වින්දන චින්තා – 03 – ප්‍රශස්ත කාව්‍ය විචාර විමර්ශනයක්

117

නූතන සිංහල කවිය පිළිබඳ සංකථනයක් සිදු කිරීමේ අරමුණින් යුතුව මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ සංස්කාරකත්වයෙන් සම්පාදනය කර ඇති “වින්දන චින්තා – 3” නූතන සිංහල කවිය පිළිබඳ විමර්ශනයක් කෘතිය විමල් දිසානායක, එරික් ඉලයප්පාරච්චි, උදේනි සරත්චන්ද්‍ර, සුනිල් ගුණවර්ධන, කමනී ජයසේකර, නන්දන වීරසිංහ, ලක්ශාන්ත අතුකෝරළ, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සෞම්‍ය සඳරුවන් ලියනගේ, බර්ටි බී. කුඩාහෙට්ටි, මිණිවන පී. තිලකරත්න, අජිත් තිලකසේන, පියුමි ජයකළණී යන කවි කිවිඳියන්ගේ තෝරාගත් කෘතීන් පිළිබඳව මනා නිරීක්ෂණයෙන් හා රසවින්දනයකින් යුතුව සිදුකරන ලද විදග්ධ කාව්‍ය විචාරවලින් සමන්විතය.

 මෙම විචාර ග්‍රන්ථය ආරම්භවන්නේ මහාචාර්ය විමල් දිසානායකයන් විසින් රචිත “කවිය කවියා අමතන හැටි” නමැති රචනාවෙනි. මෙහිදී විමල් දිසානායකයන් විසින් නිර්මාණය කරන ලද ඔහුගේ නවතම කාව්‍ය ග්‍රන්ථය වන “ඉතිහාසය සිනාසෙයි” කාව්‍ය සංග්‍රහය පිළිබඳව වැදගත් කරුණු රාශියක් සම්පිණ්ඩනය කර ඇත. මෙහි ඇතුළත් බොහෝ පද්‍ය රචනා තුළින් කවියෙහි අස්තිත්වයන්, කවියා හා භාෂාව අතර පවත්නා සනාතන අරගලයත් තේමා වී ඇති බැව් උදාහරණ සහිතව විදාරණය කිරීම පාඨකයාගේ අවබෝධය පිණිස හේතු වේ.

වින්දන චින්තා - 03 - ප්‍රශස්ත කාව්‍ය විචාර විමර්ශනයක්

 “වින්දන චින්තා – 3” නූතන කවිය පිළිබඳ විමර්ශනය ආරම්භ වන්නේ ද මහාචාර්ය විමල් දිසානායකයන්ගේ “ජයසිරිගේ සමුගැනීම” නමැති පද්‍ය සංග්‍රහය පිළිබඳව මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් විසින් රචිත දීර්ඝ වූත් සාරගර්භවූත් නිබන්ධයකිනි. “ජයසිරිගේ සමුගැනීම” කාව්‍ය සංග්‍රහයේ එන ධාරණා ජයසිරිගේ චරිතය කේන්ද්‍රකොටගෙන එම චරිතාභ්‍යන්තරයට නව ආලෝක ධාරාවක් විහිදවයි. ජයසිරි සියදිවි නසා ගැනීමට තුඩුදුන් පසුබිම ආඛානය හා බද්ධ කොට විකාශනය කර ඇති බවත්. වරක් පඨනය කළ පමණින් මෙහි අඛ්‍යානය ග්‍රහණය කරගත නොහැකි බවත් මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් කර ඇති සඳහන මෙහි එන පද්‍ය රසවිඳීමට ආමුඛයක් සලසයි.

 ජයසිරි නියත වශයෙන් ම දිවිනසා ගන්නා බව කවියා රූපණය කර ඇත්තේ කවි බසෙහි නිර්මාණාත්මක ශක්‍යතාවලින් උපරිම මෙහෙය ලබමින් බැව් සඳහන් කරන කුමාරසිංහයන්, පුන්සඳ මඬල අහසෙහි බබළමින් අරක්ගෙන සිටින බැව් ධ්වනිත කරන අයුරු මෙලෙස දක්වයි.

 “ඉදිමුණු සඳමඬල අහසෙහි බබළයි
 මුදු රැස් පතුරා පාලම අවට
 තව මොහොතකින් ගං දිය
 මා උඩින් ගලනු ඇත”

 ගැඹුරු තේමාවක් සහිත මෙම කෘතියේ කාව්‍යාත්මක ලක්ෂණ උදාහරණ සහිතව ගෙනහැර පාමින්, කුලතිලක කුමාරසිංහයන් සිදුකරන මෙම විචාරය තුළින් “ජයසිරිගේ සමුගැනීම” කාව්‍ය සංග්‍රහයේ සමුදයාර්ථය පාඨකයාට මැනවින් අවබෝධ වන අතර මෙහි එන රූපක, ව්‍යංගාර්ථ, ධ්වනිතාර්ථ, ශ්ලේෂාර්ථ මනා ලෙස වටහා ගැනීමට ඉවහල් වේ.

 විමල් දිසානායක කිවිඳුන්ගේ “මනෝරූප ශතකය සහ වෙනත් කවි” හිසින් යුතුව සහකාර කථිකාචාර්ය සුදේශ් කවීශ්වර විසින් රචිත විචාරය තුළින් මෙම කෘතිය කොටස් දෙකකින් සමන්විත බවත්, පළමු කොටස කාලය, ජීවිතය, මරණය, ළමාවිය හා අස්තිත්වය වැනි තේමා මුල් කොටගත් රචනාවලින් යුතුවත්, දෙවැනි කොටස මනෝරූප පාදක කොටගත් කෙටි කවි සියයකින් සමන්විත බවත්, එම නිසාම මෙම කාව්‍ය සංග්‍රහය “මනෝරූප ශතකය” යනුවෙන් නාමකරණය වී ඇති බවත් පැහැදිලි කරයි.

 මනෝරූප ශතකයේ එන “බෝරුක” නමැති පද්‍ය නිර්මාණය තුළින් මහාචාර්ය විමල් දිසානායකයන් කුඩා අවදිය ගතකළ නිකවැව ගම්මානයත්, ඔහුගේ බොහෝ රචනාවලට වස්තු විෂය වූ නාගලකන්ද ගැනත් කවි සිත්තම් මවා ඇති අයුරු බලනු මැනවි.

 “තුරු මුදුනු අතර සිට
 සිනාසෙයි පුරුදු ලෙස
 ම මිත් නාගල කන්ද
 කළණ මිතු දම විදා

 කුඩා කල මා පියා
 සැ’ති කවි මිහිරි ලෙස
 බා් ගසෙහි සෙවණ යට
 ගැයූ හැටි මතක් වෙයි

 මනෝරූප යනු කවියාගේ මනසේ ඇඳෙන බාහිර ලෝකයේ සිදුවීම් හා ද්‍රව්‍ය රූප, වචන මඟින් ඉදිරිපත් කිරීමයි. මේ අනුව කවියා පරිකල්පනයෙන් යුතුව සිය අත්දැකීම් පාඨකයා වෙත ඉදිරිපත් කරන්නේ සංකල්ප රූප මඟිනි.

 “මනෝරූප ශතකයෙහි ඇතුළත් සෑම රචනයකින්ම කාව්‍යාත්මක නිමේෂයක් නිරූපණය වේ. එය කාව්‍යාත්මක නිමේෂයක් බැවින් සංක්ෂිප්තාව ආත්ම කොට බිහිවූවකි” යනුවෙන් මෙම කවි පිළිබඳව විමල් දිසානායකයන් කර ඇති සඳහන මෙම පද්‍ය හඳුනා ගැනීමට ඉවහල් වේ.

 “රෑ මැදියම නිහඬ මැදින්
 නුග ගහ ළඟ දෙවොලට ගොස්
 සොරකම් කරගෙන ආවෙමි
 පූජනීය පරම සත්‍ය”

 (03 වන කවිය)

 මෙහිදී පූජනීය පරම සත්‍යය සොරකම් කිරීම යනුවෙන් කවියා පවසා ඇත්තේ මිථ්‍යා විශ්වාස ප්‍රහීන කිරීම තුළින් අවිද්‍යාව දුරුකර, විද්‍යා නෙත විවර කිරීම බැව් සුදේශ් කවීශ්වර සිය විචාරයේ සඳහන් කර ඇත.

 ආනන්දයෙන් ආරම්භව ප්‍රඥාවෙන් කෙළවර විය යුතු කාව්‍යය පිළිබඳව සන්නිදර්ශන පාමින් රචිත “මියයන මල්” නමැති මෙම කාව්‍යය කියවනු මැනවි.

 “මලක් සෙයින් මිටියාවත පිපුණු නුඹ
 වසක් විසක් කාලා මියගියේ කිම
 දොරක් දොරක් ළඟ නැඟ ඇති සඳ සේම
 මළත් නුඹේ වත හීනෙන් එයි තාම”

 හැත්තෑව දශකයේ ප්‍රකට කවියකු මෙන්ම ගීත රචකයකු වූ සුනිල් ගුණවර්ධනගේ “මහ පෙළොවේ දෙවියෝ අපියි” කාව්‍ය සංග්‍රහය පිළිබඳව මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් රචිත විචාරයෙන් සුනිල් ගුණවර්ධන කිවිඳුන් තමා අවටැති පරිසරයෙන් ලත් අත්දැකීම් ඇසුරෙන් රචිත කාව්‍ය රචනා සාකච්ඡාවට බඳුන් කර ඇත.

 “සිංහල ආඛ්‍යාන කාව්‍ය සම්ප්‍රදාය හා එරික් ඉලයප්පාරච්චි” නමැති කථිකාචාර්ය විචිත්‍රා පවිත්‍රානිගේ විචාරයෙන් අවධානය කර ඇත්තේ ඉලයප්පාරච්චි විසින් රචිත “සුචරිත සිරිත” හා “කේ. කේ.” ආඛ්‍යාන කාව්‍යයන් විමර්ශනය කිරීමයි. ටී. එස්. එලියට්ගේ “මුඩි බිම” නමින් කරන සිංහල පරිවර්තනය ද මෙහි සාකච්ඡාකර ඇත.

 මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් මෙම විචාර සංග්‍රහය සඳහා රචිත “උදේනි සරත්චන්ද්‍ර හා හැත්තෑව දශකයේ සිංහල කවිය, “බර්ටි බී. කුඩාහෙට්ටි සහ සින්ඩරෙල්ලා” “මිණිවන් පී. තිලකරත්න හා උපහාස කවිය, “අජිත් තිලකසේන හා සංයුක්ත කවිය”, පියුමි ජයකළණිගේ “සකද මලයි බබළු වැලයි” යන විචාරයන් පථනය කිරීමේ දී කවියේ හැඩරුව මැනවින් හැඳිනගෙන කවියේ රූපකාර්ථ සහ සංකල්ප රූප ග්‍රහණය කර ගනිමින් එම කවීන්ගේ කාව්‍ය රචනා විමර්ශනයට ලක්කර ඇති ආකාරය ආධුනික විචාරකයන්ට මාහැඟි මාර්ගෝපදේශයකි.

 “වින්දන චින්තා” කාව්‍ය විමර්ශන ග්‍රන්ථයේ එන අනිකුත් රචනා අතර “ලක්ශාන්ත අතුකෝරළ කවියාගේ සිංහල කාව්‍ය” පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චම්පා එස්. ද සිල්වා රචිත විචාර ලිපියත “මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ කාව්‍ය නිර්මාණ” පිළිබඳව ප්‍රියංගනී පවිත්‍රා විද්‍යාදර්ශනි සිල්වා රචිත විචාර ලිපියත්, “සෞම්‍ය සඳරුවන් ලියනගේ ගේ “හැටේවත්තේ මග්දලේනා” කාව්‍ය සංග්‍රහය පිළිබඳව ගයානි මධුෂා කුමාරි විසින් රචිත ලිපියත් පාඨකයාගේ කාව්‍ය රසාස්වාදනයටත්, විචාරාවබෝධයටත් හේතු වී ඇති බැව් සඳහන් කළමනාය.

 ර්‍ණඔයැ ණසබටසෙියැර දf උසප්ක ෘසි්බහ්නැ” නමැති මහාචාර්ය කමනී ජයසේකර රචිත විචාරය සහ “ඡදැඑසජ ෑපච්එයහ සබ ණ්ප්බස න්‍්හ්ිැන්ර්, නමැති දයා දිසානායකයන් රචිත විචාරය මෙම විචාර සංග්‍රහයට නව වටිනාකමක් එක්කර ඇත.

 මෙම විමර්ශන සංග්‍රහයට උප ග්‍රන්ථයක් ලෙස ඇතුළත් කර ඇති මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ “යථාර්ථවාදී ප්‍රභේද රූපකාත්මක යථාර්ථවාදය හා මොහාන් රාජ් මඩවල’ නමැති කෘතිය පිළිබඳව සාකච්ඡා කරන ශාස්ත්‍රපති මහේෂ් ක්‍රිෂාන්ත මෙම කෘතිය ලෝක සාහිත්‍යයම ගැඹුරු පඨනයකට ලක් කිරීමක් ලෙස සඳහන් කර ඇත. මෙම ග්‍රන්ථයේ යථාර්ථවාදය, සම්භාව්‍යවාදය, රොමාන්තිකවාදය, ස්වභාවවාදය, විවේචනාත්මක යථාර්ථවාදය, අධි යථාර්ථවාදය වැනි විචාර සංකල්ප පිළිබඳව කර ඇති විචාරයන් විදෙස් සාහිත්‍යයට ඇතුළුවීමට දොර කවුළු විවර කරන්නකි.

 නූතන සිංහල කවිය පිළිබඳව ප්‍රමාණවත් ලෙස සාකච්ඡාවට බඳුන් නොවීමේ ඌණතාව සපුරාලමින් නූතන සිංහල කවීන් කිහිපදෙනකුගේ කාව්‍ය රචනා පිළිබඳව කර ඇති මෙම ප්‍රබුද්ධ විචාරයන් නූතන සිංහල කවියේ ප්‍රගමනයට ඉවහල්වන ප්‍රශස්ත ව්‍යායාමයක් බැව් සඳහන් කළ යුතුය. මෙබඳු විමර්ශන සංග්‍රහයක් සංස්කරණය කර පළ කිරීම තුළින් මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන් ඉටුකරන ලද මහාර්ඝ සාහිත්‍ය සම්ප්‍රදානය අපගේ සම්භාවනාවට පාත්‍ර විය යුත්තේමය.

උදේනි සරත්චන්ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment