විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට මරණ දඩුවම නියම වූ පොට්ට නවුෆර් කොරෝනා ආසාදිතව මියයයි

250

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන වරදකරු ලෙස මරණ දඬුවම නියම කිරීමෙන් පසු සිරගත කර සිටි කොළඹ පාතාලයේ ප‍්‍රධාන පෙළේ අපරාධකරුවකු වූ මොහොමඞ් නියාස් නවුෆර් නොහොත් පොට්ට නවුෆර් කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලේදී පෙරේදා (28 දා) රාති‍්‍ර මියගියේය.

විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට මරණ දඩුවම නියම වූ පොට්ට නවුෆර් කොරෝනා ආසාදිතව මියයයි


සරත් අඹේපිටිය මහතා ඝාතන සිද්ධියට අමතරව එවකට බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රවරයකුව සිටි නාමල් ගුණවර්ධන මරා දැමීම ඇතුළු මිනිස් ඝාතන 20 කට අධික ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් පොට්ට නවුෆර්ට එරෙහිව චෝදනා එල්ලවී තිබිණි.

මරණ දඬුවම නියමවීමෙන් පසු පොට්ට නවුෆර් ගාල්ල බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියේය. එහිදී දරුණු වකුගඩු රෝගයක් වැළඳීමෙන් පසු පොට්ට නවුෆර් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කරන ලදී.

කරාපිටිය රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරීක්‍ෂණයකදී පොට්ට නවුෆර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිය. පසුව මොහු වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබුණේ ඉකුත් 20 වැනිදාය.

පෙරේදා රාති‍්‍ර 7.30 ට පමණ පොට්ට නවුෆර් නමැත්තා වැලිකඩ බන්ධනාගාර රෝහලේදී මියගොස් ඇත්තේ ඉන්පසුවය. එවකට මහාධිකරණ විනිසුරුවරයකු වූ සරත් අඹේපිටිය මහතා පාතාල කණ්ඩායමක් විසින් වෙඩි තබා ඝාතනය කරන්නේ ඉකුත් 2004 වර්ෂයේ නොවැම්බර් මස 19 වැනිදාය.

එවකට පොලිසප්තිවරයාව සිටි චන්ද්‍රා ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් කීපයක් විසින් සිදුකළ විමර්ශනයකින් පසු අඹේපිටිය මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොට්ට නවුෆර් ඇතුළු පාතාල සාමාජිකයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී.

පොට්ට නවුෆර්ට එරෙහිව මත්ද්‍රව්‍ය නඩුවක තීන්දුවක් මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා විසින් ලබාදීමට නියමිතව තිබිණි. ඉතාම නීතිගරුක තද තීන්දු ලබාදෙන විනිසුරුවරයකු ලෙස අඹේපිටිය මහතා ප‍්‍රසිද්ධියට පත්ව සිටියේය.

තමන්ට එරෙහිව මත්ද්‍රව්‍ය නඩුවට එවැනි තද තීන්දුවක් ලබාදීමට අඹේපිටිය මහතා කටයුතු කරනු ඇති බව සිතූ පොට්ට නවුෆර් ඔහු ඝාතනය කිරීමට සැලසුම් කළේය.

සරත් අඹේපිටිය මහතා සිය රාජකාරි නිමකර නිවසට පැමිණ මෝටර් රථයෙන් බසිද්දී එහි රැුඳී සිටි සන්නද්ධ පාතාල අපරාධකරුවන් ඒ මහතාට සහ ආරක්‍ෂක නිලධාරියාට වෙඩි තබා පළාගොස් තිබිණි.

වෙඩි ප‍්‍රහාරයට ලක්වූ පොලිස් කොස්තාපල් උපාලි බණ්ඩාර සිද්ධිය වූ ස්ථානයේම මියගිය අතර බරපතළ තුවාල ලැබූ අඹේපිටිය මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊට පසුදින එනම් 2004 වර්ෂයේ නොවැම්බර් 20 වැනිදා මියගියේය.

මෙම සිද්ධියෙන් පසු පොට්ට නවුෆර් සහ ඔහුගේ කල්ලියේ සාමජිකයන් වූ සුජිත් රෝහණ රූපසිංහ, සුමින්ද නිශාන්ත, උදාර පෙරේරා, ලසන්ත කුමාර යන අපරාධකරුවන් අඹේපිපිටිය ඝාතනය සිදුවී දින 5 ක් ගතවන්නට පෙර අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

මාස 7 කට ආසන්න කාලයක් තිස්සේ පැවැති නඩු විභාගයෙන් අනතුරුව 2005 වර්ෂයේ ජුලි මස 04 වැනිදා කොළඹ මහාධිකරණය මගින් පොට්ට නවුෆර් ඇතුළු අපරාධකරුවන් 5 දෙනාට මරණ දඬුවම නියම කරන ලදී.

එවකට බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රවරයකුව සිටි මීරිගම ආසන සංවිධායක නාමල් ගුණවර්ධන මහතා කොල්ලූපිටියේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේද පොට්ට නවුෆර් ඇතුළු පාතාල සාමාජිකයන් පිරිසක් විසින් බවට චෝදනා එල්ලවී තිබිණි.

මෙම ඝාතනය සිදුව තිබුණේ නවුෆර් ලබාගත් මුදල් කොන්ත‍්‍රාත්තුවක් මතය. සරත් අඹේපිටිය නාමල් ගුණවර්ධන ඝාතනවලට අමතරව තවත් මිනිස් ඝාතන 20 කට අධික ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් නවුෆර්ට එරෙහිව චෝදනා එල්ලවී තිබිණි. 1990 දශකයේ මුල් කාල සීමාවේ පිට තිස් වසරකට වැඩි කාලයක් පාතාල ලෝකයේ රජකම් කළ පොට්ට නවුෆර් මියයන විට මෙරට පාතාලයේ සිටි පැරණිම සාමාජික කීප දෙනාගෙන් එක් අයකු විය.

මොහොමඞ් නියාස් නවුෆර් කොළඹ පාතාලය ආක‍්‍රමණය කරන්නේ 1990 දශකය මුල් කාලයේදීය. ඒ වන විට කොළඹ පාතාලය මාළිගාවත්ත මුස්ලිම් පාතාලය සහ පිටකොටුව අලූත්කඬේ ප‍්‍රදේශ කේන්ද්‍රකරගත් දෙමළ පාතාලය ලෙස සිය රාජධානි වෙන්කර ගෙන සිටියහ.

දෙමළ පාතාලයට නායකත්වය දෙනු ලැබුවේ ඉසගමුත්තු පුදාකරන්ය. මුස්ලිම් පාතාලය බාබර් ඉමිටියාස්ගේ ප‍්‍රධානත්වයෙන් කි‍්‍රයාත්මක විය.

මොහොමඞ් නියාස් නවුෆර් මුස්ලිම් ජාතිකයකු වුවද ඔහු පිටකොටුව ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන බිහිවී තිබූ දෙමළ පාතාලයට සම්බන්ධ වුණේය. අච්චාරු අලෙවිකරන වෙළෙන්දකු ලෙස ජීවිකා වෘත්තිය ආරම්භ කළ නවුෆර් පරවියන් ඇති කිරීමට ඉමහත් රුචිකත්වයක් දැක්වූයේය. පරෙවියන් අලෙවි කිරීමේ ව්‍යාපාරයද ඔහු ජයටම කරගෙන ගියේය.

කොළඹ අලූත්කඬේ අධිකරණය ආසන්නයේ පිහිටි අල්ස්ට්‍රොප් වීදියේ පදිංචිව සිටි නවුෆර් කොළඹ දෙමළ පාතාලයේ මුල්ම සාමාජිකයකු ලෙස ඊට සම්බන්ධ විය.

දෙමළ පාතාලය මෙන්ම මාළිගාවත්ත මුස්ලිම් පාතාලයද මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගියේය. සුදාකරන්ගේ නායකත්වයෙන් පැවැති දෙමළ පාතාලයට නඩරාජා විජේපාලන් නමැති දරුණු අපරාධකාරයාද සම්බන්ධවී සිටියේය. එකම පාතාල කල්ලියේ සිටියද විජේපාලන් සහ නවුෆර් අතර පැවතියේ වෛරයකි. විජේපාලන්ට නවුෆර් රිස්සුවේ නැත. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද මොවුන් දෙදෙනා අතර පැවතියේ වෛරයකි. ඒ වෛරය කෙළවර වන්නේ විජේපාලන් මොහොමඞ් නියාස් නවුෆර් මරා දැමීමට සැලසුම් කිරීමෙන් පසුවය.

නවුෆර් කොටහේන හින්නිඅප්පුහාමි මාවතේ නිවසක් අසල සිටියදී යතුරුපැදියකින් එහි පැමිණෙන නඩරාජා විජේපාලන් ඔහුට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කර පළා ගියේය.

එම බෝම්බ ප‍්‍රහාරයෙන් නවුෆර්ගේ වම් ඇස අහිමි විය. මොහොමඞ් නියාස් නවුෆර් පොට්ට නවුෆර් ලෙස පාතාල ලෝකයේ කූප‍්‍රකට චරිතයක් වන්නේ ඉන් පසුවය.

දෙමළ පාතාල කල්ලියේ ප‍්‍රධානම විරුද්ධවාදියා වූ නඩරාජා විජේපාලන් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වීමෙන් පසු පොට්ට නවුෆර් පිටකොටුව පාතාලයට නායකත්වය දෙන්නට පටන් ගත්තේය.

ඒ වන විට දෙමළ පාතාලයේ නායකයාව සිටි ඉසගමුත්තු සුදාකරන්ද ජීවතුන් අතර සිටියේ නැත.

කොළඹ ව්‍යාපාරිකයන්ගෙන් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගැනීම කෝටි ගණන් වටිනා ගොඩනැඟිලි දේපොළ බලහත්කාරයෙන් අල්ලා ගැනීම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා පොට්ට නවුෆර් ඉමහත් ධනස්කන්ධයක් උපයා ගත්තේය.

ඒ වන විට පිටකොටුවේ මහල් කීපයකින් යුත් නිවාස සංකීර්ණ දෙකක් පොට්ට නවුෆර් විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන තමන් සතුකරගෙන සිටියේය.

එවකට පොලිසියේ උසස් නිලධාරීන් කීප දෙනකුම සමීපව ඇසුරු කළ නවුෆර් ඒ හරහා තම පාතාල කල්ලියට විශාල රැකවරණයක් ලබා ගත්තේය. අලූත්කඬේ ප‍්‍රදේශයේ පිහිටි සිය සුවිසල් නිවසට අතුළු වන ස්ථානයේම තම හිතවත් උසස් පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප දෙකක් එල්ලා තැබීමට නවුෆර් කටයුතු කර තිබුණේය.

88/89 භීෂණ සමයේ තරුණයන් ඝාතනය කිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් මෙන්ම බටලන්දේ වධකාගාරයක් පවත්වා ගෙන යෑමේ සිද්ධියට සම්බන්ධවී සිටි එවකට පොලිසියේ පොලිස් අධිකාරිවරයකු නවුෆර් සමග ඉතාම සමීපව කටයුතු කළේය.

මෙම පොලිස් නිලධාරියා තරුණයන් ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් නීතිමය ගැටලූ ඇතිවෙද්දී ඔහුට හොර රහසේම ඉන්දියාවට පළා යෑමට උපකාර කළේද පොට්ට නවුෆර් විසින්ය.

එක්තරා වැටලීමක් කළ අවස්ථාවේ පොට්ට නවුෆර්ගේ නිවසේ තිබී පිස්තෝලයක් පොලිස් අත්අඩංගුවට පත්වූ අතර පසුව අනාවරණය වූයේ එම අවිය රටින් පළා යෑමට උදව් කළ පොලිස් අධිකාරිවරයාට අයත් රාජකාරි ගිනි අවිය බවය.

පොලිසිය සහ දේශපාලනය සමග සමීපව කටයුතු කළ නවුෆර් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුණේය. වරක් මත්ද්‍රව්‍ය තොගයක් සමග නවුෆර් පොලිසියට කොටුවිය. මෙම මත්ද්‍රව්‍ය සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගයක් සිදුකෙරිණි. එම නඩු විභාගයේ තීන්දුව ලබාදීමට නියමිතව සිටියේ මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතාය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදෙන විනිසුරුවරයකු ලෙස සරත් අඹේපිටිය මහතා ඒ වන විට ප‍්‍රසිද්ධියට පත්ව සිටියේය.

තම මත්ද්‍රව්‍ය නඩුව වෙනුවෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබාදීමට අඹේපිටිය මහතා අනිවාර්යයෙන්ම කටයුතු කරන බව පොට්ට නවුෆර් හොඳින් දැන සිටියේය.

නඩු තීන්දුව ලබාදීමට පෙර ඒ මහතා මරා දැමීමට නවුෆර් කටයුතු කරන්නේ ඉන් පසුවය.

සරත් අඹේපිටිය ඝාතන සිද්ධිය මෙරට මහත් ආන්දෝළනයට ලක්වූ සිදුවීමක් ලෙස ඉතිහාසයට එක්ව තිබුණේය. අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධියෙන් පසුව මෙරට සුවිශේෂී සිදුවීම් ගණනාවක් වාර්තා වුණේය.

එවකට පැවැතියේ චන්ද්‍රිකා කුමාරතුංග රජයයි. එවකට පොලිස්පතිවරයාව සිටි චන්ද්‍රා ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාතාලය මර්දනය කර විනාශ කිරීමේ දැවැන්ත මෙහෙයුම් ආරම්භ වන්නේ අඹේපිටිය මහතා ඝාතන සිද්ධියෙන් පසුවය.

බන්ධනාගාරගතව සිටි නිසා පොට්ට නවුෆර්ට තවදුරටත් ජීවත් වීමේ වාසනාව හිමිව තිබුණද මෙරට නම්දරාගෙන සිටි පාතාල මැරයන් දෙසීයකට අධික පිරිසකට සිය ජීවිත අහිමි වන්නේ මෙම පාතාල මර්දන මෙහෙයුම්වලදීය.

මෙරට පාතාලයේ ගෝර්ඞ් ෆාදර් ලෙස නම්දරා සිටි නිහාල් වික‍්‍රමසිංහ නොහොත් නාවල නිහාල්ද අතුරුදන් වන්නේ පොලිසිය මෙම පාතාල මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන අතරතුරදීය.

මරණ දඬුවම නියමවී සිරගත කර සිටියද පොට්ට නවුෆර් සිය ජාවාරම් කිසිවක් නතර කළේ නැත. දූෂිත බන්ධනාගාර නිලධාරීන්ගේද සහාය නොමඳව ලබාගත් නවුෆර් කොළඹ නරගයේ සිටින සිය පාතාල ගෝලබාලයන් යොදවා මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරම කරගෙන ගියේය. පිටකොටුව කෙසෙල්වත්ත අලූත්කඬේ ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් මාසිකව රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ලබා ගත්තේය.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටීමෙන් පොට්ට නවුෆර් පාලනය කර ගැනීමට අපහසු නිසා ඔහු කොළඹින් දුරබැහැර බන්ධනාගාරවලට මාරුකර යැවීමට බන්ධනාගාර අධිකාරිය කටයුතු කළහ.

පොට්ට නවුෆර් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියේ ඒ නිසාය.

අවි බලනේ මුදල් බලයෙන් අහිංසක මිනිසුන් භීතියට පත්කරගෙන සිටියද කොරෝනා වෛරසයෙන් බේරී සිටීමට පොට්ට නවුෆර්ට හැකි වුණේ නැත.

දශක තුනකට වැඩි කාලයක් පාතාල ලෝකයේ කිරුළ නොපල කූප‍්‍රකට රජකු ලෙස සිටි මොහොමඞ් නියාස් නවුෆර් නොහොත් පොට්ට නවුෆර් අවසානයේ කොරෝනා රකුසාට බිළි වුණේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment