ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්
අගවිනිසුරු ධුරය හැර අනෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරුන් පත්කිරීම හෝ ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කිරීම හෝ වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයකට පත්නොකිරීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන අවසන් තීන්දුවක් ලබාදෙනතුරු එකී අතුරු තහනම් නියෝගය බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වියයුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.
එස්. තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට අගවිනිසුරුවරයා මෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද නිර්දේශ කොට තිබියදීත් එකී නිර්දේශ අනුව කටයුතු නොකිරීමෙන් කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා නීතිඥ පතිරත්න මහතා එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ද අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල පෙත්සම් විභාගය ලබන ඔක්තෝබර් 4 වැනිදා ආරම්භ කිරීමට ද දින නියම කළේය. පෙත්සම්කාර නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා දීර්ඝ ලෙස දැක්වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව නම්කර තිබිණි. නීතිපතිවරයා,කථානායකවරයා, අගමැතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටි අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටියේය. අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා පුරප්පාඩුව පවතින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයක් සඳහා පත්කරන ලෙසට ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කර ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වය මෙන්ම සෙසු සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව බව පෙත්සම්කාර නීතිඥවරයා සිය පෙත්සම මඟින් අධිකරණයට කියා තිබිණි. එසේ තිබියදීත් එකී නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමෙන් ව්‍යවස්ථාදායක සභාව අධිකරණයේ ස්වාධීනත්වයට යම්කිසි බලපෑමක් කර ඇති බව පෙනී යන්නේ යැයි ද පෙත්සම්කාර නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබිණි.
ඒ.ජේ.ඒ. අබේනායක