පර්යේෂණ යාත්‍රාවලට පැනවූ වසරක තහනම චීනයට එරෙහිවද?
විදේශ ප්‍රතිපත්තිය අදාළ රටේ පරමාධිකාරී තීන්දුවක් නොවේ
යුක්රේනයට සහ ඊශ්‍රායලයට ඉන්දීය යුද සහය
තවමත් පිළිතුරක් නොමැති ජිනීවා යුද අපරාධ චෝදනා
ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ශ්‍රී ලංකාව ද්‍රවිඩ ජන සංහාරයක් කළ බවට කැනඩාව 2022 මැයි මාසයේදී නිල ප්‍රකාශයක් කළේය. එම තීරණය ශ්‍රී ලංකාව දැඩි නින්දාවකට පත් කළේය. කිසිදු අධිකරණ ක්‍රියාදාමයක් තුළ ඔප්පු නොවූ එලෙසම පරීක්ෂණයකට භාජනය නොවූ චෝදනා මත කැනඩාව ශ්‍රී ලංකාවට එරෙහිව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය (ජාජබ) රජය අවධානය යොමු කළ යුතුමය. එම ප්‍රකාශය කැනඩා පාර්ලිමේන්තුවෙන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එවකට තිදෙනකුගෙන් සමන්විත වූ ජාජබ පාර්ලිමේන්තු කණ්ඩායම එම කැනේඩියානු ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හෝ එයින් පිටත අදහසක් ප්‍රකාශ කර නැත. එම පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා වූ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් ඔක්තෝම්බර් 02 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ හමුවිය. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය අනුව ද්‍රවිඩ ජන සංහාරය සම්බන්ධයෙන් සාකච්ජා කළ බවට සඳහනක් නොමැත.
ජයග්‍රාහී ආරක්ෂක හමුදාවලට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා ක්‍රියාත්මක බටහිර අවශ්‍යතාවයක් වන යුද අපරාධ පරීක්ෂණයට කැනේඩියානු ප්‍රකාශය දැඩි රුකුලක් බව අමුතුවෙන් කිවයුතු නැත. යහපාලන ආණ්ඩුව ජිනීවා පාවාදීම සිදුකළේ 2018 ඔක්තෝම්බර් මාසයේදීය. යහපාලන කැබිනට් මණ්ඩලය නියෝජනය නොකළත් එදා ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව සමග විය. ආරක්ෂක අමාත්‍ය සහ සේනාධිනායක ද වන දිසානායක ජනාධිපතිවරයා මානව හිමිකම් අර්බුදය විසඳන්නේ කෙසේද? නැතහොත් එම අභියෝගයට මුහුණ දෙන්නේ කෙලෙසද?
ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට (2009-2014) සහ 2019-2022 ජනාධිපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ ජිනීවා පෙරමුණේ පරාද විය. ඔවුන්ට අවම වශයෙන් නේස්බි සාමිවරයා ලබා දුන් රහස්‍ය බි්‍රතාන්‍ය වාර්තා මත ජිනීවා චෝදනා නිෂ්ප්‍රභා කිරීමටවත් අවශ්‍යතාවයක් නොවීය.
ජාතික ජන බලවේගය (ජාජබ) මුහුණ දී ඇති ප්‍රබල අභියෝග ගණනාවකි. එම අභියෝග අතරින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය දැඩි අභියෝගයකි. අතිශය ගැටලුකාරී තත්ත්වයකි. නව විදේශ අමාත්‍ය විජිත හේරත් සහ ජාජබ මෙන්ම එම සන්ධානයේ ප්‍රධානතම පාර්ශ්වය වන ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක මුහුණ දෙන අතිශය තීරණාත්මක අභියෝගය විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමයි.
ඇමෙරිකා එක්සත් ජනපදය නායකත්වය දෙන ඉන්දියාවද සාමාජිකත්වය දරන බල කඳවුරේ සහ චීනයේ අතිශය අන්තරාදායක ගැටුමකට මැදිවී සිටින ශ්‍රී ලංකාව තම විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුහුණ දී ඇති අර්බුදය රට බංකොළොත් වී ඇති තත්ත්වය නොසලකා විමසා බැලිය නොහැක. චීනයට මෙන්ම ඉන්දියාවටද ණය වී ඇති ශ්‍රී ලංකාව එම කඳවුරු දෙක අතර ගැටුමේ ‘සටන්’ භූමියක් බවට පත්වී ඇත.
ජාජබ ජනාධිපතිවරණය ජය ගැනීම හේතුවෙන් ඇතිවූ බල පෙරළියට ඉහත සඳහන් කළ කඳවුරු දෙක අතර නොනවතින ගැටුම විග්‍රහ නොකර කිසිසේත්ම සාකච්ජා කළ නොහැක. ඊට පෙර ජාජබ ජනාධිපතිවරණයේදී ‘උපායමාර්ගික විදෙස් සබඳතාවන්’ යන ශීර්ෂය යටතේ ජනතාවට කළ ප්‍රකාශය එලෙසම නැවතත් අවධානයට ලක් කිරීමට කැමැත්තෙමි. එම ප්‍රකාශය කරුණු තුනකින් සමන්විත විය: (1) ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල ජාලය සහ ඒවායේ කාර්ය මණ්ඩල සංඛ්‍යාව විස්තීර්ණ සමාලෝචනයකින් පසු ප්‍රතිව්‍යුහගතකරණයට තානාපති කාර්යාල සඳහා විදේශ වෙළෙඳාම දියුණු කිරීම, (2) සංචාරක ප්‍රවර්ධනය, රැකියා අවස්ථා පුළුල් කිරීම ඇතුළත් කාර්ය සාධක දර්ශක සහ (3) කලාපයක් ආරක්ෂාවට තර්ජනයක් ඇති වන පරිදි ශ්‍රී ලංකාවේ ගොඩබිම, මුහුද හෝ ගුවන් අවකාශය භාවිතා කිරීමට ඉඩ නොදීම.
ඉහත යෝජනා ‘රට අනුරට’ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව ඇත. එම කෙටි ප්‍රකාශය අදාළ විෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සැබෑ අර්බුදකාරී තත්ත්වය අවධාරණය කරනවාද ? ජනාධිපතිවරණයේදී පරාජයට පත්වූ සජිත් ප්‍රේමදාස (සමගි ජන බලවේගය) රනිල් වික්‍රමසිංහ (එජාප නායක ස්වාධීන අපේක්ෂක) සහ නාමල් රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැක්වූ සැලකිල්ල කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. තත්ත්වය කෙතරම් අවදානම් ද කිවහොත් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම තනි අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුව සතුව නැත. එම තත්ත්වය ඛේදවාචකයකි. නමුත් සත්‍යය. එලෙසම ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් ඇති රටකට පමණක් සුවිශේෂ වූ තත්ත්වයක් නොවේ.
මහ මැතිවරණය පැවැත්වීමට තව ඇත්තේ සති පහක් පමණි. එම කාලය තුළ අප විදේශ ප්‍රතිපත්තිය උඩු යටිකුරු කළ නොහැක. නමුත් ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගය ලෝක තත්ත්වයන්ද සැලකිල්ලට ගෙන දැඩි විමසිල්ලට ලක් කිරීමට හැකිය. ගාසා තීරයට එල්ල කර ඇති මාරාන්තික ඊශ්‍රායල් ප්‍රහාරය ලෙබනනය දක්වා දිගු කර ඇති පසුබිමේ යුදෙව් රාජ්‍ය සහ ඉරානය අතර මුළු ලෝකයටම බලපාන යුද්ධයක් ඇති විය හැක. යුක්රේනයේ සිදුවන රුසියාව සහ බටහිර කඳවුර අතර යුද්දයේදී ඉන්දියාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පවසයි. නමුත් යුක්රේනයට නොනවත්වා පතොරම් සපයයි. එලෙසම ගාසාවට සහ ලෙබනනයට පහර දෙන යුදෙව් රාජ්‍යටද පතොරම් සහ පුපුරන ද්‍රව්‍ය සපයයි.
ඉන්දියාව පලස්තීනුවන්ගේ සහ රුසියාවේ සිත් දැඩි ලෙස රිදවා තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. නරේන්ද්‍ර මෝඩි 2014 අග්‍රාමාත්‍ය ධුරයට පත්වී ඉන්දියාවේ දිශාව ක්‍රමක් ක්‍රමයෙන් වෙනස් කිරීම ආරම්භ කළේය. අවසානයේ නව දිල්ලිය වොෂින්ටනයේ තුරුලේය. සෝවියට් දේශය සමයේ ඉන්දියාවේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම රඳා පැවතියේ එදා රතු සුපිරි බලවතාගේ ශක්තිය මතය. නමුත් වර්තමාන තත්ත්වය තුළ ඉන්දියාවද අසරණය. රුසියාවට ද කළ හැක්කක් නොමැත.
බංකොළොත් ශ්‍රී ලංකාව මුහුණ දෙන විදෙස් ප්‍රතිපත්ති අර්බුදයේ ස්වභාවය ඉන්දියාව මුහුණ දෙන අර්බුදකාරී තත්ත්වය තුළ තේරුම් ගත හැකිය. වෙනත් ආකාරයකින් පැවසුවහොත් ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය දැඩි බලපෑමකට ලක්වී ඇත. කලාපීය බලවතෙක් වන ඉන්දියාවට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරෙන් එල්ල වන බලපෑම අවබෝධ කර ගැනීමට ඉන්දියාවේ අත කරකවා ඊශ්‍රායලට සහ යුක්රේනයට පතොරම් සහ පුපුරන ද්‍රව්‍ය සැපයීම ප්‍රමාණවත්ය.
නොබැඳී ජාතීන් කියා රටවල් නොමැත. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ දී ඉන්දියාව රුසියාවට එරෙහිව තම ඡන්දය පාවිච්චි කරන්නේ නැත. ලෝක සංවිධානය තුළ පලස්තීන – ඊශ්‍රායල ගැටුමේදී ඉන්දියාව යුදෙව් රාජ්‍ය සමග සිට ගන්නේ නැත. නමුත් ගාසා තීරයට සහ ලෙබනනයට ඉන්දියානු වෙඩි ප්‍රහාර එල්ල වීම නැවත නැවතත් අවධාරණය කරන්නේ බලවත් රටකට පවා ගැලවිය නොහැකි ඇමෙරිකානු න්‍යාය පත්‍රයයි.
මෙම කරුණු කාරණා සියල්ල සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව ඉතාමත් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. නැතහොත් චීන – ඇමෙරිකා ගැටුමේදී ශ්‍රී ලංකාව එම බල කඳවුරු දෙකේම ගොදුරක් විය හැකිය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරය මෙම තත්ත්වයට මුහුණ දෙනු ඇත. අභියෝගය බියකරුය. සැප්තැම්බර් 21 දින පැවැත්වූ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා දිව්රුම් දීමට පෙර සහ පසුව බල කඳවුරු දෙක කළ ප්‍රකාශ භූමියේ තත්ත්වය පිළිබිඹු නොකරයි.
ලෝක සහ කලාපීය බලවතුන්ගේ ක්‍රියාකලාපය තුළ අවධානයට, නැතහොත් සැලකිල්ලට ලක්වන්නේ ඔවුන්ගේ ප්‍රමුඛ උපාය මාර්ගික අවශ්‍යතා බව අමුතුවෙන් කිව යුතු නැත.
බොහෝ විෂයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිපත්තියක් නොමැත. ප්‍රතිපත්තියක් නොමැති වීමද එක්තරා ආකාරයකට ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තියකි. දිසානායක ජනාධිපතිවරයාට සහ විදේශ අමාත්‍යවරයාට එම තත්ත්වය සැලකිල්ලට ගෙන කටයුතු කළ හැකිය. නමුත් අරගලයෙන් පසුව වර්ධනය වෙමින් පවතින තත්ත්වය තුළ ඇමෙරිකානු – ඉන්දියානු අවශ්‍යතා සපුරාලීම දැඩි අභියෝගයකි. ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ ඇමෙරිකානු – ඉන්දියානු අවශ්‍යතා සපුරා ගැනීමට අමතරව ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය පළුදු කිරීම ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ඉහළින්ම ඇත. එම තත්ත්වය අවධාරණය කිරීමට දැනට ක්‍රියාත්මක ඇමෙරිකානු -ඉන්දියානු ‘මෙහෙයුමක්’ සාකච්ඡාවට භාජනය කළ හැකිය.
‘අරගලය’ (මාර්තු 31 – ජුලි 14, 2022) හරහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පලවා හැරීමට පූර්ණ ඇමෙරිකානු සහය හිමිවිය. ජනාධිපතිවරයා පහ කිරීමේ ක්‍රියාදාමයේ ඉදිරිපිල ක්‍රියාකාරිකයකු වූ පෙරටුගාමී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ ප්‍රකාශ කර ඇති පරිදි එජාපය, සජබ සහ ජවිපෙ එම මෙහෙයුමට සහභාගි විය. මෙහෙයුමේ මූලික පරමාර්ථයට පටහැනිව රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට එවකට පාර්ලිමේන්තු බලය හිමි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) විසින් පත්කර ගන්න ලදී.
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව දැඩි ඉන්දීය-ඇමෙරිකානු බලපෑමකට ලක්වූයේ චීන පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීම නැවත්වීමටයි. බංකොළොත් ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනුවට මැදිහත් වීම තුළ ඉන්දියාව සහ ඇමෙරිකාව ආණ්ඩුව තම ග්‍රහණයට ගෙන තිබූ බව ලියුම්කරුගේ නිරීක්ෂණයයි. ආණ්ඩුව අසරණ තත්ත්වයක පසුවිය. වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවසානයේ පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීම 2024 ජනවාරි 1 සිට දෙසැම්බර් 31 දක්වා තහනම් කළේය. ඇත්ත වශයෙන්ම එම තහනම චීනය ඉලක්ක කළ රහසක් නොවේ.
ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ අවශ්‍යතාවය එම තහනම තවදුරටත් දීර්ඝ කර ගැනීමය. ශ්‍රී ලංකාවේ ස්ථාවරය හදිසියේ ප්‍රකාශ කිරීමට අවශ්‍ය නැත. මහ මැතිවරණය පවත්වා නව රජය නොවැම්බර් මාසයේ තෙවැනි සතියේ පත්වන තුරු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට කල් ගත හැකිය. ලියුම්කරුගේ විශ්වාසය ජවිපෙ නායකත්වය දෙන ජාජබ අනිවාර්යෙන්ම මහ මැතිවරණය ජයගන්නා බවයි. සැකයකින් තොරව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය ලෙස සහ විජිත හේරත් විදේශ අමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙනු ඇත. මහ මැතිවරණය ජයගැනීමට වඩා විදේශ අභියෝග සමනය කර ගැනීම අතිශය අභියෝගාත්මක වනු ඇත. එම අභියෝග ජයගැනීම සිහිනයක් පමණක් වනු ඇත. අප හට කළ හැක්කේ තත්ත්වය සමනය කර ගැනීම පමණක් බව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ වටහාගත යුතුමය.
චීන – ශ්‍රී ලංකා දේශපාලන – ආර්ථික – ආරක්ෂක සබඳතා ඉලක්ක කර විශේෂයෙන්ම 2010 සහ 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට ඇමෙරිකාව ප්‍රමුඛ කණ්ඩායම කළ මැදිහත්වීම රහසක් නොවේ. එම අවස්ථාවන් දෙකෙහිදීම ජවිපෙ රාජපක්ෂ පරාජය කිරීමට එකතුවූ කණ්ඩායමේ ප්‍රබල කාර්යක් කළේය. ඉතිහාසය අමතක කර වර්තමාන අභියෝග කිසිසේත්ම සාකච්ඡා කළ නොහැක. කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය (ආරම්භය 2014), හම්බන්තොට වරාය වසර 99 ක බද්දකට චීනයට දීම (2017) සහ උතුරේ ක්‍රියාත්මක චීන ව්‍යපෘති සියල්ල චීන – ඉන්දීය -ඇමෙරිකානු අර්බුදයට ප්‍රධාන හේතුය.
අරගලයෙන් පසුව මෝදිගේ ඉන්දියාව ශ්‍රී ලංකාව සමග අමුතුම ආකාරයේ බැඳීමක් පැවති බව අවධාරණය කළ යුතුය. වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක උපදේශක වූ හිටපු අමාත්‍ය සාගල රත්නායක ඉන්දියාව සමග ඇතිකර ගනු ලැබූ අවබෝධය එක්තරා ආකාරයකට අනතුරුදායකය.
ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ‘මුහුදු පාලමක්’ හරහා සම්බන්ධ කිරීමට කළ යෝජනාව සමස්ත ගැටලුකාරී තත්ත්වය දැඩි ලෙස අවධාරණය කරන අවස්ථාවකි.
ඉන්දීය ධීවර ප්‍රජාව ඉවක් බවක් නොමැතිව ශ්‍රී ලංකා මුහුදේ මත්ස්‍ය සම්පත කොල්ලකෑම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳාගත යුතුය. ජනාධිපතිවරණය පැවැත් වූ සැප්තැම්බර් 21 දිනයේදීද පේදුරු තුඩුව මුහුදේදී ඉන්දීය ධීවරයන් 30 දෙනකු යාත්‍රා තුනක් සමග අත්අඩංගුවට පත්විය. ඊට දින කීපයකට පසුව මන්නාරම් මුහුදේදී ද ඉන්දීය ධීවරයන් 17 ක් සමග යාත්‍රා දෙකක් නාවික හමුදා අත්අඩංගුවට පත්විය. මෙම මැතිවරණ වසර තුළ පමණක් සැප්තැම්බර් 29 දින දක්වා ඉන්දීය ජාතිකයන් 413 සහ ධීවර යාත්‍රා 55 අත්අඩංගුවට ගෙන ඇත. මෙම කාලය තුළදී මුහුදු සීමාව උල්ලංඝනය කළ ධීවරයන් විසින් ඇති කළ කලහකාරී තත්ත්වයක් තුළ විශේෂ යාත්‍රා බලඝණයේ (Special Boat Squadron) නාවිකයකු මරණයට පත්විය. එම සිද්ධිය ජුනි මාසයේ අවසන් සතියේදී සිදුවිය.
දිසානායක ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගෙන දින කීපයකට පසුව තමිල් නාඩුව නියෝජනය කොංග්‍රස් මන්ත්‍රීවරියක වන ආර්. සුදා ඍජුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ධීවරයන් සහ යාත්‍රා අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව නිදහස් කරන ලෙසයි. එම ඉල්ලීම කිරීමෙන් පසුව මන්නාරම් මුහුදේදී ද ඉන්දීය ධීවරයන් කණ්ඩායාමක් අත්අඩංගුවට ගැනීම සිදුවිය. ශ්‍රී ලංකා මුහුදු සම්පත කොල්ලකෑම වැළැක්වීමට නැතහොත් අවම කිරීමට ඇති එක විසඳුම ඉන්දීය නාවික සහ වෙරළාරක්ෂක බළකාය තම ධීවර ප්‍රජාව අසල්වැසියාගේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නැවත්වීමයි.
ශ්‍රී ලංකාවට ඍජු විදේශ යෝජනා අවශ්‍යය. ඉන්දීය සහ චීන ආයෝජන අත්‍යවශ්‍යය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීරණය, කන්කසන්තුරේ වරාය සංවර්ධනය, කොළඹ වරාය (ඇමෙරිකාව සමග එකතුවී) උතුරු සහ කඳුකරය ඇතුළු ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක නිවාස ව්‍යපෘති මෙන්ම ආරක්ෂක හමුදාවල කර තිබෙන ඉන්දීය ආයෝජන සුළුපටු නැත. කොළඹ වරාය නගරය, කොළඹ වරාය සහ හම්බන්තොට වරාය ඇතුළු ක්ෂේත්‍රවල චීන ආයෝජන ද සමස්ත එක්සත් ජනපදය, ඉන්දියාව සහ චීනය අතර බල අරගලය තුළ විමසා බැලිය යුතුය.
ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ස්ථාපිත කළ බව සහ චීනය සහ පකිස්ථානය මෙන්ම යුදෙව් රාජ්‍ය නොවන්නට 90 දශකය ආරම්භ වීමට පෙර රට දෙකඩ වීමේ අවස්ථාවක් තිබූ බව අපට කිසිසේත් අමතක කළ නොහැක. ඉන්දියාව 1987 ජුලි – 1990 මාර්තු අතර කාලයේදී ශ්‍රී ලංකාවේ කළ හමුදා මැදිහත්වීම ඉන්දු – ලංකා මිත්‍රත්වය පළුදු කළේය. ත්‍රස්තවාදය වපුරවා රට ලේ විලක් කළ ඉන්දියාව බලහත්කාරයෙන් තම හමුදා ශ්‍රී ලංකාවට එවූ බව රහසක් නොවේ. ඊට එරෙහිව අවි අතට ගත් ජවිපෙ අද ජාතික ජන බලවේගය ලෙස ඉන්දියාවේද සහයෝහය දිනා ගැනීම දේශපාලනිකව වැදගත්ය. ජනාධිපතිවරණයට පෙර සිටම ඉන්දියාව අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය විශ්වාස කර කටයුතු කළ අවධාරණය කළ යුතුය. ඉන්දීය ආරක්ෂක උපදේශක කුමාර් ඩොවාල් දෙවරක් ජවිපෙ නායකයාව (ඡන්දයට පෙර නවදිල්ලියේදී සහ කොළඹදී) මුණගැසීම අවධාරණය කළේ නව බලවේගය සමග එකට වැඩ කිරීමට තමන්ට තිබෙන සූදානම නොවේද?
ඇමෙරිකා එක්සත් ජනපදය නායකත්වය දෙන චීනයට සහ රුසියාවට ද එරෙහි කණ්ඩායමේ සාමාජිකයකු වන ඉන්දියාව සමග ‘ගනුදෙනුව’ ඉතාමත් ප්‍රවේසමෙන් කළ යුතුව ඇත. ජපානය, දකුණු කොරියාව මෙන්ම ඔස්ට්‍රේලියාවද එම කණ්ඩායමේ සාමාජිකයන් බවද ශ්‍රී ලංකාවට අමතක කර නොහැක. ජාත්‍යන්තර ප්‍රජාව යුක්‍රේන යුද්ධයේදී සහ ගාසා සංහාරයේදී කටයුතු කරන ආකාරය අනුව ශ්‍රී ලංකාව තම විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුහුණ දෙන දැඩි අර්බුදකාරී තත්ත්වය වටහාගත හැකිය.
මහ මැතිවරණයේදී ජනතාව දෙනු ලබන තීරණය මත දිසානායක ජනාධිපතිවරයාට විදෙස් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පමණක් නොව රට පෙළන අනෙකුත් කරුණුවලට අවධානය යොමු කිරීමට අවශ්‍ය ශක්තිය ලැබේ. අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ 2022 ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ ශ්‍රී ලංකාව 2028 දී නැවත එම ක්‍රියාවලිය ආරම්භ කිරීමට ලෝකයට පොරොන්දු වී ඇති බවයි. එම භාර ධුර වගකීමට මුහුණ දීමට රටේ ආර්ථිකය සූදානම් කිරීම දිසානායක ජනාධිපතිවරයාගේ ප්‍රධානතම වගකීමයි. එම අභියෝගය ජයගැනීමට නම් ව්‍යවස්ථාදායකයේ බලය ද ජනධිපතිවරයාගේ පක්ෂයට හිමි විය යුතුය.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ