විඥ්ඥාණ මැජික්කරුවාගේ රූකඩයක් නොවන්න

111

පිංවත ඔබේ බලාපොරොත්තු බිඳවැටුණාය කියලා, ඔබ උපන් මාතෘභූමිය අතහැරදමා විදේශගත වෙන්න තීරණය කරන්න එපා. මම උපන් මාභූමිය නරකයි, අහවල් රටවල් හොඳයි යැයි කියන මිත්‍යාව මත ජීවත්වෙන්නත් එපා. පිංවත් ඔබ සිහිනුවණින් දකින්න, ඔබ උපන් පිංවන්ත මාතෘභූමිය, ඔබටම එපාවෙන්න ඔබ විසින්ම සිදුකොටගත් අතීත අකුසල් මොනවාද කියලා. මෙය සටහන් තබන් භික්ෂුවට නම් තවමත් උපන්බිම එපාවෙලා නැහැ. මනුෂ්‍යයකුගේ උපන් බිම කියන්නේ සංස්කාර හේතුවෙන් සකස්වූ විඤ්ඤාණය නැමති ධර්මථාවයේ ඵලයක්මයි. පිංවත් ඔබ කවදාකවත් එම උතුම් ධර්මයට කෘතවේදී නොවෙන්න එපා. පිංවත් ඔබට අවශ්‍යම නම් උපන්බිම හැරගියාට කමක් නැහැ. හැබැයි ඉතිං උපන්බිමට දොස්කියමින් නම් යන්න එපා. පිංවත් ඔබ උපන් මාතෘභූමිය අතහැර විදේශයකට ගුවන්ගතවෙන්නේ නම් භික්ෂුව කියනවා, ඒ ගුවන්ගත වෙන්නේ ඔබ නොව, ඔබේ ලෝභ, ද්වේශ, මෝහ ධර්මයෝමයි කියලා. ගෞරවණීය පිංවත ඔබ රැවටුනත්, උතුම් ධර්මය නම් රවට්ටන්න කාටවත්ම බැහැ.

 ගෞරවණීය පිංවත, ඔබට උපන් මාතෘභූමිය හොඳ නැහැයි කියලා සිතිලා, විදේශගත වෙන්න සිතුනොත් කරුණාකර, එම දැනීම අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මථාවයට භාරදෙන්න. පිංවත, දැනීම් අයිති, විඤ්ඤාණය නැමති මැජික්කරුවාගේ රූකඩයක් වෙන්න එපා. මේ මොහොතේ භික්ෂුවට දැනීමක් සකස් වුනොත් උපන් මාතෘභුමිය හැරදමා යන්න ඕනේය කියලා. භික්ෂුව ඊළඟ සිතුවිල්ලෙන් එම දැනීම අවිද්‍යාවේ කුණු කූඩයටමයි දමන්නේ. එවිට භික්ෂුව මේ නිමේෂයේදීම මිත්‍යා දෘෂ්ඨියෙන් බබලන පිටරටක් වෙනුවට, අවිද්‍යාවේ නිරෝධයක්ම සහ ඊට මාර්ගයක්ම දකිනවා. පිංවත ඔබටත්, භික්ෂුවටත් වැරදිලා නැහැ. අපි ධර්මානුකූලව නිවැරදි තැන ස්ථානගතවෙලා සිටිනවා. සංස්කාර ලෝකය හරිම සාධාරණයි. ඔබ කුසලයේ සුදු තීන්ත ජීවිතය මත ආලේප කළොත්, සතුට සහ ප්‍රීතියත්, ඔබ අකුසලයේ කළු තීන්ත ජීවිතය මත ආලේප කළොත්, සතුට සහ ප්‍රීතියත් ඔබ අකුසලයේ කළු තීන්ත ජීවිතය මත ආලේප කළොත්, දුක සහ කඳුළත්, විවෘතව බබළනවා. පිංවත සියලු බාධක ඉදිරියේ ඉවසීමෙන් ඒවාට මුහුණදෙන්න. ඔය බාධක අනුනගේ නොව ඔබගේමය. මේ මොහොතේ ඔබේ ජීව්තයට සැනසීම නැතිවුණත්, ඒ නොසැනසීම ධර්මයේ උපේක්ෂාවක් බවට ඔබ පෙරළා ගත්තොත්, මේ සියලු වේදනාවෝ, අනිත්‍ය වූ රූපය ඇසුරින් සකස්වෙන අනිත්‍යවූ විඳීම් යැයි දකින, යළි නොමැකෙන අවබෝධයෙන්ම සියලු වේදනාවෝ ඉදිරියේ, ඔබ නොසැලෙන මහමෙරක්ම වේවි. පිංවත ඔබ සියලු වේදනාවෝ ඉදිරියේ නොසෙල්වෙන මහමෙරක්ද, එසේත් නැතිනම් සෙලවෙන ගඩොල් කැටයක් දැයි, ඔබම නුවණින් දකින්න. පිංවත සියලු වේදනාවෝ ඉදිරියේ මින් පසු සැලෙන්න එපා. සියලු වේදනාවන්ට හේතුවෙන රූපය අනිත්‍ය වශයෙන්ම දකින්න. එවිට වේදනාවෝ ඔබේ විදර්ශනා නුවණට පෙනි පෙනීම නිවී යාවි.

පිංවත අවිද්‍යාව විසින් දුක සහ සැප පටලවපු ලෝකය තුළ, ඔබ සිහිනුවණින් කටයුතු කරන්න. අවිද්‍යාවේ ජන්ම ගතිය අපිව නිරවුල් කිරීම නොවේ. අපිව අකුසලයේම පැටලවීමයි. වර්තමානයේ සමාජය තුළින් ඔබ දකින්නේ අවිද්‍යාවේ ඉහත පැටලවීමම නේද. පිංවත් ඔබම බොහෝම කැමැත්තෙන් රජයක් පත්කොටගන්නවා. තමන් පත්කොටගත් රජය බරපතළ වැරදිකරනතෙක් නිහඬව බලා සිටිනවා. සියල්ල සිදුවුණාට පස්සේ හැමෝම අවුලෙන් අවුලටම පත්වෙනවා. පිංවත වර්තමානයේ ඔබට ඇසෙනවා නේද, ඔය සොරාකාපු ජාතික ධනය නැවත දෙන්න යැයි නගන සටන්පාඨ. පිංවත කිසිම පිංවත් දේශපාලඥයෙක් සොරාකාපු ශතයක්වත් නැවත දෙන්නේ නැහැ. නැවත පවර ගන්නෙත් නැහැ. මේවා තවත් සොරාකන පිරිසකට බලය ලබාගැනීමට කියන සටන් පාඨ පමණක්මයි. වර්තමානයේ සොරු සහ සොරු එකතු වූ ජාවාරමකටයි, දේශපාලනය කියන්නේ. මාතෘභූමියේ භාරකරුවන් ජාවාරම්කරුවන් වෙද්දී, මාතෘභූමියේ අයිතිකරුවන් වන පිංවත් ජනතාවට සද්ධර්මයේ පිහිට හැර වෙන කාගේ නම් පිහිටක්ද.

විඥ්ඥාණ මැජික්කරුවාගේ රූකඩයක් නොවන්න

පිංවත මොහොතක් දෑස් පියාගන්න. ඔබ ඔබේ රූපය අට්ඨික සංඥාවෙන් දකින්න. ඒ කියන්නේ ඔබේ රූපය ඇටසැකිල්ලක් කොට දකින්න. දැන් ඔබට අරමුණු වෙන සෑම මනුෂ්‍ය රූපයක්ම, අට්ඨික සංඥාවෙන්ම දකින්න. දැන් පිංවත් ඔබට මනුෂ්‍ය ප්‍රජාව වෙනුවට, ඇටසැකිලි ලෝකය හොඳින් අරමුණු වෙනවා නේද. දැන් ඔබේ ඇටසැකිල්ල ඇතුළු සෑම ඇටසැකිල්ලක්ම කැඩිලා, බිඳිලා, විසිරිලා බාහිර සතර මහාධාතුවටම මුහුවෙනවා නුවණින් දකින්න. පිංවත මේ පුංචි නිමේෂයේදී ඔබ තුළ රැස් වුණාවූ විදර්ශනාමය කුසලයේ ශක්තියෙන්, මේ ජාවාරම්කාර දේශපාලනයෙන් තොර කර්මය කර්මඵලය විශ්වාස කරන, දේශපානයක් ඇතිවේවා යැයි කියලා සත්‍යක්‍රියා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයකුට මීට වඩා දෙයක් විනයානුකූලව මෙවැනි අවස්ථාවක සමාජයට කරන්නට බැහැ. උපසම්පදා භික්ෂූන් හික්මෙන්නේ උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයෙන්. භික්ෂුව සටහන් තබන මේ සෑම වචනයකදීම, හොඳින් සිහිය පවත්වාගෙනයි ලියන්නේ. මේ සටහන් තබන එක වචනයක් හෝ අසිහියෙන් සටහන් තැබුවොත්, අවේගශීලීව සටහන් තැබුවොත්, භික්ෂුවගේ ප්‍රාතිමෝක්ෂ ශීලය දුර්වලවෙන්න පුළුවන්කම තිබෙනවා.

 අපේ ප්‍රාතිමෝක්ෂ ශීලයේ එක ශිල්පදයක් තිබෙනවා, උපසම්පදා භික්ෂුවකට, තවත් පිංවතෙකුගේ නම සඳහන් කරලා චෝදනාකරන්න බැහැ. මේ දිනවල මහ පාරේ, යම් යම් නායකයන්ගේ නම් සඳහන් කරමින් ගිහිපිංවතුන්ලා චෝදනා කරනවා නේද. පිංවත උපසම්පදා භික්ෂුවකට නම සඳහන් කරලා තවත් කෙනකුට චෝදනා කරන්න බැහැ. පිංවත් ඔබ මෙහෙම සිතන්නකෝ, යම් පිංවතෙක් භික්ෂුවකට පහර දෙනවා. භික්ෂුව එම පුද්ගලයාව නමින් හඳුනනවා. නමුත් අදාළ පුද්ගලයාගේ නම සඳහන් කරලා පැමිණිලි කරන්න භික්ෂුවට බැහැ. නමුත් ඔහුගේ හැඩ රුව කියන්න පුළුවන්. ඉහත ඇවැත් අපි අතින් සිද්ධවුණොත්, එම ඇවැත් විනයානුකූලව දේශනා කරලා යළි නිවැරදි වෙන්න පුළුවන්කම තිබෙනවා. උපසම්පදා භික්ෂුවක්, සැලසුම් කිරීමකින් තොරව එවැනි ඇවැත් සිදුකරගෙන, යළි විනයානුකූලව පිරිසිදුවීම අයිති වෙන්නේ මධ්‍යස්ථ ශීලයට. නමුත් උපසම්පදා භික්ෂු සමාජයේ අපිට හික්මෙන්නට, උත්කෘෂ්ඨ ශීලයක් තිබෙනවා. එම උත්කෘෂ්ඨ ශීලය තමයි, ඉහත ඇවැත්වලට පත්නොවී සිහිනුවණින් ජීවත්වීම. ඒ වගේමයි භික්ෂු සමාජයේ හීන ශීලයකුත් තිබෙනවා. එය තමයි දැන දැනම ඇවැත් සිදුකරමින්, විනයානුකූලව පිරිසිදුවී ජීවත්වීම.

 පිංවත මෙවන් සියුම් ප්‍රාතිමෝක්ෂ ශීලයක් තුළයි උපසම්පදා භික්ෂූන් වන අපි හික්මෙන්නේ. පිංවත ශීලය කියන්නේ ඵලයක් නොවේ. ශීලය කියන්නේ සමාධිය, ප්‍රඥාව දෙසට යන මාර්ගයක්. ශීලය පසුකරගෙන අපිට තව දුරගමනක් යන්නත් තිබෙනවා. ඒ නිසාම උපසම්පදා භික්ෂූන් වන අපිට, උපන් රටට වඩා, උපන් රටේ පිංවත් ජනතාවට වඩා වටින්නේ, අපේ ප්‍රාතිමෝක්ෂ ශීලයයි. අපි ප්‍රාතිමෝක්ෂ ශීලය තුළ නිවැරදිව සිටියොත් පමණක්මයි, අපේ ආයුෂය, වර්ණය, සැපය, බලය ලෙස හඳුන්වන ශීලය, මෛත්‍රිය, සමාධිය, ප්‍රඥාව අපි තුළ ශක්තිමත්ව බලගැන්වෙන්නේ. ඉහත ධර්මයන්ගෙන් සංඝ සමාජයේ අපි දුර්වල වුණොත්, අපි උපන් මව්බිමට සහ පිංවත් ජනතාවට පෙරළා ලබාදෙන්න, අපි තුළ ආයුෂයත්, වර්ණයත්, සැපයත්, බලයත් නැතිව යනවා. පිංවත හැලහැප්පීම් බහුල සමාජයක මහා සංඝරත්නයේ උපේක්ෂාසහගතභාවයන් ඉදිරියේ පිංවත් ජනතාව ඉවසිලිමත් වෙන්න ඕනේ. අපේ ප්‍රාතිමෝක්ෂ ශීලය, තෘෂ්ණාවෙන් ගිනිගත් ලෝකය තුළ, අපිව නොඇවිලෙන සම්මා සතිය දිශාවටමයි යොමුකොට තිබෙන්නේ. පිංවත අපි පැවිදිවුණේ ජය හෝ පරාජය උදෙසා නොවේ. ඉහත අර්ථයන් දෙකම නිරෝධය කරන්නයි. දැන් ඉතිං භව ගමනේ ජය සහ පරාජයන් ලැබුවා හොඳටෝම ඇති. භික්ෂුවට නම් හති වැටිලයි මේ පැත්තකට වෙලා වැඩසිටින්නේ. කරුණාකර, ජය සහ පරාජය ලෝකය තුළ තබා, ඔබ නිවීයන්න යළි නොඉපදෙන්නම. පිංවත මෙය සටහන් තබන භික්ෂුව, උපන්දිනය අමතක කරලයි වැඩසිටින්නේ. පිංවත් ඔබ උපන්දිනය එනතෙක් ඇඟිලි ගනිමින් සිටියොත්, උපන් දිනයට කේක් කැපුවොත්, උපාදාන පච්චයා භවය කියන ධර්මථාවය යටතේ, නැවත ඉපදීම නම් අනිවාර්ය වෙන්න පුළුවන්.

 පිංවත සමාජය දෙසට හොඳින් ඔබේ දෙකන් විවෘත කොට අසන්න. මේ ඔබට ඇසෙන්නේ දුකේ සැබෑම තේමා ගීතයයි. තෘෂ්ණාව විසින් සංගීතවත් කොට ඇති මේ දුකේ තේමා ගීතයේ, පද රචනය සිදුකොට ඇත්තේ අවිද්‍යාව විසින්මයි. පිංවත ගීතයේ පද රචනය අමිහිරි වුණත්, වේග රිද්ම තෘෂ්ණාවේ සංගීතය නිසාම, පිංවත් ඔබේ ඇලීමේ සහ ගැටීමේ සිඟිති දෙපා, මේ දිනවල මහපාරේදිත් නටන්නට පුළුවන්. පිංවත බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා, මගහැර යෑමෙන් දුරුකළ යුතු ආශ්‍රවයන් පිළිබඳව. ආශ්‍රවයන් කියන්නේ කෙලෙස් ධර්මයන්, එසේත් නැතිනම් අකුසල් ධර්මයන්. පිංවත කරුණාකර මේ දිනවල ගෑස් පෝළිමේ, ඩීසල් පෝළිමේ, මහපාරේ, ආවේගශීලීභාවයන් වැඩිනම්, වහාම එම ස්ථාන තාවකාලිකව මගහැරයන්න. එසේ නොවුනොත්, තෘෂ්ණාවේ වේගරිද්ම සංගීතය නිසාම, ඔබටත් මහපාරේදී, අකුසලය සමග නටන්නට සිද්ධවේවි. අපි ජීවත්වෙන්න ඕනේ දුක් “විඳින්න” නොවේ. දුකට එකම හේතුව “තෘෂ්ණාව” යැයි, අවබෝධකොට ගැනීමටයි. පිංවත මේ මොහොතේ මහපාරේදීත් ඔබ ධර්මයක්මයි දකින්නේ, ඉක්මන් කරන්න.

 පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment