විදෙස් සංචිත තවත් පහත වැටේ…අපට විදෙස් ණය ගෙවන්න බැරි වෙයි ද?

535

මේ වන විට අපගේ විදේශ සංචිත තවත් පහත වැටී අපේ විදේශ ණය පියවීමේ අවදානම තවත් වැඩි වී ඇත. ඒ සමගම විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම් සැලකිය යුතු ලෙස අඩු වීම ද සිදුව ඇත. සංචාරක ඉපයුම්වලින් තවමත් අපට සැලකිය යුතු මුදලක් නොලැබේ. වෙළෙඳ හිඟය ද වර්ධනය වෙමින් අපේ ඩොලර් ප‍්‍රශ්නය තව තීව‍්‍ර කර තිබේ. අප නම් සිතන්නේ රජය ජනතාවට ඇත්ත පවසා සිටින අමාරු තත්ත්වය නොසඟවා කියා, ජනයාගේ සහාය සහ දායකත්වය ද ගනිමින් රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට පියවර ගත යුතු බවයි. මෙයින් ද බරපතළම ප‍්‍රශ්නය වී ඇත්තේ අප මේ මොහොතේ මුහුණ දී සිටින බලවත් විදේශ විනිමය අර්බුදයයි.

  • ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළෙඳපොළ අගයට වාර්තා කිරීම

අපගේ ණය ප‍්‍රශ්නය උග‍්‍ර කිරීමට ප‍්‍රධාන සාධකයක් වී ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගත් ණය මුදල්ය. මේ ගැන පසුගිය කාලයේ දී අපි බොහෝ සාකච්ඡා කළෙමු. මේවා කල්පිරීමේ දී, ඒ සඳහා ගෙවීම් කිරීමට අපට එකවර විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් අවශ්‍ය වේ. මේ අනුව 2022 ජනවාරි සහ ජුලි යන මාසවල දී අපට සැලකිය යුතු ණය පියවීම් කිරීමට සිදුව තිබේ. මේවායේ වෙළෙඳපොළ අගය අඩු වී තිබුණත් ඒ සඳහා ගෙවීම් කිරීමට සිදුවනුයේ මුහුණත අගයටය. එහෙත් 2020 ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව රටේ විදේශ ණය බර ගණනය කිරීම සම්බන්ධයෙන් වූ සංඛ්‍යානමය ගැටලූවක් දැකගත හැකිය. එනම් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල වටිනාකම මුහුණත අගයෙන් වාර්තා කිරීම වෙනුවට සැලකිය යුතු ලෙස පහත වැටී ඇති වෙළෙඳපොළ මිලට වාර්තා කිරීමයි. එසේම දේශීය ආයතන සතු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර අගය විදේශ ණය ලෙස නොසලකා දේශීය ණය ලෙස සැලකීමට ද මහ බැංකුව පියවර ගෙන තිබේ.

මහ බැංකුව විසින් සිදු කරන ලද මේ ගණනය කිරීම නිසා විදේශ ණය වගකීම අඩුවෙන් තක්සේරු වේ. එනම් මේ නිසා වන්නේ රටේ විදේශ ණයවල නොපියවූ වටිනාකම එහි සැබෑ වගකීමට වඩා අඩුවෙන් වාර්තා වීමයි. මේ අනුව එය 2020 මහ බැංකු වාර්තාවේ දැක්වෙන්නේ වෙළෙඳපොළ අගයටය. එනම් 2019 වසර අග දී ඇමෙරිකානු ඩොලර් මිලියන 14,102 ක් වූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර අගය 2020 වසරේ අග වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 7555 දක්වා අඩු වී ඇත. එහෙත් සත්‍ය වශයෙන්ම මේවා කල් පිරීමේ දී පියවීමට වන්නේ වෙළෙඳපොළ අගයට නොව මුහුණත වටිනාකමටය. එය මේ අගයට වඩා බොහෝ ඉහළ අගයකි. නොපියවා ඉතිරිව ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් කොටසක් දේශීය වගකීම් ලෙස නැවත වර්ගීකරණය
කළ බව ද මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. මේ කවර ගණනය කිරීම් සිදු කළත් මේවා කල්පිරෙන විට එහි මුහුණත අගය අපට විදේශ විනිමයෙන්ම පියවීමට සිදුවේ. ඒ නිසා විවිධ ගණනය කිරීම් හරහා අපේ විදේශ ණය බර අඩුවෙන් දැක්වුව ද ඒ නිසා අපට ලැබෙන අමුතු සහනයක් නැත.

  • විදෙස් සංචිත තවත් පහත වැටේ

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවකට අනුව 2021 ඔක්තෝබර් මාසය අවසානයේ දී පැවති ඇමෙරිකානු ඩොලර් මිලියන 2,269.2 ක් වූ නිල සංචිත වත්කම් ප‍්‍රමාණය ඉකුත් නොවැම්බර් මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,587 ක් දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ. මේ අනුව එම නිල සංචිත වත්කම් ප‍්‍රමාණය පසුගිය නොවැම්බර් මාසය තුළ දී ඩොලර් මිලියන 682.2 කින් අඩු වී ඇති අතර එය පසුගිය මාසයට සාපේක්ෂව විදෙස් සංචිත සියයට 30 කින් අඩු වීමකි. මේ නිල සංචිත වත්කම් තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 67 ක් ද, විශේෂ ගැනුම් හිමිකම් ඇමෙරිකානු ඩොලර් මිලියන 127.2 ක් ද, රත‍්‍රන් තොගය ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2 ක් සහ අනෙකුත් සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක් තිබේ. නිල සංචිත වත්කම් අගයෙන් මේවා අඩු වූ විට විදේශ විනිමය සංචිත තත්ත්වය තවත් අඩු වේ. එසේම ඔක්තෝබර් මාසය අවසානයේ දී පැවති ඇමෙරිකානු ඩොලර් මිලියන 1ල687.7 ක විදේශ විනිමය සංචිතය නොවැම්බර් මාසය තුළ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 1009.5 දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 678.2 කින් අඩුවී තිබේ. එනම් විදේශ විනිමය සංචිතය සියයට 40.2 කින් පසුගිය මාසයේ දී පහත වැටී ඇත. මේ අනුව දැන් පවතින විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,009.5 ක් හෙවත්, ඇමෙරිකානු ඩොලර් එක බිලියනයක මට්ටමකට පහත වැටී ඇත. ඉදිරි ණය වාරික ගෙවීමත් සමග මේ විදේශ සංචිතයේ මුදල් අවසන් වනු ඇත. එසේ නොවීමට නම් අපට වහාම ලැබෙන විදේශ විනිමය ඉපයුම් තිබිය යුතු වේ.

  • මහ බැංකුවේ අපේක්ෂා

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය නොවැම්බර 25 දින නිකුත් කළ මුදල් ප‍්‍රතිපත්ති විවරණ වාර්තාවට අනුව ඉදිරි කාලය තුළ රටේ විදේශ සංචිත වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කර ඇත. ඒ ගැන එම වාර්තාවේ මෙසේ සඳහන් වේ.

‘2021 වසරේ ඔක්තෝබර් මස අවසානය වන විට දළ නිල සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. (නවතම වාර්තා අනුව මෙය නොවැම්බර් අග වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 දක්වා අඩු වී ඇත.) කෙසේ වෙතත් මෙම සංචිත ප‍්‍රමාණය තුළ චීන මහජන බැංකුව සමග ඇති කරගත් චීන යුවාන් බිලියන 10 ක (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 කට සමාන) ද්විපාර්ශ්වික මුදල් හුවමාරු පහසුකම ඇතුළත් නොවේ. තව ද නව විදේශ විනිමය ලැබීම් ආකර්ෂණය කර ගැනීම සඳහා රජය සහ මහ බැංකුව විසින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ග මෙන්ම මූල්‍ය අංශය ඇතුළු පෞද්ගලික අංශය වෙත අපේක්ෂිත ලැබීම් මගින් දළ නිල සංචිත ප‍්‍රමාණය ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමගින් ඉදිරි කාලය තුළ විදේශීය අංශය ශක්තිමත් වනු ඇත.,

මේ අතරම අපනයන ආදායම් රුපියල්වලට පරිවර්තනය වීමේ සැලකිය යුතු වර්ධනයක් තිබෙන බවත් එසේම සිය සය මාසික පෙර දැක්මේ ඉලක්කවලට අනුකූලව රජය සහ මහ බැංකුව විදේශීය පාර්ශ්වයන් සමග සාකච්ඡා අඛණ්ඩව සිදු කරමින් සිටින බවත් මහ බැංකුව කියයි. සැලසුම් සහ සුභවාදී අපේක්ෂාවලින් පමණක් අපට අභියෝග ජයගත නොහැකිය. ඒවා අපේක්ෂිත පරිදි ක‍්‍රියාත්මක වීම ද අවශ්‍ය වේ. මහ බැංකුව විසින් මේ සය මාසික පෙර දැක්ම ඉදිරිපත් කර දැන් මාස දෙකකට වැඩි කාලයක් ගත වී තිබුණත් රටේ විදේශ විනිමය පීඩනය එලෙසම තිබේ. අපේ ආනයනකරුවන්ට ණයවර විවෘත කර ගැනීමට බැරි ප‍්‍රශ්න සහ ඩොලර් හිඟය නිසා ආනයනය කරන ලද භාණ්ඩ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකි ප‍්‍රශ්න තවමත් තිබේ. මේ නිසා කන්ටේනර් දහසකට අධික ප‍්‍රමාණයක් තවමත් වරායේ සිර වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. අපේ ඩොලර් සංචිත හොඳටම හිඳි ඇති විටෙක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කරන්නන් වෙත ඩොලර් සැපයීමට ද අපහසුය.

  • පියවිය යුතු ණය වගකීම්
විදෙස් සංචිත තවත් පහත වැටේ…අපට විදෙස් ණය ගෙවන්න බැරි වෙයි ද?

ඉදිරි කාලය තුළ අපට පියවීමට තිබෙන ණය වගකීම් දෙස බලන විට අප ඉතාමත්ම අවදානම් තත්ත්වයකට පත්ව සිටින බව පැහැදිලි කරුණකි. එසේ නම් ණය පැහැර හැරීමකට ලක් නොවී මේ තත්ත්වය පවත්වාගෙන යෑම මේ මොහොතේ දී රට හමුවේ ඇති විශාලතම අභියෝගයයි. ඒ සඳහා මහා බැංකුව සැලැස්මක් ඉදිරිපත් කර තිබුණත් එය ඒ ආකාරයෙන්ම ඉටු කරගත හැකිවනු ඇතිද යන ප‍්‍රශ්නය තිබේ. ශ‍්‍රී ලංකා මහා බැංකුව විසින් නිකුත් කරන සතිපතා ආර්ථික දර්ශක වාර්තාවේ අපේ විදේශ සංචිත මගින් ඉදිරියේ දී සිදු කළ යුතු කෙටිකාලීන ගෙවීම් ද දක්වා තිබේ. ඒ අනුව මාසයක් ඇතුළත ඇමෙරිකානු ඩොලර් මිලියන 798.6 ක් ණය පියවීමට තිබේ. එය සමන්විත වනුයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 651.4 ක ණය වාරික ආපසු ගෙවීම් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 147.3 ක ණය පොලී ගෙවීම්වලිනි. එසේම ඉදිරි මාස එකට වැඩි සහ මාස 03 දක්වා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1332 ක ණය පියවීමට තිබේ. එය සමන්විත වනුයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1137.3 ක ණය වාරික ආපසු ගෙවීම් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 194.7 ක පොලී ගෙවීම්වලිනි. මේ නිසා ඉදිරි මාස තුන ඇතුළත අපට ඇමෙරිකානු ඩොලර් මිලියන 2130.6 ක මුළු ණය වාරික හා පොළී මුදලක් පියවීමට තිබේ. දැන් තිබෙන විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් මිලියන 1009.5 ක් පමණි. මොහොතකට වෙනත් විදේශ විනිමය ලැබීම් මේ මාස තුනේ නොලැබෙන්නේ යැයි සිතුවොත් අපට ඉදිරි මාස තුනේ ණය ගෙවීමට ද ඇමෙරිකානු ඩොලර් මිලියන 1121 ක පමණ හිඟයක් ඇති වේ. නොයෙකුත් විදේශ විනිමය ලැබීම් මාර්ග ගැන රජයට සහ මහ බැංකුවට සැලසුම් තිබෙනවා විය හැකිය. එහෙත් අප සිටින්නේ බලවත් අවදානම් තැනක බව පැහැදිලිය.

  • වසරක් ඇතුළත ගෙවිය යුතු ණය

අපට ඉදිරි මාස තුනට වැඩි සහ වසරක් දක්වා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 4669.3 ක විදෙස් ණය පියවීමට තිබේ. එය සමන්විත වනුයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3639ක ණය වාරික ආපසු ගෙවීමකින් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 1030.3 ක පොළී ගෙවීම්වලිනි. මේ අනුව ඉදිරි වර්ෂයක කාලයේ දී අපට සම්පූර්ණ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 6800 ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8 ක) විශාල ණය ප‍්‍රමාණයක් ගෙවීමට තිබේ. මේවා පියවන්නේ කෙසේ ද? ඒ ගැන දන්නේ රජය සහ මහ බැංකුව පමණය. සංචාරක ඉපයුම්, විදේශ විනිමය පේ‍්‍රෂණ සහ අපනයන ආදායම් මගින් අපට ඉදිරි කාලය තුළ විනිමය ආදායම් ලැබෙන නමුත් අපට වෙළෙඳ හිඟය පිය වීමට තිබේ. පසුගිය මාස කිහිපයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගිය අපනයන ආදායමක් ලබා ගැනීමට අප සමත් වී ඇත. සංචාරක පැමිණීම් ද ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබේ. ඒවා සතුටුදායක කරුණුය. එහෙත් මේ අතරම විදේශ විනිමය පේ‍්‍රෂණ සැලකිය යුතු ලෙස අඩු වීමක් ද වාර්තා කර තිබේ.

  • ඩොලර් බිලියන 6 ඉක්මවූ වෙළෙඳ හිඟය

මේ වසරේ (2021) පළමු මාස 9 දී අපනයන ආදායම් සියයට 20 කින් වේගයෙන් වර්ධනය වුවත් ආනයන වියදම් ඊටත් වැඩි වේගයකින් වර්ධනය වී ඇත. එනම් මේ වසරේ පළමු මාස 9 දී ආනයන වියදම් සියයට 26.8 කින් වර්ධනය වී තිබේ. මේ වසරේ (2021) පළමු මාස නමයේ දී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 8.9 ක් දක්වා වැඩි වුවද ආනයන වියදම මෙලෙස ඊට වැඩි වේගයකින් වර්ධනය වෙමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9 ක් දක්වා වැඩි වී ඇත. මේ අනුව ජනිත වී ඇති වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ද ඉක්මවා ගොස් තිබේ. අනිත් අතට විදෙස් විනිමය පේ‍්‍රෂණ ද අඩු වෙමින් තිබේ. මේ නිසා සංචාරක ඉපයුම් සහ විදේශ විනිමය පේ‍්‍රෂණවලින් ලැබෙන විනිමය ආදායම් වෙළෙඳ හිඟය පියවීමට පවා ප‍්‍රමාණවත් නැත.

  • විදේශ විනිමය පේ‍්‍රෂණ පහත වැටීම

පසුගිය දිනවල අවිධිමත් විනිමය හුවමාරු කටයුතුවලට සම්බන්ධ වූ බැංකු ගිණුම් 20 ක් පමණ අත්හිටුවීමට මහ බැංකුව පියවර ගත්තේය. එයට හේතුව විදේශ විනිමය පේ‍්‍රෂණ නිල මාර්ගවලින් මෙරටට පැමිණීම අඩු වීමයි. රටේ විනිමය අනුපාතයේ තිබෙන ප‍්‍රශ්නය නිසා බොහෝ පිරිස් අවිධිමත් මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීම වර්ධනය වී ඇත. එවිට ඒ විදෙස් මුදල් රටේ නිල විදේශ විනිමය ලැබීම්වලට එකතු නොවේ. එය අප මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය තවත් වර්ධනය වීමට හේතු වී ඇත. මේ තත්ත්වය වළක්වා ගැනීමට වහාම පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. එහෙත් මෙය නීතියෙන් පමණක් කළ හැකි දෙයක් නොවන බව අපගේ අදහසයි. නොයෙකුත් ප‍්‍රතිලාභ දෙන බව කියමින් නිල මාර්ගවලින් පමණක් විදේශ මුදල් එවන ලෙස මහ බැංකුව විදේශ සේවා නියුක්තිකයන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේය. එහෙත් ඔවුන් ඊට ප‍්‍රතිචාර දැක්වීමට තීරණය වනුයේ ඔවුන්ට ලැබෙන වාසි අවාසි සලකාබලාය.

  • හොර පාරෙන් විදේශ මුදල් එවීම

මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පසුගිය මාසයක පමණ කාලයේ දී විදේශ විනිමය පේ‍්‍රෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 300 කින් පමණ අඩු වී ඇති බව පසුගිය සෙනසුරාදා (04දා) පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

‘මේ ප‍්‍රමාණයේ රුපියල් වටිනාකම රු. කෝටි 7200 ක් තරම් විශාල මුදලකි. මේ විදේශ විනිමය පේ‍්‍රෂණ අඩු වී ඇත්තේ අපගේ විදේශ සේවා නියුක්තිකයන් මෙරටට එවන මුදල් ප‍්‍රමාණය අඩුවීම නිසා නොව ඔවුන් එම මුදල් අවිධිමත් මාර්ග ඔස්සේ එවීම නිසාය. ඒ බව මහ බැංකුවද පිළිගන්නා කාරණයකි. ඒ බව මහ බැංකු අධිපතිවරයා පසුගිය මාධ්‍ය හමුවේදී මෙසේ කීවේය.

විශේෂයෙන්ම මෙහෙ විවිධ ක‍්‍රමවේද ඔස්සේ මුදල් හුවමාරු කරගන්න නිසා රු. 200 ට තියෙන විනිමය අනුපාතය රු.240 කින් පමණ සමහර තැන්වලදී ගෙවන බව අපට තේරෙනවා. ඒ නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියල අපි දැන් තීරණය කරලා තියෙන්නේ. ඩොලර් මිලියන 300 ක් එවීම සඳහා රු. කෝටි 7200 ක් මේ රටේ බෙදා හරින්නට අවශ්‍යයි. මේ සල්ලි කොහෙන්ද? මෙවැනි ගනුදෙනුවක් කරන්න පුළුවන් එකම ක්ෂේත‍්‍රය මොකක්ද කියල ඔබලාට හිතා ගන්න පුළුවන්.’

බොහෝ විට මෙයින් වැඩි ප‍්‍රමාණයක් කුඩු ජාවාරමට සම්බන්ධ මුදල් භාවිත වන බවට සැකයක් තිබෙන බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය. කෙසේ හෝ බැංකු ක‍්‍රමයෙන් බැහැරව හවාලා සහ උන්ඩියල් වැනි අවිධිමත් මාර්ග ඔස්සේ විදේශ විනිමය හුවමාරුව විශාල වශයෙන් සිදුවෙමින් තිබේ. මේ සඳහා භාවිත වන්නේ මෙලෙස විවිධ ජාවාරම්වලට සම්බන්ධ මුදල් නම් එය වැළැක්විය යුතුවද තිබේ. ඒ සඳහා දැන් මහ බැංකුව පියවර ගනිමින් සිටී.

  • බලයලත් විනිමය හුවමාරු කරන්නන් ගැනත් පරීක්ෂණ

විදේශ විනිමය පේ‍්‍රෂණ අඩු වීමේ තත්ත්වය හමුවේ බලයලත් විනිමය හුවමාරු කරන්නන් ගැන ද මහ බැංකුව පරීක්ෂණ ආරම්භ කළේය. 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක‍්‍රියාකාරකම්වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට වන පැමිණිලි කිහිපයක් ද මහ බැංකුවට ලැබී තිබේ. ඊට ප‍්‍රතිචාර වශයෙන්, ශ‍්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ ව්‍යාපාර ස්ථාන සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ මාලාවක් දැනට පවත්වමින් සිටියි. එමගින් බලයලත් මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි. මේ අනුව පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී පවත්වන ලද ස්ථානීය පරීක්ෂණ අතරතුරදී ඇතැම් බලයලත් මුදල් හුවමාරු කරන්නන්, පනත යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත වී නොමැති බව අනාවරණය වී ඇත. මේ අනුව, මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව නියමිත කාලසීමාවක් තුළ අදාළ විධානයන්ට අනුගත වෙමින් කටයුතු කරන ලෙස දන්වා ඔවුන්ට නිවේදන නිකුත් කරන ලද බව මහ බැංකුව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment