විදේශ විනිමය පිටතට  ගලායෑම වැළැක්වීමට  මහ බැංකුවෙන් දැඩි ක්‍රියාමාර්ග

181

විදේශ විනිමය පිටතට ගලා යෑම අධෛර්යමත් කිරීම සඳහා රජය සහ මහ බැංකුව පනවා ඇති නියාමන ක්‍රියාමාර්ග සහ සියලු රෙගුලාසිවලට අනුකූල නොවන ක්‍රියාවන් හඳුනාගතහොත් අදාළ නීතිමය විධිවිධාන තුළ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ජාතියේ යහපත උදෙසා සියලු රෙගුලාසිවලට අනුකූල වීම දැඩි ලෙස නිරීක්‍ෂණය කිරීමට හැකිවන පරිදි ගත හැකි සෑම පියවරක්ම ඉදිරියේදී ගන්නා බව ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන් හට අවධාරණය කරන බව ද මහ බැංකුව පවසයි.

මේ ගැන වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේද පවසයි.

දැනට පවතින රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන ලෙස බලපත්‍රලාභී බැංකු සහ වෙළෙඳ ප්‍රජාව වෙතින් ඉල්ලා සිටින අතර, අතිශය අභියෝගාත්මක තත්ත්වයන් යටතේ ආර්ථිකයේ සියලු පාර්ශ්වකරුවන්ට අවශ්‍ය සහාය ලබාදීමට රජය සහ මහ බැංකුව දරන ප්‍රයත්නයන්ට දායක වන ලෙස ද ඉල්ලා සිටී. නියමිත කාල සීමාව තුළ සියලුම අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීමටත් රෙගුලාසිවලට අනුකූලව ඉතිරි ඉපැයීම් බැංකු පද්ධතිය හරහා රුපියල්වලට පරිවර්තනය කරන ලෙසත් අපනයන වෙළෙඳ ප්‍රජාවට නියම කර ඇත. විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් වන සියලුම රෙගුලාසි දැඩි ලෙස පිළිපැදීම සහතික කරන ලෙස බැංකු ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

රජය සහ මහ බැංකුව නුදුරු කාලීනව ආර්ථික පීඩනයන් සමනය කිරීමට අවශ්‍ය විදේශීය මූල්‍ය සුරක්ෂිත කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයන් ගනිමින් සිටී. ආර්ථික ගැළපුම් වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡාවල කැපී පෙනෙන ප්‍රගතියක් දක්නට ඇත. නීති සහ මූල්‍ය උපදේශකයන්ගේ සහාය ඇතිව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙමින් පවතී. ආර්ථිකයේ දිගුකාලීන ව්‍යුහාත්මක ගැටලු මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමට රජය සහ මහ බැංකව කැපවී සිටී.

වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජය ගැනීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගෙන් සැලකිය යුතු සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව නැවත අවධාරණය කරයි. ඕනෑම පාර්ශ්වකරුවන් කණ්ඩායමක වැරදි ක්‍රියා නිසා ආර්ථික අර්බුදය උග්‍රවීම නොවැළැක්විය හැකි අතර එමගින් පුළුල්ව පැතිරුණු අහිතකර බලපෑම් ඇති කරනු ඇත. ජාතිය ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට සහ මෙම අර්බුදයෙන් ශක්තිමත්ව නැඟීසිටීම සඳහා හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් යුතුව කටයුතු කිරීමත්, මෙම අවශ්‍ය මොහොතේ දී නොපිරිහෙළා සහාය දැක්වීමත් සැමගේ යුතුකමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment