විදේශ මුදල් ප‍්‍රශ්නයෙන් රට වැටෙන්න දෙන්නේ නෑ

268

– මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙදපොළ සහ  රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඞ් කබ්රාල්

රට මුහුණ දී ඇති උග‍්‍ර විදේශ  විනිමය අර්බුදය හමුවේ විදේශ ණය ගෙවා ගැනීමේ අභියෝගයට රජය මුහුණ දෙන්නේ කෙසේ ද යන කරුණ ගැන අපි මුදල් හා ප‍්‍රාග්ධන වෙළෙදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගෙන් ප‍්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ අප ඇසු ප‍්‍රශ්නවලට රාජ්‍ය ඇමති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ලබා දුන් පිළිතුරුයි.

ප‍්‍රශ්නය – වර්තමානයේ රාජ්‍ය ණය අර්බුදය උග‍්‍ර තත්වයට පත් වෙලා රජයට ණය ගෙවාගන්නත් බැරි තත්වයක් ඇති වෙලා තියෙන බව හැම අතින්ම අසන්නට ලැබෙනවා. මොකක්ද මේ ණය අර්බුදය ?

පිළිතුර – ශ‍්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ ණය තත්වය ගැන පුළුල් විග‍්‍රහයක් කළොත් අපට පෙනී යන දෙයක් තියෙනවා. එනම් 2005 දී අපේ දළ දේශීය නිෂ්පාදිතය තිබුණේ ඇමෙරිකානු ඩොලර් බිලියන 24 යි. ඒ වෙලාවේ අපේ ණය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන බිලියන 22 යි.ඉන් බිලියන 13 ක් දේශීය ණය. බිලියන 9 ක් තිබුණේ විදේශීය ණය. එතකොට දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස ණය සියයට 91 ක් තමයි තිබුණේ. ඒ කාලේ ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ මුළුමනින්ම වෙනත් විදේශ ණය. එනම් ලෝක බැංකුවෙන් ,අයිඑම්එෆ් එකෙන් සහ වෙනත් රටවල් වලින් ගත් ණය.

විදේශ මුදල් ප‍්‍රශ්නයෙන්  රට වැටෙන්න දෙන්නේ නෑ

2014 වර්ෂය වන විට ඒ ස්වභාවය වෙනස් වෙලා තිබුණ. එනම් දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 24 සිට බිලියන 84 දක්වා වැඩි වුණා. ණය ප‍්‍රමාණය වැඩි වුණා ඇමෙරිකානු ඩොලර් බිලියන 27 සිට 57 දක්වා. මුළු ණය ප‍්‍රතිශතය අඩු වුණා දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 91 සිට 72 දක්වා. එතනදී දේශීය ණය බිලියන 13 සිට බිලයන 33 දක්වා වැඩි වුණා. විදේශීය ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 9 සිට බිලියන 24 දක්වා වැඩි වුණා. එතනදිත් දේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 42 යි. විදේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 30 යි. ඒ විදේශීය ණය ප‍්‍රමාණයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් තිබුණේ ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර. ඒ කියන්නේ දේශීය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 6ක් පමණ තමයි ස්වෛරී බැදුම්කර තිබුණේ. 2019 වසර වෙනකොට මේ ස්වභාවය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණ.

ප‍්‍රශ්නය – ණය සංයුතියේ කවර වෙනසක් ද වෙලා තිබුණේ ?

පිළිතුර – දළ දේශීය නිෂ්පාදිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 80 සිට 84 දක්වා බොහොම සුළු වශයෙන් වැඩි වුණා. රටේ මුළු ණය ප‍්‍රමාණය වැඩි වුණා ඇමෙරිකානු ඩොලර් බිලියන 57 සිට බිලියන 73 දක්වා. එතනදී ණයබර දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 72 සිට 87 දක්වා වැඩි වුණා. දේශීය ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 33 සිට බිලියන 38 දක්වා වැඩි වුණා. විදේශීය ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 24 සිට 35 දක්වා බිලියන 11 කි වැඩි වුණා. බිලියන 11 කින් මෙසේ විදේශීය ණය වැඩි වුනාට වැඩි වශයෙන්ම ඒ ණය වැඩි වුණේ ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කරවලින්. එනම් බිලියන 10 ක්ම වැඩි වුණේ ස්වෛරී බැදුම්කරවලින්. මෙන්න මෙතන තමයි ගැටළුව තියෙන්නේ. ඒ බිලියන 10 නුත් වැඩි කොටසක් බිලියන 7 ක්ම ලබා ගත්තේ පසුගිය රජයේ අන්තිම කාලය තුළදී. එනම් අන්තිම මාස 15 තුළදී. මේ ණය ඉතාම ඉක්මණින් දඩිබිඩි ගාල ගත්ත. අප මුහුණ දෙන ණය ගැටලූ‍වේ මුල තියෙන්නේ ඔතන. දැන් අපට ඒක හිමින් හිමින් නිරාකරණය කරගන්න වෙනවා. ඒ නිසා අපි තවදුරටත් ස්වෛරී බැදුම්කර ගන්නේ නැතුව වෙනත් ක‍්‍රමවලින් මේ ණය පියවීම තමයි අපේ අදහස.

ප‍්‍රශ්නය – එහෙමනම් කොහොමද ඒ සදහා විදේශ මුදල් සම්පාදනය කරගන්නේ ?

පිළිතුර – එකක් තමයි රජයන් අතර විදේශ විනිමය හුවමරු පහසුකම් ලබාගැනීම. ඊට පසුව ණය නොවන විදේශ විනිමය ගලාගෙන ඒම් ගැන සැලකිලිමත් වෙලා ඒවා ලබා ගැනීම. ඒ නිසා තමයි අපි අපනයන වැඩි කරගන්න හදන්නේ. විදේශ විනිමය පේ‍්‍රෂණ වැඩි කරගන්න හදන්නේ. සංචාරක පැමිණීම් වැඩි කරගන්න හදන්නේ. මින් විදේශ විනිමය හුවමාරු පහසුකම් ලැබෙන්නේ මහ බැංකුවට. ඒකෙන් සංචිත ශක්තිමත් කරගන්න පුළුවන්.ඒක රජයට එන්නේ නැහැ. මෙතැනදී අපි බලන්නේ ණය නොවන ගලා ඒම් වර්ධනය කර ගැනීම. තව තියෙනවනේ ඌන උපයෝජිත වත්කම්. එකක් තමයි ගෆුර් බිල්ඩිම. ඒ සදහා අලූ‍තින් ආයෝජකයෙක් ගෙනත් ඒ වෙනුවෙන් රටට මුදල් ලබා ගැනීමට පුළුවන් කමක් තියෙනවනම් එතකොට ඒ හරහාත් අපට අපේ විදේශ සංචිත වැඩි කරගන්න පුළුවන්.

ප‍්‍රශ්නය – මෙහිදී සිදු වන්නේ විකිණීමක් ද බදු දීමක් ද ?

පිළිතුර – බදු දීමක් කරන්නේ. 99 අවුරුද්දකට වෙන්න පුළුවන්. අපි බදු දෙනවා. ඒ අයට ඒක හෝටලයක් කරන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් කටයුත්තක් කරන්න පුළුවන්. ඒ වත්කම නවීකරණය කිරීම ඒ අයම තමයි කරන්නේ. බදු කාලයෙන් පසුව නැවත ඒක රජයට හිමි වෙනවා. ඒක ප‍්‍රශ්නයක් නැහැනේ.

ප‍්‍රශ්නය – දැන් ඔබතුමා සදහන් කරන සියලූ‍ම මාර්ගවලින් ලබා ගන්නා විදේශ විනිමය ලැබීම් එකතුව ඇමෙරිකානු ඩොලර් මිලියන් 2650 ක් වගේ ප‍්‍රමාණයක්. චීන මහජන බැංකුවේ විනිමය පහසුකම වෙනම තියෙනවා. එයත් සමග බැලූ‍වත් මුළු එකතුව් තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 4150 ක් පමණ. එහෙත් වර්ෂ 2025 වෙනතෙක් එක වසරකට සාමාන්‍ය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් විතර ගෙවන්න තියෙනවා.එහෙම බැලූ‍වම ඔබ කියන සියලූ‍ විනිමය ලැබීම් එක වසරක ණය පියවීමටත් මදි නේද ?

පිළිතුර – මෙතැනදී අපි තේරුම් ගත යුතු දේ තමයි කෙනෙකුගේ සාක්කුවේ තියෙන සල්ලි ප‍්‍රමාණය පමණක් නෙවෙයි එයාගේ ණය ගෙවීමේ හැකියාව බලද්දී බලන්න තියෙන්නේ.එයාට ඉදිරියේ දී ලබාගන්නට හැකි වන මුදල් ප‍්‍රමාණයත් බලන්න අවශ්‍යයි. දැන් ඔබට එන මාසේ ණය වාරිකයක් ගෙවන්න තියෙනවනම් , සමහර විට ඒ මුදල් ප‍්‍රමාණය දැන් සාක්කුවේ හෝ අතේ නැති වෙන්න පුළුවන්. ඒත් එන මාසේ පඩිය ලැබුණම ඒක ගෙවන්න පුළුවන්. මෙතැනදී වඩාත්ම බලපාන්නේ මුදල් ප‍්‍රවාහය. ඒ මුදල් ප‍්‍රවාහයට යම් කිසි හානියක් වූ නිසා තමයි අපට අපේ අතේ තිබුණු මුදල් භාවිත කරන්න සිදු වුණේ. අපේ විදේශීය විනිමය එන මාර්ගයක් වන සංචාරක ක්ෂේත‍්‍රය දරුණු ලෙස කඩා වැටුණම එතනම ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක් ඉවරයි. ඒ බිලියන හතරේ ඇති වූ පාඩුව අපට වෙනත් ක‍්‍රමවලට පියව ගන්න සිදු වුණා. ආනයන සීමා කිරීමෙන් කොටසක් අපි පියවා ගත්ත. කොටසක් අපිට තිබුණු සංචිතවලින් භාවිත කරා. වෙනත් විනිමය ලැබීම් වැඩි කරගන්න අපි උත්සාහ ගත්ත. ඒ විදියට අපි ඒක පියව ගත්ත. මුල්‍ය කළමනාකරණය කිරීම තමයි එතන තියෙන්නේ.

ප‍්‍රශ්නය – ඒත් අපේ තියෙන විදේශ සංචිත ප‍්‍රමාණයත් හොදටම අඩු වෙලා නේ දැන් ?

පිළිතුර – අපේ තියෙන සංචිත ප‍්‍රමාණය අඩු වුණාට අපි නොයෙක් ක‍්‍රමවේද ඔස්සේ විදේශ විනිමය ගලාගෙන එන ප‍්‍රමාණය වැඩි කරගන්න කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා තමයි අපට විශ්වාසයකින් කියන්න පුළුවන් වෙන්නේ ඉදිරියේත් අපට ගෙවන්න තියෙන මුදල් අපට ගෙවා ගැනීම සදහා අපි විවිධ ක‍්‍රමවේද භාවිතා කරලා අපි ගෙවාගෙන යනවා. ඒ නිසා තමයි අපට මේක තුලනය කරගන්න පුළුවන් වෙන්නේ.

ප‍්‍රශ්නය – එන්නත්කරණය සමග ආර්ථික කටයුතු , සංචාරක කටයුතු යනාදිය පණගැන්වෙනු ඇති බව ද ඔබ කියන්නේ ?

පිළිතුර – ඔව් ඒ සමග සංචාරක කටයුතු පණ ගැන්වෙනවා. ඒ සමග විදේශ රැුකියා කරන අයටත් විදේශ රැුකියා සදහා යන්න පුළුවන් වෙනවා. අපනයන වැඩි කරන්න පුළුවන්. එතකොට විදේශ මුදල් රටට ලැබෙන්න පටන් ගන්නවා. ඊට අමතරව ඌන උපයෝජිත සම්පත් හරහා අපි තවත් මුදල් ලබාගන්න කටයුතු කරගෙන යනවා. අප දැනටමත් එවැනි වත්කම් කිහිපයක්ම හදුනාගෙන තිබෙනවා. ඒවා ගැන විදේශ සමාගම් සමග අපි සාකච්ජා කරලා ඒ අයව පොළඹව ගන්න හදනවා ඒ අය මේ රටට ඇවිත් ආයෝජනය කරන්න. එමගින් ඒ අයටත් වාසියක් වෙනවා. ශ‍්‍රී ලංකාවටත් වාසියක් වෙනවා. රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයන් වැනි ක‍්‍රමවේද ඔස්සේ ඒ සදහා ආයෝජන ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා.

ප‍්‍රශ්නය – එවැනි වත්කම් හරහා කොපමණ විදේශ විනිමයක් ලබාගන්න අපේක්ෂා කරනවා ද ?

පිළිතුර – දළ වශයෙන් මේ වසර තුළදී අඩුම තරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් පමණ ලබාගන්න බලාපොරොත්තු වෙනවා. ඒක අපට අනිවාර්යෙන්ම කරන්න පුළුවන් කියල අපට හැගීමක් තියෙනවා. දැනට තියෙන තොරතුරු සහ ඒ අයගේ ආකර්ශනය අනුව අපට ඒ මිලියන 400 ක් වැඩි අමාරුවක් නැතුව ලබාගන්න පුළුවන් කියන එක තමයි අපේ අදහස.

ප‍්‍රශ්නය – දැන් කොරෝනා වසංගත තත්වය ලෝකයේ වගේම අපේ රටෙත් නැවත හිස ඔසවන ස්වභාවයක් පෙනෙනවා. මේ නිසා සංචාරක අංශයෙන් ලොකු විනිමය ආදායමක් අපට නොලැබෙන්න පුළුවන් නේද ?

පිළිතුර – සංචාරක කටයුතුවලින් අපි ලබන වසරේ (2022 ) බිලියන 4.5 ක්ම බලාපොරොත්තු වන්නේ නැහැ. ඊට වඩා අඩු ප‍්‍රමාණයක් තමයි අපට ලැබෙන්නේ. මේ වසරේ (2021 * ඊළඟ මාස කිහිපයේ ප‍්‍රගතිය අනුව තමයි එය අපට පුරෝකථනය කරන්න වෙන්නේ. දැනට තියෙන ආරංචි අනුව අපට ඒ තත්වයට කිට්ටු වෙන්න යන්න පුළුවන් බවක් පේනවා.

ප‍්‍රශ්නය – වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක පමණ විදේශ ණය ප‍්‍රමාණයත් ගෙවමින් අපේ විදේශ සංචිත මට්ටමත් ආරක්ෂා කරගනිමින් අපට මේ විදේශ මුදල් හිඟයට උත්තර දෙන්න පුළුවන් කියල ද ඔබ කියන්නේ ?

පිළිතුර – අපට එහෙම යන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා.

ප‍්‍රශ්නය – එහෙත් ඇතැම් අය කියන්නේ අපේ විදේශ ණය ප‍්‍රමාණය ගෙවාගෙන යන්න ඔබ සදහන් කළ මුදල් ප‍්‍රවාහය ප‍්‍රමාණවත් නොවනු ඇති බවයි. මේ අනුව ලබන වසරේ (2022 * දී අපට අපේ විදේශ ණය ගෙවා ගන්න බැරුව රට බංකොලොත් වෙයි කියලත් ඇතැමුන් පවසනවා. මේ ගැන සමාජ මාධ්‍යයේ බොහෝ ප‍්‍රචාර පළ වෙනවා. මේ ගැන ඔබ කියන්නේ කුමක් ද ?

පිළිතුර – මමත් දැක්ක විවිධ අය විවිධ අවස්ථාවලදි ඕක කියනවා. 2019 දි අපේ රජය ආපු ගමන්ම කිව්වා දැන් තියෙන තත්වය අනුව මේ අය‍ට ණය ගෙවා ගන්න බැහැයි කියල. ඒ අනුව කිව්වා 2020 දි අනිවාර්යෙන්ම අපට ණය ගෙවා ගැනීමට අපහසු තත්වයක් එනවා කියල. ඒත් අපි 2020 දී කොහොමහරි ණය ගෙවාගෙන ගියා. කිසිම ගැටළුවක් වුණේ නැහැ.කොවිඞ් වසංගතය නිසා ලොකු අභියෝගයක් තිබුණ. මොක ද කොවිඞ් වසංගතය නිසා අපට සංචාරක කර්මාන්තයෙන් කිසිම මුදලක් ආවේ නැහැ. ඒ වුණත් අපි විවිධ උපක‍්‍රම භාවිතා කරලා ඒ ණය ගෙවීම් සියල්ල කෙරුවා. 2020 අපි එහෙම ණය හොදට ගෙවාගෙන යනකොට කිව්වා නෑ නෑ මේක වෙන්නේ 2021 දි කියල. ඔබටත් මතක ඇති. ඒ කියපු අය කවුද කියල මම කියන්නේ නැහැ. නමුත් අපට ඉතාම පැහැදිලිව පේනවා ඒ අය කියපු කතා. 2021 දී අනිවාර්යෙන්ම සංචිත මදි වෙනවා. අපට විදේශ මුදල් නැති වෙනවා. ඒ නිසා ණය ගෙවා ගන්න බැරි වෙනව කියල කිව්වා. සමහරු මේක මන්ත‍්‍රයක් වගේ කිව්වා. ඒ සමහර අය කතා කළේ අපේ රටේ වැසියන්ට නෙවෙයි විදේශිකයන්ට. ඒ කියන්නේ අපට ණය දෙන්න එපා අපට ණය දුන්නොතින් ඒ අය අමාරුවේ වැටෙනවා කියල අපේ රට ගැන විශ්වාසය නැති කරන්න ඒ අය ලොකු ව්‍යාපාරයක් කරගෙන ගියා. ඒ අනුව 2021 දීත් ණය ගෙවාගන්න බෑ කියල දිගටම ඒ ප‍්‍රචාරය කරගෙන ගියා. දැන් ඒ අය කියනවා 2022 දී අපට ණය ගෙවන්න බැරි වෙනවා කියල. 2022 දිත් ඔය දේම තමයි වෙන්නේ. සමහර අය කියන්නේ 2023 දී අපිට ණය ගෙවා ගන්න බැරි වෙයි කියල. මෙහෙම කියල අපේ රට ගැන විශ්වාසය බිඳ දාල අපිව අමාරුවේ දාන්න තමයි ඔය කියන්නේ. විදේශ විනිමය ප‍්‍රශ්නයක් රටේ තියෙනවා. ඒක අපි පිළිගන්නවා.

ඒත් අපි අර්බුදයකට රට යන්නේ නැති වෙන්න විවිධ ක‍්‍රියාමාර්ග අරගෙන කටයුතු කරනවා. සමහර තැන් වලදි යම් අපහසුතාවන් දැනෙන්න පුළුවන්. ඒ නිසා රට අර්බුදයකට යන්නේ නැති වෙන්න මේක කළමකරණය කිරීමට අපි කටයුතු කරනවා.

සාකච්ජා කළේ  – ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment