විදුලි බිලෙන් වදින කරන්ට් එක වෝල්ට් 33,000 ටත් වැඩියි!

206

කරවටක් ආර්ථික අර්බුදයේ ගිලී සිටින මහජනතාව තවත් පතුලටම ගිල්වමින් පසුගිය අඟහරුවාදා සිට ආණ්ඩුව විසින් තවත් සුවිසල් බරක් මහජනතාව පිට පැටවිය. ඒ විදුලි බිල 75% ක සාමාන්‍යය අගයකින් ඉහළ දැමීමයි. එය සමාන වන්නේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා පමණක් නොව සර්පයෙක් ද දෂ්ට කළා හා සමාන ක්‍රියාවකටය. ඒ පසුගිය කාලය මුළුල්ලේම ජනතාවට ලැබුණේ මිල වැඩිකිරීම් පමණක් බැවිනි. විදුලිය මිල ගණන් ඉහළ යෑම පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමට ලැබුණු යෝජනා හා ඔවුන් ඉදිරිපත් කළ කරුණු අප මීට පෙර කලාපවල සටහන් කළ අතර මෙවර මිල වැඩිවීම හා ඊට මහජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර හා තවත් කරුණු කීපයක් සාකච්ඡා කෙරේ.

මීට පෙර විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසුවේ වසර 14 කින් විදුලි බිල වැඩිවී නොමැති බවත් අඩු ආදායම්ලාභීන්ට සහ රජයේ රෝහල්, පුණ්‍ය ආයතන ආදියට බලනොපාන ලෙස මෙවර විදුලි ගාස්තු සංශෝධනය සිදුකරන බවයි. නමුත් ඒ කතා සියල්ල පුස්සක් කරමින් මෙවර මිල නැති බැරි මිනිසුන්ට කෙසේවත් දරාගත නොහැකි ලෙස කර ඇත. පසුගිය සතියේ ආණ්ඩුව දුම්රිය ගාස්තු වැඩි කළේය. මෙම සතිය වනවිට විදුලි බිල, වැඩිවිය. ජල බිල වැඩි කිරීමට අනුමැතිය ලැබී ඇත. ඒ පමණක් නොව මළාපවහන ගාස්තු පවා ඉහළ දමා ඇත. ආණ්ඩුව මිනිසුන්ව මේ අයුරින් තලා පෙළන්නේ කුමන වරදක් සිදු කළාටද? විදුලි පාරිභෝගිකයන් නිසි පරිදි තමන්ගේ විදුලි බිල්පත ගෙවයි නම් විදුලි බල මණ්ඩලය මේ ආකාරයෙන් පාඩු ලැබිය නොහැක. එසේම ඒ සඳහා සාමාන්‍ය ජනතාව වගකිව යුතු ද නැත. ඔවුන් ඔවුන්ගේ වගකීම නිසි පරිදි ඉටු කොට ඇත. මේ සඳහා වගකිවයුතු වන්නේ කෝටි ගණනින් පොලු තබන බලවතුන්, පාලකයන් හා නිලධාරීන් කිහිප දෙනකි. ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කටයුතු කිරීම මෙන්ම නිලධාරීන් සතු පෞද්ගලික බලාගාර මගින් වැඩි මිලට විදුලිය ගැනීම ද විදුලිබල මණ්ඩලයේ බිලියන ගණනක් පාඩු ලැබීමට හේතුවයි. එසේම විශාල සේවක සංඛ්‍යාවක් සිටියදී පවා බොහෝ සේවාවන් පෞද්ගලික අංශය ලවා කරගනී. විදුලිබල මණ්ඩලය කළ යුතුව ඇත්තේ මිල වැඩි කිරීම නොව ලාභදායක විදුලි ජනන ක්‍රමවලට අවතීර්ණ වීමයි. විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අවතීර්ණය වීමයි. එසේම වැඩි වන විදුලි ඉල්ලුමට සරිලන ලෙස විදුලි බලාගාර නිසි කාලවලදී ඉදිකළ යුතුය. එසේ නොමැති විට සිදුවන්නේ මාසයක් දෙකක් පායන විටම ඇතිවන උග්‍ර විදුලි ඉල්ලුමත් සමග කොමිස් කාක්කන්ට මඟ පැදීමය. ඔවුන් හැකි තරම් උත්සාහ කරන්නේ රට තුළ විදුලි අර්බුද නිර්මාණය කර බොරදියේ මාළු බෑමටය. අවාසනාව වන්නේ ඔවුන්ගේ ඇමට ගන්නේ අහිංසක විදුලි පාරිභෝගිකයා වීමය.

● ශ්‍රී ලංකාවේ විදුලිබල ප්‍රභවයන්

මෙරට තුළ විදුලිය නිෂ්පාදනය කරන මූලාශ්‍රවලින් ලාභදායකම ප්‍රභවය වන්නේ ද ජල විදුලියයි. ජලය උපයෝගි කරගෙන විදුලිය නිෂ්පාදනය කිරීමට වැය වන්නේ ද රුපියල් 4.17 වැනි සුළු මුදලකි.

දෙවැන්න ඉන්ධනයි. මෙය මිල අධිකම ක්‍රමයකි. ඉන්ධන මගින් විදුලිය නිපදවීමට රුපියල් 59.65 වැනි මුදලක් වැය වේ. මීළඟට ඇත්තේ ගල්අඟුරුය. ගල්අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවීමට රුපියල් 31.19 ක් වැය වේ.

පුනර්ජනනීය බලශක්තිය උපයෝගි කරගෙන නිපදවන විදුලි ඒකකයක මිල සටහන් වන්නේ රුපියල් 16.69 ක් ලෙසය. පෞද්ගලික තාප බලාගාරවලින් විදුලිය මිලදී ගන්නේ රුපියල් 67.15 කටයි. මේ සමස්තයෙහි එකතුවෙන් නිපදවන විදුලිය ඒකකයක අද වනවිට මිල රුපියල් 32 ක් පමණ වේ.

● නිෂ්පාදන වියදම අඩු කර ගත නොහැකිද?

විදුලි ඒකයක් නිපදවීමට වැයවන මුදල අඩු කරගත හැකි නම් මෙරට විදුලි පාරිභෝගිකයන්ගේ කරමත මෙතරම් බරක් පැටවෙන්නේ නැත. ඒ සඳහා ඇති හොඳම විකල්පය වන්නේ නව පුනර්ජනනීය බලශක්තියයි. දින 365 පුරාම හොඳින් හිරු එළිය ලැබෙන රටක් නිසා මෙරටට සූර්යාලෝකය මගින් පහසුවෙන්ම විදුලිය නිපදවා ගත හැක. සෑම නිවසකම වහලය මත මෙන්ම රාජ්‍ය ආයතනවල මෙන්ම දැඩි හිරු එළියක් පතිත වන වියළි කලාපයේ සූර්ය පැනල ගම්මාන පිහිටුවිය හැක. තමන්ගේ නිවසට අවශ්‍ය විදුලිය හෝ මේ මගින් නිපදවිය හැකි නම් මේ තරම් බරක් මිනිසුන් පිට පැටවෙන්නේ නැත.

මෙරට විදුලිබල පද්ධතියේ අනාගතය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු ලක්මාලි කරුණාරත්න පැවසා තිබුණේ මෙවන් අදහසකි.

විශේෂඥ දැනුමැති පිරිසක් විසින් අධ්‍යයනය කර සකසන දිගුකාලීන ජනන සැලසුමක් ලංකා විදුලි බල මණ්ඩලය සතුයි. එම සැලසුම වසර 20ක් වැනි දීර්ඝ කාලයක් වෙනුවෙන් සකසන අතර, වසර දෙකකට සැරයක් යාවත්කාලීන කරනු ලබනවා. එහිදී තාක්ෂණික කරුණුවලට අමතරව අඩු පිරිවැයකින් විදුලිය නිපදවීම යන කරුණු පිළිබඳවත් විශේෂයෙන්ම සලකා බලනවා.

“එම සැලසුම් පසුගිය අවුරුදු අටක් වැනි කාලයක් තුළ නිසියාකාරව ක්‍රියාත්මක වූවා නම්, අද මේ පවතින අර්බුදය මෙතරම් තීව්‍ර වෙන්නේ නැහැ. නමුත් එම අවධියේ දී අපට මුහුණපාන්නට සිදු වූ විවිධ හේතු නිසා දීර්ඝකාලීන ජනන සැලසුම් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පරිදි බලාගාර, නිසි කලට ඉදිනොකිරීම වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයටත් දැඩි සේ බලපෑම් ඇති කර තියෙනවා,”

● මෙවර මිල වැඩිවීම

පසුගිය 09 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේ මෙවර විදුලි බිල වැඩිවීමේ සාමාන්‍යය 75% ක් බවයි. මිල වැඩිවීම ගෘහස්ථ මෙන්ම සෙසු ආයතනවලට ද බලපාන බවත් සංචාරක කර්මාන්තයට පමණක් එය ආරම්භයේදී 50% බවත් මාස තුනකින් පසුව එය 75% සීමාවට ගෙන එන බවත් පැවසීය.

මෙවර වැඩිවීමේ සාමාන්‍යය 75% යැයි පැවසුවද සැබෑ ලෙසම වැඩි කර ඇත්තේ 75% පමණක් නොවේ. එය එක් එක් ඒකක ප්‍රමාණයන්ට වෙනස් වේ. ඒකක 30 දක්වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයන්ට මෙතෙක් පැවති රුපියල් 55 ක් වූ මුදල 264% කින් ඉහළ දමමින් 198 ක් දක්වා ඉහළ දමා තිබේ. ඒකක 31 සිට 60 දක්වා වන ගාස්තුව 193 සිට 211% කින් ඉහළ දමමින් රුපියල් 599 ක් දක්වා ගෙන ගොස් ඇත. එසේම ඒකක 61 සිට 90 දක්වා වන මුදල කලින් පැවතියේ රුපියල් 650 ක් ලෙසයි. එය 125% කින් ඉහළ දමමින් 1451 ක් දක්වා වැඩි කර තිබේ. විදුලි ඒකක 91 සිට 120 දක්වා වන ගාස්තුව පැවතියේ 1571 ක් ලෙසයි. එය 89% කින් ඉහළ දමමින් 2976 ක් බවට පත් කර ඇත. එසේම ඒකක 121 සිට 180 දක්වා වන ගාස්තුව රුපියල් 2791 සිට 79% කින් ඉහළ දමමින් 5006 දක්වා වැඩි කර තිබේ. රත්නායක මහතා පවසන ආකාරයට ඒකක 180 ට වැඩි නිවසක් සඳහා අයකිරීම පැවතියේ 8238 ක් ලෙසයි. එය 75% කින් ඉහළ දමමින් 14396 ක් බවට පත් කර ඇත. එසේම පුණ්‍ය ස්ථානවල විදුලි බිලද ඉහළ දමා ඇත. ඒ ඒකක 300 ට අඩුනම් 198%ක්ද ඒකක 300 ට වැඩිනම් 300%ක්ද වශයෙනි. කර්මාන්ත සඳහා මෙය වැඩිවන්නේ ඒකක 300 ට අඩුනම් 27% ක්ද ඒකක 300ට වැඩිනම් 75% වශයෙනි. එසේ නම් මෙතරම් ගාස්තු වැඩි වීමක් සුළු ගාස්තු වැඩි වීමක් සහ බිය නොවන ලෙස රත්නායක මහතාට පැවසිය නොහැක.

● සභාපතිගේ ප්‍රකාශය

මෙරට විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 78 සිටින අතර ඉන් ලක්ෂ 67 ක්ම ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්. ඉතිරි ලක්ෂ 11 අයත් වන්නේ ව්‍යාපාරිකයන් ගණයට. ඒකක 30 ට වඩා අඩුවෙන් භාවිත කරන පිරිස ලක්ෂ 14 ක්. ඒකක 60 ක් පමණ භාවිත කරන පිරිස ලක්ෂ 17 ක්. ඒකක 90 භාවිත කරන පිරිස ලක්ෂ 18 කි. මේ ආකාරයට ඒකක 90 ට අඩුවෙන් භාවිත කරන පිරිස ලක්ෂ 48 පමණ වෙනවා. මේ පිරිස සඳහා යම් සහනාධාරයක් අපි සපයනවා. විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 32 පමණ මුදලක් වැය වන අතර ඔවුන්ට ඒකකයක් පිළිවෙළින් 8, 12, 16 ලෙසින් දෙන්නේ.

විදුලිබල මණ්ඩලය මේ වනවිට මුහුණ දී සිටින දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් වසර 9 ට පමණ පසුවයි මිල ගණන් ඉහළ දැමුවේ. මේ කාලය තුළ සියලුම භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම විදුලිය උත්පාදනයට යොදා ගන්නා පොසිල ඉන්ධන වර්ග තුනම සියයට 250 ට වැඩිය ප්‍රතිශතයකින් වැඩි වෙලා. මේ වනවිට ගල්අඟුරු මෙටි්‍රක් ටොන් එකක මිල ඩොලර් 143 සිට 321 දක්වා ඉහළ ගිහින්. රුපියල්වලින් බැලුවොත් එය වැඩිවීම 550% ක්. ඩීසල් ලීටරය රුපියල් 121 සිට 430 දක්වා සියයට 255 ක ප්‍රතිශතයකින් වැඩි වෙලා. 2013 දී රුපියල් 90 ට තිබුණු දැවිතෙල් ලීටරය 419 ක්. එය 365% මිල ඉහළ යෑමක්. මීට අමතරව ඩොලරය 127 සිට 368 දක්වා සියයට 190% ඉහළ ගිහින්. මේ නිසා විදුලිබල මණ්ඩලයේ නිෂ්පාදන වියදම ද නොසිතූ ලෙස ඉහළ ගොස් තිබෙනවා. ආයතනය පවත්වාගෙන යෑමට 183% ක හා 229% මිල වැඩි කිරීමක් ඉල්ලුම් කළත් එම යෝජනා පසෙකලා තමයි සාධාරණ මිල වැඩි කිරීමක් සිදු කළේ.

එසේම විදුලිබල මණ්ඩලය සතුව පවතින විදුලි පාරිභෝගිකයන්ගේ ස්ථාවර තැන්පතු සඳහා පොලියක් ගෙවන බවට ද විදුලිබල මණ්ඩලයේ මුදල් තත්ත්වය යහපත් වන තෙක් පාරිතෝෂික දීමනා නොගෙවන බව ද සභාපතිවරයා පැවසීය.

● විදුලිබල මණ්ඩලයේ ණය බර

බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිකරුවන්ට රුපියල් බිලියන 28.5 ක් ලබාගත් විදුලිය වෙනුවෙන් ද වහලය මත සවිකළ සූර්ය පැනල සඳහා රුපියල් මිලියනයක් ද පෞද්ගලික බලාගාරවලින් ලබාගත් විදුලියට රුපියල් බිලියන 76.8 ක් ද ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 31.6 ක් ද ව්‍යාපෘති ණය සඳහා මිලියන 422 ක් ද ආදී වශයෙන් සමස්ත ණය බරතාව බිලියන 612ක් පවතින බවයි. මෙම ණය කන්දෙන් ගොඩ ඒම සඳහා යම් මිල කිරීමක් සිදු කළ බවත් ඊට අමතරව 70% ක් දක්වා පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය උත්පාදනයට යොමු වන ලෙසත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන ලෙසත් ඇමැතිවරයා පැවසීය.

● පාර්ශ්ව රැසක දැඩි විරෝධය

ලංවිම වෘත්තිය සමිති ඒකාබද්ධ සංවිධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසුවේ දේශපාලනඥයන් හා නිලධාරීන් කිහිප දෙනකු මණ්ඩලයෙන් හොරා කා මණ්ඩලය පාඩු කළ පලියට රටේ ජනතාව 75% කින් වැඩි විදුලි බිලක් නොගෙවිය යුතු බවත් මෙතරම් අගයකින් මිල වැඩි කිරීම අසාධාරණ බවත් මෙය ජනතාවට ඔරොත්තු නොදෙන කාරණයක් බැවින් වහාම මෙම තීරණය හකුලාගෙන යුතු බවත්ය.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ද මෙම මිල වැඩි කිරීමට එරෙහිව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකර විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය හරියට අතීසාරයට අමුඩ ගැසීමකට සමාන බවයි. විදුලි බිල වැඩි කිරීමට පදනම් කරගත් පිරිවැය ගණනය කළ ආකාරය රටට පවසන මෙන් තම ලිපියෙන් ඔහු ඉල්ලා ඇත.

විදුලි පාරිභෝගිකයන් පවසන්නේ මෙය තමන්ට කෙසේවත් දරා ගත නොහැකි බවයි. සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමග ෆොටෝ කොපි ගාස්තුව ද රුපියල් 5 කින් ඉහළ දමන බවයි.

සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා පවසන්නේ ඉන්ධන අර්බුදය හේතුවෙන් කුඩා කර්මාන්ත සියයට 50 ක පමණ ප්‍රමාණයක් වැසී ගිය බවත් විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමීමත් සමඟ ඉතිරි වී තිබෙන කුඩා කර්මාන්ත වැසීයෑමේ දැඩි අවදානමකට පත්ව ඇති බවයි.

බොහෝ කුඩා කර්මාන්තවල රුපියල් 3,000 ක්ව පැවැති මාසික විදුලි බිල මෙම ගාස්තු ඉහළ දැමීමත් සමඟ රුපියල් 9000 ක් 10,000 ක් බවට පත්වන බවත් සත්ව ආහාර නිෂ්පාදනය සහ යෝගට් වැනි කර්මාන්ත දැඩි අර්බුදයකට පත්වන බවත් ඒ මහතා කීය.

බොහෝ පාරිභෝගිකයන් පවසන්නේ ඉන්ධන මිල ඉතා සොච්චම් මුදලකින් අඩු කර විදුලි බිල වෝල්ට් 33000 අගයකින් මිනිසුන්ට වද්දවා ඇති බවයි. විදුලි බිල වැඩිවීම කුඩා තේ කඩයේ සිට සුවිසල් හෝටල් දක්වා ද මහන මැෂිමක් දෙකක් මගින් රෙදි කෑල්ලක්, පාපිස්සක් මසාගෙන ජීවත් වූ අන්තිම අහිංසකයාගේ සිට සුවිසල් ඇඟලුම් කම්හල් දක්වා ද ෆාමසි, රෝහල්, බේකරි නිෂ්පාදන ආදී සෑම ක්‍ෂේත්‍රයකටම මෙම වැඩි කිරීම තදබල ලෙස දැනී තිබේ.

මිනිසුන් චෝදනා කරන්නේ කෙතරම් විදුලිබල මණ්ඩලය පාඩු වුණත් එහි සේවය කරන සේවකයන්ගේ වැටුප ලක්ෂ ගණනක් බවයි. එසේම අනෙකුත් දීමනා ද කිසිදු අඩුවකින් පාඩුවකින් තොරව ලබාගන්නා බව ද කියවේ. බලධාරීන් මෙන්ම නිලධාරීන් ද මේ ගැන සිතිය යුතුය. මෙතරම් ආයතනයක් පාඩු ලබද්දී තමන්ගේ සුඛ විහරණය ගැනම නොසිතා සෑම කෙනෙක්ම යම් හෝ කැප කිරීමක් කළ යුතු නොවේද? නැතිනම් මිනිසුන්ගේ අප්‍රසාදයට මෙන්ම දැඩි වෛරයට ද මෙම ආයතන පත්වනු ඇත.

එසේම මේ වනවිට විදුලිබල මණ්ඩලය තවත් අර්බුදයකට මුහුණ පා ඇත. ඒ දැන් පවතින ගල් අඟුරු ප්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් දක්වා පමණි. දෙසැම්බර් දක්වා ගල් අඟුරු ආනයනය කිරීමට සිදුවේ. ඒ සඳහා ඩොලර් මිලියන 100ක් එසේත් නොමැතිනම් රුපියල් බිලියන 35ක ප්‍රමාණයක් අවශ්‍ය වේ. එම මුදල සොයා ගැනීමද දුෂ්කර කාර්යයක් වී ඇත. එම මුදල සොයා ගැනීමට නොහැකි වුවහොත් ස්ථාවර විදුලිබල සැපයුමක් සිදුකළ නොහැකිවනු ඇත.

වත්මන් ජනපති, අගමැති ප්‍රමුඛ පිහිටුවන්නා වූ සර්වපාකෂික හෝ අන්තර්කාලීන හෝ මොනයම් ආණ්ඩුවක පළමු වගකීම වන්නේ මිනිසුන්ගේ හිස මත පටවා ඇති මේ මහා බර සැහැල්ලු කිරීමය. එසේ නොවුණහොත් මීළඟ ජනතා නැගිටීම ඉතා ඉක්මනින්ම සිදු වනු ඇත. එසේම එය පෙර මෙන් පහසුවෙන් නිවා දැමිය නොහැකි වනවාද ඇත.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment