විදුලි බිල උස්සන තීරණය බලරහිත කරන්න අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

84

ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය කර ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, එම සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ ඇතුළු පිරිසක් අභියාචනාධිකරණයට ඊයේ (24 දා) රිට් ආඥා පෙත්සමක් ගොනු කළහ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් සියලු දෙනා, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් හා නීතිපතිවරයා නම්කොට තිබිණි.

මෙම අවස්ථාවේදී විදුලි ගාස්තු ඉහළ නොදමන ලෙසට මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර තිබියදීත් එකී නිර්දේශ නොතකා කැබිනට් මණ්ඩලය ගත් තීරණය නීති විරෝධී බවත් ස්වාධීන කොමිෂන් සභාවක් වන මහජන උපයෝගිතා කොමිෂන් සභාවට බලපෑම් කිරීම හා බලපෑමක් වන අයුරින් කටයුතු කිරීමේ අයිතියක් වගඋත්තරකරුවන්ට නොමැති බවත් පෙත්සම්කරුවන් එමගින් අභියාචනාධිකරණයට පෙන්වාදී තිබිණි.

එම කරුණ පොදු ජනතාවට දැඩිව බලපාන හදිසි කරුණක් වන බැවින් සිය පෙත්සම ලබන 26 වැනිදා කැඳවීමට දින නියම කරන ලෙස ද නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා මගින් ගොනු කළ එම පෙත්සම මගින් පෙත්සම්කරුවන් ඉල්ලා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment