විදුලි ජනනයේ වායුව විස වී රසායනාගාරයක සේවකයෝ තිදෙනෙක් සිහිසුන්ව රෝගාතුර වෙති

350

බණ්ඩාරගම නගරයේ පෞද්ගලික රසායනාගාරයක සාත්තු සේවිකාවන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයෙක් හදිස්සියේ සිහි විසඥව රෝගාතුර වීමෙන් රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.

ඊයේ පස්වරු දෙකයි තිහට පමණ රසායනාගාරය උඩු මහලේ පරීක්ෂණාගාරයක් තුළ සිටි පුද්ගලයෙක් සහ යාබද කාමරයේ ආහාර ගනිමින් සිටි සාත්තු සේවිකාවන් දෙදෙනෙකු මෙලෙස සිහි විසඥව ඇත.

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පැමිණ සිහි විසඥව සිටි එම තිදෙනා 1990 සුව සැරිය ගිලන් රථයෙන් රෝහල්ගත කිරීමට පියවර ගැනිණි.

එම තිදෙනා සිහි විසඥ වන අවස්ථාවේදී විදුලි උත්පාදක යන්ත‍්‍රය ක‍්‍රියාත්මක වෙමින් තිබී ඇතැයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරුව බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්

රසායනාගාරය උඩුමහලට ගොස් සිදු කළ පරීක්ෂාවේදී විදුලි උත්පාදක යන්ත‍්‍ර තිබූ කාමරයේ වායුව පිටවීම සඳහා කිසිදු සුළං කවුළුවක් ස්ථාපිත කර නොතිබූ බවට අනාවරණ වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කෙසේ නමුත් පරීක්ෂණාගාරයට සහ යාබද කාමරයට මුද්‍රා තැබීමට පොලිස් නිලධාරීන් පියවර ගැනිණි.

වැඩිදුර පරීක්ෂණ සඳහා පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් කැඳවීමට නියමිත අතර බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කැස්බෑව ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment