විදුලි බල පනත හොර දින දාලා ගැසට් කරලා – පුබුදු ජයගොඩ

104

නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කර ඇත්තේ ජනතාවට අධිකරණයට යෑමට අවස්ථාව අහුරාලමින් හොර දින දමා යයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ(08) පැවසීය.

නුගේගොඩ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය. ජයගොඩ මහතා මෙසේද සඳහන් කළේය.

ශ්‍රී ලංකා විදුලි බල පනත නමින් නව පනත් කෙටුම්පතක් ගැසට් කර තිබෙනවා. මේ පනත් කෙටුම්පතේ මුල පිටුවේ සඳහන් වන්නේ එය ගැසට් කළේ දෙසැම්බර් 5 වැනිදා කියා. නමුත් දෙසැම්බර් 5 වැනිදා වනවිට එවැනි කෙටුම්පතක් රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කර තිබුණේ නැහැ. පනත් කෙටුම්පතේ නම සඳහන්ව තිබුණත් බාගත කරගත හැකි අන්දමේ පිටපතක් තිබුණේ නැහැ. එවැනි මුද්‍රණය සඳහා සූදානම් පිටපතක් තිබේදැයි විමසන විට රජයේ මුද්‍රණාලයෙන් වාර්තා වුණේ එවැන්නක් තවම සකසා අවසන් නැති බව. දෙසැම්බර් 5 වැනිදා නෙවෙයි, 6 වැනිදා සහ 7 වැනිදාත් එවැනි පනත් කෙටුම්පතක් රජයේ මුද්‍රණාලයට එවා තිබුණේ නැහැ. දෙසැම්බර් 7 වැනිදා සවස 4.00 වන විටත් එවැන්නක් තිබුණේ නැහැ. නමුත් අද පාන්දර, දෙසැම්බර් 8 වැනිදා අලුයම 3.00ට පමණ රජයේ මුද්‍රණාලයේ වෙබ් අඩවියේ එය ප්‍රකාශයට පත්කර තිබුණා. එසේ නම් මෙහි ගැසට් කළ දිනය ලෙස සඳහන් විය යුත්තේ දෙසැම්බර් 8 දිනය. එය දෙසැම්බර් 5 ලෙස සඳහන් කළේ ඇයි?

මෙය කුමන්ත්‍රණයක්. නීතියේ ආකාරයට පනත් කෙටුම්පතක් ගැසට් කර දින 7කට පසුව එය පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි. එතැන් සිට පුරවැසියන්ට අධිකරණයට යන්න දින 7ක් තිබෙනවා. කලින් දින 14ක් තිබී එය දින 7කට අඩු කළා. මේ අනුව විදුලිබල මණ්ඩලය විකුණන පනත ගැසට් කළේ දෙසැම්බර් 5 ලෙස සැලකුවොත් එය දෙසැම්බර් 12 දිනට පසුව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න පුළුවන්. දෙසැම්බර් 12 හෝ 13 සභාගත කළොත් දෙසැම්බර් 20ට පෙර එයට එරෙහි අය අධිකරණයට යා යුතුයි. නමුත් එය කිරීම ප්‍රායෝගිකව ඉතාම අපහසු වෙනවා. දෙසැම්බර් 15 වැනිදා අධිකරණයේ නිවාඩු දෙනවා. නැවත ආරම්භ වන්නේ ජනවාරි මාසයේ. ජනවාරි වන විට අධිකරණයට යා හැකි කාලය ඉක්ම යනවා. දෙසැම්බර් 13 දින මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කළොත් අධිකරණයට යන්න තියෙන්නේ දින දෙකයි. අවම වශයෙන් පෙත්සම සකස් කිරීමටවත් කාලය මදි. ආණ්ඩුව කුමන්ත්‍රණය කරන්නේ මේ ජනතා ද්‍රෝහී පනතට එරෙහිව අධිකරණයට යෑමටවත් ඉඩක් නොතබා, ජනතාවට උද්ඝෝෂණ හරහා සිය මතය ප්‍රකාශ කිරීමටවත් ඉඩ නොතබා, අධිකරණය සහ ව්‍යවස්ථාදායකය මගහැර වංචනිකව පනත සම්මත කරන්න. මේක පොදු සමාජ සදාචාරයට පමණක් නොව රටේ නෛතික සම්ප්‍රදායට පවා පටහැනි පනතක්. මේ වංචනික පනත් ඉරා දැමිය යුතුයි. මෙවැනි සමාජ විරෝධී අණපනත්වලට අත ඔසවන මන්ත්‍රීවරුන් දේශපාලන වශයෙන් කසළ ගොඩට යැවිය යුතුයි.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment