මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිසි අනුමැතියකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය වසරේ දෙවන වරටත් විදුලි බිල ඉහළ දැමීමට ගත් තීරණය මගින් තමන් ඇතුළු රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 11 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12දා) නියෝග කළේය.
එම පෙත්සම ඊයේ (12දා) ප්‍රීති පද්මන් සුරසේන, ජනක් ද සිල්වා හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.
තමන් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කරනුයේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ එවකට සභාපතිවරයා ලෙස නොව පෞද්ගලික මට්ටමින් විදුලි පාරිභෝගිකයකු ලෙස හා මහජන උනන්දුවක් සහිත පුද්ගලයකු ලෙස පමණක් වන්නේ යැයි සිය පෙත්සම මගින් පෙත්සම්කාර ජනක රත්නායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබිණි.
අසාධාරණ ලෙස සිදුකළ එකී විදුලි බිල ඉහළ දැමීම මගින් රටේ ජනතාව විශේෂයෙන් ඒකක 1 සිට ඒකක 90 දක්වා විදුලි පරිභෝජනය කරන ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවන බවද නීතිඥ මොහාන් බාලෙන්ද්‍ර මහතා මගින් ගොනු කර තිබූ එම පෙත්සම මගින් ජනක රත්නායක මහතා කියා තිබිණි. ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක