විනෝද ගමන් නවතා දමා ජීප් රියෙන් කොවිඩ් ලෙඩ්ඩු අදින ‘මනුස්සයෙක්’

831

සහස‍්‍ර විජිත… නම ඇසූ පමණින්ම ඔහු වෙනස් පුද්ගලයකු යැයි අනුමාන කළ හැකිය. එම අනුමානය නිවැරදිය. ඔහුත් සමඟ සිදුකළ කතාබහේදී ඒ බව මනාව වැටහී ගිය කරුණක් බවට පත්විය. පානදුර ගොරකාන පදිංචිව ඔහු 60 හැවිරිදිය. ජීවිතයෙන් හරි අඩක් එනම් වසර 30 ට ආසන්න කාලයක් ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කර ඇති සහස‍්‍ර විජිත ඒ හරහා උපයා සපයාගත් දෑ බොහෝය. ගේ දොර ඉඩකඩම් යාන වාහන ඔහු සතුය. ‘‘හිත හොඳ” පුද්ගලයකු ලෙස ප‍්‍රදේශයේ කා අතරත් ප‍්‍රකට සහස‍්‍ර විජිත ගේ එම ජනප‍්‍රියත්වය පිටුපස ඇති තවත් රහසක් බවට පත්ව ඇත්තේ ඕනෑම අවස්ථාවක තවත් කෙනකුට පිහිට වීමේ තරම් කුළුණුබර හදවතක් ඔහු සතුව පැවතීමය.

අප කථා නායකයා වන සහස‍්‍ර විජිත හට මේ දිනවල හරිහමන් නින්දක් නැත. කෑමක් බීමක් නැත. ව්‍යාපාරික කටයුතු ආදිය පිළිබඳ වගේ වගක් නැත. තමන්ගේ ධනයෙන් කොටසක් රටේ සාමාන්‍ය ජනතාවට අයිති බව තරයේ විශ්වාස කරන ඔහු අන් කවරදාටත් වඩා මේ දිනවල ඒ පිළිබඳ උනන්දුය. ඊට හේතුව බවට පත්ව ඇත්තේ දැනට පවතින කොරෝනා වසංගතයෙන් අසරණ වන මිනිසුන්ට සරණක් වීම පිණිස ඉදිරිපත් වීමය. එහි කිසිදු ලාභ අපේක්ෂාවක් නැත. තමන්ගෙන් ඉටුවිය යුතු ‘‘යුතුකමක්” ලෙස සලකමින් කොරෝනා වෛරසයට ගොදුරු වන රෝගීන් රෝහල්ගත කිරීම පිණිස තම පෞද්ගලික ජීප් රථය ‘‘ගිලන් රථයක්” බවට පත්කර ගන්නා සහස‍්‍ර වීජිත ඒ හරහා මේ වනවිට අසාධ්‍ය කොරෝනා රෝගීන් 70ට ආසන්න ප‍්‍රමාණයක් රෝහල්ගත කොට ඇත. එපමණක් නොව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් නැවත නිවෙස් වෙත රැගෙන ඒම ද ඔහු විසින් සිදුකරන සුවිසල් සමාජ මෙහෙවරෙහි තවත් එක් අංගයක්ය. තමන්ගේ ජීවිතය වෙත එල්ලවන මරණීය අවදානම පවා නොතකමින් සිදුකරන එම විසල් මෙහෙවරෙහි අගය කළ යුතුම ‘‘තැන” බවට පත්වන්නේ ඒ සඳහා කිසිදු මුදලක් ඔහු විසින් අය නොකිරීමය.

මෙම අපූරු සමාජ සත්කාරය සිදු කරන සහස‍්‍ර විජිත සමඟ කෙටි කතාබහක නිරත වීමේ අවස්ථාවක් පසුගිය දිනක උදාවිය. එහිදී ඔහු ඒ සඳහා යොමු වූ ආකාරයත් එමෙන්ම අවදානම් සහගත සමාජ වටපිටාවක් තුළ දැනට ඔහු එම කටයුත්තෙහි පීඩිතව සිටින ආකාරයත් පිළිබඳව අප හමුවේ විස්තර කර සිටින්නට විය. එම කතාබහ මිනිසෙක් ඔහු විසින් ආරම්භය ලබා ගත්තේ අතීතයේ පටන් ඔහු සතුව පැවති මානවීය ගුණාංගයක් ගැන මෙනෙහි කරමින්ය.

විනෝද ගමන් නවතා දමා ජීප් රියෙන් කොවිඩ් ලෙඩ්ඩු අදින 'මනුස්සයෙක්'

‘‘මම ඉපදුණේ මහනුවර. මගේ තාත්තා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාම වැටුප් අංශයේ ප‍්‍රධානියෙක් විදියට තමයි රාජකාරි කළේ. නමුත් මම වගේම ඔහුත් සාමාන්‍ය සරල ජීවිතයක් ගත කළ පුද්ගලයෙක්. ඒකට හොඳ උදාහරණයක් කියන්නම්. තාත්තගේ රාජකාරි ජීවිතයේ පහසුව පිණිස එක්තරා කාලයක අපි කැලණිය ප‍්‍රදේශයේ කුලී ගෙදරකට පදිංචියට එනව. ඒ ඇවිත් තාත්ත මාව ප‍්‍රදේශයේ තිබුන දුප්පත්ම ඉස්කෝලෙකට ඇතුළත් කරනව. ප‍්‍රදේශයේ තිබෙන හොඳම ඉස්කෝලෙට දාන්න පුළුවන්කම තිබුනත් ඒ වරප‍්‍රසාදය තාත්තා ගත්තෙ නෑ. ඒක පොල් අතු මඩු ඉස්කෝලයක්. 5 ශ්‍රේණිය වෙනකම් මම ඉගෙන ගත්තේ එතැන. ඊට පස්සේ මම කොළඹ රාජකීය විදුහලට ඇතුළත් වෙනව. උසස් පෙළ වෙනකම් මම අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විදුහලෙන්. එතැනදී සමාජයේ ඉහළම පෙළැන්තියේ නියෝජනය කරන දෙමාපියන්ගේ දරුවන් එක්ක ඇසුරු කරන්න මට අවස්ථාව ලැබෙනවා. නමුත් කිසිම අවස්ථාවක මගේ අර පොල් අතුමඩු ඉස්කෝලේ අමතක කරන්න මට බැරි වෙනවා. එතන තමයි මම ජීවිතය ඉගෙන ගත්තු තැන. කෙනෙක් යමක් කරනවා නම් ඒ දෙය දිහා බලාගෙන ඉඳලා ඒක කරන්න පුළුවන් හැකියාවක් මට කුඩා කාලේ ඉඳලම තිබුණ. අදත්.. මේසන් හැන්දක් අතට ගත්තොත් බිත්තියක් බඳින්න මට පුළුවන්. පරිගණකයක් ළඟට ගියොත් ඒක හසුරුවන්න වගේම කෑලි කෑලිවලට ගලවල අලූත්වැඩියා කරන්නත් මට පුළුවන්. වාහන එන්ජිමක් ගත්තත් එහෙම නැත්නම් වෙනත් කාර්මික කටයුත්තක් කියන්නකො… ඒ ඕන දෙයක් අදත් මට මගේ දැනුමෙන් කරන්න පුළුවන්. ඒක හින්දම වෙන්න ඇති මම විවාහ වෙලා පානදුර ගොරකාන ප‍්‍රදේශයේ පදිංචියට ආවට පස්සෙ මේ පැත්තෙ මිනිස්සු මට ආදරේට කිව්වේ ‘‘විශ්ම කර්ම” කියල…”

අතීතය පිළිබඳ කෙටි හැඳින්වීමක් සිදුකළ සහස‍්‍ර විජිත ඉන් අනතුරුව මෙනෙහි කර සිටියේ ඔහු ව්‍යාපාරිකයකු ලෙස ඉස්මතු වූ ආකාරය පිළිබඳවය.

‘‘ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම රස්සාවක් කරන්න මගේ ලොකු කැමැත්තක් තිබුනෙ නෑ.. ස්වාධීනව හිතල අලූත් දෙයක් කරපන් කියල තමයි හිත කිව්වේ. ඒ සිතුවිල්ල විසින් තමයි මාව ව්‍යාපාරිකයෙක් බවට පත්කළේ. විවාහ වෙලා පානදුර ගොරකාන ප‍්‍රදේශයේ පදිංචියට ආවට පස්සෙ මම ව්‍යාපාරික කටයුතු පටන් ගත්තා. ප‍්‍රවාහන සේවාවක් ඇතුළු තවත් ව්‍යාපාරික කටයුතු කීපයක් ඒ අතරෙ තිබුණ. මේ තිබෙන වසංගත තත්ත්වය ඇතුලේ රට අවුරුද්දක් දෙකක් වැහුවත් ගෙට වෙලා කාලා බීලා ඉන්න පුළුවන් මට්ටමක මම අදත් ඉන්නව. නමුත්… මම තරයේම විශ්වාස කරන දෙයක් තමයි අපි දුක් මහන්සියෙන් උපයපු ධනයෙන් කොටසක් මේ රටේ අහිංසක මිනිසුන්ට අයිතියි කියන එක. මම විතරක් නෙමෙයි… මගේ බිරිඳත් ඉන්නේ එතැන. විශේෂයෙන්ම අපේ රට මේ වගේ විපතකට මුහුණ දීලා ඉන්න වෙලාවේ යමක් කරන්න පුළුවන් මිනිස්සු ඒ දේ කරන්න ඕනේ. ඒක තමයි අද දවසේ අපෙන් රටට විය යුතු ඉහළම යුතුකම. එහෙම හිතලා තමයි මම මගේ පෞද්ගලික පරිහරණයට ගත්ත ජීප් රථය ගිලන් රථයක් බවට පත් කරල කොරෝනා රෝගීන් පමණක් ප‍්‍රවාහනය කරන්න තීරණය කළේ. ඒකට තවත් හේතුවක් බලපෑව. අපේ නිවසට නිවාස කීපයක් එපිටින් පිහිටි එක්තරා නිවසක පදිංචි පුද්ගලයකුට පහුගිය දවස්වල නදරදබ් වෛරසය ආසාදනය වෙනවා. දවස් කීපයක් තිස්සේ තමන්ගේ ගේ ඇතුළෙ දුක් විඳින ඔහු අන්තිමේදී මරණයට පත්වෙනවා. ඒ මනුස්සයා මැරුණේ වෙලාවට රෝහල්ගත කරන්න බැරි වීම හේතුවෙන්. රටේ පවතින නිරෝධායන නීතිරීති හේතුවෙන් අපි කාටවත් ඒ මනුස්සයාට පිහිට වෙන්න බැරි වෙනව. ඒ සිද්ධියෙන් පස්සේ මමත් මගේ බිරිඳත් තීරණය කරනව ප‍්‍රදේශයේ රෝගීන් ප‍්‍රවාහනය කිරීම පිණිස අපේ ජීප් රථය ගිලන් රථයක් බවට පත් කරල ඒ කටයුත්තට මුල පුරන්න ඕන කියල….”

විනෝද ගමන් නවතා දමා ජීප් රියෙන් කොවිඩ් ලෙඩ්ඩු අදින 'මනුස්සයෙක්'

ඔවුන් සතුව පැවති ජීප් රථය ගිලන් රථයක් බවට පත්වන්නේ ඉන් අනතුරුවය. තමන් සතු කාර්මික දැනුම උපයෝගී කරගනිමින් ජීප් රථයේ එතෙක් පැවති ස්වරූපය වෙනස් කරන සහස‍්‍ර විජිත සහ ඔහුගේ බිරිඳ සෞඛ්‍යාරක්ෂිතව රෝගියකු ගෙන යා හැකි අයුරින් ජීප් රථය සකස් කරන අතර තවත් අමතර උපාංග කීපයක්ද ඒ සඳහා එක් කරන්නේය. ඒ අතරට ගිලන් ඇදක් සහ රෝද පුටුවක් ද අයත්ය. ඒ සඳහාම වෙන් කරන ලද දුරකථන අංකයක්ද හඳුන්වාදෙන ඔහු තමන් අතින් ඉටුවිය යුතු ‘‘යුතුකම” පිණිස පාරට බසින්නේ ඉන් අනතුරුවය.

‘‘…. මුලින්ම මේ සම්බන්ධව ප‍්‍රදේශයේ පී.එච්.අයි. මහත්වරු දැනුවත් කළා. නමුත් ඒ අයගෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණේ නැහැ. පවතින නීතිමය තත්ත්වය ඒ සඳහා බලපාන්න ඇති. ඒ හින්ද මම තීරණය කළා වෙන දෙයක් වෙද්දෙන් කියල මේ කටයුත්ත ආරම්භ කරන්න. පොඩි ප‍්‍රචාරයක් දුන්නට පස්සෙ දුරකථන ඇමතුම් ගලා එන්නට පටන් ගත්ත. මුලින්ම කොරෝනා වෛරසය හේතුවෙන් රෝහල්ගත වෙලා හිටපු ලේල්වල තපස්සි ස්වාමීන් වහන්සේව රෝහලේ සිට විහාරස්ථානයට රැගෙන ආවේ මම. පසුගිය 16 වැනිදා විතරක් කොරෝනා වෛරසය වැළඳුන 31ක් දෙනෙක් මගෙ ජීප් රථයෙන් රෝහල්ගත කරන්න කටයුතු කළා. එදා ඉඳලා අද වෙනකම් විශාල රෝගීන් පිරිසක් ප‍්‍රවාහනය කරන්න මට පුළුවන්කම ලැබුණා. මේ කටයුත්තේ ලොකු අවදානමක් පවතිනවා. නමුත් මේ වන විට අපේ සෞඛ්‍ය අංශවලට දරාගන්න බැරි තරමටම මේ වසංගතය ව්‍යාප්ත වෙලා ඉවරයි. ඒ හින්දා තමයි මට පුළුවන් දේ කරන්න මම ඉදිරිපත් වෙන්නේ. මෙතැනදී පූජ්‍ය කිරින්දේ පවර සෝම ස්වාමීන් වහන්සේවත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. උන්වහන්සේගේ අවවාද අනුශාසනා මත තමයි මම මේ දේ කරගෙන යන්නේ.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment