විදුලිබල පනතින් ජාතික ආරක්ෂාවට කිසිදු හානියක් නැහැ

88

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ

තවම පාර්ලිමේන්තුවේ වැඩි බලය තියෙන්නේ අපට

බොහෝ විවේචන එල්ල වූ නව විදුලිබල පනත පසුගිය 06දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන්ද එම පනතට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කර ඇත. එම පනතට පක්‍ෂව ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා බලපෑ හේතු සාධකයන් පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා දැක්වූ අදහස් මෙසේය.

ප්‍රශ්නය – පසුගිය 06 වැනිදා නව විදුලි බල පනත සම්මත කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. එම පනත මගින් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වන බවටත් විදුලි පිරිවැය වැඩිවන බවටත් විදුලි මහාධිකාරියක් ඇති වන බවටත් චෝදනා එල්ල වී තිබෙනවා. එබඳු චෝදනා තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළේ ඇයි?

පිළිතුර – සාමාන්‍යයෙන් ඕනෑම ප්‍රතිපත්තියක් තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට යන කොට විපක්ෂය ඔය වගේ චෝදනා ඉදිරිපත් කරනවා. ඒක සාමාන්‍ය දෙයක්. එම පනත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරලා නීතිපතිවරයාගේ උපදෙස් අරගෙන තිබනෙවා. එම පනත කඩිමුඩියේ ඉදිරිපත් කළ එකක් නොවෙයි. එම පනත පිළිබඳව සම්පූර්ණ අධ්‍යයනයක් කරලා තමයි අපි පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ.

එහෙත් මෙම පනත පිළිබඳව වැරදි මතයක් සමාජය තුළ ගොඩනඟලා ඒ තුළින් දේශපාලනය කිරීමට තමයි විපක්ෂය උත්සාහ කරන්නේ. තමුන් ජනතාව පිළිබඳව වගකීමක් තිබෙන පක්ෂයක් විදියට අපට එහෙම කරන්න බැහැ. අද කාලයට ගැළපෙන විදියට අඩු පිරිවැයක් යටතේ ජනතාවට විදුලි බලය ලබාදීමට නම් අපට යල්පැනගිය නීති රීති වෙනස් කර ගැනීමට සිද්ධ වෙනවා. එම නිසා තමයි එම පනත ගෙනාවේ. මෙම පනත ක්‍රියාත්මක වෙලා ඉදිරියට යද්දි ජනතාවට ප්‍රතිලාභ ලැබේවි.

ප්‍රශ්නය – මෙම පනත ක්‍රියාත්මක කළ පසු විදුලිබල මණ්ඩලය සතු සම්පත් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමේ අවස්ථාව උදාවන බවටත් ඒ හරහා ඉන්දියාවට මෙරට පාලනය කිරීමේ අවස්ථාව උදාවන බවටත් චෝදනා එල්ල වනවා.එම චෝදනා සම්බන්ධයෙන් සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්ද?

පිළිතුර – අදානි සමාගමට අපගේ විදුලිබල ක්ෂේත්‍රයට ආයෝජනය කිරීමට අවස්ථාව දෙනවාද නැද්ද යන්න තීරණය කරන්න වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගනු ලබන ගිවිසුමකට අනුව තමයි. නමුත් තවම ඒ පිළිබඳව එකඟතාවයක් හෝ මිල ගණන් කතා කිරීමක් සිද්ධවෙලා නැහැ.

ප්‍රශ්නය – මීට සති කිහිපයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබුණා. එම ලිපියේ සඳහන් කර තිබුණා මෙම ආණ්ඩුව අන්තර්වාර ආණ්ඩුවක් බවත්, එම නිසා මෙම ආණ්ඩුවට රටේ සම්පත් සම්බන්ධයෙන් තීන්දු ගත නොහැකි බවත් නමුත් මෙම පතන මගින් රටේ සම්පත් සම්බන්ධයෙන් තීන්දු ගැනීමේ අවස්ථාව උදාවන බවටත් මහින්ද රාජපක්ෂ මහතා යොමු කළ ලිපියට පටහැනිව කටයුතු සිද්ධවෙන බවටත් චෝදනා එල්ලවනවා නේද?

පිළිතුර – මහින්ද රාජපක්ෂ මහතා එම ලිපිය මගින් ඉදිරිපත් කළ මතය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය. මහින්ද රාජපක්ෂ මහතාත් එම පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. එම පනත සහ එම මතය අතර කිසිදු පරස්පරතාවයක් නැහැ. පැරණි පනත අනුවත් අවශ්‍ය නම් විදුලිබල මණ්ඩලය සතු සම්පත ලබාදීමේ හැකියාව තිබුණා.

විදුලිබල ක්ෂේත්‍රයේ කටයුතු සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගන්නවා කියන්නේ විකිණීම නෙවෙයි. විදුලිබල මණ්ඩලයේ ආයෝජනය සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමේදී, රජය සතු කොටස් ප්‍රමාණය භාණ්ඩාගාරය සතුව තබා ගන්නවා. බහුතර කොටස් ප්‍රමාණයක් තබා ගන්නේ රජය සතුව. ඒ වගේම පෞද්ගලික අංශයට ලබාදිය හැකි කොටස් ප්‍රමාණය පනත තුළම සීමා කරලා තිබෙනවා. දැනටමත් විදුලිය නිෂ්පාදනය කරන පෞද්ගලික බලාගාර තිබෙනවා. මෙම පතන හරහා ජාතික ආරක්ෂාවට හෝ රටේ අනන්‍යතාවයට අදාළ කිසිදු හානියක් සිද්ධ වන්නේ නැහැ. එම නිසා ඔය අභූත චෝදනා කරන අයගෙන් මම ඉල්ලා සිටිනවා පළමුවෙන්ම මෙම පනත අධ්‍යයනය කරන්න කියලා.

ප්‍රශ්නය – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ දේශපාලන කාර්යාලය පසුගිය 06 වැනිදා විවෘත කළා.

පිළිතුර – එම කාර්යාලය සමග සම්බන්ධ වෙලා වැඩ කිරීමට නම් ඊට පෙර අපගේ පක්‍ෂයේ නායකත්වය විසින් සහ පක්‍ෂය විසින් තීරණය කළ යුතුයි ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙනවා කියන එක. නමුත් තවමත් අපගේ පක්‍ෂ නායකත්වය විසින් එහෙම තීරණයක් ගෙන නැහැ. එම නිසා එම කාර්යාලය සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී සඳහන් කිරීමට පුළුවන් කමක් නැහැ.

ප්‍රශ්නය – පසුගියදා වාර්තා වූවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත්වී මේ වනවිට ආණ්ඩුවේ ඇමැතිධුර දරණ ඇමැතිවරු පිරිසක් සහ මන්ත්‍රීවරු පිරිසක් එක්වී සාකච්ඡාවක් කළ බවත්, එහිදී ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීම පිළිබඳව සාකච්ඡා වූ බවත්.

එම සිදුවීම්වලින් පැහැදිලි වෙනවා නේද මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළත් රනිල් වික්‍රමසිංහ මහතාට පක්‍ෂ පිරිසක් සිටින බව.

පිළිතුර – ඔය කියන සාකච්ඡාවට මමත් සහභාගි වූවා. එහිදී සාකච්ඡා වූයේ රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ගම් මට්ටමින් සහ ක්‍ෂේත්‍ර මට්ටමින් රැස්වීම් මාලාවක් පැවැත්වීම පිළිබඳව. එසේ නොමැතිව එම රැස්වීම ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවැත්වූ එකක් නොවෙයි. නමුත් එහිදී ප්‍රශ්නයක් මතු වූවා රජයේ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාව අතරට ගිහින් කතා කරන කොට මීළඟ ජනාධිපතිවරණයට රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් වන්නේ කවුද කියන ප්‍රශ්නය මතු වෙනවා නේද කියන එක පිළිබඳව. එහිදී සමහරුන් ප්‍රකාශ කළා ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත් වන බව. තවත් සමහරු ප්‍රකාශ කළා මේ දක්වා ඔවුන්ට ජනාධිපතිතුමා එබඳු ප්‍රකාශයක් කර නොමැති බව. එහිදී අපේ පැත්තෙන් කිව්වා අපගේ පක්‍ෂය එහෙම තීරණයක් ගෙන නොතිබියදී අපි කොහොමද එම රැස්වීම් පවත්වන්නේ කියලා.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කාර්යාලයකුත් ආරම්භ කළා. නමුත් තවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ ජනාධිපති අපේක්‍ෂයෝ තීරණය කරලත් නැහැ නේද?

පිළිතුර – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ 69 ලක්‍ෂයක් එකතු කරපු දේශපාලන පක්‍ෂයක්. අපේ පක්‍ෂය යටතේ තරග කළ සමහරුන් දැන් වෙනස් පාර්ශ්වයන් සමග එක්වී සිටියත් තවමත් පාර්ලිමේන්තුවේ වැඩි බලය තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. එම සහයෝගය අපි යම් අපේක්‍ෂකයකුට දෙනවා නම් අපි පක්‍ෂයක් විධියට තීන්දුවක් ගත යුතුයි. අපි ගන්න තීන්දුවෙන් අපේ රටට, අපේ කඳවුරේ සිටින පාක්‍ෂිකයාට සහ පක්‍ෂයට හානියක් සිදු නොවිය යුතුයි. මේ වනවිට වෙනත් පක්‍ෂ සමග එක්වී සිටින අයට ඔවුන්ගේ පෞද්ගලික මත කියන්න පුළුවන්. නමුත් පක්‍ෂය නියෝජනය කරන අපිට එහෙම පෞද්ගලික මත කියන්න බැහැ.

සාකච්ඡා කළේ
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment