විදුලිය දමා ඇතකු මැරූ සිංහපුර සැකකරු රිමාන්ඞ්

78

වන ඇතකු විදුලිය දමා මරා දැමීමේ සිද්ධියට වන ජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් ඒ. එස්. අසේල ද සිල්වා මහතා නියෝග කළේය.

වනජීවී දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් අනුව ඉකුත් 26 දා පුත්තලම අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් යටතේ පුත්තලම, කුරුණෑගල මාර්ගයේ 6 කණුව ප‍්‍රදේශයේ වගා බිමක් ආශ‍්‍රිත ස්ථානයක් පරීක්ෂා කිරීමේ දී විදුලි සර වද්දා මරා දමා වළ දමා තිබූ වන ඇතකුගේ මළ සිරුරක් සොයා ගැනීමට හැකි විය.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ ඉඩමේ හිමිකරු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මෙලෙස පුත්තලම අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ මෙම නියෝගය කෙරිණි. සැකකරු කල්අඩිය සිංහපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම නියෝගය සිදු කරමින් පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් ඒ. එස්. අසේල ද සිල්වා මහතා වැඩිදුරටත් නියෝග කළේ මේ සිද්ධිය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව හා පොලිසිය ඒකාබද්ධව පුළුල් විමර්ශනයක් සිදුකොට සිද්ධියට සියලූ සැකකරුවන් අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

සිද්ධිය සම්බන්ධව පුත්තලම පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණ අනුව වන ඇතා මැරීම සඳහා විදුලිය ලබා දුන් නිවසේ හිමිකාරිය ද අත්අඩංගුවට ගෙන ඇත. බැකෝ යන්ත‍්‍රයේ සේවය කළ දැනට සැ`ගවී සිටින රියැදුරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබේ. වන ඇතා මිහිදන් කිරීමට යොදාගත් බැකෝ යන්ත‍්‍රය හිමිකරුගෙන් ප‍්‍රකාශයක් සටහන් කර තිබේ.

වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතාගේ උපදෙස් මත ඇතාගේ සිරුර ගොඩගෙන පරීක්ෂණ කටයුතු කෙරිණි. අධි බල විදුලි ධාරවකින් ඇතා මරණයට පත්ව ඇති බව එහිදී අනාවරණය වුණු බව වනජීවී නිලධාරීහු සඳහන් කරති. සිරුර තිබූ ස්ථානයේ තිබූ ඇතාගේ දළ යුගළ වනජීවීය භාරයට ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩ
 

advertistmentadvertistment
advertistmentadvertistment