විදුලි බිල වැඩි කිරීමට පදනම් කර ගත් පිරිවැය ගණනය කළ හැටි රටට කියන්න

157

මේක අතීසාරයට අමුඩය ගැසීමක්:
‘විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය’ කොමිසමට ලියයි

විදුලි බිල වැඩි කිරීමට පදනම් කරගත් පිරිවැය ගණනය කළේ කුමන පදනමක් මතද යන්න රටට පැහැදිලි කරන්න යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වෙත ඊයේ (9 දා) ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටියේය.

ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකර විදුලි බිල වැඩි කිරීමට ගත් තීරණය ‘අතීසාරයට අඹුඩය ගැසීමක්’ යැයිද එහි සඳහන් කර තිබේ. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය යැවූ ලිපිය මෙසේය.

විදුලි බිල වැඩි කිරීම සඳහා විදුලිබල මණ්ඩලය දරා ඇති පිරිවැය, විශේෂයෙන්ම විදුලිය මිලදී ගැනීම සඳහා වූ පිරිවැය ගණනය කළේ කුමන මිල පදනම මත ද යන්න රටට පැහැදිලි කළ යුතුයි. විදුලිබල පනතේ 30 වෙනි වගන්තියේ මණ්ඩලය විසින් දරා ඇති පිරිවැය සාධාරණ බව ඔබට හැඟී ගියේ කුමන මිල ක්‍රමයක් පදනම් කරගෙනද? ටෙන්ඩර් ක්‍රමවලින් පරිබාහිරව නීති විරෝධී යැයි ඔබ විසින්ම හඳුන්වා දුන් ඩීසල් බලාගාරවල මිල පදනම් කරගෙනද? ඒ වගේම මණ්ඩලයේ මිලදී ගැනීම් විගණනයක් නොකර සිටි බව ඔබ හොඳින් දන්නා කරුණකි. එවන් අවස්ථාවක මිල සාධාරණ යැයි ඔබ කියන්නේ විගණකාධිපතිගේ විමසුමකට යටත්ව ද? සමස්ත විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් පෙනී සිටින වගකිවයුතු ආයතනය ඔබයි. එවන් අවස්ථාවක ඔබගේ වගකීම ඔබ නිසියාකාරව ඉටු කළා ද, නැත්නම් රජයේ බලපෑම්වලට ලක් වූයේ ද යන්න ඔබේ හෘද සාක්ෂියෙන් විමසන්න. මේ අධික පිරිවැයට හේතු වූයේ හිතාමතාම මණ්ඩලය විසින් රාජකාරිය නිසි ලෙස නොකර හැරීම නිසා බව ඔබ ද අප සංගමය ද දනිමු. නමුත් ඔබ හිතනවද මේ මිල වැඩි කිරීම තුළින් මණ්ඩලයේ පාඩුව පියවාගත හැකි බව ? ඔබ ඔය වැඩි කළ ප්‍රතිශතය කොටස් හතරකටවත් බෙදා වෙන් කරමින් පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන්, අඩු වියදම් බලාගාර වෙනුවෙන් යම්කිසි කාල සීමාවකට යටත්ව මෙම වැඩි කිරීමට අවසර දෙන ලෙස අපි යෝජනා කරමු. උදාහරණයක් ලෙස පළවෙනි මාස 6 තුළ අඩු ආදායම්ලාභීන්ගේ නිවෙස් මත සූර්ය පැනල අඩුම ගානේ දාහක්වත් ස්ථාපිත කරන ලෙසට අපි ඔබට යෝජනා කරමු. ගිවිසුම්ගතව ඇතත් ක්‍රියාත්මක නොවන බලාගාර සම්බන්ධව තීරණක් ගන්නා මෙන් ද අපි ඔබට යෝජනා කරන්නෙමු.

ජනන සැලැස්ම ක්‍රියාත්මක නොකර ඔබගේ මේ මිල වැඩි කිරීමේ යෝජනාව අතීසාරයට අඹුඩය ගැහුවා වගේ වැඩක් ලෙස අපි දකින්නෙමු. 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්ති 70% වන රජයේ ප්‍රතිපත්ති මාලාව ද ක්‍රියාවට නංවා නැත. ඒ සඳහා ඔවුන්ගේ අදහස් දැක්වීමට ජුනි මාසය තෙක් කාලය දීර්ඝ කර ගත්ත ද මෙතෙක් ඒ සඳහා පිළිතුරු ලබා දී තිබේද? මේවා නියාමනය කළ යුතු ඔබ ආයතනය මේ සඳහා නිසි පියවර ගත්තේ ද? විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව සිදු වෙමින් පවතින ව්‍යවස්ථානුකූලව පවරා ඇති නීතිමය කටයුතු උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔබ විසින් නීතිමය පියවර ගත් අවස්ථා මොනවාද? පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවටත් පාර්ලිමේන්තු මණ්ඩලයටත් නිසි පරිදි වගකීමෙන් බැඳී විදුලිබල මණ්ඩලය කටයුතු කළේද? තැන්පතු පොලිය ගෙවීම වෙනුවෙන් කටයුතු කළේ කිනම් ආකාරයකින් ද, මාසික ගාස්තු ලබා ගත්තද මණ්ඩලයේ සේවය පාරිභෝගිකයාට පැය විසි හතරෙම නොලැබුණු බව ඔබ ද දන්නා කරුණකි. ඒ වෙනුවෙන් පාරිභෝගික අපට සාධාරණයක් ඉෂ්ට වූවාද? නොසපයන විදුලිය වෙනුවෙන් පාරිභෝගිකයන්ට ලැබිය යුතු ඒකක මුදල් ලබාදීමට ඔබ කටයුතු කළේද? කැබිනට් මණ්ඩලය විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඔබ කටයුතු කළේ ද? මේ සියලු දේ පසෙක දමා පාරිභෝගිකයා වෙනුවෙන් වගකියන ඔබ ආයතනය මිල වැඩි කිරීමට ගත් තීරණය කනගාටුවෙන් යුතුව හෙළා දකින්නෙමු. මේ සඳහා කඩිනම් පිළිතුරු අප සංගමය බලාපොරොත්තු වෙමු.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment