විඩියෝ ගේම් ගහන්න දරුවන් පොළඹවන අලුත්ම ගේම් එක

536

වසර එකහමාරකට වැඩි කාලයක් කොරෝනා සමඟ ජීවත් වන මෙරට ළමයින්ගේ පාසල් අධ්‍යාපනය ජංගම දුරකථනයකට හෝ පරිගණකයකට සිර වී අවුල් ජාලාවක පැටළෙමින් තිබෙන බව සැබෑය. දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතා අකමැත්තෙන් වුවද අසරණ මවුපියන් ලබාදෙන ජංගම දුරකථනය ඇතැම් ළමයි පාවිච්චි කරනුයේ වඳුරන්ට දැලිපිහියක් ලැබුණු ගාණටය. මාර්ගගත ඉගෙනීම් කටයුතු පසෙකට දමන ඇතැම් ළමයින් අන්තර්ජාලයේ සැරිසරමින් ‘වැඩිහිටියන්ට පවා නැරඹීමට නොසුදුසු වීඩියෝ පට’ නරඹමින්, මනස විකෘති කරන විවිධ වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වී නන්නත්තාර වී සිටින බව ඇතැම් දෙමවුපියන් සහ ගුරුවරුන් අප සමඟ පැවසූහ.

දෙමවුපියන් සහ ගුරුවරුන් ඇසුරින් නෑසිය යුතු ඒ කතා ඇසෙන අතරේ මවුපියන් විසින් අලූත් ජංගම දුරකථනයක් අරගෙන නොදුන් තරහට පිරිමි දරුවකු සියදිවි නසාගත් ඛේදනීය කතාවක් වාරියපොළ ප‍්‍රදේශයෙන් ඇසිණි. තම කාමරය තුළදීම ගෙළ වැලලාගෙන මිය ගොස් තිබුණේ වාරියපොළ ප‍්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක බඩපිස්සාය. වාරියපොළ ඥානෝදය මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. එම පාසලේ ගුරුවරුන් පවසන ආකාරයට සියදිවි නසාගත් සිසුවා පාසලේ ඉගෙනීම් කටයුතුවලට මෙන්ම විෂය බාහිර ක‍්‍රියාකාරකම්වලට අති දක්‍ෂයෙකි. එමෙන්ම විනයගරුක දරුවෙකි. කොරෝනා වසංගතයේ ව්‍යාප්තියත් සමඟ නිවසට කොටු වූ එම දරුවාට ‘ඔන්ලයින්’ පන්තිවලට සම්බන්ධවීමට මවුපියන් විසින් ජංගම දුරකථනයක් ලබාදී තිබිණි. වැඩිමහල් දරුවාගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලට වෙනම තවත් ජංගම දුරකථනයක් ලබාදී තිබිණි. පවුලේ ළමයි දෙදෙනාම පිරිමි දරුවන්ය.

සියදිවි නසාගත් දරුවාගේ ජංගම දුරකථනයේ යම් දෝෂයක් ඇති වී දින කිහිපයක සිට අලූත් ජංගම දුරකථනයක් අරගෙන දෙන ලෙසට මවට නිතර ඇවිටිලි කර තිබිණි. එහෙත් එම ඉල්ලීමට මව විසින් සුබවාදී ප‍්‍රතිචාරයක් නොදැක්වීම සමඟ ඔහු දැඩි සේ සිත්තැවුලට පත්ව ඇත. වේදනාවෙන් සහ තරහෙන් පිපිරෙමින් සිටි ඔහු පසුගිය දිනක මවුපිය දෙපළ නිවසින් බැහැරට ගිය මොහොතේ දොර රෙද්ද අඹරා එක කොනක් ජනේලයේ බැඳ අනෙක් කොන ගෙල වටා ගැට ගසාගෙන වේගයෙන් පස්සට ගොස් ගෙල සිර කර සියදිවි හානි කරගෙන තිබිණි. පුංචි සිත්වේදනාවක් දරාගැනීමට ශක්තියක් නැති ඔහු අකාලයේ මිය ගියේය. ගිය අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි එෙඬ්රමුල්ල ප‍්‍රදේශයේ පිරිමි ළමයෙක් ‘වීඩියෝ ගේම්’ සෙල්ලම් කිරීමට ජංගම දුරකථනය ලබානොදුන් තරහට තම මවට නොසෑහෙන්න පහරදී තිබිණි. එම පහරදීම දුටු පියාට හෘදයාබාධයක් වැලඳී මේ වන විටත් පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. ඔන්ලයින් පන්ති පවත්වාගෙන යන කඩවත ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙක් කියන විදිහට එම දරුවා ඔහුගේ පන්තියේ සිටි දක්‍ෂතම සිසුවෙකි.

‘‘ඔය සිද්ධිය වෙච්ච දවසෙම ඒ ළමයගේ ගෙදරට අපි ගියා. ඒ යනකොට කොල්ලා පිස්සෙක් වගෙයි. කාමරයෙන් එළියට බැස්සෙ නෑ. හොඳට ඉගෙනගත්ත කොල්ලෙක්. තාත්තා, අම්මත් හොඳ ජොබ් කරන උගත්, වැදගත් මිනිස්සු. ඒ දරුව විනාශ වුණේ ‘ඔන්ලයින්’ ඉගෙනගන්න ජංගම දුරකථන අතට දීමත් එක්ක කියලා මම විශ්වාසයෙන් කියනවා. ඒ ළමයා ගහ මරාගන්න ගේම් නොසෑහෙන්න සෙල්ලම් කරනවා කියලා දෙමවුපියො කිහිප සැරයක්ම මට කියලා තිබුණා. ඒ වගේම තව අම්මා කෙනෙක් මට කතා කරලා අඬලා කිව්වා පුතා අල්මාරියේ තිබුණු රුපියල් දාහත්දහසක් හොරකම් කරලා ෆෝන් එකට ඬේටා දාගෙන ගේම්ම ගහනවා කියලා. ඒ ළමයත් මගේ පන්තියේ ඉගෙනගත්ත දක්‍ෂ දරුවෙක්. ඒත් දැන් ඔන්ලයින් පන්තිවලට සම්බන්ධ වෙන්නෙත් නෑ. ඒ වගේම කණ්ඩායම් හදාගෙන මුදල් ඔට්ටුවලට ගේම් සෙල්ලම් කරන ළමයි ගැන අපිට වාර්තා වෙලා තියෙනවා…’’ මාර්ගගත ඉගැන්වීමට යම් ගැටලූකාරී තත්ත්වයක් මතු වේ යැයි සැකයට එම ගුරුවරයාගේ නම සඳහන් නොකර සිටින ලෙසට අපගෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම නුගේගොඩ ප‍්‍රදේශයේ ගුරුවරයෙක් ද අප සමඟ සම්බන්ධ වෙමින් ඔන්ලයින් අධ්‍යාපන ක‍්‍රමය තුළ ළමයි විනාශ වෙන ආකාරය විස්තරාත්මකව පැහැදිලි කළේය.

‘‘නවය වසර පන්තියේ ශිෂ්‍යාවකගේ අම්මා කෙනෙක් මට කතා කරලා ‘දුව, පිරිමි ළමයෙක් එක්ක ෆෝන් එකෙන් නිතරම මැසේජ් හුවමාරු කරගන්නවා නතර කර දෙන්න සර්…’ කියලා අඬනවා. මාසයකට වැඩි කාලයක ඉඳලා ඒ ළමයා කිසිම ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වෙලත් නෑ. ඒත් නිතරම ෆෝන් එකේ ඉන්නවා කියලා අම්මා කියනවා. තව තාත්තා කෙනෙක් මට කතා කරලා ‘පුතා ගේම් එකකට ඇබ්බැහි වෙලා අපිත් එක්ක කතා කර කර ඉඳලා හිටි ගමන් කාමරයට දුවලා ෆෝන් එක අරගෙන ගේම් ගහන්න පටන් ගන්නවා. ?ට කාමරයේ ලයිට් නිවාගෙන පාන්දර ජාමේ වෙනකම් ගේම් ගහනවා’ කියලා පුදුම විදිහට දුක් වුණා. ජංගම දුරකථනවලට ඬේටා දාන්න ඇතැම් ළමයි ගෙවල්වල තියෙන සල්ලි හොරකම් කරනවා කියලා දෙමවුපියො නිතරම අපිට කතා කරලා කියෙනවා. ඒත් අපිට ඒ ගැටලූවලට මැදිහත් වෙන්න සීමාවක් තියෙනවා…’’ ඔහු ද අමතර පන්ති ගුරුවරයෙක් නිසා නම සඳහන් කිරීමෙන් වැළකී සිටින ලෙස අපගෙන් ඉල්ලා සිටියේය. එහෙත් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාප කාර්යාලයේ මානව ශාස්ත‍්‍ර ගුරු උපදේශක මේනක රණතුංග පෙළගැසෙන ගැටලූව සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ කරුණු දැක්වීමට ඉදිරිපත් වූයේය. මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමය තුළ මෙරට අනාගතය විනාශ වන ආකාරය ඔහු කරුණු සහිතව හරි අපූරුවට පැහැදිලි කළේය.

‘‘මම පෞද්ගලිකව ළමයි දෙසීයකට විතර ඔන්ලයින් පන්ති කරනවා. මගේ දරුවෝ තුන්දෙනා මේ කතා කරන මොහොතේදී ෆෝන් තුනකින් ඔන්ලයින් ඉගෙන ගන්නවා. පොඩි දුව දෙවැනි වසරේ. ලොකු දුව පහ වසරේ. පුතා අට වසරේ. තොරතුරු තාක්‍ෂණ ඩිප්ලෝමාවකුත් තියෙනවා. පුතා නිතරම ඉන්නේ පරිගණකයත් එක්ක. ඒත් ගේම් ගහන්න උනන්දුවක් නෑ. ඒකට ප‍්‍රධාන හේතුව හැමදාම මම දරුවොත් එක්ක පවත්වන සංවාද සහ මගේ අධීක්‍ෂණය යටතේ දරුවන්ට ගේම් සෙල්ලම් කරන්න අවස්ථාව ලබාදීම. ඔවුන්ගේ රුචිකත්ව අනුව විනෝදය, බුද්ධි වර්ධන වීඩියෝ ගේම් සෙල්ලම් කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ ගේම්වලින් ඔබ්බට වෙනත් වීඩියෝ ගේම් සෙල්ලම් කරන්න මගේ දරුවො පෙළඹෙන්නෙ නෑ. ඒ වගේම මගේ උසස් පෙළ පන්තිවල කිසිම දරුවෙක් වීඩියෝ ගේම්වලට ඇබ්බැහි වෙලා ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නෑ. ගුරු උපදේශකවරයෙක් විදිහට මට ලැබෙන දත්තවලට අනුව 7, 8, 9 වසරවල ළමයි තමයි දැඩි ලෙස ගේම්වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒකට හේතුව ඒ වසරවල ළමයින්ට විභාග මූලික ඉලක්කයක් නොමැතිකමයි. 11 වසර ළමයින්ගෙන් සුළු පිරිසක් හැර බහුතරය අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ වගේම සෑම වසරකම දුර්වල ළමයි කණ්ඩායමක් ඉන්නවා. ඒ ළමයින්ව ඔන්ලයින් හරහා අල්ලාගැනීමට බැරි වෙලා තියෙනවා. ඔවුන් දුරකථනය වැරැදි විදිහට පාවිච්චි කරන බව අපිට වාර්තා වෙලා තියෙනවා…’’

විඩියෝ ගේම් ගහන්න දරුවන් පොළඹවන අලුත්ම ගේම් එක

‘‘ඒ වගේම ඔන්ලයින් අධ්‍යාපනය ලබාගැනීමට ජංගම දුරකථන භාවිතයට නැඹුරු වෙච්ච දිළිඳු පවුල්වල දරුවො වීඩියෝ ගේම්වලට බහුල වශයෙන් ඇබ්බැහිවී සිටින බවත් වාර්තා වෙනවා. කැබිතිගොල්ලෑව වගේ දුෂ්කර අධ්‍යාපන කලාපයක සේවය කරන අපිට ඒ බව හොඳින් තහවුරු වෙලා තියෙනවා. ඒ පවුල්වල වැඩිහිටියන්ට පරිගණක, ජංගම දුරකථන භාවිතය ගැන දැනුමක් නෑ. සමාජය පිළිබඳ දැනුවත්කමක් ඇත්තෙත් නෑ. ඔවුන්ගේ දරුවොත් ආකල්පවලින් සංවර්ධනය වෙලා නෑ. ඒ නිසා හිටි හැටියේ ජංගම දුරකථනයක් එක්ක අන්තර්ජාල පහසුකම් ලැබුණු විට ඒ දරුවො පිස්සු වැටෙනවා. ඒ වගේම එක ජංගම දුරකථනයකින් පවුලේ ළමයි තුන් හතරදෙනෙක් ඔන්ලයින් ඉගෙනගන්න ගිහින් රණ්ඩු ඇති කරගත් අවස්ථා නිතර වාර්තා වෙනවා. හොරොව්පතානේ එක ගෙදරක වැඩිමහල් පිරිමි දරුවා වීඩියෝ ගේම් සෙල්ලම් කරමින් ඉන්නකොට ඔන්ලයින් පන්තියට සම්බන්ධ වෙන්න ෆෝන් එක ඉල්ලූ නංගිට අයියා නොසෑහෙන්න පහර දීලා තිබුණා. එවැනි සිද්ධි නිරන්තරයෙන්ම අපිට වාර්තා වෙමින් තිබෙනවා. ඒ වගේම ළමයින්ගේ වීඩියෝ ගේම් සෙල්ලම නිසා සමීපව ජීවත්වන පවුල් අතර ගැටුම් ඇති වෙලා තියෙනවා…’’

‘‘මට හිතවත් තාත්තා කෙනෙක් කතා කරලා කියනවා දරුවා කාර් රේස් ගේම් එකකට ඇබ්බැහි වෙලා කෑම කන වෙලාවටත් කාර් පදවනවා කියලා. කාර් රේස්, යතුරුපැදි රේස්, ත‍්‍රස්තවාදී කල්ලි පදනම් කරගත්ත විශාල වීඩියෝ ගේම් ප‍්‍රමාණයක් අන්තර් ජාලයට ඇතුළත් කර තියෙනවා. ත‍්‍රස්තවාදී ගේම් එකේ ඉන්නෙ හමුදාව. ප්ලේ කරන ළමයා ත‍්‍රස්තවාදියා. ඒ ගේම් ගහන ළමයින්ගේ මානසික තත්ත්වය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. මරණය දැකීම ඒ ළමයින්ට සතුටක්. ඒ වගේම මේ වීඩියෝ ගේම් ක‍්‍රීඩා කරන ළමයි සෑම මොහොතකම ඒ තරඟය තුළ ජීවත් වෙනවා. ගේම්වලට ඇබ්බැහි වෙච්ච සමහර ළමයි යාළුවා දිහා බලන්නෙත් ගේම් එකෙන් ආපු හතුරෙක් විදිහට. නැවත පාසල් පද්ධතිය ආරම්භ කරන කොට ගේම්වලින් නිර්මාණය වෙච්ච ‘හතුරු සමාජයක්’ බිහි වෙලා තියෙන්න ඉඩ තියෙනවා. මේක අති භයානක තත්ත්වයක්…’’

‘‘ඒත් වීඩියෝ ගේම් අපේ රටට පමණක් සීමා වෙච්ච ක‍්‍රීඩාවක් නෙමෙයි. දියුණු රටවල ළමයින්ටත් ප්ලේ කරන්න ඕනෑතරම් වීඩියෝ ගේම් තියෙනවා. ඒ සියලූ ගේම් නිර්මාණය කර තියෙන්නේ ළමයින්ට උචිත විදිහට. ඒ ගේම් දෙමවුපියන් විසින්ම ළමයින්ට දීලා තියෙනවා. අපේ රටේ ගේම් ගැන පැහැදිළි නියාමනයක් නෑ. වර්තමාන රජය මේ මොහොතේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් කරන කැපකිරීම බින්දුවයි. දුෂ්කර අධ්‍යාපන කලාපයක සේවය කරන අපිට ඒ බව හොඳින් පැහැදිලි වෙලා තියෙනවා. අපේ අධ්‍යාපන කලාපයට සිග්නල් නෑ. කැබිතිගොල්ලෑවට සිග්නල් කණුවක් ඉල්ලලා අදාළ සියලූ ආයතනවලට ලිපි ලිව්වා. රජයක් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රතිචාරයක් දැක්වූයේ නෑ. ඒ වගේම සෑම පාසලකටම වාර්ෂිකව ගුණාත්මක යෙදවුම්, ප‍්‍රාග්ධන යෙදවුම්, නඩත්තු වියදම්, කැසිකිළි වැසිකිළි ඉදිකිරීම් වියදම් කියලා වෙන වෙනම මුදල් ලබාදෙනවා. පාසලේ ඉගෙනගන්නා ළමයින්ගේ ප‍්‍රමාණය අනුව ඒ මුදල අඩු වැඩි වෙනවා. වර්ෂ දෙකකින් ඒ මුදල් කිසිදු පාසලකට ලබා දුන්නේ නෑ. ඒ වගේම අධ්‍යාපන වැඩසටහන් සඳහා වාර්ෂිකව විශාල මුදලක් කලාප අධ්‍යාපන කාර්යාලවලට ලබාදෙනවා. වසර දෙකකින් ඒ මුදල් ලබා දුන්නෙත් නෑ. මේ මුදල්වල එකතුව අති විශාලයි. මේ මුදල් වියදම් කරලා රූපවාහිනී නාලිකාවක් මිලට ගෙන රටේ දරුවන්ට ගුණාත්මක ඔන්ලයින් අධ්‍යාපනයක් ලබාදෙන්න පුළුවන්කම තිබුණා. මේ රජය ඒ වගකීම හිතා මතාම පැහැර හැරියා. අඩුම තරමේ කොවිඞ් වසංගතය තුළ රජයේ රූපවාහිනී නාලිකාවකින් පාසල අහිමි දරුවන්ට ‘හඳයා’ චිත‍්‍රපටයවත් පෙන්න ගන්න බැරි වුණා. වර්තමාන ආණ්ඩුව රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙවැනි දුර්මුඛ අවධානයක් දක්වයි කියලා හීනෙකින්වත් අපට හිතුණේ නෑ. ඒ සම්බන්ධයෙන් මේ රජය ගැන අපිට තියෙන්නේ දැඩි කලකිරීමක්…’’ රජයේ ගුරු උපදේශකවරයෙක් ලෙස නොබියව කතා කිරීම සම්බන්ධයෙන් මේනක රණතුංග ගුරුතුමාට ස්තූතිවන්ත විය යුතුය. එමෙන්ම මෙරට වැනසී යන අධ්‍යාපන ක‍්‍රමය නැවත යථාවත් කිරීමට අවස්ථාවක් තිබේද යන්න අපට ඇත්තේ විශාල ගැටලූවකි. ඒ ගැන කතා කිරීම ද මානසික වධයකි. එහෙයින් එම මාතෘකාවෙන් බැහැරව මනස විකෘති කරන වීඩියෝ ගේම්වලට පාසල් දරුවන් ඇබ්බැහිවීම තුළ ඇති වන සමාජ තත්ත්වය විමසා බැලීමට සභාපති මානසික සෞඛ්‍ය පදනම, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරාව දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කරගත්තෙමු. මේ මහාචාර්යවරයා කියන කතාවය.

‘‘ඇබ්බැහිය යනු කෙනෙකුට නතර කරගැනීමට නොහැකි හැසිරීම. පාලනය කරගැනීමට නොහැකි හැසිරීම. දෛනික කාලසටහනේ යම් ක‍්‍රියාවක් අසීමාන්තිකව සිදුකිරීම. නින්ද හැරුණුකොට අවදියෙන් ඉන්නා කාලය තුළ යම්කිසි කාර්යයක් සඳහා අති ප‍්‍රතිචාර දැක්වීම ඇබ්බැහිවීම ලෙස හඳුන්වන්න පුළුවන්. ඇබ්බැහිය විවිධ අංශවලට බෙදෙනවා. මත්ද්‍රව්‍ය, මද්‍යසාරවලට මිනිස්සු ඇබ්බැහි වෙනවා. ඇබ්බැහිය ඇති වෙන්නෙ මොළය තුළ. මේක රෝගී තත්ත්වයක්. ජංගම දුරකථනවලට ඇබ්බැහිවීම පිළිබඳව මානසික රෝග විනිශ්චයන් පිළිබඳ සංඛ්‍යාලේඛන අත්පොතේ සඳහන් වෙන්නේ නෑ. ඒත් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙනවා වගේම තමයි ජංගම දුරකථන සහ පරිගණකවලට ඇබ්බැහිවීම. මේ ඇබ්බැහිය හඳුන්වන්නේ ‘තාක්‍ෂණ ධූර්තය’ කියලා. ධූර්ත වෙනවා කියන්නේ ඇබ්බැහිවීම. ජංගම දුරකථනවලට ඇබ්බැහිවීමත්, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමේදීත් මොළයට ඇති වෙන්නේ එකම තත්ත්වයක්. සරලව කියනවා නම් කුඩුකාරයකුට වෙන දේ තමයි ජංගම දුරකථනයට ඇබ්බැහිවීමේදීත් මොළයට සිදුවෙන්නේ…’’

‘‘ඒ වගේම යම් කෙනෙක් මත්ද්‍රව්‍යයට දෛනිකව ඇබ්බැහි වෙන්නෙ කෙටි කාලයකට. ජංගම දුරකථනයට ඇතිවන ඇබ්බැහිය ඊට වඩා භයානකයි. සමහර අය දවසෙ වැඩි කාලයක් ඉන්නෙ ජංගම දුරකථනයත් එක්ක. කෑම කන මොහොතේදී දුරකථනය ක‍්‍රියාත්මක කරනවා. මහා ?, පාන්දර දෙක තුන වෙනකම් නිදිවරාගෙන ජංගම දුරකථනයත් එක්ක ඉන්නවා. ඒක මානසික ආබාධයක්. ඒ තත්ත්වයේදී අවට ලෝකය ගැන ඇති සංවේදනය නැති වෙලා යනවා. දෙමවුපියන් පිළිබඳ තියෙන හැඟීම් නැති වෙලා යනවා. ආචාර ධර්ම සියල්ල අමතක වී දුරකථනයේ තිබෙන දේ පමණක් මොළයට යනවා. ඒකාකාරී හැසිරීම තුළින් මානසික ආතතිය ඇති වෙනවා. ඕනෑම කෙනෙකුට එකම ඉරියවුවකින් සිටින විට ආතතිය වැඩි වෙනවා. ඇබ්බැහි වී සිටින ළමයකුගෙන් හිටි හැටියේ දුරකථනය ගත්තොත්, දුරකථනය නැති වුණොත් කෝපයත් සමඟ කලකිරීමක් ඇති වෙනවා. කලකිරීම පිට වෙන්නෙ විශාදය කියන තත්ත්වයෙන්. තමන්ට තමා පිළිබඳ වෛරයක් ඇති වී අවසානයේ දිවි නසා ගන්නා තැනට පත් වෙනවා…’’

විඩියෝ ගේම් ගහන්න දරුවන් පොළඹවන අලුත්ම ගේම් එක

‘‘ළමයින්ගේ ඇසුරට ජංගම දුරකථන, පරිගණක පැමිණීමට පෙර ළමා ලෝකය තුළ ක‍්‍රීඩාව තිබුණා. ළමයින් අතර සබඳතා තිබුණා. තාක්‍ෂණයට යොමුවීමත් සමඟ ළමා මනස වේගයෙන් වෙනස් වෙන්න ගත්තා. කොරෝනා ව්‍යාප්ත වෙමින් ළමයි නිවසට කොටුවී, ඔන්ලයින් ඉගැන්වීම සමඟ ජංගම දුරකථනය, පරිගණකය හා තිබෙන ගනුදෙනුව තවත් වැඩි වුණා. ඔන්ලයින් අධ්‍යාපනය ආරම්භ කරනකොට එහි ආදීනව ගැන දෙමවුපියන්ව දැනුවත් කරන්න රජය කටයුතු කළ යුතුව තිබුණා. ඒ කටයුත්ත නිසියාකාරව ඉටුනොවීම තුළ අද අපේ සමාජය බරපතල ඛේදවාචකයකට මුහුණදෙමින් සිටිනවා. ළමයි විතරක් නෙමෙයි නිවෙස්වලට සිර වී සිටින දෙමවුපියොත් වැඩි දෙනෙක් කාලය ගත කරන්නේ ජංගම දුරකථනය එක්ක. ඒ තුළ ළමයින්ට දැනමුතුකමක් ලබාදෙන්න දෙමවුපියන්ට නොහැකි වී තිබෙනවා. ඒ වගේම රට තුළ අධ්‍යාපන පසුබෑමක් ඇති වෙලා තියෙනවා. අධ්‍යාපන පසුබෑම යනු ඒකාකාරී විදිහට ඇස, කන සහ ඉඳුරන් එකම දේකට ඉලක්කගත වී තිබීමයි. අඟල් හයක් පමණ කුඩා ස්ක‍්‍රීන් එකකට ඇස, කන කොටු වෙලා. පටු පරාසයකට දෘෂ්ටි පථය යොමුවීම තුළ අනාගතයේදී බොහෝ දරුවන්ගේ ඇස් නොපෙනී යෑම් විවිධ අක්‍ෂි ගැටලූ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පුංචි තිරයක වැඩි චලනයක් දැකීම නිසා මොළයට වෙන බලපෑම වැඩි බව පරීක්‍ෂණවලින් තහවුරු වී තිබෙනවා. සෑම දෙයක්ම තාක්‍ෂණය ඔස්සේ සිතීමට යෑම තුළ ළමයින්ගේ නිර්මාණශීලී බව මොට වෙනවා. විචාරශීලි චින්තනය නැති වී යනවා. නිර්මාණාත්මක ගැටලූ විසඳීම නැති වී යනවා. නවෝත්පාදන ශක්තීන් හීන වී යනවා. ළමයි තාක්‍ෂණයේ වහලූන් බවට පත් වෙනවා…’’

‘‘ලෝකයේ තාක්‍ෂණය හොඳයි. ඒත් අපේ වගේ රටවල් තාක්‍ෂණයේ වහලූන් බවට පත්වෙනවා. ඒ තුළ තමා, තමන්ගෙන් ඈත් වෙනවා. ළමයි, ළමයින්ගෙන් ඈත් වෙනවා. වැඩිහිටියො, වැඩිහිටියන්ගෙන් ඈත් වෙනවා. තමන්ට අනුන්ගේ හැඟීම් හඳුනාගැනීමට නොහැකි වෙනවා. තමාට, සමාජය හඳුනාගැනීමට නොහැකි වෙනවා. නිර්මාණශීලිත්වය, චින්තනය, පෞර්ෂය, නායකත්වය, වගකීම් දැරීම් ආදීය නැති වෙලා යනවා. ඒ තමයි දුරකථන ඇබ්බැහිය තුළ ඇති වන අති භයානක තත්ත්වය. අපේ අනාගත සම්පත දැයේ දරුවන්. රටේ භාරකරුවන් දරුවන්. ඒ දරුවන් තාක්‍ෂණයේ් වහලූන් බවට පත්වීම තුළ රටේ අනාගත ඉරණම දැඩි අවදානමකට ලක් වී තිබෙනවා…’’

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරාගේ මුවින් ඒ වචන ගිලිහෙන විට මගේ හදවත බියෙන් ඇළලී ගියේය. අනාගතයේ අඳුරු සෙවනැලි මනසේ ඇඳිණි. පෙළගැසෙන කතාවෙන් හැෙඟන යථාර්ථය නම් අනාගතයේදී රටට උගත්, බුද්ධිමතුන් බිහිවීමේ අඩුවක් පමණක් නොව ඇස් නොපෙනෙන, දෙසවන් බිහිරි, මොළේ විකාර වූ ස්නායු රෝගීන්ගේ ද ශීඝ‍්‍ර වර්ධනයක් ඇති වන බවය. එහෙයින් අප බිය විය යුත්තේ පැතිර යන කොරෝනා වසංගතයට නොවේ. අනාගතයේදී බිහිවීමට නියමිත අඳුරු යුගය ගැනය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment