විනෝද සමයේ හාමු මහත්තයා

497

ඔවුන් තම ජීවිත කාලයම කැප කළේ අප සිනහ සයුරක ගිල්වන්නටය. ඔවුන් තෙපලූ හාස්‍යෝත්පාදක වදන් අසා අපි සිනාසුනෙමු. සිනහමුසු වදන් තුළින් පෘතග්ජන මිනිසුන් තුළ කැකෑරෙමින් තිබෙන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව යටපත් කොට සිත් නිවා අමා සිසිලසින් සිත් පුරවමින් නිරෝගී මිනිසුන් වෙසෙන සමාජයක් බිහිකිරීම ඔවුනගේ දැක්ම වුණි. මිනිසුන් සිනහවෙන් සුවපත් කරන මේ අමුතු කලාව සඳහා ඔවුනට අමුද්‍රව්‍ය වූයේ දේශීය සිදුවීම්ය. මේ අමුතු කලාව මිනිසුන් අතරට ගෙන යෑමට ඔවුන් තෝරා ගත්තේ ගුවන් විදුලි හඬනළුවයි. එය ”විනෝද සමය” නම් විය.

එකල ගුවන් විදුලියෙන් නොකඩවා විකාශය වූ මේ අතිශයින් ජනප‍්‍රිය විනෝද සමය වැඩසටහන නෑසූ සවන් විරලය. එකල සෑම සති අන්තයකම ගුවන් විදුලියෙන් විකාශය වූ අප සිත් සතන් සිනා සයුරේ ගිල්වූ මේ අපූර්ව හඬනළුවෙහි පාත‍්‍රවර්ගයාගේ හැඩරුව අපි දුටුවේ ඔවුනගේ හඬ පෞරුෂයෙන් මිස සජීවි ව නම් නොවේ. ප‍්‍රථමවරට සජීවිව දකින්නේ ජාතික රූපවාහිනියෙනි. ඒ වසර ගණනාවට පසුවය. මේ සුවිශේෂ වූ අනන්‍යවූ හාස්‍යෝත්පාදක නාට්‍ය කලාවේ නිර්මාතෘවරුන් වූයේ සැමුවෙල්, ඇනස්ලි, බර්ටි යන තිදෙනාය. මේ ත‍්‍රිමුර්තිය ”විනෝද සමය” තුළ අමාරිස් අයියා, හාමු මහත්තයා සහ පොඩි එකා නොහොත් මැම්බර් මහත්තයා ය.

ඉහත පූර්විකාව මත මේ කෙටි ලිපිය මගින් වෙසෙසින්ම මෙහිදී සාකච්ඡාවට බඳුන් වන්නේ මේ ත‍්‍රිමුර්තියෙහි එක් සුවිශේෂ සාමාජිකයකු වූ හාමු මහත්තයා නොහොත් ඇනස්ලි ඩයස් නම් රසවතාණන් පිළිබඳව ය. එතුමාණන්ගේ ජන්ම දිනය ජනවාරි මස 31 වන දිනට යෙදී තිබේ.

විනෝද සමයේ හාමු මහත්තයා

කැලණිය දළුගම ප‍්‍රැන්සිස් මාවතෙහි කෙළවර දළුගම්ගොඩ පිවිසුමෙහි පරණ නුවර පාරට මුහුණලා පිහිටි නිවැසි ඇනස්ලි ඩයස් නමැති මේ රසවතා, අසල්වැසි මගේ නිවසට පැමිණියේ හෙතෙම විශ‍්‍රාමික සුවයෙන් වෙසෙන අවදියේ දිනකදීය. විශ‍්‍රාමිකව විසුව ද ඔහු මේ කාලයේ ප‍්‍රදේශයේ සමාජ සේවා ව්‍යාපෘති ගණනාවක මෙහෙයුම්කරු ලෙස සිටි බව මම දනිමි. මෙදින ඔහු සමග පළාතේ තවත් ප‍්‍රකට සමාජ ක‍්‍රියාකාරිකයකු මෙන්ම උපකාරක පංති ගුරුවරයකු ලෙස ප‍්‍රකට ජූඩ් සර් ද විය. ඇනස්ලි අයියා තම අත වූ ලිපි ගොනුව මා අත තබමින් සුපුරුදු හාමු මහත්තයාගේ සිනහවෙන් ප‍්‍රතිචාර දැක්වීය. මම එම ලිපි ගොනුව පෙරළා බැලීමි. එහි කටු අකුරින් ලියා තිබුණේ තම අතීත කතාවයි. පසු කලෙක ”විනෝද සමයේ හාමු මහත්තයා” නමින් එළිදැක්වෙන්නේ මේ අතීත කතාවය.

දළුගම ග‍්‍රාමයේ සම්ප‍්‍රදායික කිතුනු පරම්පරාවකින් පැවත එන ඇනස්ලි ඩයස් නම් වූ අප රසවතා 1927 ජනවාරි 31 වන දින පවුලේ බාලයා ලෙස උපත ලැබීය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ දළුගම ශාන්ත ප‍්‍රැන්සිස් විද්‍යාලයෙන් සහ වරාගොඩ ශාන්ත පාවුළු විද්‍යාලයෙනි. ඔහු ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කරන්නේ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙනි.

කැලණිය ගුරුකුල විද්‍යාලයේ ඉංග‍්‍රීසි ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඇනස්ලි ඩයස් පසුව මොරටුව නගර සභාවේ ලිපිකරුවෙක් ලෙසත් කොළඹ මහ නගර සභාවේ ෂ ශ්‍රේණියේ භාෂා පරිවර්තකයෙකු ලෙසත් සිය සේවය රටට ලබාදෙමින් සිටිනා අවදියේ, එනම් 1984 දී එවකට අග‍්‍රාමාත්‍ය ආර්. පේ‍්‍රමදාස මැතිඳුන්ගේ ආරාධනයෙන් කොළඹ නාගරික සංවර්ධන අධිකාරියේ මහජන සම්බන්ධතා නිලධාරි තනතුරට පත්වේ.

ඔහුගේ කලා දිවියෙහි හැරවුම් ලක්ෂ්‍යය වන්නේ කැලණිය විද්‍යාලංකාර පිරිවෙනයි. ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් ජ්‍යෙෂ්ඨය සමත් ව ද්වීතිය අධ්‍යාපනය අවසන සතතාභ්‍යාසයට ප‍්‍රිය වූ ඇනස්ලි විද්‍යාලංකාර පිරිවෙනට පිවිසෙන්නේ පාලි සංස්කෘත භාෂා හැදෑරීමටයි. හෙතෙම කැඳවාගෙන යන්නේ තම වැලිකෙළියේ පටත් ගජ මිතුරා වන ඇල්ප‍්‍රඩ් පෙරේරා ය. පසු කලෙක කීර්තිමත් ගුවන් විදුලි ප‍්‍රවෘත්ති නිවේදකයෙකු හා පසුව පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු ලෙස ප‍්‍රකට වන්නේ මේ ඇල්ප‍්‍රඩ් පෙරේරා ය.

විනෝද සමයේ හාමු මහත්තයා
ඇනස්ලි ඩයස් සැමුවෙල් රුද්‍රිගූ, ඇල්ප‍්‍රඩ් පෙරේරා ඇනස්ලි ඩයස් , ධර්ම ශ‍්‍රී මුණසිංහ, බර්ටි ගුණතිලක

මුල් දිනයේ ම මේ දෙපළට පළමු පාලි පාඩම කියා දෙන්නේ යක්කඩුවේ ප‍්‍රඤ්ඤාරාම හිමියන් විසිනි. උන්වහන්සේ ඔවුනට ඉගැන්වූ පළමු පාඩම වූයේ ‘තන්හා ජායතී සෝකෝ’ ගාථාවයි. වසර දෙකහමාරකට අධික කාලයක් පිරිවෙනෙහි ඉගෙන ගන්නා අවදියෙහි තමන්ට යක්කඩුවේ ප‍්‍රඥාරාම, බඹරැන්දේ සිරි සීවලී, කොටහේනේ පඤ්ඤාකීර්ති, කොස්ගොඩ ධම්මවංශ හා කුඹුරුගමුවේ වජිර හිමියන් සහ එම හිමිවරුන්ගේ ඇසුරු ලැබීම තමා ලැබූ භාග්‍යයක් ලෙස ඇනස්ලි සටහන් තබයි.

මේ දෙදෙනාට එච්. ජී. විජේදාස නම් කලාකරුවාණන් මුණ ගැසෙන්නේ මෙහිදීය. කැලණියේ ධර්මාලෝක විද්‍යාලයේ පටන් විජේදාසගේ මිතුරු වූ සැමුවෙල් රොඩ්රිගු සහ එවකට තොරණ හන්දියේ පදිංචි වී සිටි විජේදාස විසින් පිරිවෙනට කැඳවා ගෙන ආ බර්ටි ගුණතිලක ද ඇනස්ලිට හමුවන්නේ මේ පිරිවෙනෙහිදීය. මේ සැමගේ එකමුතුවෙන් පිරිවෙනෙහි හාමුදුරුවන්ගේ නොමඳ සහය ඇතිව මංගල විකට වැඩසටහනක ‘ස්කෝලය’ නමින් පවත්වාගෙන ආ බව ඇනස්ලි පවසයි.

පසුව ඔවුන් ‘විහිළු තහළු’ නමින් 1954 සිට ගුවන් විදුලියෙන් පවත්වාගෙන ආ හාස්‍යෝත්පාදක වැඩසටහන එවකට බලධාරීන්ට එල්ල වූ දේශපාලන බලපෑම් නිසා අතරමග නතර කරන්නට සිදුවී ඇත. පසුකාලයේ දී මේ වැඩසටහනේ අවශ්‍යතාවය තදින් වටහා ගත් තේවිස් ගුරුගේ මහතා නැවත ‘විහිළු තහළු’ වැඩසටහන නව මුහුණුවරකින් ඇරඹීමට ඇල්ප‍්‍රඩ් පෙරේරාට උපදෙස් දුන්නේය. ”විනෝද සමය” බිහි වන්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

මෙහිදී ඔවුනගේ මූලික අවශ්‍යතාවය වී ඇත්තේ සමාජයට යම් පණිවුඩයක් දිය හැකි රසවත් හරවත් ආදර්ශවත් හාස්‍යමය වැඩසටහනක් අසන්නා වෙත ගෙන ඒමයි. එහිදී සමාජයේ අවධානයට ලක් වන නමුත් එකිනෙකාට ප‍්‍රතිවිරුද්ධ වූ අදහස් දරන චරිත ඇසුරින් සකසන වැඩසටහනක් තුළින් හාස්‍ය වඩාත් ඉස්මතු කිරීමට හැකිවේ යයි යන්න සැමගේ මතය වුණි. මේ අනුව නිර්මාණය වූ අමාරිස් අයියා අහිංසක වැඩි උගත් නොවූ එහෙත් බුද්ධිමත් කටකාර චරිතයකි. හාමු මහත්තයා ඊට හාත්පසින් ම වෙනස් චරිතයකි.

ඇනස්ලි ඩයස් හාමු මහත්තයාගේ චරිතයට මුලින්ම යෝජනා කරන්නේ ද ඇල්ප‍්‍රඩ් පෙරේරා විසිනි. ඇනස්ලිගේ ස්වභාවික සිහින් උස සිරුර කතා විලාසය යනාදි ලක්ෂණ මේ චරිතයට තෝරා ගැනීමට වඩාත් හේතු කාරණා වී ඇත. යුරෝපීය ඇඳුම් කට්ටලය, ඊට ම ගැලපෙන තොප්පිය, පයිප්පය සහ බස්තම හෝ කුඩය මේ හාමු මහත්තයාගේ ස්වරූපයයි.

ඇනස්ලි සඳහන් කරන අන්දමට විනෝද සමයෙහි හාමු මහත්තයාගේ චරිතය ගොඩනැගෙන්නේ ඉහළ පංතියේ වලව්වක ඉපිද තම පැලැන්තිය රැකගැනීමට යෑම නිසා බොහෝ දේ අහිමි කරගත් චරිතයක් ඇසුරෙනි. පෙළපත ගැන නිතර පුරසාරම් දෙඞීම, ගමේ චණ්ඩින්ට බියක් දක්වන, ගැටලූ අවස්ථාවලදී හෙමිහිට ලිස්සා යන, ගම්මුන් සමච්චලයට ලක් කරන, තමා සතු දේ පමණක් අගය කරන අන්‍යයන්ගේ දේවල් හෑල්ලූවට ලක් කරන, ඉංග‍්‍රීසි දැනුම ගැන පුරාජේරුව මිස කිසිවකුට උදව්වක් නොකිරීම යනාදි මේ හාමු මහත්තයාගේ ගති ලක්ෂණයි. එදා සමාජයේ මෙවැනි හාමු මහත්තුරු වෙසින් පෙනී සිටිමින් ඉහළ පැලැන්තියේ පංති බේදය වපුරමින්, අහිංසක ජනතාවට සිදුවන අසාධාරණකම් හා තාඩන පීඩන මෙම චරිතය මගින් හාස්‍යෝත්පාදක ලෙස සංයමයකින් ඉදිරිපත් කිරීමට ඇනස්ලි සමත් වුණි. දසක පහක පමණ කාලයක් මේ නව ස්වරූපයට අනුව නිර්මිත විනෝද සමයේ හාමු මහත්තයා වූයේ ඇනස්ලි ඩයස් ය.

1982 දී, මෙම ගුවන් විදුලි වැඩසටහන රූපවාහිනී වැඩසටහනක් ලෙස ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හරහා කථාංග 240 ක් දක්වා විකාශය විය.

ගුරුවරයකු, භාෂා පරිවර්තකයකු, පිටපත් රචකයකු හා නාට්‍ය පරිවර්තකයකු ද වූ ඇනස්ලි මුලින්ම රංගනයට පිවිසෙන්නේ 1946 දී ඩබ්. බී. මකුලොලූවගේ ”ඔහොම හොඳ ද” නාටකයෙනි. ඔහුගේ මංගල සිනමා රංගනය අබුදස්ස කාලේ චිත‍්‍රපටිය හරහා සිදු විය. ඔහු සමාජේ සතුරෝ, බිනරමලී සහ මරුවා සමඟ වාසේ වැනි චිත‍්‍රපටවල සහායක චරිත රඟපෑවේය.

ඔහු ශ‍්‍රී ලංකා සංස්කෘතික අමාත්‍යාංශයෙන් පිදෙන ලංකාතිලක සම්මානයෙන් ද, 1994 දී ශ‍්‍රී ලංකා තිලක සම්මානයෙන් පිදුම් ලැබීය.

‘විනෝද සමයේ හාමු මහත්තයා’ සහ ‘විනෝද සමය’ යන පොත් දෙක ද ප‍්‍රකාශයට පත් කළේය.

ඇනස්ලි ඩයස් විවාහ වී සිටියේ ගුරුකුල විද්‍යාලයේ ඉංග‍්‍රීසි ගුරුවරියක්ව සිටි නොයෙලීන් ඩයස් සමගයි. මෙම යුවළට පුතුන් දෙදෙනෙක් හා දියණියන් හතර දෙනෙකි.

ඔහු ”විනෝද සමය” වැඩසටහනේ සාර්ථකත්වයට හේතුව මෙසේ දක්වයි. ‘කෙටියෙන් කියනව නම් පොදුවේ අප තිදෙනාගේ ම උනන්දුව, හැකියාව, එකමුතුකම, අන්‍යොන්‍ය විශ්වාසය… පිළිතුර එයයි.

හාස්‍ය නාට්‍ය කලාවේ අනාගතය ගැන ද ඔහු මෙලෙස සඳහන් කරයි. ‘හාස්‍යෝත්පාදක කලාව මගින් කළ හැකි සමාජ මෙහෙවර බොහෝයි. එම නිසා අපේ රටේ සංස්කෘතියට ගැලපෙන, සදාචාරාත්මක, අනුකරණයෙන් තොර නිර්මාණාත්මක ලෙස හාස්‍යය ඉදිරිපත් කළ හැකි පරපුරක් බිහි කිරීම අවශ්‍යයි.

(මූලාශ‍්‍ර : විනෝද සමයේ හාමු මහත්තයා – ග‍්‍රන්ථය ඇසුරෙනි)

ඩඩ්ලි පෙරේරා

විනෝද සමයේ හාමු මහත්තයා
advertistmentadvertistment
advertistmentadvertistment