විදේශ ණය පියවීමේ අභියෝගය ජයගැනීම

647

විදේශ විනිමය හිඟය

 රජය සහ මහ බැංකුව නොයෙකුත් පියවර ගනිමින් සිටියත් විදේශ විනිමය හිඟය තවමත් ඉතා බලවත් ලෙස තිබේ. එසේම කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සංචාරක ඉපයුම් ද අහිමිව ගොස් තිබේ. මේ දිනවල නම් සංචාරක පැමිණීම් ක‍්‍රමයෙන් වර්ධනය වෙන බව පෙනේ. ඒ අනුව මේ වසරේ මුල සිට ඉකුත් නොවැම්බර් 28 දින දක්වා සංචාරක පැමිණීම් ප‍්‍රමාණය ලක්ෂය ඉක්මවා යමින් 101,872 ක් බවට පත් විය. එය සතුටුදායක කරුණකි. එහෙත් අනිත් අතට අපේ විදෙස් විනිමය පේ‍්‍රෂණ අඩු වී තිබේ. එසේම අපට විශාල ණය පියවීමේ වගකීම් ද තිබේ. මේ හමුවේ අපගේ විනිමය අර්බුදය තවමත් ඉතා බරපතළ තත්ත්වයේ තිබේ. එනම් මේ දිනවල අප මුහුණ දෙන බලවත්ම ප‍්‍රශ්නය වී ඇත්තේ මේ ඩොලර් ප‍්‍රශ්නයයි.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට  යාම ගැන පීබී ගේ මතය

 මේ ඩොලර් ප‍්‍රශ්නය සමනය කර ගැනීම සහ විදෙස් ණය පියවීමේ අභියෝගය ජය ගැනීම ඉතාමත්ම අභියෝගාත්මක තත්ත්වයට පත්ව තිබේ. එය අද කාටත් රහසක් නොවේ. මේ හමුවේ අපට කිසියම් අමාරු කාලයකට මුහුණ දීමට සිදුවනු ඇත. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ඒ අභියෝගය අපට තනියම ජයගත හැකිද යන්නයි. එසේ නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට අපට සිදු වනු ඇතිද යන්නයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යායුතු බවට ද ඇතැම් ආර්ථික විද්වතුන් යෝජනා කර තිබේ. එහෙත් රජය ඒ සඳහා යොමු නොවන බව ප‍්‍රකාශ කර තිබේ. මේ ලියුම්කරුට ඊයේ (01) ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා හමු විය. එහිදී ද මේ ලියුම්කරු ඒ ගැන ප‍්‍රශ්න කළ විට ආචාර්ය ජයසුන්දර මහතා දුන් පිළිතුරෙන් කියවුණේ ද රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට කිසිම සූදානමක් නොමැති බවයි. කිසිදු ණය පැහැර හැරීමකට මුහුණ නොදී විදෙස් ණය පියවීමේ අභියෝගය ජය ගැනීමට රජය සූදානම් බව අපට ලැබුණු පිළිතුර විය. කෙසේ වෙතත් එය අභියෝගාත්මක බව ද ජයසුන්දර මහතා ද පිළිගන්නා දෙයකි.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයාමට නම්…

විදේශ ණය පියවීමේ  අභියෝගය ජයගැනීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයා මේ විනිමය අර්බුදය ජය ගැනීමට නම් අපට අනිවාර්යයෙන්ම නිසි කලට ණය ගෙවීම් පියවා ගනිමින් මේ විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීමේ පැහැදිලි ප‍්‍රතිඵලදායී සැලැස්මක් තිබිය යුතු වේ. දැනට මහ බැංකුවේ සය මාසික පෙර දැක්ම මගින් ඒ සඳහා ප‍්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී තිබේ. මේ සඳහා සැලසුම් සහ ඉලක්ක කොපමණ තිබුණත් ඒවා ඒ අයුරින්ම ඉටු වීම ද අවශ්‍ය වේ. එනම් මේ විනිමය හිඟය හමුවේ ශ‍්‍රී ලංකාව ණය පැහැර හැරීමකට ලක් නොවන පරිදි විදේශ අපේ විනිමය තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සිදුවන බවයි. ඒ සඳහා අපට දිගුකාලීන විසඳුම් මගක පරිවර්තන ලක්ෂණ අයවැයේ දක්නට තිබුණත් අපට ඒ ඒ වෙලාවට ණය වගකීම් අනිවාර්යෙන්ම පියවිය යුතු වේ. මේ නිසා කෙටිකාලීනව විනිමය අලූතින් සොයා ගැනීමට සහ ඒ සඳහාම තවත් ණය පහසුකම් සඳහා යොමු වීමට ද රජයට සිදුවනු ඇත. තෙල් ආනයනය සඳහා ඉන්දියානු ණය පහසුකමට රජය යොමු වන්නේ ද මේ විදේශ විනිමය දුෂ්කරතා සමනය කර ගැනීමටය. මහ බැංකු අධිපතිවරයා සිය මාර්ග සිතියමෙන් ඉදිරිපත් කර ඇත්තේ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොගන්නා අප රට විසින්ම ඒ සඳහා ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් විසඳුම් සොයන විසඳුමකි. පවතින විදේශ විනිමය පරතරය සපුරාලීම සඳහා ප‍්‍රමාණවත් ඉලක්කගත විදේශ විනිමය ප‍්‍රවාහයන් එම සැලැස්මෙන් ඉලක්ක කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමැතිව ශ‍්‍රී ලංකාවට විනිමය අර්බුදයෙන් මිදිය හැකි බව මහ බැංකු අධිපතිගේ ද විශ්වාසය වී තිබේ.

විදේශ ණය පියවීමේ  අභියෝගය ජයගැනීම


විදේශ සංචිත ඩොලර් බිලියන 1.5ට අඩු වේ

 මහ බැංකුව සිය මාර්ග සිතියමෙන් සඳහන් කළ විදේශ අරමුදල් ඉලක්ක කළ පරිදි ලබා ගැනීමේ උත්සාහයේ නිරතව සිටී. එහෙත් හදිසි ආනයන අවශ්‍යතා සපුරාලීම සඳහා මහ බැංකුවේ සංචිතවලින් යම් ප‍්‍රමාණයක් ගෙවීම් කිරීමට සිදුව තිබේ. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණේ ඩොලර් හිඟය නිසා වරායේ කන්ටේනර් දහසක් පමණ සිර වී ඇති බවයි. ඒ සඳහා ඩොලර් දෙන විට එය අපේ සංචිත තත්ත්වය තවත් අඩු වීමට හේතු වේ. මේ අනුව පසුගිය ඔක්තෝබර් මස අගවන විට අපේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක් දක්වා පහත වැටී ඇත. එසේම මේ වන විට සංචිත මට්ටම තවත් පහත වැටී ඇති බව වාර්තා වේ. මේ ගැන පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශ වූයේ විදෙස් සංචිත මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 දක්වා පහත වැටී ඇති බවයි. එයින් රන් සංචිත අඩු කළ විට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 දක්වා තවත් අඩුවන බව ද වාර්තා වේ. එහෙත් මහ බැංකුව තවමත් නොවැම්බර් අග සංචිත තත්ත්වය නිල වශයෙන් ප‍්‍රකාශ කර නැත. මහ බැංකුවට මේ ගැන දැන් ප‍්‍රකාශ කළ හැකිය. කෙසේ වෙතත් සංචිත යනු කිසියම් නිශ්චිත ස්ථාවර අගයක් නොව එය අඩු වැඩි වන අගයක් බව ද අපි දනිමු. මහ බැංකුව පවසන්නේ මහ බැංකුව සහ රජය මගින් ගනු ලබන ක‍්‍රියාමාර්ග සහ පෞද්ගලික අංශය වෙත ලැබෙන විදේශ විනිමය ලැබීම් සමග විදේශ සංචිත තත්ත්වය වර්ධනය වනු ඇති බවයි.

 වරායේ කන්ටේනර් සිර වීම

 අපේ ආනයනකරුවන්ට තවමත් ණයවර ලිපි විවෘත කර ගැනීමේ ගැටලූව මෙන්ම වරායට එන භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගැනීමේ ගැටලූව බරපතළ ලෙස තිබෙන බව ආනයනකරුවන් පෙන්වා දෙන කරුණකි. මේ ගැන පසුගිය දිනවල දිගටම පුවත්පත් වාර්තා කළේය. මහ බැංකුව මේ සඳහා ඩොලර් ලබාදීමට සූදානම් බව කීවත් එයට යම් කාල පමාවක් සිදු වේ. එවිට ආනයනකරුවන්ට වරාය ප‍්‍රමාද ගාස්තු ගෙවීමට ද සිදු වීමෙන් ඔවුන්ගේ වියදම් තවත් වැඩිවන අතරම කලට වෙලාවට අමුද්‍රව්‍ය නොමැති වීමෙන් කර්මාන්තවල නිෂ්පාදන ක‍්‍රියාවලිය ද ඇනහිටින බව රහසක් නොවේ. මේ නිසා ඇතැම් කර්මාන්තශාලාවල වැඩ නැවැත්වීමට ද සිදුව තිබෙන බව ද වාර්තා වේ. එය සේවකයන්ට රැුකියා පවා අහිමි කරවන තත්ත්වයකි. ඒ නිසා මෙය දේශීය නිෂ්පාදකයන්ට සහ කර්මාන්තකරුවන්ට අහිතකර තත්ත්වයකි. වෙළෙඳ අමාත්‍යාංශය සහ මහ බැංකුව එක් වී මේ ප‍්‍රශ්න ඉක්මනින් විසඳිය යුතු වේ. එහෙත් රට මුහුණ දී සිටින ඩොලර් ප‍්‍රශ්නය නම් ඉතා ඉක්මනින් විසඳෙන බවක් ද පෙනෙන්නට නැත. ඒ නිසා තවමත් වරායේ කන්ටේනර් හිරවීම සිදුවේ. මේ නිසා තවත් යම් කාලයක් දුෂ්කරතාවලට මුහුණ දීමට මේ තත්ත්වය ආනයනකරුවන්ට සිදුවනු ඇත. ආර්ථික ක‍්‍රියාකාරිත්වය පවත්වාගෙන යෑමට ද මෙරට කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය යනාදිය අපහසුවකින් තොරව නිදහස් කර ගැනීමටද හැකියාව තිබිය යුතු වේ.

 විදේශ විනිමය පේ‍්‍රෂණ පහත වැටීම

 සංචාරක පැමිණීම් වර්ධනය වෙමින් තිබුණත් දිගින් දිගටම විදේශ විනිමය පේ‍්‍රෂණ රටට ලැබීම අඩු වී තිබේ. ඔවුන්ට බලපෑම් කර නීතිරීති දමා පේ‍්‍රෂණ වර්ධනය කර ගැනීමට උත්සාහ ගන්නවාට වඩා අවශ්‍ය කරන්නේ ඔවුන්ව දිරිමත් කර ඔවුන්ගේ ප‍්‍රතිලාභ වර්ධනය කරමින් විදේශ විනිමය පේ‍්‍රෂණ වැඩි කර ගැනීමට උත්සාහ දැරීමයි. ඔවුන් හවාලා ක‍්‍රමවලට යොමුව ඇත්තේ විධිමත් ක‍්‍රමයට විනිමය එවීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ අඩු නිසා විය හැකිය. ඒ සඳහා විදෙස්ගත ශ‍්‍රමිකයන්ට විශ‍්‍රාම වැටුප් ක‍්‍රම, රක්ෂණ ක‍්‍රම යනාදිය හඳුන්වා දෙමින් කිසියම් ආකර්ෂණීය දිරිගැන්වීම් ක‍්‍රමයක් හඳුන්වා දීමට ද මහ බැංකුව පියවර ගනිමින් සිටී. මේ හරහා විධිමත් මාර්ග හරහා විනිමය පේ‍්‍රෂණ රටට පැමිණීම වැඩි කර ගැනීමට මහ බැංකුව ඉලක්ක කරයි. දැනට විදේශ විනිමය පේ‍්‍රෂණ බොහොමයක් අවිධිමත් මාර්ග ඔස්සේ මෙරටට එවන්නේ ඔවුන්ට බැංකු ක‍්‍රමය හරහා එවීමෙන් දැනට තිබෙන කෘතී‍්‍රම විනිමය අනුපාතය මත ඔවුන්ට ලැබෙන ප‍්‍රතිලාභ අඩු වීම නිසයි. ඒ නිසා විනිමය අනුපාතය දිගටම එකම ස්ථාවර අගයක තියාගෙන සිටීම ද මේ තත්ත්වයට හේතු වී ඇත.

 අත්‍යවශ්‍ය නොවන ආනයන

 ඩොලර් වියදම් තවදුරටත් සීමා කිරීමේ මාර්ග ද ක‍්‍රියාත්මක කළ යුතු වේ. මේ අනුව අපට ලැබෙමින් තිබෙන සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය ද මේ අමාරු වෙලාවේ වඩා ප‍්‍රශස්ත ලෙස වියදම් කිරීම ද අවශ්‍යය. එහෙත් රටේ විශාල විදේශ විනිමය ප‍්‍රශ්නයක් තිබියදීත් තවමත් විවිධ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ

 රැුසක් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් වැය කරමින් සිටින තත්ත්වයක් ද තිබේ. ඕනෑම සුපිරි වෙළෙඳසලකට ගොස් බැලූවොත් ඒවායේ රාක්කවල විවිධ චොකලට් වර්ග, චීස් වර්ග, ටොෆි, පැස්ටා, විවිධ රසකැවිලි, ඇපල්, ලෙල්ල කහ දොඩම්, මිදි සහ දෙළුම් වැනි පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය නොවන විදේශ භාණ්ඩ රැුසක් පවතින අයුරු අපට දැකගත හැකිය. මෙරටට ආනයනය කරමින් තිබෙන මෙවැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙනුවෙන් ද රටේ තිබෙන සීමිත විදේශ විනිමය වැය කිරීමට සිදුව තිබේ. මේ ගැන ද ආර්ථික තීන්දු තීරණ ගන්නා බලධාරීන් තවදුරටත් සිතිය යුතු වේ. ඩොලර් ප‍්‍රශ්නය සමනය වනතුරු කිසියම් කාලයකට තාවකාලිකව හෝ වහාම මෙවැනි ආනයන සීමා කිරීමට රජය පියවර ගැනීම සුදුසු බව බොහෝ දෙනෙක් කියන කතාවකි. මෙය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පවා ඩොලර් හිඟ වී ඇති අවස්ථාවකි. එසේ නම් එතරම් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීමට රටේ පවතින සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය වැය කිරීමට ඉඩ දීම ගැන නැවත සිතිය යුතු වේ.

 දේශීය ව්‍යාපාරවලට බලපෑම්

 අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දහසක් පමණ වරායේ සිර වී ඇත්තේ ද ඩොලර් හිඟය නිසා නම් ආනයන සඳහා ඩොලර් වැය කිරීමේ වඩා වැඩි ප‍්‍රමුඛතා ද හඳුනාගත යුතුය. ඒ අනුව ඩොලර් සැපයීම කළ යුතුව තිබේ. මේ අමාරු වෙලාවේ මෙවැනි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන වර්ධනය වීමට ඉඩ දිය යුතු නොවේ. එසේ ඉඩ දීම දේශීය ව්‍යාපාරිකයා තවත් අපහසුවට පත් කිරීමකි. ඔවුන්ට විදේශ භාණ්ඩ සමග තරග කිරීමට ද සිදු වේ. මෙය කොරෝනා වසංගතය හමුවේ සාමාන්‍ය ජනයා පමණක් නොව දේශීය ව්‍යාපාර ප‍්‍රජාව පවා අමාරුවට පත්ව සිටින මොහොතකි. ඒ නිසා ඔවුන්ට ද නැගී සිටීමට අත දීමක් අවශ්‍ය වේ. ඒ නිසා මෙරට ව්‍යාපාර සහ කර්මාන්තවලට මෙන්ම අපනයනය ඉලක්ක කරගත් කර්මාන්තවල නිෂ්පාදන ක‍්‍රියාවලියට අවශ්‍ය වන අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය වැනි ආනයන හැර වෙනත් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන තාවකාලිකව හෝ මෙරටට ගෙන්වීම සීමා කිරීම විනිමය අර්බුදය ජය ගැනීමට ද උදව්වකි. දේශීය වශයෙන් නිපදවන නිෂ්පාදන ආනයනය සීමා කරමින් මේ අවස්ථාවේ දේශීය නිෂ්පාදකයින්ට හා කර්මාන්තකරුවන්ට රජය වඩාත් අතදිය යුතුය. එය එක අතකින් දේශීය ව්‍යාපාරිකයාට කරන දිරිදීමකි. එසේම අනිත් අතට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙනුවෙන් රටේ මේ මොහොතේ රටේ තිබෙන සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය වැය කිරීම සීමා කිරීමක් ද වේ. එසේම ජනයා ද මේ අවස්ථාවේ හැකිතාක් දේශීය දේ පරිභෝජනය කරමින් කොරෝනා වසංගතය යළි හිස එසවීමට ඉඩ නොලැබෙන පරිදි වඩාත් ආරක්ෂිතව සෞඛ්‍ය උපදෙස් අනුව රැුකියා හා ආර්ථික කටයුතු කරමින් මේ විපතින් ගොඩ ඒමට දායකත්වය දිය යුතු වේ.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 [email protected]

advertistmentadvertistment
advertistmentadvertistment