විනිමය අර්බුදය ජය ගැනීමේ උපායමාර්ග සාර්ථක වෙයි ද?

125
  • අපනයනවලට වැඩි ආනයන

මේ දිනවල අප මුහුණ දෙන බලවත්ම ප‍්‍රශ්නය වන්නේ ‘ඩොලර් ප‍්‍රශ්නය’ ලෙස අප ඉතා සරලව හඳුනාගන්නා රටේ පවතින විදේශ විනිමය හිඟයයි. මේ නිසා මේ වන විට ශ‍්‍රී ලංකා ආර්ථිකයේ ප‍්‍රධාන අවදානම් සාධකය බවට පත්ව ඇත්තේ ඉතා අහිතකර තත්ත්වයට පත්ව ඇති ආර්ථිකයේ විදේශ අංශයයි. එහෙත් මෙය අලූත්ම තත්ත්වයක් ද නොවේ. මෙය කොරෝනාවට පෙර සිටම පැවති අහිතකර තත්ත්වයකි. සිදුව ඇත්තේ කොරෝනා වසංගතය සමග මෙය තවත් උත්සන්න වීමකි. මේ නිසා කලක් තිස්සේම අපගේ අපනයන ආදායම මෙන් දෙගුණයක පමණ අති විශාල ආනයන වියදමක් අපි දරමින් සිටියෙමු. එනම් විශාල වෙළෙඳ හිඟයකට කලක් තිස්සේම අප මුහුණ දී සිටිය බවයි. මෙහි අර්ථය අප අපනයනය කර උපයන විදේශ විනිමයට වඩා වැඩි වියදමක් විදේශ භාණ්ඩ ආනයනය කර පරිභෝජනය කරන බවයි.

  • ආනයන වියදම් තවත් වර්ධනය වීම

දේශීය ආර්ථිකය පදනම් කරගත් ආර්ථික වර්ධන ආකෘතියක් වැඩි වශයෙන් අනුගමනය කිරීම නිසා අපනයන වර්ධනය ආර්ථිකයේ වර්ධනයට වඩා අඩු වී තිබේ. මේ නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස අපනයන ආදායම ද ක‍්‍රමයෙන් අඩු විය. ඒ සමගම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ආනයන වියදම් ඉහළ යාමට පටන් ගත්තේය. වර්තමානයේ ක‍්‍රියාත්මක ආනයන සීමා කිරීම් හේතුවෙන් එය තරමක් පහත වැටී තිබේ. එහෙත් තෙල් මිල ගණන් වර්ධනය වීම සහ ලෝක මිල ගණන් වැඩි වීම ඇතුළු ඇතැම් ආනයන වියදම් වැඩි වීම නිසා අපගේ අපනයන ආදායමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් වර්ධනය වී තිබේ.

  • වෙළෙඳ හිඟය වර්ධනය

වෙළෙඳ හිඟය යනු අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරයයි. මේ වෙළෙඳ හිඟය වර්ධනය වීමට මූලික හේතුව වී ඇත්තේ මේ පරතරය තවත් වැඩි වීමයි. 2021 වසරේ පළමු මාස 9 ට අදාළ විදේශ වෙළෙඳ දත්ත මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළේය. ඒ අනුව ආනයන සීමා පැවතුනද මේ වසරේ (2021) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 6 ද ඉක්මවා ගිය විශාල වෙළෙඳ හිඟයක් මේ වන විට නිර්මාණය වී ඇත. මෙය අපගේ විදේශ විනිමය පීඩනය තවත් වර්ධනය වීමට ද හේතුවකි. මේ කාලයේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 8934 දක්වා සියයට 20 කින් වර්ධනය වන විට ආනයන වියදම් ඇමෙරිකානු ඩොලර් මිලියන 14ල938 දක්වා සියයට 26.8 කින් වර්ධනය වී ඇත. මේ අනුව වෙළෙඳ හිඟය ගිය වසරේ (2020) පළමු මාස 9 දී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 4337 සිට මේ වසරේ (2021) පළමු මාස 9 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 6003 දක්වා වර්ධනය වී තිබේ. එසේ වෙළෙඳ හිඟය වර්ධනය වන විට එම කාලයේ දී අපගේ සංචාරක ඉපයුම් සියයට 92.5 කින් සහ විදේශ සේවා කරන අයගෙන් රටට ලැබෙන විදේශ විනිමය පේ‍්‍රෂණ ගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 9.3 කින් ද අඩු වී ඇත. මෙසේ කොරෝනාවට පෙර වෙළෙඳ හිඟය පියවා ගැනීමට වෙනදා වැඩි වශයෙන් යොදා ගත්තේ මේ විදේශ සංචාරක ඉපයුම් සහ විදේශ විනිමය පේ‍්‍රෂණ ප‍්‍රමාණයයි. එහෙත් ඒවා පසුගිය කාලයේ දී පහත වැටී තිබෙන නිසා අපට විනිමය හිඟයකට මුහුණ දීමට සිදුව ඇත.

  • විනිමය අර්බුදය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
විනිමය අර්බුදය ජය ගැනීමේ උපායමාර්ග සාර්ථක වෙයි ද?

පසුගිය ඔක්තෝබර් 01 වැනිදා මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ඉදිරිපත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහායෙන් තොරව විදේශ විනිමය අර්බුදයට විසඳුම් සොයන සැලැස්මකි. බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා සිය 2022 අයවැය මගින් මේ විදේශ විනිමය ප‍්‍රශ්නය ගැන අවධානයක් යොමු කර නැත. මේ අනුව පැහැදිලි වන්නේ මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් විසින් පසුගිය ඔක්තෝබර් 01 වැනිදා ඉදිරිපත් කරන ලද මාස හයක මාර්ග සිතියමේ ඉලක්ක සහ උපායමාර්ග පිළිබඳව මුදල් ඇමැති බැසිල් අයවැයෙන් පූර්ණ විශ්වාසය තබා ඇති බවයි. මේ ගැන පසුගිය නොවැම්බර් 25 දින මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවේ දී කළ විමසුමක දී කබ්රාල් මහතා කීවේ ද සැලසුම් දෙකක් අවශ්‍ය නොවන බවත් මහ බැංකුව මේ සඳහා සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවත්ය. රට මුහුණ දී සිටින වත්මන් විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ‍්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු බවට බොහෝ පාර්ශ්වයන් යෝජනා කර තිබේ. එහෙත් සිය මාර්ග සිතියමෙන් මහ බැංකු අධිපතිවරයා විදේශ විනිමය ගැටලූවට ඉදිරිපත් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොගන්නා අප රට විසින්ම ඒ සඳහා ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් විසඳුම් සොයන ක‍්‍රමයකි.
පවතින විදේශ විනිමය පරතරය සපුරාලීම සඳහා ප‍්‍රමාණවත් ඉලක්කගත විදේශ විනිමය ප‍්‍රවාහයන් එම සැලැස්මෙන් පෙළ ගස්සවා ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොමැතිව ශ‍්‍රී ලංකාවට විනිමය අර්බුදයෙන් මිදිය හැකි බව ඔහුගේ මාර්ග සිතියමෙන් රටට පවසා තිබේ. එහෙත් මෙය සැලැස්මක් පමණක් බවත් විවිධ හේතු නිසා සැලසුම් ඉටු වීමට මෙන්ම ඒ ආකාරයෙන්ම ඉටු නොවීමට ද ඉඩ ඇති බව අමතක නොකළ යුතුය. පසුගිය නොවැම්බර් 25 දින මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ද මහ බැංකු අධිපතිවරයා කීවේ ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත ඉතා කල්පනාකාරීව සහ විද්‍යාත්මකව කරගෙන යන බවයි. ඒ සඳහා පිටස්තර උපකාර අවශ්‍ය නොවන බවයි. මේ අනුව කබ්රාල් මහ බැංකු අධිපතිවරයා අපේ විනිමය අර්බුදය විසඳා ගැනීම සහ විදෙස් ණය වගකීම් කලට වේලාවට පියවීමේ අභියෝගය මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගෙන කළ හැකි බවට වන පූර්ණ විශ්වාසයෙන් කටයුතු කරන බව අපට පෙනේ. එනම් මහ බැංකු අධිපති කබ්රාල් ඔහුගේ සය මාසික පෙර දැක්ම මගින් ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රතිපත්ති පැකේජය විශ්වාස කරමින් ගෙවුම් ශේෂ අර්බුදයට විසඳා ගැනීම සඳහා මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට ඔහුගේ සැලැස්මේ ප‍්‍රගතිය ගැන පූර්ණ විශ්වාසයෙන් කටයුතු කරමින් සිටී. ඒ ගැන ළඟදීම මාධ්‍ය හමුවක් ද පවත්වා එහි ප‍්‍රගතිය ගැන කරුණු හෙළි කරන බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.

  • විදේශ සංචිත පහත වැටීම

මේ මහ බැංකු මාර්ග සිතියමෙන් දැන් මාස දෙකකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත. ඩබ්. ඞී. ලක්ෂ්මන් හිටපු මහ බැංකු අධිපතිවරයාගේ කාලයේ දී රටේ විදේශ විනිමය තත්ත්වය ඉතා නරක අතට හැරෙමින් තිබුණි. අධිපති කබ්රාල් සිය මාර්ග සිතියමේ සදහන් කළ විදේශ අරමුදල් ඉලක්ක කළ පරිදි ලබා ගැනීමේ උත්සාහයේ නිරතව සිටී. එහෙත් හදිසි ආනයන අවශ්‍යතා සපුරාලීම සඳහා මහ බැංකුවේ සංචිතවලින් යම් ප‍්‍රමාණයක් ගෙවීම් කිරීමට සිදුවීම හේතුවෙන් ඔක්තෝබර් මස අගවන විට අපේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.3 ක් දක්වා පහත වැටී ඇත. එසේම නොවැම්බර් මැද වන විට සංචිත මට්ටම තවත් පහත වැටී ඇති බව වාර්තා වේ. එහෙත් මහ බැංකුව පවසන්නේ මහ බැංකුව සහ රජය මගින් ගනු ලබන ක‍්‍රියාමාර්ග සහ පෞද්ගලික අංශය වෙත ලැබෙන විදේශ විනිමය ලැබීම් සමග විදේශ සංචිත තත්ත්වය වර්ධනය වනු ඇති බවයි.

  • මුදල් මුද්‍රණය අවම කිරීමේ පියවර

දිගින් දිගටම විශාල වශයෙන් මුදල් මුද්‍රණය කරන බව මහ බැංකුවට එල්ල වන චෝදනාවකි. මේ අනුව මහ බැංකුවේ අධික මුදල් මුද්‍රණය අවම කිරීමට ද මහ බැංකු අධිපතිවරයා උත්සාහ කරමින් සිටී. 2019 දෙසැම්බර් අග සිට 2021 සැප්තැම්බර් අවසානය දක්වා වූ මාස 21ක කාලයේ දී හිටපු අධිපති ඩබ්.ඞී. ලක්ෂ්මන්ගේ කාලයේ මුදල් තොගය රු. ටි‍්‍රලියන 2.9 කින් පමණ වර්ධනය වීමට ඉඩ සලසන ලදී. මේ වන විට රජයේ සුරැකුම්පත් අනුපාත ඉහළ යාමට ඉඩ සලසමින් සහ මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සඳහා මූල්‍යකරණය කිරීම අවම කිරීම මගින් මහ බැංකුව මුදල් වර්ධනය සීමා කිරීමට පියවර ගෙන ඇත. එහෙත් තවමත් භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ සංකේන්ද්‍රණය වී ඇත්තේ කෙටිකාලීන කල්පිරීමේ බිල්පත්වලය. එයින් පෙන්නුම් කරන්නේ ආයෝජකයින් තම මුදල් මාස හයක සහ මාස 12ක බිල්පත්වලට ආයෝජනය කිරීමට මැලිකමක් දක්වන බවයි. මේ නිසා එම පියවරෙන් සම්පූර්ණ ප‍්‍රතිලාභ අත්කර ගැනීමට නම් භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධයෙන් පොලී අනුපාත වර්ධනය වීමට ඉඩ දිය යුතු බව ආර්ථික හා මූල්‍ය අංශයේ විද්වතුන් අදහස් දක්වා ඇත.

  • විදේශ විනිමය ලැබීම් වර්ධනය කර ගැනීම

ශ‍්‍රී ලංකාවට ඉහළ පොලියකට හැර නිකුත් කළ නොහැකි මට්ටමට පත්ව ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරනවා වෙනුවට සාම්ප‍්‍රදායික නොවන වාණිජ අරමුදල් ප‍්‍රවාහයන් ලබා ගැනීමට මහ බැංකුව යෝජනා කර ඇත. එකක් නම් නිශ්චිත පරිසර ආරක්ෂණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් ණයට ගත හැකි හරිත බැඳුම්කර වෙළෙඳපොළට ප‍්‍රවේශ වීමයි. එහෙත් මෙහිදී ආයෝජකයින්ට පිළිගත හැකි ව්‍යාපෘති ඉක්මනින් සැලසුම් කිරීම අපහසුය. ඒ නිසා මෙයට යම් කාලයක් ගතවනු ඇත. එසේම ශ‍්‍රී ලංකාවට ගලා එන විදේශ විනිමය පේ‍්‍රෂණ සුරැකුම් ලෙස ඉදිරිපත් කිරීමට ද යෝජනා කර ඇත.

සුරැකුම්කරණය යනු ද්‍රවශීල වත්කමක් ද්‍රවශීල මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා වත්කම් දරන්නෙකුට පවතින ක‍්‍රමවේදයකි. මේ සුරැකුමක් ලෙස ඉදිරිපත් කෙරෙන විනිමය පේ‍්‍රෂණ විදෙස් ශ‍්‍රමිකයන් සතු දෙයක් වුවත් ආණ්ඩුව හදන්නේ එය රටේ විදේශ විනිමය ආදායමක් ලෙස දක්වමින් විදේශ අරමුදල් සොයා ගැනීමටයි. එසේම සංචාරක කර්මාන්තයෙන් සහ විදේශ විනිමය පේ‍්‍රෂණ වලින් විදෙස් මුදල් තවත් වර්ධනය කර ගැනීමට රජය අපේක්ෂා කරයි.

  • විදේශ විනිමය පේ‍්‍රෂණ අඩු වීම

පසුගිය මාසවල දී දිගින් දිගටම විදේශ විනිමය පේ‍්‍රෂණ රටට ලැබීම අඩු වීමක් වාර්තා විය. මේ අනුව එම පේ‍්‍රෂණ ලැබීම් වර්ධනය කරගත යුතු වේ. ඒ සඳහා විදෙස්ගත ශ‍්‍රමිකයන්ට විශ‍්‍රාම වැටුප් ක‍්‍රම, රක්ෂණ ක‍්‍රම යනාදිය හඳුන්වා දෙමින් කිසියම් ආකර්ෂණීය දිරිගැන්වීම් ක‍්‍රමයක් හඳුන්වා දීමට ද මහ බැංකුව පියවර ගනිමින් සිටී. මේ හරහා විධිමත් මාර්ග හරහා විනිමය පේ‍්‍රෂණ රටට පැමිණීම වැඩි කර ගැනීමට මහ බැංකුව ඉලක්ක කරයි. දැනට විදේශ විනිමය පේ‍්‍රෂණ බොහොමයක් අවිධිමත් මාර්ග ඔස්සේ මෙරටට එවන්නේ ඔවුන්ට බැංකු ක‍්‍රමය හරහා එවීමෙන් දැනට තිබෙන කෘතීම විනිමය අනුපාතය මත ලැබෙන ප‍්‍රතිලාභ අඩු වීම නිසයි. ඩොලරය සඳහා මහ බැංකුව නියම කර ඇති විනිමය අනුපාතිකය සහ කළු කඩයේ නියම වී ඇති අගය අතර තිබෙන වෙනස හේතුවෙන් බොහෝ විදෙස්ගත ශ‍්‍රමිකයින් ‘හවාලා ක‍්‍රම’ හරහා මෙරටට මුදල් එවීමට පුරුදු වී ඇති බව මහ බැංකු අධිපතිවරයාම පසුගිය මාධ්‍ය හමුවේ දී කීවේය. යම් අයෙක් ශ‍්‍රී ලංකාවට මුදල් එවන්නේ නම් නිල මාර්ග හරහා එය සිදු කළ යුතු බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුව අදාළ ක‍්‍රමවේද අඩාල කිරීමට හා පසුබට කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා මෙසේ කීවේය.

”පේ‍්‍රෂණ අපි හැමෝම දැක්කා පසුගිය මාස කිහිපය තුළ දී අඩුවීමක් සිදුවෙලා තිබෙනවා. අපි ඒ පිළිබඳව සෑහෙන දුරකට අපේ තිබෙන තොරතුරු අනුව කටයුතු කරගෙන යමින් පවතිනවා. පේ‍්‍රෂණ නැවත වරක් වැඩිකර ගැනීමට අපි දැනටමත් සැලැස්මක් ඉදිරිපත් කරලා ඒක ක‍්‍රියාත්මක කරමින් පවතිනවා. මේක සිදුවීමට හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් දෙලක්ෂ තිස්දාහක පමණ සංඛ්‍යාවක් පිටරටවලට යනවා රැකියා සඳහා. ඒ අයට අවුරුදු දෙකක පමණ කාලයක් තුළ දී යන්නට බැරිවුණා. දැන් අපි දකිනවා, ඒ බොහෝ දෙනෙක් නැවත වරක් පිටරටවලට යන්න වෑයම් කිරීම, උත්සාහ කිරීම, ඒක හොඳ දෙයක්. ඒ නිසා අපි පාස්පෝට් ඔෆිස් එකත් එක්ක කතා කරගෙන තිබෙනවා, මුදල් අමාත්‍යාංශයත් ඒ අයත් එක්ක කතා කරලා තියෙනවා. ඉතාමත් ඉක්මනින් ඒ ගමන් බලපත‍්‍ර ලබා දීලා ඒ අයට තමන්ගේ රැකියාවන්වලට යන්නට අවස්ථාව ලබා දෙන්න කටයුතු කරගෙන යනවා…”

  • අත්‍යවශ්‍ය නොවන විදේශ භාණ්ඩවලට විනිමය වැය කිරීම

මෙසේ විදේශ විනිමය ලැබීම් වැඩි කර ගැනීමට අමතරව අපට ලැබෙමින් තිබෙන සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය ද මේ අමාරු වෙලාවේ වඩා ප‍්‍රශස්ත ලෙස වියදම් කිරීම ද අවශ්‍ය වේ. එහෙත් රටේ විශාල විදේශ විනිමය ප‍්‍රශ්නයක් තිබියදීත් තවමත් විවිධ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් වැය කරමින් සිටින තත්ත්වයක් ද තිබේ. ඕනෑම සුපිරි වෙළෙඳසලකට ගොස් බැලූවොත් ඒවායේ රාක්කවල විවිධ චොකලට් වර්ග, චීස් වර්ග, ටොෆි, පැස්ටා, විවිධ රසකැවිලි, ඇපල්, ලෙල්ල කහ දොඩම්, මිදි සහ දෙළුම් වැනි පලතුරු ඇතුළු අත්‍යවශ්‍ය නොවන විදේශ භාණ්ඩ රැසක් පවතින් අයුරු අපට දැකගත හැකිය. මුදල් තිබෙන අය තමන්ට අවශ්‍ය ඕන දෙයක් පරිභෝජනය කිරීම ගැන අපට ප‍්‍රශ්නයක් නැති නමුත් මෙරටට ආනයනය කරමින් තිබෙන මෙවැනි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙනුවෙන් රටේ තිබෙන සීමිත විදේශ විනිමය වැය කිරීමට ඉඩ දීම මේ මොහොතේ සුදුසු නොවේ.

අප ගත කරමින් සිටින්නේ ඉතා අමාරු අවස්ථාවකි. උග‍්‍ර විදේශ විනිමය පීඩනයක් පවතින අවස්ථාවකි. එසේ තිබිය දී අපේ විදේශ විනිමය ප‍්‍රශ්නය තවත් බලවත් වීමට මෙවැනි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයනික භාණ්ඩ ගෙන්වීමට ඉඩදීම හේතුවක් වේ. මේ නිසා ඩොලර් ප‍්‍රශ්නය සමනය වනතුරු කිසියම් කාලයකට තාවකාලිකව හෝ වහාම මෙවැනි ආනයන සීමා කිරීමට රජය පියවර ගත යුතුය. මෙය ඉන්ධන, ගෑස් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පවා ඩොලර් හිඟ වී ඇති අවස්ථාවකි. එසේ නම් මෙවැනි මොහොතක අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීමට රටේ පවතින සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය වැය කිරීමට ඉඩ දීම ඉතා අහිතකර බව ද ඔවුහු පෙන්වා දෙති. පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දහසක් පමණ ඩොලර් හිඟය නිසා වරායේ සිර වී ඇති බවයි.

අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ රැසක් මෙරටට ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව මීට කලකට පෙර ඒ සඳහා බැංකුවලින් විවෘත කරන ණයවර ලිපි සඳහා සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් සිදු කළ යුතු බවට නියමයක් පනවන ලදී. එය එම භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමක් නොවීය. එහෙත් එහිදී අදාළ ණයවර ලිපියෙන් පියවීමට යන ආනයන වටිනාකම සියයට සියයක් කලින් තැන්පත් කිරීමට සිදුවන නිසා එහිදී එම භාණ්ඩ අධෛර්යමත් වීමක් සිදු විය. එහෙත් පසුගිය ඔක්තෝබර් 01 වැනිදා මහ බැංකුවේ සය මාසික මාර්ග සිතියමෙන් එම සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව ඉවත් කරන ලදී. මෙවැනි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන වර්ධනය වීමට එය ද හේතුවක් තිබෙනවා විය හැකිය.

  • දේශීය ව්‍යාපාරිකයා දිරි ගැන්වීම

මේ පසුබිම තුළ මෙරට ව්‍යාපාර සහ කර්මාන්තවලට මෙන්ම අපනයනය ඉලක්ක කරගත් කර්මාන්තවල නිෂ්පාදන ක‍්‍රියාවලියට අවශ්‍ය වන අමුද්‍රව්‍ය සහ ඇසුරුම් ද්‍රව්‍ය වැනි ආනයන හැර වෙනත් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ආනයන තාවකාලිකව මෙරටට ගෙන්වීම වැළැක්වීම මේ විනිමය අර්බුදය තවදුරටත් සමනය කර ගැනීමට හේතුවනු ඇත. යම් කෙටි කාලයකට විදේශ චොකලට් වර්ග, චීස් වර්ග, ටොෆි, පැස්ටා, විවිධ රසකැවිලි, ඇපල්, දොඩම්, මිදි සහ දෙළුම් ඇතුළු විදේශ භාණ්ඩ පරිභෝජනය නොකළාට කිසිම දෙයක් වන්නේ නැත. ඉතා උසස් වර්ගයේ චොකලට් වර්ග, චීස් වර්ග, වෙනත් රසකැවිලි නිෂ්පාදන සහ එළවළු සහ පලතුරු වර්ග ඕනෑ තරම් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන බවත් ඒවාට මේ අවස්ථාවේ වැඩියෙන් ඉඩ දිය යුතු බවත් ඔවුන් සඳහන් කරන කරුණකි. ඒ නිසා මෙවැනි නිෂ්පාදන ආනයනය සීමා කරමින් මේ අවස්ථාවේ දේශීය නිෂ්පාදකයින්ට හා කර්මාන්තකරුවන්ට රජය වඩාත් අතදිය යුතුය. එය එක අතකින් දේශීය ව්‍යාපාරිකයාට කරන දිරිදීමකි. එසේම අනිත් අතට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වෙනුවෙන් රටේ මේ මොහොතේ තිබෙන සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය වැය කිරීම වැළක්වීමක් ද වේ.

  • ආර්ථික කටයුතු පණ ගැන්වීම

ශ‍්‍රී ලංකා ආර්ථිකය මේ වසරේ (2021) පළමු භාගය තුළ දී වේගයෙන් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කර ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව පළමු මාස හයේ දී සියයට 8 ක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇති අතර මේ වර්ෂයේ සමස්ත ආර්ථික වර්ධනය සියයට 5 ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කොවිඞ්-19 වසංගතය නැවත ව්‍යාප්ත වීම සහ එහි බලපෑමෙන් නිෂ්පාදන කටයුතුවලට ඇතිවූ අවහිරතා හේතුවෙන් 2021 වසරේ තුන්වන කාර්තුවේ දී දැනට පවතින ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වීම සඳහා තරමක බලපෑමක් ඇතිව තිබේ. කෙසේ වෙතත් නවතම යාවත්කාලීනවල දර්ශක මගින් පෙන්නුම් කරන පරිදි ආර්ථික ක‍්‍රියාකාරකම් වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී. 2021 ඔක්තෝබර් මාසයේ දී කොවිඞ් -19 ආශ‍්‍රිත සංචරණ සීමා ඉවත් කිරීම සහ රටපුරා සාර්ථක කොවිඞ්-19 එන්නත්කරණය ක‍්‍රියාත්මක කිරීම ඉදිරි කාලසීමාව තුළ ආර්ථික ක‍්‍රියාකාරකම් සඳහා උපකාරී වනු ඇති බව මහ බැංකුව පවසයි. ගෝලීය සහ දේශීය වශයෙන් කොවිඞ් -19 ආසාදිතයන්ගේ අඛණ්ඩ වැඩිවීමක් නැවත සිදු වෙමින් පැවතීම මෙම වර්ධන අපේක්ෂාවට යම් අහිතකර බලපෑම් ඇති කරනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment