විද්‍යාව පිළිබඳ අවිද්‍යාත්මක ප්‍රවේශය

709

(රටට කෙළවුණේ ඇයි?)

මේ වසරේ ජාතික විද්‍යා දිනය නිමිත්තෙන් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන දේශන මාලාව අද උදේ 11.00 ට සිට සවස 3.00 දක්වා WEBINAR තාක්‍ෂණය මගින් පවත්වනු ලැබේ. ඉහත සඳහන් තාක්‍ෂණය වූ කලී ශ්‍රව්‍ය දෘෂ්‍ය සහ මල්ටි මීඩියා පහසුකම් යටතේ සජීවීව සන්නිවේදන කටයුතු කිරීම සඳහා යොදා ගන්නා ඉහළ ක්‍රමවේදයකි. මේ දේශන මාලාවේදී නැනෝ චන්ද්‍රිකා තාක්‍ෂණය ගැන කතා කරනු ලැබේ. එසේම අභ්‍යවකාශ කාලගුණය සහ එමගින් පෘථිවියට වන බලපෑම ගැනද කතා කරනු ලැබේ. මෙවර ජාතික විද්‍යා දිනයේ තේමාව වන්නේ ‘තිරසර අනාගතයක් සඳහා විද්‍යාව’, දේශීයත්වය කැටිකරගත් ගෝලීය ප්‍රවනතා යන්නය. බැලූ බැල්මට මේ මාතෘකාව සාමාන්‍ය ජනයාට නොතේරේ. 1887 – 1920 වකවානුව තුළ ඉන්දියාවේ ජීවත්වූ විශිෂ්ටතම ගණිතඥයකු වූ සිරිනිවාස් රාමඤ්ජන්ගේ සමීකරණයක් තරමටම මේ මාතෘකාවද තේරුම් ගැනීම දුෂ්කරය. ඒත් විශිෂ්ට උගතුන්ට සහ විශිෂ්ට විද්‍යාඥයන්ට මෙවැනි මාතෘකා සැනෙකින් වැටහේ. එමතුද නොව මේ සම්බන්ධයෙන් පර්යේෂණ පත්‍රිකා සකස් කිරීමට ද එවැනි අයට පුළුවන. ශ්‍රී ලංකාවේ ඇති ප්‍රමුඛ ප්‍රශ්නයක් ගැන මෙහිදී කතා කරමු. එනම් කතා කරන මාතෘකා බර වුණාට කරන ඉතාම සරල වැඩේ පවා ගෙවත්තෙන් එහාට ගෙනයෑමට අපේ කට්ටියට තිබෙන නොහැකියාවය.

විද්‍යාව යනු රටක දියුණුව සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. අපි නිතර නැනෝ තාක්‍ෂණය ගැන කතා කරමු. හැබැයි ඊට මෙහායින් ඇති සරල තාක්‍ෂණයෙන් වැඩකිරීම අමතක කරමු. ජාතික විද්‍යා දිනයක් පැවැත්වීමට සහ එහිදී උසස් තාක්‍ෂණය යොදාගෙන දේශන පැවැත්වීම ගැන අප තුළ කිසිදු නොමනාපයක් හෝ ඉරිසියාවක් නැත. ශ්‍රී ලංකාව සතු හොඳම විද්‍යා පුවත්පත වන ‘විදුසර’ මීට අවුරුදු තිස් පහකට පමණ පෙර ආරම්භ කරන ලද්දේ ද උපාලි පුවත්පත් සමාගම විසිනි. එම පුවත්පතට ලියූ ලේඛකයන්ගෙන් 95% ක් පමණ අද වනවිට විද්‍යාඥයන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයෝ බවට පත්ව සිටිති. ඒ ගැන අප තුළ මහත් ආඩම්බරයක් තිබේ. එහෙත් විද්‍යාව සම්බන්ධයෙන් මේ රටේ තිබුණු ජාතික ප්‍රතිපත්තිය ගැන අප තුළ කිසිදු පැහැදීමක් නැත. විද්‍යාව සම්බන්ධයෙන් මේ රටේ ඇත්තේ අවිද්‍යාත්මක ප්‍රවේශයකි. එම ප්‍රවේශය පිළිබඳ කතාව මෙසේය.

‘මීට වසර තුන හතරකට පෙර ශ්‍රී ලංකාවේ එක්තරා පළාතක නිතරම දුම්රිය අනතුරු සිදුවන්නට පටන් ගත්තේය. එයට හේතු වූයේ දුම්රිය පාර හරහා යන මහා මාර්ගයේ රේල් ගේට්ටුවක් නොතිබීමය. ප්‍රයිවට් බස් කාරයෝද, ත්‍රිරෝද රථ රියැදුරෝද තම වාහනවල සෙනඟ පුරවාගෙන දුම්රිය පාර දෙපැත්ත නොබලා රේල් පාරෙන් එතෙර වීමට ගිය අතර එසැණින්ම පැමිණි දුම්රිය එම වාහනවල වැදීම හේතුවෙන් කට්ටියක් පරලොවටත්, තවත් කට්ටියක් ඉස්පිරිතාලයටත් ගියහ. මේ ශෝකජනක තත්ත්වය දිගටම අධ්‍යයනය කළ එක්තරා මහත්තයෙක් දුම්රිය එන විට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ඉතා සරල ගේට්ටුවක් නිර්මාණය කළේය. මෙය දුම්රිය සංඥා පද්ධතියෙන් බැහැරව දුම්රිය පීලි මත හටගන්නා කම්පනයට සංවේදීව ස්වාධීනව වැඩකරන දුම්රිය ගේට්ටුවකි. එනම් රේල් ගේට්ටු නැති ඕනෑම තැනක මෙය ගෙනවිත් සවිකළ හැකි විය. මේ නව නිර්මාණය පිළිබඳව පුවත්පත් සහ රූපවාහිනිය මගින් විශාල ප්‍රචාරයක් දෙන ලදි.

විවිධ දේශපාලනඥයෝද විවිධ විද්‍යාඥයෝ ද මෙය නරඹා වහා ක්‍රියාත්මක කළ යුතු බව කියා අතුරුදන් වූහ. වැඩේ ගැන කියනවා මිසක එය ඉදිරියට යන බවක් නොපෙනෙනු බැවින් එම දුම්රිය ගේට්ටුව සැදූ නව නිපැයුම්කරුවා එම ගේට්ටුව විවිධ තැන්වලට ගෙන ගොස් ප්‍රදර්ශනය කර අන්තිමේදී උපවාසයක් පටන් ගත්තේය. ශ්‍රී ලංකාවේ උපවාසයක් නිමවන පිළිගත් ක්‍රමවේදයක් තිබේ. එනම් දවසක් හෝ දෙකක් උපවාස කරන උපවාසකරු කෑම බීම නැතිව සිහිසුන්ව ඇදවැටේ. එවිට පොලිසියෙන් පැමිණ ඔහු රැගෙන ගොස් රෝහලට ඇතුළු කරයි. උපවාසය එතැනින් අවසන් වන අතර උපවාසකරුගේ අරමුණ කවදාවත් ඉටුවන්නේ නැත. ඉහත සඳහන් ක්‍රමවේදය නිසා ලංකාවේ පවත්වන මාරාන්තික උපවාසවලින් එක මිනිසකුවත් මියගොස් නැත. එසේ මියගියා නම් මියගියේ එල්ටීටීඊ ත්‍රස්තවාදියකු වූ තිලීපන් පමණි. ඔහු පිළිකා රෝගියෙකි. ඒ අතර ඔහු මියයෑමට ආසන්න බව දැනගත් ප්‍රභාකරන් වෙනම රාජ්‍යයක් ඉල්ලා මියයන තුරු උපවාසයක් කරන ලෙසත් ඔහු මියගිය පසු ගෙදර අයට දිගින් දිගටම දීමනාවක් ලබාදෙන බවත් කීවේය. මේ අනුව කොහොමටත් මැරෙන්නට සිටි තිලීපන් මාරාන්තික උපවාසයකට ගොස් නොකා නොබී සිට මළේය. මෙය අතුරු කතාවකි.

ස්වයංක්‍රීය රේල් ගේට්ටුව තැනූ පුද්ගලයා පිළිබඳ එකල පැවැති රජය මගින් දක්වන ලද අවිද්‍යාත්මක ප්‍රවේශය නිසා අදටත් අඩුපාඩුවක් නැතිව දුම්රිය අනතුරු හටගනී. අපේ රටේ නව නිෂ්පාදනකරුවෝ බොහෝ සිටිති. නිෂ්පාදන සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා කොමිෂන් සභාවක් ද ඇත. හැබැයි නව නිෂ්පාදන කරන අය සම්බන්ධයෙන් කිසිකෙනෙක් Follow up හෙවත් පසුවිපරමක් කරන්නේ නැත. කිසියම් කෙනෙක් නව නිපැයුමක් කළ සැණින් රූපවාහිනිය හා පුවත්පත් එයට විශාල ප්‍රචාරයක් ලබාදෙයි. ඉන්පසු නව නිපැයුම හෝ නව නිපැයුම්කරුවා ආගිය අතක් නැතිවේ. මේ රට තුළ ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කළ කිහිපදෙනෙක් වූහ. එහෙත් එම ව්‍යාපෘතිවලට කිසිවකු විසින් සහයෝගය නොදෙන ලද බැවින් නව නිපැයුම්කරුවා යටගිය අවස්ථා බොහෝය. එසේම වාර්ෂිකව පැවැත්වෙන නව නිෂ්පාදනකරුවන්ගේ ප්‍රදර්ශනවලදී ඉදිරිපත් කෙරෙන නව නිපැයුම් ටීවී එකෙන් හෝ පත්තරවලින් එහාට ගමන් කරන්නේම නැත. සමහර විට එයට හේතුවක් තිබීමට පුළුවන. අප පුරුදු වී සිටින්නේ පිටරටින් ගෙන්වන දේවල් පරිහරණය කර පිටරටින් ගෙන්වන කෑම ජාති අනුභව කර පිටරටින්ම ගෙන්වන කොමඩ් එකේ ඉඳගෙන මළපහ කිරීමට ය. මේ නිසා මේ රටේ තනන දේවල් ගැන ජාතික මට්ටමේ උනන්දුවක් ජාතික ජනමනස තුළ නැත. ඕක තමයි අපට කෙළවෙන්නට හේතුව.

advertistmentadvertistment
advertistmentadvertistment