විද්‍යාත්මක සමාජවාදයේ ප්‍රථම සටන් මඟ කොමියුනිස්ට් ප්‍රකාශනයට වසර 175යි

214

1848 වර්ෂයේ දී ලියා ප්‍රකාශයට පත් කළ කොමියුනිස්ට් ප්‍රකාශනයට 2023 වර්ෂයට වසර 175ක් සම්පූර්ණ වේ. මේ ලිපිය පළවන්නේ ඒ නිමිත්තෙනි. කොමියුනිස්ට් ප්‍රකාශනය ලිවීම කාල් මාක්ස් – ප්‍රෙඩ්රික් එංගල්ස් සමග ආරම්භ කළේ 1847 දෙසැම්බර් මාසයේ දී ය. 1848 ජනවාරි අවසානයේ දී ලියා නිමකරන ලද එම කෘතියේ අරමුණ වූයේ ඒ වනවිට යුරෝපයේ වර්ධනය වෙමින් පැවැති කොමියුනිස්ට් ව්‍යාපාරයේ සාමාජිකයන් අනාගතයේ දී ඇතිවන දේශපාලන සටන්වලට න්‍යායික හා දේශපාලන වශයෙන් සූදානම් කිරීම ඉතා වැදගත් කාර්යභාරය ලෙස ඔවුන් සැලකූ බැවිනි. මෙම මහඟු කාර්යභාරය මාක්ස් හා එංගල්ස් වෙත පවරන ලද්දේ 1847 නොවැම්බර් මස පැවැති කොමියුනිස්ට්වරුන්ගේ සංගමයේ දෙවන සමුළුවේදී ය.

ජයග්‍රහණයක්

විද්‍යාත්මක සමාජවාදයේ ප්‍රථම සටන් මඟ කොමියුනිස්ට් ප්‍රකාශනයට වසර 175යි

මෙය මාක්ස් සහ එංගල්ස්ගේ න්‍යායික හා දේශපාලනික වශයෙන් ලැබූ අති විශාල ජයග්‍රහණයක් විය. මෙහි වැදගත්කම සම්පූර්ණ වශයෙන් අගය කළ හැක්කේ ඉන් ඉක්බිතිව ලෝකයේ ඇති වර්ධනයන් සමග සසඳා බැලීමේදීය. ‘කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රකාශනය’ විද්‍යාත්මක කොමියුනිස්ට්වාදයේ ප්‍රථම සටන් මඟ පෙන්වන ලියවිල්ලකි. මාක්ස් සහ එංගල්ස් විසින් ලියන ලද මෙය ශ්‍රේෂ්ඨතම කෘතියක් වන අතර ඔවුන්ගේ දර්ශනයේ සංයුක්ත කොටස් තුන වූ දර්ශනවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව සහ විද්‍යාත්මක සමාජවාදය විස්තර කැරෙන සංක්‍ෂිප්ත පූර්ණ මූලධර්ම සහිත ක්‍රමික විස්තරයක් එමගින් ඔවුහු ඉදිරිපත් කළහ.

මෙම කෘතියේ න්‍යායික පොහොසත් බව ගැන වී. අයි. ලෙනින් මෙසේ ලියුවේ ය. “මෙම කෘතිය මගින් සුපැහැදිලි සහ දීප්ත්මත් බවෙකින් යුතුව ප්‍රඥාවන්ත ලෙස සමාජීය ජීවිතයට බලපාන ද්‍රව්‍යවාදය ගැනත් සංවර්ධනය පිළිබඳ අරුත් සරු ධර්මයක් සහ උපරිමය වශයෙන් සර්ව සම්පූර්ණ දයලෙක්තික විද්‍යාව ගැනත්, කොමියුනිස්ට්වාදී සමාජයේ නව නිර්මාණකයා වන නිර්ධන පන්තිය, පන්ති අරගලය අරභයා වූ න්‍යායික සහ සමස්ත ලෝක ඓතිහාසික ක්‍රියා කලාපය ගැනත් ජගත් දර්ශනය ක්‍රමානුකූල ලෙස චිත්‍රයට නඟා ඇත.” ඓතිහාසික භෞතිකවාදයේ න්‍යායික පූර්ව තත්ත්වයන් උපයෝගී කරගත් මෙම කෘතියේ කතුවරු එම ප්‍රතිවිරුද්ධතා සහිත සමාජයේ තත්ත්ව යටතේ සංවර්ධනයේ ගාමක බලවේගය ලෙස ක්‍රියාකරන්නේ පන්ති අරගලය බව න්‍යායික ලෙස සූත්‍රගත කළහ. මෙතෙක් පැවැති සියලු සමාජවල ඉතිහාසය පන්ති අරගලවල ඉතිහාසය විය.

මාක්ස්වාදයේ නිර්මාතෘවරයන් විසින් සොයා ගන්නා ලද සූරාකන සමාජයේ සංවර්ධනය හා විනාශය පිළිබඳ න්‍යායමය ධනවාදී සමාජයටත් බලපාන බව ඔවුහු ඔප්පු කළහ. එම සත්‍ය න්‍යායික ලෙස සනාථ කරනු වස් මෙම කෘතියේ ‘ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය’ නමැති ප්‍රථම පරිච්ඡේදය කැප කොට ඇත. මෙහි ධනවාදී සමාජය ඓතිහාසික ලෙස විශ්ලේෂණයට භාජන වේ. එහි පැන නැඟීම සහ සංවර්ධනය නිරීක්‍ෂණය කරමින්, එම සමාජයට ආවේණික අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතා හෙළිකොට, ඒවා විසින් නිරායාසයෙන්ම එය විනාශයට යවන සැටි හෙළි කරයි. රදළ සමාජය දිරාපත්වීමේ සහ විනාශවීමේ ඵලයක් ලෙස ධනපති සමාජය බිහිවිය.

කම්හල්වල නිෂ්පාදනය ඇති වෙමින් නිෂ්පාදන බලවේගයන් තවදරටත් අති විශාල ලෙස වර්ධනය වීම ගැනත් එම කෘතිය නිසි ඇගැයීමක් කරයි. එසේ වුවද සංවර්ධනයේ එක්තරා අවධියකදී ධනවාදය නිෂ්පාදන බලවේගයන්ගේ වර්ධනයට බාධාවක් බවට පත් වේ. දසලක්‍ෂ සංඛ්‍යාත කම්කරුවන් කම්හල්වලට ඒකරාශී කරන ධනපති ක්‍රමය නිෂ්පාදන ක්‍රියාදාමයට පොදු සමාජීය ස්වරූපයක් ලබා දේ. එහෙත් නිෂ්පාදනයේ මේ සමාජීය ස්වරූපය විසින් නිෂ්පාදන මාධ්‍යයන්ගේ අයිතිය සමාජය සතු කිරීමක් ඉල්ලා සිටී. එසේ වුවද එය තවදුරටත් පෞද්ගලික ධනපති අයිතිය ලෙස පවතී. නිෂ්පාදන මාධ්‍යයන්ගේ මෙම පෞද්ගලික අයිතිය නිෂ්පාදන බලවේගයන්ගේ ඉදිරි වර්ධනය යදම්වලින් බැඳ තබයි. විනාශයෙන් නිෂ්පාදන බලවේග බේරා ගැනීම ද මිනිස් ශිෂ්ටාචාරය විසින් ලබන ලද මහඟු ඵල ආරක්‍ෂා කර ගැනීම ද, යහපත් අනාගතයක් සඳහා මිනිස් සංගහතියට මඟ හෙළිකිරීම ද කළ හැක්කේ නිර්ධන පන්ති විප්ලවයට පමණකි.

මෙම කෘතියේ දෙවැනි පරිච්ඡේදය ‘නිර්ධනයෝ සහ කොමියුනිස්ට්වාදියෝ’ නිර්ධන පන්තිය දේශපාලන පක්‍ෂයක් සංවිධානය කිරීමේ අත්‍යවශ්‍යතාව සනාථ කිරීමට ද, එහි ක්‍රියාකලාපය, අරමුණු හා කාර්යයභාරයන් විස්තර කිරීමට ද කැප වී ඇත. නිර්ධන පන්තිය දේශපාලන පක්‍ෂයක් පිළිබඳ උගැන්වීමේ පදනම මෙහිදී මාක්ස් සහ එංගල්ස් ඉදිරිපත් කරති.

මූලධර්මය

කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික මූලධර්ම සහ ඔවුන්ගේ සැබෑ අරමුණු හෙළිකරන මාක්ස්වාදයේ නිර්මාතෘවරයෝ, කොමියුනිස්ට්වරුනට විරුද්ධව කරන සටනේදී කොමියුනිස්ට්වාදයේ හතුරන් බහුජනතාව රවටනු පිණිස ඇදබාන බොරු සහ ද්වේෂ සහගත ප්‍රචාර කටයුතු හා තියුණු උපහාසයෙන් හෙළිදරව් කරති. නගරයේ සහ ගමේ සුළු ධනපතින් බියගන්වනු පිණිසත්, ඔවුන් නිර්ධනීන්ට විරුද්ධව උසි ගන්වනු පිණිසත්, ධනපතීන් සතු දේපොළ පමණක් නොව, නාගරික සුළු ධනපතීන්ගේ සහ ගම්වල ගොවීන්ගේ පෞද්ගලික දේපළ ද විනාශ කරතියි කියති. මෙවැනි බොරු ප්‍රචාර නිෂ්ප්‍රභ කරන මාක්ස් සහ එංගල්ස් කුඩා දේපොළ අයිතිය විනාශ කර දමන්නේ කොමියුනිස්ට්වාදීන් නොව ධනපති ක්‍රමයත් මහ පරිමාණ කර්මාන්ත බව ඔප්පු කරති. ධනපති සමාජය තුළ බලපාන මූලධර්මය ශ්‍රමය වැය කරන්නා කිසිවක් ලබා නොගනී. හැම දෙයක් ම ලබා ගන්නා ශ්‍රමය වැය නොකරයි.” ශ්‍රමය වැඩ කරන ජනතාවගේ පොහොසත් කිරීමේ සහ ජීවිතය සැහැල්ලු කිරීමේ මාධ්‍යයක් බවට පත්වන්නේ කොමියුනිස්ට්වාදී සමාජයක් තුළ පමණකි.

කොමියුනිස්ට්වාදීන් පෞද්ගලික නිදහස ඇතුළු සකල විධි නිදහස විනාශ කරන බව කියමින් ඔවුන් පිට ද්වේෂ සහගත ලෙස වරද පටවති. මෙය ප්‍රතික්‍ෂේප කරන මාක්ස් සහ එංගල්ස් ඇත්ත වශයෙන් ම ධනපති ක්‍රමය තුළ පවතින පෞද්ගලික නිදහස කුමක් දැයි විස්තර කළහ. ධනපති සමාජය තුළ ප්‍රාග්ධනය, නිදහස සහ පෞද්ගලිකත්වය ලබා ගන්නා අතර ශ්‍රමය වැය කරන්නන්ගේ පෞද්ගලිකත්වය අහෝසි ද වෙයි.

මෙම සබඳතාව විනාශ කිරීම ධනපති පන්තිය හඳුන්වන්නේ පෞද්ගලිකත්වය සහ නිදහස සරල කිරීමක් ලෙසිනි. එය සත්‍යයකි. ඇත්ත වශයෙන් ම මෙහිදී ධනවාදී ස්වධීනත්වය සහ ධනවාදී නිදහස අහෝසි වීමකි. පෞද්ගලිකත්වයේ සැබෑ නිදහස සහතික කළ හැක්කේ ද ධනවාදී ස්වාධීනත්වය සහ ධනවාදී නිදහස සහතික කළ හැක්කේ ද ධනවාදී සූරාකෑම සහ සකලවිධි පෑගීම් අහෝසි කැරැලීමෙනි. කම්කරු පන්තික සහ කොමියුනිස්ට්වාදී ව්‍යාපාරයේ ඉතා වැදගත් මූලධර්මය වන නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය න්‍යායික ලෙස තහවුරු කිරීම ‘කොමියුනිස්ට් ප්‍රකාශනයෙහි අඩංගු වේ. නිර්ධන පන්තියේ ජයග්‍රහණයන් සමග සකලවිධ ජාතික භේද භින්න වීම්වලට සහ එක් ජාතියක් වහල් භාවය ඇද දැමීම සම්පූර්ණයෙන්ම අතුරුදන්වන බව මාක්ස්වාදයේ නිර්මාතෘවරයා කල්තබා දුටහ. යුද්ධ විසින් ගෙනෙනු ලබන දහසක් විපත් හා දුක් කරදරවලින් මිනිස් සංහතිය මුදා ගත හැක්කේ නිර්ධන පන්තියට පමණකි. පුද්ගලයකු විසින් තවත් පුද්ගලයකු සූරාකෑම ද අහෝසි කරනු ඇත. ජාතියක් තුළ ඇති පන්ති ප්‍රතිවිරෝධතා අහෝසිවීමත් සමග ම ජාතීන් අතර ඇති සතුරු ආකල්ප ද අහෝසි වනු ඇත.

විද්‍යාත්මක සමාජවාදයේ ප්‍රථම සටන් මඟ කොමියුනිස්ට් ප්‍රකාශනයට වසර 175යි

නිර්දන පන්තික නොව සමාජවාදී මතවාදයන්

නිර්ධන පන්තිය සිය දේශපාලන ආධිපත්‍යය පාවිච්චි කරමින් පියවරෙන් පියවර මුළු මහත් ප්‍රාග්ධනය ම ධනපති පන්තියෙන් උදුරා ගැනීමටත්, රාජ්‍යය ම හිමි පන්තිය ලෙස සංවිධානය වූ නිර්ධන පන්තිය නමැති රාජ්‍යයේ හස්තයෙහි නිෂ්පාදන උපකරණ සියල්ල කේන්ද්‍රගත කිරීමටත්, නිෂ්පාදන බලවේගයන් ගේ සමස්තය හැකි තරම් ඉක්මනින් වැඩි කිරීමටත් ක්‍රියා කරනු ඇත.

එම කෘතියේ තෙවැනි පරිච්ඡේදයෙන් සමාජවාදයේ ධජය යටතේ එවකට පැවැති විවිධ නිර්ධන පන්තික නොවන ඉගැන්වීම් විවේචනයට හසු කොට ඇත. මෙම ඉගැන්වීම්වල තිබෙන සාවiභාවය සහ සතුරුබව ඔප්පු කරන මාක්ස් හා එංගල්ස් එහි පන්තිමය මුල් හෙළි කරති. කොමියුනිස්ට් ප්‍රකාශනයේ හතරවැනි පරිච්ඡේදය මගින් විවිධ රටවල විරුද්ධ පක්‍ෂ අරභයා කොමියුනිස්ට්වාදීන්ගේ ස්ථාවරය නමැති සිරස්තලය යටතේ කොමියුනිස්ට්වරුන්ගේ පොදු න්‍යායික පදනම් සහ උපක්‍රම සටහන් කොට ඇත.

1882 කොමියුනිස්ට් ප්‍රකාශනයේ 2 වන රුසියන් මුද්‍රණයට ලියූ පෙරවදනෙන් මාක්ස් සහ එංගල්ස් මෙසේ සඳහන් කළේය. රුසියාව 1848 – 1849 විප්ලවීය සමයේ දී යුරෝපයේ රාජ කුමාරයින්ට පමණක් නොව, යුරෝපයේ ධනපති පන්තියට ද එවකට අවදිවීමට පටන් ගෙන සිටි නිර්ධන පන්තියේ ගැලවීමේ එකම මාර්ගය සැලසී තිබුණේ රුසියානු මැදිහත්වීමෙන් පමණකි. යුරෝපීය ප්‍රතිගාමීත්වයේ නායකයා ලෙස සාර් රජු ප්‍රකාශයට පත් කරන ලදි. අද සාර් රජු විප්ලවයෙහි යුද සිරකරුවකු බවට පත් වී සිටී. රුසියාව යුරෝපිය විප්ලවයෙහි පුරෝගාමී බළඇණිය බවට පත්වී සිටී.

නූතන ධනවාදී දේපොළෙහි අයිතියෙහි නොවැළැක්විය හැකි සහ ළංවෙමින් පවතින විනාශය ප්‍රකාශයට පත් කිරීම කොමියුනිස්ට් ප්‍රකාශනයෙහි අරමුණ විය. එහෙත් රුසියාවේ ශීග්‍රයෙන් වර්ධනය වන ධනේශ්වර කොල්ලයටත්, දියුණුවීමට පටන් ගෙන තිබෙන ධනවාදී ඉඩම් දේපොළ අයිතියටත් මුහුණට මුහුණ ලා ඉඩම්වලින් හරි අඩකටත් වැඩිය ගොවීන්ගේ පොදු අයිතියට යටත් වී ඇති සැටි අපි දකිමු.

අද මේ ප්‍රශ්නයට දිය හැකි එකම පිළිතුර මෙසේය. එකකින් අනික සම්පූර්ණ වන සේ රුසියන් විප්ලවය බටහිර නිර්ධන පන්ති විප්ලවයට පූර්ව නිමිත්ත වන්නේ නම්, ඉඩම් පිළිබඳ සමකාලීන රුසියානු පොදු අයිතිය කොමියුනිස්ට්වාදී වර්ධනයක ආරම්භක මොහොත වනු ඇත.

ප්‍රකාශනයෙහි සටහන් මූලධර්මවල අවසාන ජයග්‍රහණය අරභයා මාක්ස් කම්කරු පන්තියේ බුද්ධිමය සංවර්ධනය කෙරෙහි විශ්වාසය තැබීය. එක්සත් ක්‍රියාකාරීත්වයේ සහ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම සංවර්ධනය අනිවාර්ය ඵලයක් විය යුතුය. ධනපති ක්‍රමයට විරුද්ධව කරන අරගලයේ ජය මෙන්ම පරාජයන් සහිත පෙරළි ද ඇතුළත් ය.

එදා යුරෝපා මහාද්වීපය තුළ පවතින සමාජවාදී අදහස් මනෝරාජිත දෙයක් වූ අතර කොමියුනිස්ට් වාදය ඊට හාත්පසින් ම වෙනස් විය. කම්කරු පන්තියේ විමුක්තිය ළඟා කරලිය හැක්කේ කම්කරු පන්තියට ම යන මතය මාක්ස් හා එංගල්ස් විසින් මුල සිට දැරූ නිසා, ධනපති හා සුළු ධනේෂ්වර සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය යන නම් දෙකෙන් තෝරාගත යුත්තේ කුමක් ද යන්න ගැන මාක්ස් සහ එංගල්ස්ට සැකයක් නොවීය. එපමණක් නොව, එතැන් සිට එම නාමය ප්‍රතික්‍ෂේප කිරීමේ අදහසක් ද ඔවුන් තුළ නොවීය.

සකල දේශවාසී නිර්ධනයිනි, එක්වව්! යන ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඉදිරියට ආ 1871 පැරිස් කොමියුනය ප්‍රථම නිර්ධන පන්ති විප්ලවය, 1889 ඇමරිකානු කම්කරුවන්ගේ පැය අටේ වැඩ දිනයක් ඉල්ලා එකම ධජනයටක් යටතේ ඒකරාශී වීම.

1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවය, 1945 වියට්නාම් අගෝස්තු විප්ලවය, 1949 චීන මහජන විප්ලවය හා 1959 කියුබානු විප්ලවය වැනි සමාජ විප්ලවවලින් සනිටුහන් වන්නේ කොමියුනිස්ට් ප්‍රකාශනය මගින් මාක්ස් හා එංගල්ස් සඳහන් කළ අනාගත සමාජ සංවර්ධනය පිළිබඳ විග්‍රහයන් ය.

එස්. සුදසිංහ,
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්,
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය

advertistmentadvertistment
advertistmentadvertistment