විදේශ සංචිත අවදානම් මට්ටමක…

350

රටේ පවතින බලවත් විදේශ විනිමය ප‍්‍රශ්නය හමුවේ ආර්ථිකයේ සෑම අංශයකටම පාහේ අහිතකර බලපෑම් එල්ල වී ඇත. විශේෂයෙන්ම කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය පවා ආනයනය කර ගැනීමට ද කාලයක් තිස්සේ ඩොලර් හිඟය බාධාවක් වී ඇත. මෙය කර්මාන්ත කටයුතු කර ගැනීමට පවා දුෂ්කර තත්ත්වයක් උදා කර තිබේ. මේ තත්ත්වය රටේ ආර්ථික ක‍්‍රියාකාරිත්වයට පවා අහිතකර ලෙස බලපානු ලබයි. මේ නිසා අත්‍යවශ්‍ය නිමි භාණ්ඩ පමණක් නොව එම කර්මාන්ත අපහසුවකින් තොරව කරගෙන යාමට නම් කර්මාන්තවලට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය පවා මෙරටට ආනයනය කර ගැනීමට, ඒවා වරායෙන් නිදහස් කර ගැනීමට රජය කඩිනම් පියවර ගත යුතුවේ. එය කර්මාන්තකරුවන් රජයෙන් කරන ඉල්ලීමකි. ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ නායකයෙකු වන කුලතුංග රාජපක්ෂ මහතා ද ඊයේ ඒ ගැන මේ ලියුම්කරුට සිහිපත් කළේය. මේ නිසා ඒ ගැන විශේෂයෙන් රජයේ අවධානය යොමු කරවමි. ඩොලර් ප‍්‍රශ්නය විසඳා ගැනීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටියත් ක්ෂණිකව ඩොලර් පහළ වන්නේ නැත. විදේශ විනිමය උපයා ගත යුතුය. උපයා ගන්නේ නැතුව ඩොලර් සපයා ගැනීමට නම් තව තවත් ඩොලර් අතමාරු ගැනීමට ද සිදුවනු ඇත. රජය එසේ ඩොලර් සපයා ගැනීමට විවිධ ක‍්‍රියාමාර්ග ගනිමින් සිටින අතරම පවතින සංචිතයේ ඇති රත්රන් තොගයෙන් කොටසක් ද විකුණා දමමින් ඒවා ද්‍රවශීල මුදල් සංචිත බවට පත් කරගෙන ඇති බව පෙනේ. විදේශ ණය ගෙවීම පැහැර හැරීමකට ලක් නොවී, ඒ ඒ අවස්ථාවලදී පියවීමට තිබෙන විදේශ ණය ගෙවීමට නම් කෙසේ හෝ ඩොලර් සොයාගත යුතුය. ඒවා මදි වන්නේ නම් රත්රන් සංචිතයේ හෝ කොටසක් විකුණා ඒවා විදේශ මුදල් බවට පත් කරගත යුතු වේ. මේ අනුව රන් සංචිත අඩු වීම, විදේශ සංචිත අඩු වීම, සංචාරක කර්මාන්තය පණ ගන්වා ගැනීම සහ විදේශ විනිමය පේ‍්‍රෂණ වැඩි කර ගැනීම ඇතුළු ඩොලර් ප‍්‍රශ්නයේ පැතිකඩ කිහිපයක් ගැන මේ ලිපියෙන් අපි සාකච්ඡා කරමු.

විදේශ සංචිත අවදානම් මට්ටමක...

* රත්රන් සංචිත

පසුගිය ජනවාරි මාසය අග වන විට ශ‍්‍රී ලංකා මහ බැංකුව සතු රන් සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 92 දක්වා අඩු වී ඇත. මහ බැංකුවේ රත‍්‍රං සංචිතය පසුගිය දෙසැම්බර් මස අග දී ඇමෙරිකානු ඩොලර් මිලියන 175 ක් තිබුණි. මේ අනුව රන් සංචිත ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 83 කින් එනම් සියයට 47.5 කින් පහත වැටී තිබේ. මේ රන් සංචිතය දිගටම එකම අගයක තිබිය යුතුය කියා නියමයක් නැත. ජාත්‍යන්තර රත්රන් මිල ගණන් වෙනස්වීම් අනුව මහ බැංකුවට රත්රන් මිලදී ගැනීමට මෙන්ම විකිණීමට ද පුළුවන. ඒ අනුව රන් සංචිතයේ ප‍්‍රමාණය ද විටින් විට වෙනස් විය හැකිය. එහෙත් දැන් අපට උග‍්‍ර විදේශ විනිමය හිඟයක් තිබෙන නිසා ඩොලර් වියදම් කර, අලූතින් රත්තරන් මිලදී ගැනීමට මේ අවස්ථාවේ හැකියාවක් නැත. මිලදී ගැනීම් සහ විකිණීම් අනුව රන් සංචිත කලින් කලට අඩු වැඩි විය හැකිය. ඒ නිසා මහ බැංකුවේ රන් සංචිත විකිණීම, අප මුදල් නැතිම වූ විට ගෙදර රත්රන් බඩු උකස් කර මුදල් ලබා ගැනීමටම සමාන කළ නොහැකිය. එහෙත් මේ අවස්ථාවේ නම් මහ බැංකුව පැවති රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණා ඇත්තේ විදේශ සංචිතවල ද්‍රවශීල ප‍්‍රමාණය වැඩි කර ගැනීමට විය යුතුය. එනම් ණය ගෙවීම සඳහා යොදා ගැනීමට නම් රත්රන් විකුණා ඒවා ඩොලර් කරගත යුතුය. නැතහොත් සංචිත වත්කම් මුදල් සංචිත බවට පත් කරගත යුතුය. අපට ජුලි මාසයේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක විශාල මුදලක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවීමට තිබේ. ඊට අමතරව ද වෙනත් විදේශ ණය ගෙවීම් ද නිරන්තරයෙන්ම තිබේ. ඒවා ගෙවීමට ද ඩොලර් අවශ්‍ය වේ. මේ නිසා ණය පැහැර හැරීමකට අපේ රට ලක් නොවීමට නම් අනිවාර්යයෙන්ම ඒ ඒ අවස්ථාවල දී විදේශ ණය ගෙවීම සඳහා ප‍්‍රමාණවත් විදේශ මුදල් අපගේ විදේශ සංචිතය තුළ පැවතිය යුතු වේ. මේ මොහොතේ රට මුහුණ දී සිටින ලොකුම අභියෝගය මෙයයි.

* විදේශ සංචිත

ශ‍්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප‍්‍රමාණය 2021 දෙසැම්බර් අග දී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක් විය. ඒ චීන විදේශ විනිමය හුවමාරු පහසුකමේ අගය ද සමගය. දැන් එම ප‍්‍රමාණය මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් දක්වා පහත වැටී ඇත. එහෙත් ණය ගෙවීම සඳහා භාවිතා කළ හැකි වන්නේ විදේශ මුදල් සංචිත ප‍්‍රමාණයයි. මේ අනුව විදේශ මුදල් සංචිත ප‍්‍රමාණය පසුගිය දෙසැම්බර් අග දී පැවති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.77 සිට මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.07 ක් පමණ දක්වා පහත වැටී තිබේ. මෙයින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක් පමණම තිබෙන්නේ චීන විදේශ ව්‍යවහාර මුදල් පහසුකමේ අගයයි. එසේ නම් එම ප‍්‍රමාණය විදේශ මුදල් සංචිතයෙන් අඩු කළ පසු ඉතුරු වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක පමණ මුදලක් පමණි. එසේම එදිනෙදා විදේශ ණය පියවීම් කිරීමට ද විටින් විට තිබෙන නිසා එම ගෙවීමට තිබෙන විදේශ ණය ප‍්‍රමාණයට සාපේක්ෂව අපේ සංචිත ඉතා අවදානම් තත්ත්වයට පත්ව තිබෙන බව කිව හැකිය. එහෙත් අපට ඉදිරියේ දී හෝ නියමිත වෙලාවට විදේශ ණය පියවීම සඳහා කඩිනමින් විදේශ විනිමය සපයා ගැනීමට හැකි වන්නේ නම් ණය පැහැර හැරීමක් සිදු නොවනු ඇත. එහෙත් ආර්ථිකයේ අනිත් අවශ්‍යතා සඳහා ඩොලර් සීමිත වීමෙන් ද මහජනයාට මෙන්ම ව්‍යාපාර හා කර්මාන්තවලට ද බොහෝ දුෂ්කරතා ඇති විය හැකිය.

මේ සංචිත පහත වැටීම ගැන විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද පෙරේදා (08) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වා තිබුණි. විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේ එම විදේශ සංචිත සති තුනක ආනයන සඳහා පමණක් ප‍්‍රමාණවත් වන බවත් මෙය භයංකාර තත්ත්වයක් බවත්ය. ඉතිහාසයේ කිසිම දවසක විදේශ සංචිත මේ ආකාරයට කඩා වැටුණේ නැති බව ඔහු සඳහන් කර තිබුණි. මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද ට්විටර් සටහනක් තබමින් විදේශ සංචිත පහත වැටීම සහ මහ බැංකුවේ රත‍්‍රං සංචිතය පහත වැටීම ගැන සඳහන් කර තිබුණි. මේ පසුබිම තුළ අනිවාර්යෙන්ම අපට අපගේ විදේශ සංචිතය කුමන ක‍්‍රමයකින් හෝ ශක්තිමත් කර ගැනීමට සිදු වේ. කලට වෙලාවට අපට විදේශ ණය පියවීමට හැකි වන්නේ ද එවිටය. ලබන ජුලි මාසයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් කල් පිරීම වෙනුවෙන් අපට තවත් ඇමෙරිකානු ඩොලර් බිලියනයක විශාල මුදලක් ගෙවීමට තිබේ. ඒ සඳහා අපට විදේශ සංචිත ශක්තිමත් කර ගනිමින් සූදානම් වීමට තිබේ.

* සංචාරක කර්මාන්තය

කොවිඞ් වසංගතය නිසා බිඳ වැටුණු සංචාරක කර්මාන්තය මේ වන විට ක‍්‍රමයෙන් පණ ගැන්වෙමින් තිබේ. මේ අනුව මෙරට සංචාරක පැමිණීම් ගිය වසරේ (2021) අග සිට වේගයෙන් වර්ධනය වීමට පටන් ගෙන තිබේ. ගිය වසරේ ජනවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් ප‍්‍රමාණය 1682 කි. විදේශ සංචාරකයන් ජුලි මාසයේ දී 2429 ක් ද, අගෝස්තු මාසයේ 5040 ක් ද, සැප්තැම්බර් මාසයේ 13ල547 ක් ද ඔක්තෝබර් මාසයේ 22ල771 ක් ද, නොවැම්බර් මාසයේ 44ල294 ක් සහ දෙසැම්බර් මාසයේ 89ල506 ක් ද පැමිණෙමින් සංචාරක පැමිණීම් වේගයෙන් වර්ධනය වී තිබේ. මේ අනුව 2021 වර්ෂයේ පැමිණි මුළු සංචාරකයන් ගණන 194ල495 කි. මුලින් අපේක්ෂා කළේ, 2021 වසරේ මුළු සංචාරක පැමිණීම් ලක්ෂයකට පමණ සීමා වනු ඇති බවයි.

* 2022 සංචාරක පැමිණීම්

කොළඹ ගාලූ මුවදොර හෝටලයේ දී පෙරේදා (08) පැවැති මාධ්‍ය හමුවක දී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය කීවේ මේ වසරේ (2022) දී විදෙස් සංචාරකයන් ලක්ෂ 11 ක් පමණ පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. මේ වන විට දිනකට විදෙස් සංචාරකයන් 3000 ත් 3500 ත් අතර ප‍්‍රමාණයක් මෙරටට පැමිණෙන බව ද ඒ නිසා වාර්ෂික සංචාරක පැමිණීම් ඉලක්කය සපුරාගත හැකි වනු ඇතැයි ද ඇය ප‍්‍රකාශ කළාය.

*  නව සංචාරක ඉසව්

සංචාරක සභාපතිනිය මේ වසරේ සංචාරක ඉලක්ක ගැන කීවේ මේ මස 19 සහ 20 යන දෙදින කොළඹ ගාලූ මුවදොර හෝටලයේ දී පැවැත්වෙන වසරේ සුවිශේෂීම මංගල ප‍්‍රදර්ශනය වන Wedding week – 2022  ගැන මාධ්‍යයට කරුණු ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවේදීය. මෙය සංවිධානය කරන්නේ ‘The Brides Of Sri Lanka’ සඟරාව සමග එක්ව ගාලූ මුවදොර හෝටලය විසිනි. පෙබරවාරි 19 සහ 20 යන දිනවල ආකර්ෂණීය ක‍්‍රියාකාරකම් සහ මනාලියන්ගේ සංදර්ශන මාලාවක් සමඟ පැවැත්වෙන මෙම වැඩසටහනට නොමිලේ ප‍්‍රවේශ විය හැකිය. මේ සඳහා ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය, ශ‍්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ‍්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම සහයෝගය දැක්වීම සඳහා හවුල් වී ඇත.

ශ‍්‍රී ලංකාවේ දී විවාහ උත්සව පැවැත්වීම ඉන්දියාවට සහ අනෙකුත් ඉලක්ක වෙළෙඳපළ (රටවල්) වෙත ප‍්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී ඇත. ඉන්දියාවේ සහ මාලදිවයිනේ කීර්තිමත් නිර්මාණකරුවන් සිව් දෙනෙකු ඔවුන්ගේ එකතු කිරීම් මෙහිදී ප‍්‍රදර්ශනය කරන බව ද මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ‘The Brides Of Sri Lanka’හි කළමනාකරණ අධ්‍යක්ෂ නෙලූම් හත්තැල්ල මහත්මිය කීවාය. ප‍්‍රමුඛ පෙළේ ශ‍්‍රී ලාංකේය නිර්මාණකරුවන් ද මෙයට එක් වේ. මෙලෙස නව සංචාරක ඉසව් මෙරට පැවැත්වීම ද මෙරටට වැඩි වැඩියෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හේතු වනු ඇත. එසේම සංචාරක සභාපතිනි කිමාලි ප‍්‍රනාන්දු මහත්මිය පවසන්නේ විවාහ මංගල උත්සව සංචරණය
(wedding tourism) සහ මයිස් සංචරණය (mice tourism) ඉදිරියේ දී සංචාරක ප‍්‍රවර්ධනය සඳහා ඉලක්ක කරන ප‍්‍රධාන අංශ දෙකක් බවයි. මේ අනුව අප සිතන්නේ ද සාර්ථක එන්නත්කරණය සමග නව සාමාන්‍ය තත්ත්වය යටතේ අපේ රට සෞඛ්‍යාරක්ෂිත රටක් ලෙස ප‍්‍රවර්ධනය කරමින් විශාල වශයෙන් සංචාරක පැමිණීම් වැඩි කර ගැනීමට අවකාශය ඇති බවයි. මේ මහඟු අවස්ථාවෙන් උපරිම ප‍්‍රයෝජන ගත යුතු වේ. ඒ සඳහා පොදුවේ එන්නත්කරණය තුළින් රජය විශාලම ආයෝජනය සිදු කර ඇති අතර දැන් කළ යුත්තේ සංචාරක ඇමැතිවරයා ඇතුළු සංචාරක බලධාරීන් විසින් සංචාරක කර්මාන්තයේ සියලූ පාර්ශ්වකරුවන් සමග එක් වී මේ නව සාමාන්‍ය තත්ත්වයට ගැලපෙන නව සංචාරක ප‍්‍රවර්ධන වැඩසටහන් තුළින් සංචාරක පැමිණීම් තවත් වර්ධනය කර ගැනීමට උත්සාහ ගැනීමයි. එහිදී සංචාරක කර්මාන්තයේ පාර්ශ්වකරුවන්ගේ සහාය හා අදහස් සැලකිල්ලට ගැනීම ද විශේෂයෙන් වැදගත්ය. මෙසේ කටයුතු කළහොත් සංචාරක කර්මාන්තය තුළින් මේ වසරේ (2022) ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක පමණ ආදායමක් උපයා ගැනීමට හොඳටම හැකියාව තිබේ. එහෙත් ඒ ඉලක්කයට යාමට බොහෝ වෙහෙස විය යුතුව තිබේ. මේ වර්ධනය වන සංචාරක ආදායම ද අපගේ විදේශ විනිමය අර්බුදය සමනය කරගැනීමට සැලකිය යුතු ලෙස දායක වනු ඇත. පාස්කු ප‍්‍රහාරයට පෙර 2018 වසරේ මෙරටට ලැබුණු සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක් විය. ඒ මට්ටම ද ඉක්මවා යමින් මහන්සි ගතහොත් අපේ සංචාරක කර්මාන්තය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කර ගැනීමට බැරි කමක් නැත.

* විදේශ විනිමය පේ‍්‍රෂණ

අපේ රට රැුකියා සඳහා විදේශගත වන පිරිස්වල විශාල වර්ධනයක් සිදුව ඇත. එය අනාගතයේ විදේශ විනිමය පේ‍්‍රෂණ ලැබීම් වර්ධනය කර ගැනීමට හේතුවක් වනු ඇත. 2019 වසරේ අපේ රට රැුකියා සඳහා විදේශගත වූ පිරිස 203ල087 සිට 2020 වසරේ දී 53ල875 දක්වා විශාල ලෙස අඩු විය. එහෙත් 2021 වසරේ දී එම ප‍්‍රමාණය 117ල952 ක් දක්වා වැඩි වී තිබේ. එසේම මේ වසරේ (2022) දී ලක්ෂ තුනක් පමණ විදේශ රැුකියා සඳහා විදේශගත වනු ඇතැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ ලියුම්කරුට කීවේය. මේ අනුව ඉදිරියේ දී රටට ලැබෙන විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණය වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

 ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment