විදුලි බිල වැඩි කිරීමට එරෙහිව උසාවි යනවා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ  සංගමයේ ලේකම් සංජීව ධම්මික

59

විදුලි බිල වැඩි කර ඇත්තේ විදුලිබල පනතේ තිස් වැනි වගන්තිය උල්ලංඝනය කර බවත් ඊට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගන්නා බවත් ‘විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ’ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (10 දා) පැවසීය.

විදුලිබල අමාත්‍යාංශය, විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසම, විගණකාධිපති හා මහා භාණ්ඩාගාරය වගඋත්තරකරුවන් කරමින් මෙසේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ද ඒ මහතා කීවේය.

විදුලි බිල වැඩි කරන්නේ නම් ඒ සඳහා මණ්ඩලය දැරූ පිරිවැය සාධාරණ බව හැඟී යා යුතු යැයි පැවසූ ධම්මික මහතා මෙවර විදුලි බිල වැඩි කර ඇත්තේ එවැනි සාධාරණ පිරිවැයක් දරා ඇති බවක් නොපෙනෙන තත්ත්වයක යැයි ද කීවේය. විදුලි බල මණ්ඩලය විදුලිය මිලදී ගැනීමේ දී දරන්නා වූ වියදම් විගණය කර නැති බවත් එවැනි තත්ත්වයක් යටතේ එම දැරුවා යැයි කියන පිරිවැය සාධාරණ යැයි කීමට නොහැකි බවත් ඒ මහතා පැවසීය. නීති විරෝධී බලාගාරවලින් අධික මිලට විදුලිය මිලදී ගැනීම් හා විගණනය නොකළ ‘හොර ගනුදෙනුවල’ වගකීම ජනතාව පිට පැටවීමට ඉඩදිය නොහැකි බවත් සංජීව ධම්මික මහතා කීවේය.

මෙම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට වැය වන මුදල් කැට හොල්ලා හෝ සොයා ගන්නා බව ද ඒ මහතා කීවේය. විදුලි බිල වැඩි කිරීම ආණ්ඩුවට ලැබී ඇති අයි.එම්.එෆ් කොන්දේසියක් ඉටුකිරීමක් යැයි ද ඔහු පැවසීය. කොළඹ දී ඊයේ (10 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ‘විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම්’ සංජීව ධම්මික මහතා මෙම අදහස් පළ කළේය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment