විදුලි බිල වැඩි නොකෙරුවොත් “මණ්ඩලේ” කචල් වෙයි!

373

ඇමැති කියන විදිහට කරන්ට් නැත්නම් කළුවරේ හිඳිමු!

විදුලි ගාස්තු ඉහළ දැමීම සටනක් බවට පත්ව ඇත. විදුලිබල ඇමැති කංචන විජේසේකර නම් කියන්නේ විදුලි ගාස්තු ඉහළ නොදමන්නේ නම් කළුවරේ ඉන්නට පුරුදුවන ලෙසය. විදුලිබල මණ්ඩල සභාපති නලින්ද ඉලංගකෝන් කියන්නේත් විදුලි ගාස්තු ඉහළ දැමිය යුතුම බවය. 2023 වසරේ රටට විදුලිය ලබාදීමට නම් ගාස්තු ඉහළ දැමිය යුතු බවත් නොමැති නම් මණ්ඩලයේ පිරිවැය පියවීමට මහා භාණ්ඩාගාරයේ මුදල් පොම්ප කළ යුතු බවත් ඔහු කියයි. නැතිනම් දිනකට දැනට කපන විදුලි කැපිල්ල තව පැය ගණන් දික්කළ යුතු බවද සභාතිවරයාගේ ස්ථාවරයයි.

ඇත්තටම රටේ විදුලි අර්බුදය නිර්මාණය කළේ රටේ ජනතාවද? නැතිනම් රට පාලනය කළ පාලකයන්ද? එසේත් නොමැති නම් විදුලිබල මණ්ඩලයේ සියල්ලම හසුරුවන විදුලි ඉංජිනේරු සංගමයේ විදුලි ඉංජිනේරුවන්ද යන්න කිසිවකුට පැහැදිලි නැත.

මේ රටේ විදුලි පාරිභෝගිකයන් ගණන ලක්‍ෂ හැත්තෑහතරකි. මේ විදුලි පාරිභෝගිකයන්ගෙන් මැති ඇමැතිවරු හා කොකු ගසා හොරට විදුලිබලය ගන්නා පිරිස හැර සෙසු සියලුම විදුලි පාරිභෝගිකයන් මසකට වරක් හෝ මාස දෙකකට වරක් විදුලි බිල්පත ගෙවන බව සක්සුදක් සේ පැහැදිලිය. නැතිනම් විදුලිබල මණ්ඩලයට අනුයුක්තව කටයුතු කරන විදුලි විසන්ධි කරන කොන්ත්‍රාත්කරුවන් පැමිණ විදුලිය විසන්ධිකර යන බව අපි දනිමු. “ලයිට් කපලා” මේ ලැජ්ජාවෙන් බේරීමට අවශ්‍ය නිසා තුන්වේලෙන් එක වේලකට බැස හෝ විදුලි බිල්පත ගෙවා දමන්නට මිනිසුන් වගබලා ගන්නේ “ලයිට් නැතිනම්” නිවසේ කටයුතු සියල්ල අවුල් වන නිසාය. විදුලියට පොලු තියපු මැති ඇමැතිවරුන්ගේ නම් ලැයිස්තුව මාධ්‍ය මගින් හෙළිකර තිබෙන නිසා ඒ පිළිබඳ යළි කතා කිරීම කාලය කා දැමීමකි.

ශ්‍රී ලංකාවේ වත්මන් විදුලි අර්බුදයේ තිත්ත ඇත්ත සෙවීම ඊට වඩා වැදගත්ය.

ඉකුත් 2022 අගෝස්තු 09 වැනිදා විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළ දමනු ලැබීය. එසේ ඉහළ දැමූ විදුලි බිල්පත නිවසට එන්නට පටන්ගත් සැණින් යළිත් විදුලි ගාස්තු සියයට 65 කින් පමණ ඉහළ දමන්නට ඇමැති ප්‍රමුඛ පාලකයන් වලිකන්නේ 2023 දී රටට අඛණ්ඩව විදුලි බලය දෙන්නට අවශ්‍ය බව කියමිනි.

වත්මන් පාලනය බිහිවුණේ අරගලයක ප්‍රතිඵලය මතය. මේ පාලනයට රටේ පොදු මහජනතාවගේ ප්‍රශ්න පිළිබඳ තිබෙන අවබෝධය කොපමණද යන්න අපට නම් තේරුම්ගත නොහැකි එකකි.

1948 ශ්‍රී ලංකාව නිදහස් වූ පසු රට පාලනය කළ සෑම පාලකයෙක්ම රට පත්ව තිබෙන මේ කාලකණ්ණි තත්ත්වයට වගවිය යුතුය. 1977 බලයට පත් ජේ. ආර්. පාලනයේදී එවකට ඇමැති ගාමිණි දිසානායක යෝධ මහවැලි ව්‍යාපාරය සමග ඇතිකළ ජල විදුලි බලාගාර ටිකට පින්සිදු වන්නට රටේ බොහෝ ප්‍රදේශවලට විදුලි බලය ලැබිණි. ඉන්දියාවටත් විදුලිය ලබාදෙන බවට පුරසාරම් දෙඩු හැටිද මතකය.

නමුත් ඉන් පසු කාලයේ දී මේ රටට අවශ්‍ය විදුලිබලාගාර ඉදිකිරීමට දේශපාලනඥයන් මෙන්ම ජාවාරම්කරුවන් ඉඩ නොදුන් බව කිව යුතුය. චන්ද්‍රිකාගේ පාලන කාලයේදී රටම අඳුරට වැටිණි. 2001 දෙසැම්බර් 05 වැනිදා පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය බලයට ආවේද විදුලි අර්බුදයකින් රට අඳුරට වැටී තිබුණ නිසාය. කරු ජයසූරිය විදුලිබල ඇමති පුටුවේ වාඩි වී කීවේ දින 180කින් රටට අඛණ්ඩව විදුලිබලය ලබාදෙන බවට සපථ කරමිනි. කී ලෙසම ඒ දේ කළ කරු ජයසූරිය ඇමැතිවරයා වැඩක් කර පෙන්නුවේ ජනාදරයට ලක් වෙමිනි.

එතැන් පටන් ප්‍රශ්නය යටගියත් ඩීසල් බලාගාර හිමි ව්‍යාපාරික පිරිසක් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මේ හරහා මුදල් හම්බකරන්නට පටන් ගත්හ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බලයට පත්ව වසර ගණනාවක් තිස්සේ ඉදිකරගත නොහැකිව තිබූ ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය (මෙගාවොට් 150) ඉදිකරන්නට තීරණයක් ගත්තේය. නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය (මෙගාවොට් 900) ඉදි කළේය. විවිධ බලවේග හා ඩීසල් මාෆියාවට පයින් ගසා මේ බලාගාර දෙක ඉදි නොකළේ නම් අද මේ රටේ විදුලි බලය කොළඹ ඇතුළු නගර කිහිපයකට සීමාවී තිබෙනවා සිකුරුය.

එතැන් පටන් මේ රටේ එකදු බලාගාරයක්වත් ඉදිකළේ නැත. විටක පාලකයන්ද තවත් විටක විදුලි ඉංජිනේරුවන්ද, තවත් විටක ශ්‍රී ලංකා මහජන උපයෝගි කොමිසමද යෝජිත විදුලි ව්‍යාපෘතිවලට හරස් වෙති. එහෙමත් නැතිනම් විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් හෝ විදුලිබල මණ්ඩල පාලනාධිකාරියේ ඇතැම් නිලධාරීන් මේ ව්‍යාපෘතිවලට හරස් කපති. පසුගිය කාලයේම සිදුවූයේ ඒ දේ පමණකි. එනිසා වාර්ෂිකව ඉහළ යන විදුලි අවශ්‍යතාව පිරිමැසීමට ඩීසල්, නැප්තා, දැවිතෙල් වැනි පොසිල ඉන්ධන පුච්චා විදුලිය නිපදවීමට මණ්ඩලය පාර කපා ගත්තේ හේතු ඇතිවය.

ජලයෙන් විදුලි ඒකකයක් නිපදවීමට යන්නේ රුපියල් තුනක පමණ මුදලකි. සුළං මගින් විදුලි ඒකකය නිපදවීමට වැය වන්නේ රුපියල් අටකි. සූර්යබලයෙන් විදුලි ඒකකයක් නිපදවීමට යන්නේ රුපියල් විස්සකි. වත්මන් මිලට අනුව ගල්අඟුරු වලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 45ක්ද ඩීසල් මගින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 100ක් පමණ වැය කිරීමට සිදුවී ඇත.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් පවසන ආකාරයට ඩීසල් ලීටරයක් මගින් නිපදවාගත හැක්කේ විදුලි ඒකක හතරක් පමණකි. දැන් ඩීසල් ලීටරයක මිල රුපියල් 405 කි. විදුලිබල මණ්ඩලයටත්, මුළු රටටත්, රටේ සමස්ත ජනතාවටත් කෙළවී ඇත්තේ මෙන්න මේ කෙරුවාවය. ඩීසල් බලාගාර හිමි ව්‍යාපාරිකයන් පොදු මහජනතා මුදල් සාක්කුවේ දමා ගත්තේ ඩීසල් පුච්චා විදුලිය නිපදවන නිසාය. ඉකුත් අගෝස්තු 09 වැනිදා සියයට 75 කින් විදුලි ගාස්තු ඉහළ දමනු ලැබුවොත්, ජනවාරි සිට විදුලි ගාස්තු යළිත් සියයට 65 කින්වත් ඉහළ දැමීමට දඟලන්නේත් ඩීසල් මාෆියාවට යටවූ මණ්ඩලය බේරාගනු පිණිසය. රට පාලනය කළ තීන්දු තීරණගත් උදවියගේ සියලු පව් ටික ලක්‍ෂ හැත්තෑහතරක් වන විදුලි පාරිභෝගිකයන් හිසමත පතිත වන්නේ මේ නරුම මාෆියාව රටම යටත් කළ නිසාය. තුන්වේලෙන් එක වේලක් කන්නට අත ඉතිරි වී තිබෙන සොච්චම් මුදලටත් කෙළින්නට පාලකයන් දඟලන්නේ දෙකෝටි විසිලක්‍ෂයක් වන ජනතාව කබලෙන් ළිපට වැටෙන්නට ඉඩ හිරිමිනි.

මෙරට විදුලි අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා ජනනය කරන විදුලියෙන් පළමු සියයට අසූව නිපදවීමට වැය වන මුදලට සමාන මුදලක් ඉතිරි සියයට විස්ස නිපදවීමට වැයවන බවට ගණන් බලා ඇත. එනිසා පොසිල ඉන්ධන පුච්චා විදුලිය ජනනය කිරීම වහා නතර කළ යුතුව ඇත. ඒකට කළ යුත්තේ වියදම් අඩු පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වෙත යෑමය. ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට පුනර්ජනනීය බලශක්තියෙන් රටේ විදුලි ඉල්ලුම සපුරාලන බවට කීවේ එනිසාය. සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයට නැඹුරු වන බව කී විට විදුලි ඉංජිනේරු සංගමය එය හාස්‍යයෙන් බැහැර කර දැමීය. නමුත් වර්තමානය වනවිට එම සංගමයම කියන්නේ මෙගාවොට් 2000ක් පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවා ජාතික විදුලි පද්ධතියට එක්කළ හැකි බවය.

නමුත් කෙරවළපිටියේ ඉදිකර තිබෙන මෙගාවොට් 300 නිපදවන යුගදනවි බලාගාරය ඉදිකර වසර දොළහක් ගතවී ගියත් එම බලාගාරය අදටත් විදුලිය ජනනය කරන්නේ ඩීසල් පුච්චමිනි. ද්විත්ව චක්‍රිය බලාගාරයක් ලෙස ස්වභාවික ද්‍රව වායු (එල්. එන්. ජී.) භාවිතා කර විදුලිය නිපදවීමට ඉදිකළ එයට අවශ්‍ය නැප්තා සැපයුමට අවශ්‍ය යටිතල පහසුකම් ලබානොදීම නිසා ඒ තත්ත්වය උද්ගතව ඇත.

ආයෝජන මණ්ඩල අනුමැතිය මත ලංකා ආලෝක් නමැති සමාගමක් නොමිලේ එල්. එන්. ජී. බලාගාරයක් හා යටිතල පහසුකම් ලබාදීමට ඉදිරිපත්ව සිටියදී ඒවා වළක්වා ඩීසල් බලාගාරම ක්‍රියාත්මක කරන්නේ කවුරුන්ද යන්න සොයාබැලිය යුතුය. මේ වනවිට කෙරවළපිටිය ප්‍රදේශයේම මෙගාවොට් 350 ක එල්. එන්. ජී. (ස්වභාවික ද්‍රව වායු) බලාගාරයක් ඉදිකිරීම ආරම්භ කර ඇත. නමුත් එල්. එන්. ජී. නැත. ඊට අදාළ යටිතල පහසුකම් ලබාදීමට කැඳවා තිබූ ටෙන්ඩරය තෝරාගත් සමාගමට පවරා දී තිබුණත් එම ලිපිය තාමත් විදුලිබල අමාත්‍යාංශ ග්‍රහණයේ තබාගෙන සිටින බව ඉංජිනේරුවෝ පවසති.

ඇත්තටම ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිටින ඇතැම් නිලධාරීන් මෙකී ඩීසල් මාෆියාවේ අතකොලුය. ඒ බැව් ඉංජිනේරුවරුම හෙළි කරති. බලාගාර ඉදිකරන්ට ඉඩ නොදීම තමයි ලොකුම හොරකම යැයි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ සාමාජිකයෙක් කියා සිටියේය. ලංකා විදුලිබල මණ්ඩලයේ පරිපාලනය, මානව සම්පත් කළමනාකරණය, මූල්‍ය පාලනය, තොරතුරු තාක්‍ෂණ ආරක්‍ෂාව ආදී සියලු අංශවල ඒකාධිකාරි බලය විදුලි ඉංජිනේරුවන් අතය. ඇතැම් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් ඔවුන් දරන තනතුරට අමතරව මානව සම්පත් කළමනාකරු ආදී තනතුරු දරමින් ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු වැටුපත් දීමනාත් ඊට අමතරව ලබන වැටුපෙන් සියයට 30 ක විශේෂ දීමනාද ලබන බව හෙළිවී ඇත. මණ්ඩලයේ සිටින යාන්ත්‍රික ඉංජිනේරුවන් හා සිවිල් ඉංජිනේරුවන් පාගාගෙන සිටින්නේද විදුලි ඉංජිනේරුවන්ය. විදුලිබල මණ්ඩලයේ පරිපාලන දුර්වලතා සෙවීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබිණි. ඒ 2019 වසරේදීය. එම වාර්තාවට අනුව වැදගත් කරුණු රැසක් හෙළිකර තිබුණත් ඒවාට අදටත් විසඳුම් දී නැත. ජ්‍යෙෂ්ඨතම විදුලි ඉංජිනේරුවරයා සාමාන්‍යාධිකාරි තනතුරු ඇතුළු ඉහළ තනතුරුවලට පත් කිරීම මීට තදබල ලෙස බලපා ඇතැයිද එමගින් කරුණු දක්වා තිබිණි. ජ්‍යෙෂ්ඨතම අය ඉහළම තනතුරුවලට පත් කිරීමේදී ඒ අයට හැට පිරී ගෙදර යන්නට සිදුවේ. ඔවුන් එලෙස යන්නේ ඉහළම තනතුරට හිමි වරප්‍රසාද ලබාගෙන මිස තනතුරට අදාළ රාජකාරිය ඉටු නොකරමිනි.

ලංකා විදුලිබල මණ්ඩලයේ දහසකට අධික පිරිසක් හැට පිරී ඊයේ පෙරේදා එකවර විශ්‍රාම ගොස් ඇත. නමුත් තාමන් 24,000 ක් පමණ මෙහි සේවය කරති. සමස්ත ඉංජිනේරුවන්ගේ ගණන දහසකට ආසන්නය. යාන්ත්‍රික ඉංජිනේරුවන් ගණන 150 කි. සිවිල් ඉංජිනේරුවන් ගණන 60 කි. වැටුප සඳහා මසකට රුපියල් කෝටි 300 ක් හෙවත් බිලියන තුනකට වඩා අවශ්‍යය. මේ වැටුප්වලට අමතරව අතිකාල විවිධ දීමනා සඳහා මසකට රුපියල් කෝටි 50 කට වඩා අවශ්‍යය. එහෙව් ආයතනයකට පැය විසි හතරේම රටට විදුලිය ලබාදීමට නොහැකි වීම බරපතල ගැලුවකි. සාමූහික ගිවිසුමකට අනුව මණ්ඩලයේ සේවකයන්ට වසර තුනකට වරක් සියයට තිහකින් වැටුප් වැඩි කෙරේ. වසරකට දෙවතාවක් ප්‍රසාද දීමනා ලැබේ. ආයතන මගින් සැකසූ අරමුදලක් මගින් විශ්‍රාම වැටුප් ක්‍රමයක්ද ඇත. අර්ථසාධක අරමුදලක්ද ඇත. පාරිතෝෂික දීමනාවලටද හිමිකම් කියති. නමුත් රටට විදුලිය නැත. කාර්ය බහුල රාත්‍රියේදීම විදුලිය කපාහරී. පාලකයන්ගේත් මණ්ඩලයේ උදවියගේත් දෙමාපියන් සිහිකරමින් මිනිසුන් සිත හදාගන්නේ වෙන කරන්නට දෙයක් නොමැති නිසාය. මේ අතර විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු පිරිස 2015 ජනවාරි 08 ඔවුනගේ වැටුප සියයට 120 කින් වැඩිකරගෙන ඇත. අභියාචනාධිකරණය එය බල රහිතකර තිබියදී ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා අල්ලාගෙන ඒ වැටුප් වැඩිවීම ඩැහැගැනීමට ඉංජිනේරුවරු පියවර ගත්තේ රට අඳුරට ගියත් ඒ උදවියගේ ජීවිතවලට ආලෝකය එක්කර ගනිමිනි.

හෙට අනින්දා යළිත් විදුලි බිල ඉහළ යෑම සිකුරුය. කොමිසම මොනතරම් පාරම්බෑවත් අවසානයේ දී බදු බරින් හෙම්බන්තව සිටින ජනයා විදුලි බිලෙන්ද ගෙල සිරකර ගනී. 2023 අඛණ්ඩව විදුලිය දෙන්නට යැයි කියමින් ගාස්තු වැඩි කළත් විදුලි කැපිල්ල නතර නොවන බව ඉංජිනේරුවරුම කියති.

එසේ නම් අප කළ යුත්ත්තේ කුමක්ද? ජීවත් වෙමුද මියැදෙමුද?

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment