විදුලි බිල ඉස්සීම පිටුපස නාස්තිකාර පුත්‍රයෝ!

469

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් යොදවා කළ හැකි කාර්යයන් කොන්ත්‍රාත්කරුවන්ට භාරනොදී, දේශීය හා විදේශීය සමාගම්වලට ව්‍යාපෘති භාරනොදී වංචා දූෂණ නාස්තිය පාලනයකර ගන්නේ නම් විදුලි ගාස්තු ඉහළ නොදමා අඛණ්ඩව රටටම විදුලිබලය ලබාදිය හැකි බව ලංවිම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැවසීය.

මේ වන විට විදුලිබල මණ්ඩලය ලබා තිබෙන සමස්ත පාඩුව රුපියල් කෝටි හතළිස් පන්දහසක් (බිලියන 450) පමණ වුවත් විදුලි රැහැන් ඇදීම, වළවල් කැපීම, විදුලි විසන්ධි කිරීම ආදී කටයුතු බෙදාහැරීම් කලාප හතර සඳහා කොන්ත්‍රාත් සමාගම්වලට ලබාදීම නිසා වසරකට රුපියල් කෝටි 200 ක් (බිලියන 02) ක් වැයවන බවද ඒ මතා කීය.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඇතැම් පරිපාලන කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් පත්කර ඒ අයට ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයකුට හිමිවන වැටුපත්, ඊට අමතරව පරිපාලන තනතුරට අදාළව දීමනා ගෙවීමත් නිසා ඒ අයට මසකට රුපියල් ලක්‍ෂ ගණනක වැටුපක් ගෙවීමට සිදුවී ඇතැයිද ඒ මහතා කීය.

ඒ අනුව ලංවිම මානව සම්පත් කළමනාකාර තනතුරට පත්කර සිටින ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයා ඔහුට හිමි ඉංජිනේරු වැටුපත්, මානව සම්පත් කළමනාකාර තනතුරට අදාළව දීමනාවකට හිමිකම් කියන බවද නිශාන්ත මහතා පෙන්වා දුන්නේය.

ලංවිම සේවකයන්ට වසර තුනකට වරක් සාමූහික ගිවිසුමකට 2015 වසරේදී සියයට 28ක වැටුප් වැඩිවීමක් කර තිබියදී ඉංජිනේරුවන් පමණක් 2015 සිට සියයට 130 ක අති විශාල වැටුප් වැඩි කිරීමක් එකවර සිදුකරගෙන ඇත. එම වැටුප් වර්ධකය අධිකරණය මගින් බලරහිත කර තිබියදී 2019 අප්‍රේල් 02දා අධිකරණය ලබාදුන් තීන්දුව නොතකා සංශෝධන රහිතව එම වැටුප් වැඩිවීම කරගත් බවද ඒ මහතා කීය.

මෙරට විදුලි පාරිභෝගිකයන් වසරකට විදුලි ඒකක කෝටි දාසය දහසක් (බිලියන 16) පාවිච්චි කරන බවත් එම විදුලි ඒකකයකින් රුපියලක පිරිවැයක් අඩුකරගත හැකි නම් මණ්ඩලයට ඉන් පමණක් වසරකට රුපියල් කෝටි දාසය දහසක් (බිලියන 16) ඉතිරි වන බවද නිශාන්ත මහතා කීය.

විදුලිබල මණ්ඩලයේ ඇතැම් ප්‍රාදේශීය කාර්යාල හා ගොඩනැඟිලි ව්‍යාපාරිකයන්ට අයත් ඒවා යැයිද ඒ කාර්යාල සඳහාද නොවටිනා ගාස්තු ගෙවමින් මුදල් නාස්ති කරන බවද ඒ මහතා පැවසීය.

විශේෂයෙන්ම ලංවිම ව්‍යාපෘති කාර්යාල, එම ව්‍යාපෘතිවලට මිලදී ගන්නා වාහන ආදිය පිළිබඳ සත්‍ය තොරතුරු නැතැයි ද මෙකී දූෂණ, වංචා, අක්‍රමිකතා නිසි ලෙස පාලනය නොකිරීම නිසාද මණ්ඩලයට විශාල පාඩු අත්වී ඇතැයිද ඒ මහතා කීය.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ විසිහයදහසක් වන සේවකයන්ට ලබාදෙන දෙසැම්බර් ප්‍රසාද දීමනාව (බෝනස්) මෙතෙක් ගෙවා දැමීමට තීරණයක් ගෙන නැතිමුත් විදුලි ගාස්තු සංශෝධනයෙන් පසු එය ගෙවා දැමීමට මණ්ඩලය සැලසුම් කර තිබේ.

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වාර්ෂික ප්‍රසාද දීමනාව ලෙස මාසික වැටුප මෙන් එකහමාරක මුදලක් ලබාදේ. මීට අමතරව වාර්ෂික ලෙඩ නිවාඩු 21 සඳහාද වාර්ෂික දීමනාවක් ලෙස වැටුපක් ලබාදෙන අතර මෙම වසරේ ද එයද ලබාදී නැතැයිද සේවකයෝ කියා සිටිති.

විදුලි ගාස්තු ඉහළ දමනතෙක් බෝනස් ගෙවීම ගැන කීමට නොහැකි යැයි ලංවිම පරිපාලනය වෘත්තීය සමිති වෙත දැනුම් දී තිබේ.

මේ අතර රජයේ විගණකාධිපතිවරයා සිදුකළ විගණනවලදී දිගින් දිගටම පෙන්වාදී ඇත්තේ මණ්ඩලයට අලුත් සේවකයන් බඳවාගැනීම සීමාකරන ලෙසය. නමුත් 2014 වසරේ 14,000ක් වූ සේවක සංඛ්‍යාව මේ වන විට 26,000 දක්වා වැඩිකර ඇත.

මේ අතර විගණනවලදී හෙළිවී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ මසකට රුපියල් ලක්‍ෂ දහයක (මිලියනයක) වැටුප් ලබන නිලධාරීන් 47 ක් සිටින බවයි. මේ අතර මණ්ඩලය සතු චංචල නිශ්චල දේපළවල වටිනාකම කොතෙක්ද යන්න නිශ්චිත සංඛ්‍යා දත්තද මණ්ඩලය සතුව නැතැයිද විගණනයේදී පෙනීගොස් ඇත. රජයේ විගණකාධිපතිවරයා ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය පිළිබඳ විගණනය කළත් වහාම තාක්‍ෂණික විගණනයක් කළ යුතු බවද විගණකාධිපතිවරයා පෙන්වාදී ඇත.

ජල විදුලි ඒකකයක් රුපියල් 2.90 ත් 3.50 ත් අතර මිලකට නිපදවාගනු ලැබුවත් පුද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලි ඒකකයක් රුපියල් 50 ත් 80 ත් හෝ ඊට වඩා වැඩි මිලට මිලදී ගන්නා ගිවිසුම් වහාම සංශෝධනය කරන්නේ නම් විදුලි ගාස්තු ඉහළ නොදමා කටයුතු කළ හැකි බවද විගණන නිලධාරීහු මේ අතර කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment