විත්තිකරු රට පනී ඇපකරුවෝ දඩ කති

121

හෙරොයින් ජාවාරමෙන් හා උපායගත් ආකාරය අනාවරණය කළ නොහැකි ආකාරයෙන් උපයා ගත් රුපියල් ලක්ෂ සියයකට අධික වටිනා මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් පවරා තිබූ නඩුවක විත්තිකරු අධිකරණය මගහැර රටින් පලා යෑම නිසා ඔහුගේ ඇපකරුවන් තිදෙනාට රුපියල් ලක්‍ෂ 90ක දඩයක් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

රජිත අසන්ත නමැති විත්තිකරු වෙනුවෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී තිබූ තුෂාර ඉන්ද්‍රජිත්, අමිල ප්‍රසන්න ප්‍රනාන්දු හා ඒ. එම්. යූෂුප් මොහොමඩ් ඉක්රම් යන ඇපකරුවන් තිදෙනාට එලෙස දඩ නියම කළ අතර දඩ නොගෙවන්නේ නම් මාස තුන බැගින් ලිහිල් සිර දඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

එම ඇපකරුවන් තිදෙනා පෙර කී විත්තිකරු වෙනුවෙන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රුපියල් ලක්‍ෂ 100 බැගින් වූ ඇප බැඳුම්කරවලට අත්සන් තබා තිබිණි. යම් සැකකරුවකු හෝ විත්තිකරුවකු වෙනුවෙන් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස ඉදිරිපත් වන පුද්ගලයන් අධිකරණය නියම කරන සෑම නඩු දිනයකදීම එම විත්තිකරු හෝ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීමට බැඳෙන බවත් එසේ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම් ඇප බැඳුම්කරයේ වටිනාකම සම්පූර්ණයෙන්ම ඇපකරුවන්ගෙන් අයකර ගැනීමට අධිකරණයට හැකියාවක් ඇති බවත් පෙන්වා දුන් විනිසුරුවරයා එම නියෝග කළේය. නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය. එලෙස අධිකරණය මගහැර රටින් පලාගොස් සිටින පෙර කී විත්තිකරුට පමණක් නොව ඔහුගේ බිරිඳට ද එවන් චෝදනා යටතේ වෙනත් මහාධිකරණ හමුවේ තවත් නඩු කටයුතු තුනක් පවතින බව ද එහිදී අනාවරණය විය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment