විදෙස් ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද?

122

ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගැනීමේදී විදෙස් ප්‍රතිපත්ති වැදගත්වන ආකාරයමත වර්තමාන භූ දේශපාලන වෙනස්වීම් හමුවේ නව රජයේ විදෙස් ප්‍රතිපත්ති කෙසේ වියයුතුද යන කාරණා සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය සමාජීය විද්‍යා පීඨයේ ජාත්‍යන්තර අධ්‍යයන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තුමීරා ගුණසේන මහත්මිය සමග පැවැත්වූ සංවාදයකි.

● විදෙස් ප්‍රතිපත්ති ජාත්‍යන්තර මෙන්ම අභ්‍යන්තර දේශපාලනයට වැදගත් වන්නේ කෙසේද?

කිසියම් රාජ්‍යයක් පරිබාහිර රාජ්‍යයක් සමග කටයුතු කිරීමේදී තම විදේශ ප්‍රතිපත්තිය හැසිරවීම කෙතරම් සාර්ථකව සිදුකරනවාද යන කරුණ මත එම රාජ්‍යයට තම රටේ ජාතික අභිලාෂය මුදුන්පත් කර ගැනීමේ හැකියාව තීරණය වෙනවා. වර්තමාන ලෝකයේ කිසිදු රටක් හුදෙකලා රාජ්‍යයන් ලෙස ක්‍රියාත්මක වන්නේ නැහැ. ජාතික රාජ්‍ය ආරම්භ වීමත් සමග ජාතික රාජ්‍ය සංකල්පය බිහි වුණා. රටක ජාතික අභිලාෂය වන්නේ ඒ රටේ ස්වාධිපතිත්වය ආරක්ෂා කර ගැනීම සහ රටේ ජනතාවගේ ආර්ථික, සාමාජීය, සමෘද්ධිමත්භාවයක් ඇති කිරීම, භෞමිකඅඛණ්ඩතාවය, ස්වාධිපතිත්ව අයිතිය යන ජාතික අභිලාෂ රැක ගැනීම සඳහා තම විදෙස් ප්‍රතිපත්ති සකස් කර ගන්නවා. මීට අමතරව මානව හිමිකම් රැක

විදෙස් ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද?

ගැනීම සහ න්‍යෂ්ටික බලවතුන් වීම වැනි ද්විතික අභිලාෂ තුළින් විවිධ රාජ්‍යන් ජාත්‍යන්තර දේශපාලනය තුළ බලය හැසිරවීමක් දකින්න පුළුවන්. ස්වාධිපතිත්වය කියන්නේ තම රට අභ්‍යන්තරයේ සහ බාහිර කටයුතු සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණවලදී බාහිර ඇඟිලි ගැසීමකින් තොරව නිදහසේ ක්‍රියා කිරීමේ අයිතිය, එම ස්වාධිපතිත්ව බලය ආරක්ෂා කර ගැනීම සඳහා රජය බැඳී සිටිනවා. අතීතයේ පැවැති යටත් විජිතහරණය තුළ ජාතික රාජ්‍යයන් ගණනාවක් බිහි වුණා. ලෝකයේ තිබෙන ලොකු කුඩා ඕනෑම රටක් බලවත් රාජ්‍යක් ද නැද්ද කියන කාරණාවෙන් ඔබ්බට ගිහින් ඕනෑම රටක තම විදෙස් ප්‍රතිපත්ති සකස් කිරීමේදී තම ජාතික අභිලාෂ මුදුන්පත් කර ගැනීම අරමුණු වෙනවා. යම් රටක රාජ්‍ය නායකයන්ගේ පෞද්ගලික අභිලාෂ ජාතික අභිලාෂ බවට පත් කර ගන්නේ නැතිව විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්.

● ආර්ථික අභිලාෂ මුල්කර ගනිමින් රටක විදෙස් ප්‍රතිපත්ති සකස් කිරීම යෝග්‍ය ද?

යම් රටක විදේශ ප්‍රතිපත්තිය තුළ ජාතික අභිලාෂ ඉෂ්ට කර ගැනීමට යෑමේදී එකී රාජ්‍යයන් ජාත්‍යන්තර දේශපාලනයේ, ජාත්‍යන්තර වෙළෙඳාමේ කුමන ආකාරයේ හවුල්කරුවෙක්ද කියන කාරණය ඉතා වැදගත් වෙනවා. ගෝලීය ආර්ථිකය තුළ අපේ රටේ හවුල්කාරීත්වය පසුගිය වසර ගණනාවක් තුළ 30%-40%කින් අඩු වෙලා තියෙනවා. ජාත්‍යන්තර වෙළෙඳාම තුළ යම්කිසි ආකාරයක තීරු බදු (Tariffs) සහනයක් ලැබුණත් එම වාසිය ලබාගැනීමට අපට අපහසු වී තිබෙනවා. අපේ රටේ නිෂ්පාදිතය ලෝක වෙළෙඳපොළෙත් අඩු නම් තිබෙන්නේ අපට ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වෙනවා. මේ නිසා තීරු බදුවලින් ලැබෙන වාසිය ලබාගැනීමට නොහැකි වී යනවා. ඉන්දියාව වැනි රටක ගෝලීය වෙළෙඳපොළෙත් හිමිකාරිත්වය 175%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා. කලාපීය වශයෙන් එවැනි ආර්ථික බලවතෙක් ඉන්නකොට නිදහස් වෙළෙඳ ගිවිසුමක් (free trade agreement) හරහා ඉන්දියාව සමග ගනුදෙනු කර යම්කිසි වාසි සහගත තත්ත්වයක් රටට ලබාගැනීමට හැකියාව තිබෙනවා. සෑම අවස්ථාවකම ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග කටයුතු කිරීමේදී අඩු වියදමකින් වැඩි භාණ්ඩ ප්‍රමාණයක් නිපදවීමට පුළුවන් නම් ඒ භාණ්ඩය වෙළෙඳපොළට යැවීම තුළ අපට වැඩි වාසියක් ලබාගැනීමේ හැකියාව තියෙනවා. මෙතැනින් තමයි අපිට වෙළෙඳාමේ වාසිය ලබාගන්න පුළුවන්. ලෝක වෙළෙඳපොළ තුළ තරග කිරීමට තරගකාරීත්වයක් අප සතුව නැති නිසා ඉන්දියාව වගේ ආර්ථිකමය වශයෙන් බලවත් රටක් සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් (free trade agreement) හරහා ගනුදෙනු කිරීම ඉතා වැදගත් කාරණයක්. අපේ රටට නිදහස් වෙළෙඳ ගිවිසුම් එන අවස්ථාවලදී යම් ආකාරයක බයක් දක්වන්නේ මේ තරගකාරීත්වයට ඇති බිය නිසයි. නමුත් කලාපීය වශයෙන් බොහෝ රටවල් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම් ඔස්සේ තම රටේ ආර්ථික ප්‍රතිපත්ති සකස් කරගෙන තිබෙනවා. තරගකාරීත්වය සඳහා මනා සූදානමක් ඇති රටවල් ලෝක වෙළෙඳපොළ තුළ තරග කිරීමට කිසිදු ආකාරයකට බිය විය යුතු නැහැ. මේ නිසා ප්‍රධාන වශයෙන් රට අභ්‍යන්තරයේ ආර්ථිකය ශක්තිමත් වීම ඉතා වැදගත්. ඒ වගේම ලෝක වෙළෙඳාම තුළ අපිට වාසි ලබාගන්න පුළුවන් නිෂ්පාදන මොනවාද ඒවා වැඩි තරගකාරිත්වයක් සහිතව නිෂ්පාදනය කර වෙළෙඳපොළට යවන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා.

බලයට පත්වන රජයන් එක් එක් රටවලට පක්ෂපාතී ආකාරයට මෙරට විදෙස් ප්‍රතිපත්ති වෙනස් කිරීම අපේ රටට කෙසේ බලපාවි ද?

අපේ රටේ විදෙස් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේදී සෙසු රටවල් ඔවුන්ගේ ප්‍රතිපත්ති සකසා ගන්නේ කෙසේද? යන්න සැලකිය යුතුය. උදාහරණයක් විදිහට අපේ රටට ප්‍රධාන අපනයන වෙළෙඳපොළවල් තිබෙන්නේ ඇමෙරිකාව, යුරෝපය සහ ඉන්දියාව යන රටවලයි. ඇමෙරිකාව වගේ රටක් ගන්නා තීරණ ඍජුව සහ වක්‍රව අපේ වෙළෙඳපොළ සඳහා බලපානු ලබනවා. ලෝකයේ සිදුවන යම් යම් වෙනස්කම් අපගේ වාසියට හරවා ගැනීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ක්‍රමෝපායිකව සිතා තීන්දු තීරණ ගතයුතුයි. එකම රටක් මත යැපීම සිදු නොකළයුතු දෙයක්. වෙනත් වෙළෙඳ හවුල්කරුවන් සොයාගැනීමට අපිට හැකියාව තියෙනවා. අපි ගෝලීය උතුර වගේම ගෝලීය දකුණ සමගත් ගනුදෙනු කිරීමේදී එක හා සමානව කටයුතු කිරීම ඉතා වැදගත්.

ගෝලීයකරණයත් සමග ලෝකයේ සෑම රටක්ම අනෙකා මත යැපීමට සිදුව තිබෙනවා. මෙය අලුත් දෙයක් නොවේ. නමුත් අනවශ්‍ය ආකාරයට යැපීම මත අපේ පැවැත්මට එය තර්ජනයක් වෙනවා. නිරන්තරයෙන් වෙනස්වීමට ලක්වන ගෝලීය දේශපාලනය තුළ අපි වගේ කුඩා රටකට නිරන්තරයෙන් ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා. ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ වෙනස්කම්වලදී අපි ශක්තිමත්ව සහ ක්‍රමෝපායිකව මුහුණ දීමට සූදානම් විය යුතුයි.

● ඔබ සිතන ආකාරයට නව රජයේ විදෙස් ප්‍රතිපත්ති කෙසේ විය යුතුද?

නව රජය ඔවුන්ගේ විදෙස් ප්‍රතිපත්ති සකස් කිරීමේදී භූ දේශපාලනය අමතක කරලා විදෙස් ප්‍රතිපත්ති සකස් කරන්න බැහැ. මහින්ද රාජපක්ෂ සමයේදී ලංකාවේ ප්‍රතිරූපය පැති කිහිපයක් ඔස්සේ පළුදු වීමට ලක්වෙනවා. විශේෂයෙන්ම 2009 යුද්ධයෙන් අනතුරුව මානව හිමිකම් උල්ලංඝනය කරන රටක් හැටියට සුළුජාතීන්ගේ අයිතීන් උල්ලංඝතනය කරන රටක් හැටියට, මාධ්‍යවේදීන්ගේ අයිතීන් කඩ කරන රටක් හැටියට නම් දරා තිබුණා. ලංකාවේ බිඳ වැටුණු ප්‍රතිරූපය නැවත ස්ථාපිත කිරීම සඳහා ඒ අවස්ථාවේ ඔවුන් කිසිදු පියවරක් ගත්තේ නැහැ. මේ නිසා අපේ රට පිළිබඳව ලෝකය තුළ ඇත්තේ වැරදි ප්‍රතිරූපයක්. ඉන්දියාව වැනි රටක කුමන පාලනයක් බලයට පත්වුවත් ඔවුන් ක්‍රියාත්මක කරන්නේ එක් විදෙස් ප්‍රතිපත්තියක්. නමුත් අපේ රටේ බලයට පත්වන නායකයන්ගේ සහ පාලනයන්ගේ අභිලාෂය මත විදෙස් ප්‍රතිපත්ති වෙනස් වීමක් දකින්න පුළුවන්. නමුත් මෙම රජය හෝ මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. කිසිදු රටකට පක්ෂපාති නොවන අයුරින් අපේ විදෙස් ප්‍රතිපත්තිය සකස්කර ගතයුතු වෙනවා. නව රජය ඔවුන්ගේ විදෙස් ප්‍රතිපත්ති සකස් කිරීමේදී භූ දේශපාලනය හොඳින් අවබෝධ කර ගතයුතුයි. කලාපීය භූ දේශපාලනයට අවශ්‍ය පරිදි ඔවුන්ගේ අභිලාෂ ඉෂ්ට කර ගැනීමට සඳහා අපේ භූමිය ලබානොදී අපේ රටේ ජාතික අභිලාෂ ඉෂ්ට කර ගැනීම සඳහා උපයෝගි කර ගැනීම සඳහා අපේ රටේ පිහිටීම උපයෝගි කරගත යුතුයි. නව රජය විදෙස් ප්‍රතිපත්ති සකස් කර ගැනීමේදී ශ්‍රී ලංකාවේ විදේශ වෙළෙඳ ප්‍රතිපත්තිය සහ විදේශ ආයෝජන අතර සබැඳියාව මගින් ගෝලීය වෙළෙඳපොළ සමග ඇති බැඳීම ඉහළ නංවා ගැනීම කෙරෙහි අවධානය යොමු වියයුතු වෙනවා. වෙළෙඳ හවුල්කරුවන් සමග වෙළෙඳ ගිවිසුම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වීම උපායමාර්ගික වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු සහ යෝග්‍ය ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා වෙළෙඳ ප්‍රවේශය ඉහළ නංවා අරමුණ කර ගතයුතුයි. වෙළෙඳපොළ ප්‍රසාරණය, වෙළෙඳාම සහ තීරුබදු තාර්කීකරණය, වෙළෙඳාම විදේශීය ඍජු ආයෝජන සඳහා පහසුකම් සැලසීම සහ අපනයනය කෙරෙහි යොමු වූ විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම මගින් අපනයන පදනම පුළුල් කිරීම සහ අපනයන සහ විදේශීය ඍජු ආයෝජන සම්බන්ධව ශ්‍රී ලංකාවේ තරගකාරිත්වය ඉහළ නංවා ගැනීම යනාදිය කෙරෙහි ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියකට යොමු වියයුතු වෙනවා. ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කළ යුතු අතර අපේ රටේ ආර්ථිකයේ වර්ධනයටද එය හේතු වෙනවා. ඒ වගේම අපි රටේ ආරක්ෂාවට ආයෝජනය කරනවා සේම විද්‍යාව හා තාක්ෂණයට, නවෝත්පාදනය, පර්යේෂණ හා සංවර්ධනයට අවධානය ලබාදියයුතුයි. භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය වෙනත් නිෂ්පාදන සාධක සඳහා විකල්ප මාර්ග සොයාගැනීමට එමගින් අපිට හැකි වෙනවා දැඩි පරායත්ත බවක් පෙන්වන්න.

● නව රජය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වෙනස් කිරීමට දියත් කළ යුතු රාජ්‍ය තාන්ත්‍රික උපක්‍රම සහ ක්‍රියාමාර්ග මොනවාද?

ලංකාව කියන්නේ ලෝකය තුළ මනා ලෙස අභිමානයෙන් යුතුව ප්‍රවර්ධනය කළ හැකි සංස්කෘතික ඉතිහාසයක් ඇති දේශීයත්වයට උරුමකම් කියන රටක් ලංකාවේ අලෙවි (Market) කළ හැකි බොහෝ දේවල් තිබෙනවා. ලංකාවේ දේශීයත්වය කෙතරම් අලෙවි කළ හැකි දෙයක් ද අපේ රටට ආවේණික වූ ආහාර සංස්කෘතියක් තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රය ගත්තත් ප්‍රවර්ධනය හැකි ක්ෂේත්‍ර කොපමණ තිබෙනවාද? ලංකාවේ සිව්කොණට ගියාම භූ විෂමතා හතරක් අපිට හමුවෙනවා. ඒවායේ හමුවන ස්වභාව සෞන්දර්ය විධිහතරක්, අපි හෙළ වෙදකම, සෞඛ්‍ය සංචාරක (Health Tourism) ක්ෂේත්‍රයේ සඳහා උපයෝගී කරගන්න පුළුවන්. යම්කිසි ක්ෂේත්‍රයක් සඳහා වටිනාකමක් ලබාදීලා, එය ප්‍රවර්ධනය කරලා, එය ලෝකයට ලබාදීලා අපේ රටේ ප්‍රතිරූපය වර්ධනය කරන්න ඕන තරම් හැකියාව තියෙනවා. ජාත්‍යන්තර සබඳතා ගොඩනැඟීමේදී තානාපති සේවය කියන්නේ ඉතා වැදගත් දෙයක්. රටේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සහ අනෙක් රටවල් සමග හොඳ හිත වර්ධනය කර ගැනීමට උපයෝගී කරගත හැකි දෙයක්. තානාපති සේවය ඔස්සේ අපේක්ෂා කරන්නේ ද රටේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමයි. නමුත් පසුගිය කාලය වකවානු තුළ තානාපති සේවයට පත්වී ගිය පුද්ගලයන්ගෙන් එම සේවාව ඉටු වුණාද කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් පවතී. වඩා වැදගත් සේවාවක් වන තානාපති සේවය පසු ගිය කාලයේ තම හිතවතුන්ට සහ දේශපාලන හිතවත්කම් මත ලබාදීම දකින්න පුළුවන් වුණා. තතානාපති සේවය පිළිබඳව කිසිදු පළපුරුද්දක් නැති අයට තානාපති සේවය ලබාදුන්නා. ජාත්‍යන්තර මට්ටමෙන් ලංකාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා විශාල කාර්යභාරයක් තානාපති සේවය හරහා කළ හැකයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමේදී නව රජය මෙම තානාපති සේවය තවත් ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා සුදුසුම පුද්ගලයන් සුදුසුම තැන්වලට පත් කිරීම නව රජයේ තවත් එක් කාර්යභාරයක්.

● නැවත වරක් ගෝලීය ආර්ථික අර්බුදයකින් ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීම සඳහා විදෙස් ප්‍රතිපත්ති සකස් කළ යුත්තේ කොහොමද?

අපි මේ සිටින ගෝලීය ආර්ථිකය තුළ විවෘත ආර්ථිකයක සිට සංවෘත ආර්ථිකයකට ගමන් කිරීම අසීරූ කාර්යයක්. මේ නිසා නව රජය ඉතා සූක්ෂම සහ ක්‍රමෝපායිකව ආර්ථික සැලසුම් සකස් කර ගතයුතුයි. අපේ රටේ බොහෝ අවස්ථාවල දකින්න ලැබෙන්නේ ආණ්ඩු මාරුවනවිට රටේ ප්‍රතිපත්ති මාරු වීම. ඇමැති මාරු වනවිට ප්‍රතිපත්ති මාරු වනවා. ඒ වගේම නිලධාරීන් හිතන පතන විදිහ සහ ඔවුන්ගේ ක්‍රියා කලාපය ආර්ථික වශයෙන් රට කඩා වැටීමට හේතු වුණා. මේ නිසා රටේ නිලධාරීවාදය වඩා සැලකිල්ලක් දැක්විය යුතු කාරණයක්. රට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමට නම් රට තුළ සිටින මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම අවශ්‍යය. එය පාසලෙන්, විශ්වවිද්‍යාලයෙන් ඇරඹිය යුතුයි. ඒ වගේම රජයේ සමස්ත උපාය මාර්ගය තුළ අපනයන අංශය සංවර්ධනය කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම වැදගත්. ඒ වගේම අපනයන වෙත යොමු වූ විදේශීය ඍජු ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම, වෙළෙඳ සැපයුම් සේවා පහසුකම් වැඩිදියුණු කිරීම, රේගු කටයුතු වඩාත් විනිවිදභාවයකින් හා කාර්යක්ෂමව සිදු කිරීම සහ වෙනත් විවිධ ක්‍රියා මාර්ග තුළින් ව්‍යාපාර ආයතනයකට ලෝක වෙළෙඳපොළ තුළ තරග කිරීමේ හැකියාව ශීඝ්‍ර ලෙස ඉහළ නැංවීම ඉලක්ක කරමින් ජාතික වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කර ගැනීම තුළ අපිට නැවත ආර්ථික වශයෙන් ශක්තිමත් වියහැකියි. අපේ රට අනුගමනය කරන නොබැඳි විදේශ ප්‍රතිපත්තියට අනුකූල වන පරිදි උප මහද්වීපයෙන් ඔබ්බට ගොස් විශේෂයෙන්ම බිලියන 3කට ආසන්න ප්‍රමාණයක වෙළෙඳපොළකට සැපයුම් කළ හැකි චීනය, සිංගප්පූරුව, යුරෝපා සංගමය සහ ඇමෙරිකා එක්සත් ජනපදය සමග නව ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වෙළෙඳ අවස්ථා සොයාබැලීම අවශ්‍යයි. දූරදර්ශී සහ ප්‍රායෝගික උපායමාර්ගයන් අනුගමනය කිරීම, අපනයන අංශය යළි නඟා සිටුවීම ඉතා වැදගත්. එය සාර්වආර්ථික ප්‍රතිපත්ති සහ රජයේ සමස්ත උපායමාර්ගික දිශානතිය හා අනුගත වියයුතුයි.

සාකච්ඡා සටහන
රුවන් පුෂ්ප කුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය


advertistmentadvertistment