විදුලි අර්බුදය උග්‍රවෙයි… නොරොච්චෝලේ තුන්වැනි යන්ත්‍රයත් නවතී! 

371

එකක් අලුත්වැඩියාවට නතර කරලා
කැලණිතිස්සත් අක්‍රීයවීම ආසන්නයේ

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවකට නතර කර තිබියදී එහි තුන්වන ජනන යන්ත්‍රයත් ඊයේ (27 දා) පෙරවරුවේ හදිසි කාර්මික දෝෂයක් මත අක්‍රීයවීම නිසා එම බලාගාරයෙන් විදුලිබල පද්ධතියට එක්කළ මෙගාවොට් 550ක් පමණ අහිමිවීමත් සමග පැවති විදුලි අර්බුදය උග්‍ර අතට හැරී තිබේ.

අක්‍රීය වූ නොරොච්චෝල තුන්වන ජනන යන්ත්‍රයේ වාෂ්ප කාන්දුවක් මත මෙය අක්‍රීය වී ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් සඳහන් කර ඇත.

මේ වනවිට මෙරට දෛනික විදුලි අවශ්‍යතාවෙන් මෙගාවොට් 950 කට ආසන්න ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට අහිමිව ගොස් තිබේ.

මේ අතර කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ පිහිටි ඨඔ – 7 නමැති මෙගාවොට් 165 කින් සමන්විත ද්විත්ව චක්‍රීය බලාගාරය කොයි මොහොතක හෝ අක්‍රීයවීමේ අනතුරක තිබෙන බව ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා හෙළිකරයි.

ඒ අනුව ඊයේ (27 දා) වනතුරු දිනකට කපා දැමු පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුව පැය තුනක් හෝ ඊට වඩා වැඩි කාලයකට දික්කිරීමට සිදුවනු ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවෙන් සියයට 40 ක් පමණ නිපදවාගත් ගල්අඟුරු බලාගාරයේ දෙවන හා තුන්වන ජනන යන්ත්‍ර දෙකම අක්‍රීයවීම බරපතළ විදුලි අර්බුදයකට හේතු වී ඇති අතර දැනට ඇඹිලිපිටිය ඒඩි පවර් ඇතුළු පුද්ගලික බලාගාරවලින් විදුලිය නිපදවා ඒවා පද්ධතියට එක් කිරීමට ලංවිම සැලසුම් කර ඇත.

මේ දිනවල රට තුළ ඇති වී තිබෙන දැඩි උෂ්ණත්වය නිසා දෛනික විදුලි පරිභෝජනය විදුලි ඒකක මිලියන 44 පමණ දක්වා ඉහළ ගොස් තිබීමත් තාප බලාගාරවලට අවශ්‍ය ඩීසල්, නැප්තා හා දැවිතෙල් හිඟයත් නිසා විදුලි අර්බුදය යළි උත්සන්න වෙමින් තිබෙන බව විදුලි ඉංජිනේරුවෝ කියා සිටිති.

බිඳවැටීම් තිබෙන ගල්අඟුරු බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය දින හයක් තුළ පද්ධතියට එක් කිරීම සැලසුම වී ඇති අතර දැනට අලුත්වැඩියා කරන එහි දෙවන ජනන යන්ත්‍රය පද්ධතියට එක් කිරීම ලබන 15 වැනිදා සිදු කිරීමට නියමිතය.

මේ අතර කැලණිතිස්ස ඨඔ – 7 නමැති බලාගාරය කැඩීයෑමේ අනතුර පිළිබඳ ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා කියා සිටියේ මෙම බලාගාරයේ ගෑස් ටර්බයින් දෙකේම ඇක්සල දෙක 2019 ඔක්තෝබර් මාසයේ දී එකවරම කැඩී ගිය බවත් ඇක්සල අලුත්වැඩියා කිරීම සඳහා ඩුබායි හා ඉන්දියාවට යවා සිදු කිරීමට සිදු වූ බවත්ය. එම අලුත්වැඩියා කටයුත්ත නිසා රුපියල් කෝටි 250 ක පමණ පාඩුවක් සිදුවූ බවට වෘත්තීය සමිති කළ හෙළිදරව්වෙන් පසු එවකට විදුලිබල ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා එම පාඩුව රුපියල් කෝටි 250ක් නොව රුපියල් කෝටි 135ක් යැයි ප්‍රකාශ කළ බවද ඒ මහතා පැවසීය.

2021 අප්‍රේල් සිට මෙම ඨඔ – 7 බලාගාරය යළි විදුලි උත්පාදනයට එක් කළත් මේ දක්වා එය ක්‍රියාත්මක කර ඇත්තේ පැය 800 ක පමණ කාලයක් පමණකැයි ද නිශාන්ත මහතා පැවසීය.

මේ වනවිට අධික විදුලි ඉල්ලුම සහිත කාලයේ දී බලාගාරයෙන් විදුලිය ජනනය කිරීමේදී එය දෙදරීමකට ලක්වන බැවින් කොයි මොහොතක හෝ මෙම බලාගාරයත් යළි කැඩීයෑමකට ලක්විය හැකි බව විදුලි බලාගාර සේවකයන් උසස් නිලධාරීන්ට දැනුම් දී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment