වෙනසක් වික්ටර්ගෙන් දැක්කා.

 උඹ වැඩට ආවදා ඉඳලා මං ඇහැගහගෙන හිටියෙ. උඹ ගස්ස ගස්සා මෙතන වැඩකරන කොට මට ඉවසුම් නැහැ.

 වික්ටර් කාන්තිගෙ කනට කරලා කිව්වා. කාන්තිත් මේ උසුළු විසුළුවලට පි‍්‍රය කළා. ටික කාලෙකට පස්සෙ මේ දෙන්නා අතරේ අනියම් සම්බන්ධයක් ගොඩනැගුණා.

 කාන්තිට දැන් විජේපාලව රුස්සන්නෙ නැහැ. කොටින්ම අර අහිංසක දරුවො දෙන්නවත් දැන් කාන්තිට එපා වෙලා. වික්ටර්ගෙ තහනම් ආදරය ඉදිරියේ කාන්තිගෙ පවුල් ජීවිතේ හෝදාපාලූවට ලක්වෙලා ගිහින්.

 කාන්ති උඹ වරෙන් මාත් එක්ක යන්න ඔය ජීවිතේ උඹට හරියන්නෙ නැහැ. උඹට ඕන කරන හැම සැප සම්පතක්ම මං දෙන්නම්. වික්ටර්ගෙ යෝජනාවට එක පයින් කැමති වෙච්ච කාන්ති අර අහිංසක දරුවො දෙන්නයි විජේපාලවයි අතඇරලා දාලා අලූත් ජීවිතයක් හොයාගෙන ගියා.

 විවාහ නොවුනට වික්ටරුයි කාන්තියි හනිමුන් ගියා. දවස් තුන හතරක් තිස්සෙ හෝටල් කීපයක කල්ගත කරපු වික්ටරුයි කාන්තියි හොඳහැටි විනෝද වුණා. හනිමුන් එකට වියදම් කරන්න වික්ටර් අතේ සත පහක් තිබුණෙ නැහැ. කාන්ති දුක් මහන්සිවෙලා උපයපු මුදල්වලින් ගත්ත චේන් පොටයි කරාබු ජෝඩුවයි උකස් කරලා ගත්ත සල්ලි තමයි මේ දෙන්නගෙ හනිමුන් එකට වියදම් කළේ. කාන්ති පැනලා ගිය දවසේ විජේපාල එයාගෙ දරුවො දෙන්නත් තුරුළු කරන් හොඳටම ඇඬුවා. දන්න කියන හැම තැනකම ගිහින් කාන්තිව හෙව්වා. කොහු මෝලෙන් කිව්වා වික්ටරුයි කාන්තියි දවස් කීපයක් තිස්සෙ වැඩට ආවෙ නැහැ කියලා.

 ඒ වෙනකොට විජේපාලට ආරංචි වෙලා තිබුණා වික්ටර් එක්ක තමන්ගෙ ආදර බිරිඳ කාන්ති කාලයක් තිස්සෙ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව.

 උඹ ඔය ගෑනිගෙ පිංතූරෙ දාල පෝස්ටර් එකක් පි‍්‍රන්ට් කරලා ඒක හැම තැනම අලවපන් කවුරුහරි ගෑනි ඉන්න තැනක් දැක්කොත් උඹට පණිවිඩයක් දෙයි.

 විජේපාලගෙ යාළුවෙක් කාන්තිව හොයාගන්න ක‍්‍රමයක් ගැන කිව්වා. අන්තිමේදී විජේපාල කාන්තිගෙ පිංතූරෙ දාල පෝස්ටර් එකක් පි‍්‍රන්ට් කරලා ගම හැම තැනම ඇලෙව්වා.

 ඒත් කාන්ති ගැන තොරතුරක් නැහැ. ළමයි දෙන්නා අඬනවා අම්මා ඕනෙ කියලා. කරකියා ගන්න දෙයක් නැති තැන විජේපාල දරුවො දෙන්නත් අරගෙන පොලිසි ගියා.

 පොලිසිය මේ අවනඩුව විභාග කරන්න පටන් ගත්තා. දරුවො දෙන්න ගැන අනුකම්පා කරලා පොලිසිය කාන්තිව හොයන්න ගත්තා. ජංගම දුරකථනයක අංකයක් ඔස්සේ පරීක්‍ෂණ කරපු පොලිසිය කාන්තිවයි වික්ටර්වයි හොයාගෙන පොලිසියට ගෙනාවා.

 දැන් තමුන් කැමතියි ද කාන්තිව භාරගන්න.

 පොලිස් ස්ථානාධිපතිවරයා විජේපාලගෙන් විමසුවා.

 මහත්තයො මේකි කා එක්ක ගියත් මට මේ ගෑනි ඕනෙ. දරුවො දෙන්න අඬනවා මට බලං ඉන්න බැහැ. ඒ නිසා හැමදේටම සමාවදීලා මං මේ ගෑනිව ආයෙ ගෙදර ගෙනි යනවා.

 එහෙම කියලා විජේපාල කාන්තිව කැන්දගෙන ආපහු ගෙදර ගියා. දැන් විජේපාල ලොකු පොල්ලකුත් තියාගෙන ගෙයි පිළිකන්නට වෙලා කාන්තිව ආරක්‍ෂා කරනවා. විජේපාල බයෙන් ඉන්නෙ කොයි වෙලාවක හරි වික්ටර් ඇවිත් කාන්තිව ආපහු අරගෙන යයි කියලා.

 විජේපාල තමන්ගෙ ගෑනිව ආරක්‍ෂා කරන්න දහදුක් විඳින විදිහ දැකලා අහල පහල මිනිස්සු ඔහුට අනුකම්පා කළා

 රණදේව

advertistmentadvertistment