විධායක ජනාධිපති ධුරයේ මූලික ලක්ෂණය ආත්මාර්ථකාමිත්වයයි: හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

158

විධායක ජනාධිපති ධුරයේ මූලික ලක්ෂණය ආත්මාර්ථකාමිත්වයයි:
නිදහස ලැබෙනකොට අපට ශක්තිමත් ආර්ථිකයක් තිබුණේ ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමයෙන්

නීතිඥ කල්‍යානන්ද තිරාණගම ලියූ ‘කලන වත..’ කෘතිය ජනගත කිරීමේ උළෙල

නීතීඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් රචනා කරන ලද තවමත් හමුනොවූ සාධාරණය සොයා ‘‘කලණ වත.. කෘතිය ජනගත කිරීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී පෙරේදා (25දා) සිදු කෙරිණි.

එම කෘතියේ මුල් පිටපත කල්‍යානන්ද තිරාණගම මහතා විසින් ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන්ට පිළිගන්වන ලදී. මෙම අවස්ථාවේ ප‍්‍රධාන දේශනය පැවැත් වූ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එම කෘතියේ පිටපතක් පිළිගැන්විණි. එම අවස්ථාවට එක් වූ මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර, රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා යන මහත්වරු හා නැෙඟනහිර ආණ්ඩුකාරවරිය අනුරාධා යහම්පත් මහත්මිය ප‍්‍රමුඛ ආරාධිතයෝ ද මේ අවස්ථාවට එක් වූහ.

ජේ. ආර්. ජයවර්ධන මහතා සීමිතව භාවිතා කළ විධායක ජනාධිපති බලතල දැන් අසීමිතව භාවිතා වන බවත්, එබැවින් යළිත් සාකච්ජා කර තීරණ ගැනීමේ යුගයක් ඇති කිරීම සඳහා ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය යටතේ කි‍්‍රයාත්මක වූ විධායක සභා ක‍්‍රමය කි‍්‍රයාත්මක කළ යුතු බවත්, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ කල්‍යාණන්ද තිරාණගම මහතා විසින් රචිත ‘කලන වත. කෘතිය එළිදැක්වීමේ උත්සව සභාව අමතමිනි. කල්‍යාණන්ද තිරාණගම මහතාගේ පෞද්ගලික සහ දේශපාලන ජීවිතය අළලා එම කෘතිය රචනා කර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අගවිනිසුරුවරයා මෙසේද පැවසීය.

විධායක ජනාධිපති ධුරයේ මූලික ලක්ෂණය ආත්මාර්ථකාමිත්වයයි: හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා –

මේ පොතේ තිබෙන සමහර සිද්ධීන් මම දන්නවා. පොතේ නැති සිද්ධියක් මම සඳහන් කරනවා. කල්‍යාණන්ද මහතා යම් සිද්ධියකට මැදිහත් වන ආකාරය එයින් පැහැදිලි වනවා. පසුගිය ආණ්ඩු සමයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණා. එම ආණ්ඩුවෙන් බැලූවා එම මැතිවරණය කල්දාන්නේ කෙසේද කියලා. ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළා. එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කළා. පනතේ සඳහන් වූයේ එම මැතිවරණය පළාත් වශයෙන් පැවැත්වීම නුසුදුසු බවත්, එමනිසා ඌව පළාත් සභාවේ කාලය අවසන් වූ පසුව සියලූ පළාත් වල මැතිවරණය පැවැත්වීම සුදුසු බවත් එහි සඳහන් වූවා. එම නිසා එම මැතිවරණය වසරකින් පමණ කල් දමා ගැනීමේ හැකියාව තිබුණා. ඒ වනවිට අගවිනිසුරු ලෙස කටයුතු කළ පි‍්‍රයසාද් ඩෙප් මහතා තීරණය කළා එම කටයුත්ත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බලය සහ ජනමත විචාරණයකින් එම යොජනාව සම්මත විය යුතු බවට. එම නිසා ආණ්ඩුව හිරවුණා. එම අවස්ථාවේදී ආණ්ඩුව අමුතුම තීරණයක් ගත්තා. ඒ වනවිට කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා පනතක් පාර්ලිමෙන්තුවේ තිබුණා. එම පනත කිසිවෙකු විසින් අභියෝගයට ලක් කර නොතිබූ නිසා එය න්‍යාය පත‍්‍රයට ඇතුළත් කරලා තිබුණා. එම පනතේ තිබුණේ වගන්ති තුනයි.
එම පනත තුන්වැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේදී අරගෙන එහි තිබුණු වගන්ති ඉවත් කරලා නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම සඳහා අලූතින් වගන්ති රාශියක් එක් කළා. පිටු තුනක් වශයෙන් තිබුණ පනත කාරක සභා අවස්ථාවේදී පිටු විස්සක් දක්වා වැඩි කළා. එම නිසා සීමා නිර්ණ කොමිසමක් පත් කිරීම ඇතුඵව තවත් පියවර රාශියක් ගැනීමට තිබුණා. කාරක සභා අවස්ථාවේ තිබූ එම පනත 2/3 ක ඡන්දයෙන් සම්මත විය යුතු බවට නීතිපතිවරයා තීන්දුවක් දුන්නා. මොන වගන්තියටද කියන එක නීතිපතිවරයාටත් කියන්න බැහැ. එම නිසා මුළු පනතටම 2/3 ක් අවශ්‍ය වූවා. එම පනතට සවස 6 ට තිබුණු ඡුන්දය රාතී‍්‍ර 10 දක්වා කල්ගියා 2/3 ක ඡුන්දය හදාගැනීම සඳහා. පනත සම්මත වූ සැණින් කතානායක වරයා අත්සන් කළා. දැන් මේක විශාල ප‍්‍රශ්නයක් බවට පත්වූවා. ඒ ආකාරයට පනත් සම්මත කිරීමට ගියොත් ඕනම ආණ්ඩුවකට පුඵවන් වනවා පොඩි පනතක් දාලා කාරක සභා අවස්ථාවේදී වෙනත් පනතක් සම්මත කර ගන්න. එම අවස්ථාවේදී දේශපාලන පක්ෂ මගෙන් ඇසුවා මොකක්ද කරන්න පුඵවන් කියලා. නඩුවක් දාන්න පුඵවන්ද කියල ඇසුවා. දේශපාලන පැත්තෙන් මට මේකට ඉදිරිපත් වෙන්න නොහැකි වුවත් එය ව්‍යවස්ථාවට පටහැනි බව මම දැන සිටියා. මෙය වැරදි පූර්වාදර්ශයක් විය හැකි නිසා මම කිව්වා මමම පෙත්සමක් දාන්නම් කියලා. එම අවස්ථාවේදී මම පෙත්සමක් සකස් කරලා උසාවියට ඉදිරිපත් කළා.

මානව හිමිකම්කාරයන් එන්.ජී. ඕ. කාරයන් එම අවස්ථාවේදී මට බලවත් විරෝධයක් දැක්වූවා. ඔවුන් මට වට කරගෙන ගහනවා. එම අවස්ථාවේදී මට කල්‍යාණන්ද තිරාණගම මහතා මාව දුරකතනයෙන් ඇමතුවා. දුරකතනයෙන් අමතල මට කිව්වා ඔබතුමා කරන දේ හරි. එයට මම කොහොමද උදව් කරන්නේ කියලත් ඇසුවා. ඒ වගේම මමත් ඔබතුමාගේ පැත්තෙන් පෙත්සම් කරුවකු ලෙස ඉදිරිපත් වෙන්නද කියලත් ඇසුවා. මම හා හොඳයි කියලා කිව්ව. ඒ ආකාරයට තමයි කල්‍යාණන්ද තිරාණගම මහතා යුක්තිය උදෙසා මැදිහත් වන්නේ.

කෙසේ වුවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එම සංශෝධනය නිසා මේ දක්වා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වී තිබෙනවා. අද වන විට එම කාරණය මානව හිමිකම් කොමිසමේ පවා කතා කරන කරණයක් බවට පත්වී තිබෙනවා. අද වන විට පළාත් සභා කි‍්‍රයාත්මක නොවීම නිසා එම බලයත් ජනාධිපතිතුමාට හිමිවී තිබෙනවා. අපගේ අප‍්‍රසාදය මුලසිටම තිබුණා. මෙම විධායක ජනාධිපති ධුරයට මේ ළඟදී සාකච්ඡාවකදී එක් අයෙක් ඇසුවා කොහොමද ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති වූයේ කියලා. මේ ජනාධිපති ධුරයට තිබෙන්නේ ඉතාමත්ම කිළිටි පටන් ගැන්මක්. ජනාධිපති ක‍්‍රමය ලංකාවේ පටන් ගත්තේ 1972 ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනය කරලා. අයුක්තිය අසාධාරණය නීතියේ මුවාවෙන් සිද්ධ වෙනකොට එතැන සිද්ධ වෙන්නේ බලවත් වරදක් පාපයක්.

විධායක ජනාධිපති ධුරය නිසා ජනතාවගේ අයිතිවාසිකම්වලට විශාල අභියෝගයක් එල්ල වනවා. ඩොනමෝර් ආණ්ඩු ක‍්‍රමය තමයි හරිම සාධාරණ. එහි තිබුණා විධායක කාරක සභා ක‍්‍රමයක්. එම ක‍්‍රමය නිසා තමයි නිදහස් අධ්‍යාපනය ඇති වූයේ. එම කාරක සභාවේ සභාපති කන්නන්ගර මහතා. ඒ වගේම අපේ කෘෂිකර්මාන්තය ස්‍යෙඛ්‍ය සේවය ඇතුඵ තවත් බොහෝ අංශ දියුණු වූයේ එම විධායක කාරක සභා ක‍්‍රමය නිසා තමයි. සියලූ පක්ෂවල සාමාජිකයන් එම කාරක සභාවලට සහභාගි වූ නිසා එතැන පක්ෂ භේදයක් තිබුණේ නැහැ. එමනිසා පැවැත්මක් ඇතිවූවා. එම නිසා කාරක සභා ක‍්‍රමය අපට අත්‍යවශ්‍ය දෙයක්. මොකද පක්ෂ භේදයකින් තොරව කරුණු කාරණා සාකච්ජා කරලා කටයුතු කළ නිසා. අපිට නිදහස ලැබෙන කොට අපට ශක්තිමත් ආර්ථිකයක් තිබුණේ එම ක‍්‍රමය යටතේ රට පාලනය කළ නිසා තමයි. ආසන ක‍්‍රමයට මන්තී‍්‍රවරුන් තෝරා ගැනීමත් ඉතා සාර්ථක ක‍්‍රමයක්. නමුත් ජයවර්ධන මහතා මනාප ක‍්‍රමය හඳුන්වාදීලා එම ක‍්‍රමය නැති කළා.

අපි කතා කළේ පොදු පෙරමුණ පැත්තේ ඉඳලා. නමුත් බලයට ඇවිත් පළමුවෙන්ම කළේ 20 වැනි සංශෝධනය සම්මත කරගත් එක. එම සංශෝධනය නිසා ජයවර්ධන මහතාටත් වඩා බලයක් විධායකයට ආරුඪ කර ගත්තා. විධායක ජනාධිපති ධුරයේ මූලික ලක්ෂණය තමයි ආත්මාර්ථකාමීත්වය. ජයවර්ධන මහතා එම බලය බොහෝම සීමිතව භාවිත කළා. නමුත් කියන්න කනගාටුයි දැන් එම බලය අසීමිතව භාවිත වනවා. පොහොර ප‍්‍රශ්නය නිසා විශාල අසහනයක් ඇති වී තිබෙනවා. ලබන වර්ෂය වන විට මේ රටේ විශාල ආහාර හිඟයක් ඇති වනවා.

මිනිසුන්ගේ අසහනය එන්න එන්න වැඩි වෙනවා. ආරූඪ කරගත් දර්ශනයක් නිසා මෙම ප‍්‍රශ්නය ඇති වී තිබෙනවා. මොන වියතා ඔය අදහස දුන්නාද කියන එක අවබෝධ කර ගන්න බෑ. ග්ලාස්ගෝ සමුඵවේ දී කතා කළේ කාබන්ඩයොක්සයිඞ් පිළිබඳව. රසායනික පොහොරවලින් කාබන්ඩයොක්සයිඞ් පිටවන්නේ නැහැ. විධායක කාරක සභා ක‍්‍රමය තිබුණා නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මොකද එහෙම නම් සියලූ දෙනා එක්ක සාකච්ඡා කරලා තමයි තීරණය ගන්න වෙන්නේ. එහෙම වුණා නම් මෙහෙම වෙන්නේ නෑ.

උත්සව සභාව ඇමතු දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි –

තිරාණගම මහතා රචනා කර ඇති මෙම කෘතියෙන් පෙන්වා දී තිබෙන්නේ අද සමාජයේ සාධාරණයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක තමයි. එතුමාගේ අත්දැකීම් අනුව සාධාරණය සිද්ධ වන්නේ කොතැනද කියන එක පිළිබඳව මෙම කෘතිය මගින් කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. අද සමාජයේ අසාධාරණය තමයි රජ කරන්නේ. ජනාධිපතිකම් කරන්නේ අසාධාරණව. ගෝඨාභය මහතා නොවෙයි. කල්‍යාණන්ද මහතා සිරකරුවන්ට සාධාරණය ඉටුකරදීම සඳහා අප‍්‍රමාණව වෙහෙසිලා තිබෙනවා. අපි එය දකින්නේ මනුෂ්‍යත්වය පදනම් කරගෙන සිදුකළ කටයුත්තක් ලෙස. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව මේ ලෝකයේ මිනිසුන් අත්මාර්ථකාමයෙන් අපවිත‍්‍ර වෙලා. ආත්මාර්ථයත් සමග තමයි අසාධාරණය සිද්ධ වෙන්නේ.

උත්සව සභාව අමතා අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා –

දැන් අසාධාරණය ඝනීභූත වෙලා තිබෙන්නේ. දැන් අපට තිබෙන්නේ ගලක් බිඳිනවා වගේ එය බිඳින්න. ඒ සඳහා අවශ්‍ය කාර්යභාරය අප විසින් ඉටුකළ යුුතුයි. ඇමැතිවරයෙක් ලෙස සිටියත් මම එම කාර්යභාරය ඉෂ්ට කරනවා. අපට 20 වැනි සංශෝධනයෙන් ඉවත් කිරීමට නොහැකි වූයේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ කාරණය පමණයි.

කල්‍යාණන්දයි මමයි එක පළාතේ. මගේ ගම මැටරම. අපේ ගමේ ඉඳලා ගම් තුන හතරක් එහායින් තමයි ඔහුගේ ගම තියෙන්නේ.

මෙම සභාව අමතා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්ද අදහස් දැක්වීය.

ඡායාරූප – ජූඞ් ඩෙන්සිල් පතිරාජ
එරික් ගාමිණී ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment