විදුදයෙන් සිරිලක හෙබවූ බෝසත් ගුණ මුදුන්පත් මහ පඬිරුවන

166

ශ්‍රී ලඞ්කාවේ සම්බුද්ධශාසනයේත් එහි පාරම්පර්ය ආරක්‍ෂකයා වූ සිංහල ජාතියේත් පුනරුදය පිණිස දක්‍ෂිණලඞ්කාවෙන් බෝධිසත්ත්‍වගුණෝපේත, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සාර්වභෞම, පණ්ඩිතශිරෝමණි, අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමඞ්ගලාභිධාන ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ ජනිත වීමත් යන මෙකී සිද්ධි දෙක ජාතියේ පුණ්‍ය මහිමය පිළිබඳ විමසීමක දී එකම පථයෙක්හි ලා සැලකීම කිසිසේත් අනුචිත නොවන බව අපගේ කල්පනාවයි. මේ ලිපියේ අරමුණ වනුයේ, එකී යුගපුරුෂයන් අතරින් දෙවනු ව සඳහන් කරන ලද කීර්තිශේෂභාවොපගමනයෙන් මෙම අප්‍රේල් මස 29 වන (අද) දිනට වර්‍ෂ 111ක් සම්පූර්ණ වන හික්කඩුවේ ශ්‍රී සුමඞ්ගලාභිධාන යතීන්‍ද්‍රයන් වහන්සේගේ සච්චරිතය පිළිබඳ ශක්තිප්‍රමාණයෙන් ඉතා කෙටි ප්‍රත්‍යවලෝකනයක් කිරීමයි.

ව්‍යවහාර වර්ෂප්‍රමාණයෙන් 1827ක් වූ ජනවාරි මස 20 වන දින දක්‍ෂිණලඞ්කාවේ ගාලු පුරවරයෙහි හික්කඩුව ග්‍රාමයෙහි ශාසනමාමක කුලපරම්පරාවක නිකුලස් අබේවීර ලියනාරච්චි ගුණවර්ධන යන නාමග්‍රහණයෙන් ජනිත වූ අප කථානායකයන් වහන්සේ පුරාකෘත පුණ්‍යයාගේ ශක්තිවිශේෂය කරණ කොටගෙන 1840 දී ඓතිහාසික තොටගමුවේ රත්පත් රාජමහාවිහාරයෙහි දී ‘හික්කඩුවේ සුමඞ්ගල’ යන නාමයෙන් සර්වමඞ්ගල්‍යයට කාරණවූ උතුම් ප්‍රව්‍රජ්‍යාභූමියට පත්වූහ.

ව්‍ය. ව. 1873 දෙසැම්බර් මස අග භාගයේ දී ‘විජ්ජා උප්පතතං සෙට්ඨා’ යන ශ්‍රී මුඛපාළිය ආදර්ශපාඨය වශයෙන් යොදා ගෙන ලෞකික-ලෝකෝත්තර ශාස්ත්‍රාගම සඞ්ඛ්‍යාත විද්‍යාවන්ගේ අභ්‍යුදය පිණිස හේතු වන ‘විද්‍යොදය’ නම් පිරිවෙණ කොළඹ මාලිගාකන්ද ප්‍රදේශයෙහි පිහිටුවීම ශ්‍රී ලාඞ්කේය සිංහල ජාතික හා බෞද්ධාගමික ඉතිහාසයේ විශිෂ්ට හැරවුම් ලක්‍ෂ්‍යයක් කොට සැලකීම අත්‍යන්තයෙන් ම යෝග්‍ය වේ. මේ පිරිවෙණ නොබෝ කලකින් ම ශ්‍රී ලඞ්කාවේ ප්‍රමුඛතම ප්‍රාචීන ශාස්ත්‍රාලය බවට පත් වූ අතර 1876 දී එහි ප්‍රථම ත්‍යාගප්‍රදානෝත්සවය ශ්‍රීමත් සර් හෙන්රි ග්‍රෙගරි ලඞ්කාණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්‍වයෙන් පැවැත්වීමෙන් පිරිවෙණේ එකී සම්භාවනීයත්‍වය මනාව ප්‍රකට වී ඇත.

ජාතික පුනරුදය උදෙසා ප්‍රතිබලසම්පන්න ගෘහස්ථ-ප්‍රව්‍රජිත ශිෂ්‍ය පිරිසක් බිහිකිරීම පිණිස විද්‍යාස්ථානයක් ආරම්භ කළ ශ්‍රී සුමඞ්ගල ස්වාමීන්‍ද්‍රයන් වහන්සේ තදනන්තරව ධර්මශාසත්‍රෝන්නතිය පිණිස ග්‍රන්‍ථසංශෝධනයෙහි මෙන් ම ග්‍රන්‍ථකරණයෙහි ද ව්‍යාපෘත වූ ආකාරය කාව්‍යශෙඛර සන්නය, සිදත් සඟරා සන්නය, කච්චායනවණ්ණනා, ලඝුසිද්ධාන්තකෞමුදී ව්‍යාඛ්‍යාව, පාලි මහාවංස සන්නය යනාදි සංස්කරණ සහ ව්‍යාඛ්‍යාවන්ගෙන් ද බෞද්ධවාක්සාරය, ලබ්ධිතුලාව, සන්‍ධි ග්‍රන්‍ථය, සිංහල ව්‍යාකරණ සහිත වර්‍ණරීතිය, මාසර්‍තුලක්‍ෂණය යන අභිනව රචනාවන්ගෙන් ද පැහැදිලි වේ. අප නාහිමියන් විසින් බාලාවතාර නම් පාලි ව්‍යාකරණයට කරන ලද ව්‍ය. ව. 1892 දී ප්‍රකාශිත සුබොධිකා ටීකාව එතුමන්ගේ බුද්ධිප්‍රාගල්භ්‍යය දේශදේශාන්තරයෙහි ව්‍යාප්ත කරවීමට තරම් හේතු වූ මහාර්ඝ ප්‍රකරණයක් වූ බව අවශ්‍යයෙන් ම සඳහන් කළයුතු ය.

අධ්‍යයන-අධ්‍යාපන-උද්ග්‍රහණ-ධාරණ යන චතුර්විධ පාණ්ඩිත්‍යයේ ප්‍රතිමූර්තියක් බඳු හික්කඩුවේ ශ්‍රී සුමඞ්ගල නාහිමියන්ගේ උදාර නෙතෘත්‍වය ජාතික හා ආගමික පුනරුදය සඳහා වූ සද්ව්‍යාපාරයට ලැබෙමින් පැවති සමයයෙහි පිළිවෙළින් ව්‍ය. ව. 1880 දී ගාලු පළාතේ ප්‍රධාන නායක පදවියත් 1890 දී කොළඹ නව කෝරළයේ ප්‍රධාන නායක පදවියත් අප නාහිමියන් වෙතට ම පත්වීමෙන් බහුනායකතාව හා අයෝග්‍යනායකතාව නොපැවති එවන් කාලයක ඒ උසස් නායක පදවි වඩාත් උත්තරීතරභාවයට පත්වූ බව අවශ්‍යයෙන් ම සඳහන් කළයුතු ය. එපමණක් නොව පසු කාලයෙහි දී මහනුවර පුෂ්පාරාම මහාවිහාරය විසින් එතුමන්ට ‘ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය’ නාමය සහිත ව ‘උපාධ්‍යාය’ පදවියක් සම්මත කිරීමෙන් පවා පෙනී යන්නේ හික්කඩුවේ නාහිමියන්ගේ අසහාය පාණ්ඩිත්‍යය හා සඞ්ඝනේතෘත්‍වය තත්කාලීන සඞ්ඝසමාජයෙහි අත්‍යන්ත ගෞරවබහුමානයට පාත්‍රව පැවති බව ය.

ශ්‍රී ලඞ්කාවේ ප්‍රෞඪ ඉතිහාසයේ උරුමය අනාගත පරම්පරාව උදෙසා ආරක්‍ෂා කිරීම යුගයේ අවශ්‍යතාවක් ව පැවති එසමයයෙහි ජාතික හා ආගමික පුනරුදය සඳහා වූ සද්ව්‍යාපාරයට ස්වකීය ඍජු දායකත්‍වය සැපයූ හික්කඩුවේ ශ්‍රී සුමඞ්ගල ස්වාමීන්‍ද්‍රයන් විසින් පරවාදඛණ්ඩනය කොට ස්වවාදමණ්ඩනය පිණිස වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්‍ද හිමියන්ට දැක්වූ සහායතාව සදානුස්මරණීය වේ. බද්දේගම, ගම්පොළ, ඔරුගොඩවත්ත, උදම්මිට හා පානදුර යන ස්ථානයන්හි දී පවත්වන ලද ප්‍රකට වාදයන්ගේ කිහිපයක ම ජයග්‍රහණය බෞද්ධ පක්‍ෂයට උරුම වූයේ හික්කඩුවේ නාහිමියන්ගේ විශිෂ්ට ඥානශක්තියේත් මිගෙට්ටුවත්තේ හිමියන්ගේ චතුර කථිකත්‍වයේත් සුසංයෝගය හේතුවෙන් ම බව නොරහසකි.

ලඞ්කා-ලෝකවාසී සුධීජනයාගේ ආයත්‍යභිවෘද්ධිය පිණිස වර්ණනාවිෂයාතික්‍රාන්ත ශාස්ත්‍රීය වූත් ශාසනික වූත් ජාතික වූත් සාමයික වූත් අනුපමේය සේවාවක් සිදු කොට වසර අසූහතරකට අධික කාලයක් ආයු ශ්‍රී වින්‍දනය කොට උන්වහන්සේ ව්‍යවහාර වර්‍ෂප්‍රමාණයෙන් 1911ක් වූ අප්‍රේල් මස 29 වන දින මනා සිහිනුවණින් යුක්ත ව ජන්මාන්තරගත වී වදාළ සේක. මේ යතිශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සජ්ජීවනමාර්ගයේ දිශාව හඳුනා ගැනීමට “මගෙන් පස්සෙත් මේ පිරිවෙණ රැකගන්ට ඕනෑ, සිංහල ජාතිය දියුණු කරන්ට ඕනෑ, බුද්ධාගම්කාරයන් රැකගන්ට ඕනෑ” යනාදීන් එතුමන්ගේ අවසාන කාලයෙහි කරන ලද කථාව ම ප්‍රමාණ කොට සැලකිය හැකි ය.

හික්කඩුවේ නාහිමියන්ගේ අසීමිත ගුණවිශේෂය කෘතවේදී සත්පුරුෂ සාධූන් විසින් සදානුස්මරණීය හෙයින් එතුමන්ගේ අපවත් වීමෙන් වර්ෂ 111ක් සම්පූර්‍ණ වීම නිමිති කොට ගෙන වර්තමාන විද්‍යොදය පරිවෙණාධිපතීන් වහන්සේගේ අනුශාසකත්‍වය මත පාරිවේණික අධ්‍යාපන මණ්ඩලයේ සහ ආදිශිෂ්‍ය සඞ්ගමයේ මෙහෙයවීමෙන් මෙම අප්‍රේල් මස 29 වන සිකුරාදා (අද) දින කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණේ දී ‘අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමඞ්ගල ස්වාමීන්‍ද්‍ර ගුණානුස්මරණ මහෝත්සවය’ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ද මෙහි ලා සඳහන් කළයුතු ව ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ආධුනික කථිකාචාර්ය, කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය, ගෞරව ශාස්ත්‍රවේදී,

පූජ්‍ය මානාපිටියේ පණ්ඩිත වජිරබුද්ධි හිමී

advertistmentadvertistment
advertistmentadvertistment