විපක්ෂයේ සටන් මැද ආණ්ඩුව අර්බුදයෙන් ගොඩ!

324

විසඳාගත නොහැකි අසීරු ප‍්‍රශ්න රාශියක් නිසා පසුගිය සතියේත් රජය දැඩි අර්බුදයකට මුහුණපා සිටියේය. එක් අතකින් විදුලිබල මණ්ඩලය මුහුණ පා තිබෙන අර්බුදයෙන් ගොඩ එන්නට රට පුරා විදුලිය කැපීම ආරම්භ කර තිබිණි.

අනික් පැත්තෙන් රටට අවශ්‍ය ඞීසල්, පෙට‍්‍රල් ඇතුළු ඉන්ධන මිලට ගැනීමට නොහැකි තත්ත්වයට ඛනිජ තෙල් සංස්ථාව පත්ව තිබිණි.

රටේ බලශක්තිය සම්බන්ධයෙන් මේ ඇතිව තිබෙන අර්බුදය හා ගැටගැසුණු ප‍්‍රශ්නවල කෙළවරක් නොවීය.

වෙනදා මෙවන් අර්බුදයකට ආණ්ඩුවක් මුහුණ පානා විට ප‍්‍රශ්න ඇතිවන්නේ විපක්ෂයෙනි. එහෙත් මෙවර අර්බුදය තීව‍්‍ර වීම තුළ ආණ්ඩුව හා විපක්ෂය අතර පමණක් නොව ආණ්ඩුව ඇතුළේද විවිධ අර්බුද මතුවිය.

එක් පැත්තකින් ඉන්ධන නැව් කිහිපයක් පැමිණ කොළඹට ආසන්න මුහුදේ නැංගූරම් ලා තිබිණි. එහෙත් ඒ ඉන්ධන ඩොලර්වලින් මිලදී ගැනීම සඳහා තෙල් සංස්ථාවට රුපියල් සොයා ගැනීමට දුෂ්කරව තිබුණේ විදුලිබල මණ්ඩලය ඔවුන්ට අවශ්‍ය තෙල් ලබා ගැනීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු කෝටි සංඛ්‍යාත මුදල් කලට වේලාවට ලබාදීමට අසමත්වූ පරිසරයකය.

විදුලිබල මණ්ඩලය සිය මුදල් තෙල් සංස්ථාවට ලබා නොදීම හේතුවෙන් නැවට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් ලබා ගන්නට තෙල් සංස්ථාව අපොහොසත් විය.

මේ අතරතුර මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් රුපියල් දෙන තුරු තෙල් සංස්ථාවට ඩොලර් දීම අත්හිටුවන්නැයි රාජ්‍ය බැංකුවලට නියෝගයක්ද නිකුත් කරනු ලැබීම තෙල් සංස්ථාවට දැනුනේ කබලෙන් ලිපට වැටීමක් ලෙසය.

තත්ත්වය රටට රහසක් නොවීය. පසුගිය සතිය ආරම්භයේදීම රට පුරා පැතිර ගිය නරක ආරංචිය වූයේ රට මේ සතිය තුළ දරුණු ඉන්ධන හිඟයකට මුහුණ පෑමට නියමිතව ඇති බවය. වෙන කළ හැකි කිසිවක්ම නොමැතිව විදුලිබල මණ්ඩලය විදුලිය කැපීම මහා පරිමාණයෙන් ආරම්භ කර ඇති විටෙක මෙසේ ඉන්ධන නොමැති කමෙන් රටේ ප‍්‍රවාහනයද ඇනහිටියහොත් කුමන ඉරණමක් අත්වේ දැයි කියා රජය අභ්‍යන්තරයේ ලොකු සංවාදයක් ඇතිවිය.

  • ජනපති නැවතත් ජංගම සේවාවට…

කොවිඞ් වසංගතය නිසාත් රටේ ඇති වූ නොයෙක් දුෂ්කරතා නිසාත් පසුගිය දිනවල අතපසු වී ගිය හා කළ නොහැකිව ගිය වැඩකටයුතු රාශියකි. මේවා වහ වහා යළි පටන් ගෙන අවශ්‍ය ඉලක්ක කරා යෑමට ජනාධිපතිවරයාට අවශ්‍ය විය.

ඒ සඳහා ජනාධිපතිවරයා සෙනසුරාදා ඉරිදා දිනවලත් වැඩ කරන්නට පටන් ගත්තේය. අවශ්‍ය ගමන් බිමන් හා නිරීක්ෂණ චාරිකා මෙන්ම හදිසි වැඩ රාජකාරි එම දිනවලත් යොදා ගැනීම නිසා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ට හා සේවක සේවිකාවන්ට ද වැඩ රාජකාරි අධික විය.

පසුගිය 19 වන සෙනසුරාදා හවස 4.00 ජනාධිපතිවරයා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති උත්සවයකට ගියේය. උත්සවයක් යැයි කීවාට එය ලංකාවේ සේවය කරන විදේශීය තානාපතිවරුන් වෙනුවෙන් සැකසුණු එක්තරා සංස්කෘතික සංදර්ශනයක් සහ ප‍්‍රදර්ශනයක් විය. ලංකාවේ සංචාරක කටයුතු ප‍්‍රවර්ධනය කිරීම සඳහා විදේශීය තානාපතිවරුන් දැනුවත් කිරීමට ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික හා ජාතික උරුමය ඔප් නැංවෙන අයුරින් මෙම උත්සවය සංවිධානය කර තිබුණේ සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය විසිනි.

ලංකාවේ සේවය කරන සියලූ තානාපතිවරු හා මහ කොමසාරිස්වරු මේ සඳහා පැමිණ සිටි අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කථානායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන ජනාධිපති ලේකම්වරු අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු සම්භාව්‍ය අමුත්තන් පිරිසක් මේ සඳහා සහභාගි වී සිටියහ.

ජනාධිපතිවරයා ඇතුළු සම්භාව්‍ය පිරිස මෙම සංස්කෘතික සංදර්ශනය නැරැඹුවේ නෙළුම් පොකුණ රඟහලේ බැල්කනියේ සිටය. ඔවුන් වෙනදා මෙවන් සංදර්ශන නරඹන විට පහත දෙවන පේලියේ අසුන් තානාපතිවරුන් වෙනුවෙන් වෙන්කර තිබිණි. සංදර්ශනය ඉවර වෙන තෙක්ම නැරඹූ පසුව ජනාධිපතිවරයා ඇතුළු පිරිස විනාඩි කිහිපයක්ම අත්පොලසන් දුන්නේ අගමැතිවරයාගේ යෝජනාවක් අනුවය.

‘‘මේක තානාපතිවරුන්ට විතරක් නෙවෙයි. අපටත් ඉතාම වටින සන්දර්ශනයක්. මේ ගොල්ලන්ව දිරිමත් කරන්න අපි නැගිටලා අත්පොළසන් දෙමු.” අගමැති කී වේය.

  • ව්‍යාපාරිකයෝ ජනපති පසසති

පසුගිය සඳුදා ජනාධිපති කාර්යාලයේදී මේ රටේ ඉහළම පෙළේ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් සහභාගි වූ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ රටේ සිටින ප‍්‍රකටම හා ධනවත්ම ව්‍යාපාරිකයෝ ව්‍යසායකවරු විශාල පිරිසක් මේ සඳහා සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.

‘‘අපේ රට අද මූල්‍යමය වශයෙන් ලොකු අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ දෙමින් තියෙනවා. මේ වෙලාවේ මේ රටේ ප‍්‍රබල ව්‍යාපාරිකයෝ හැටියට ඔබතුමන්ලාට ලොකු වගකීමක් සහ යුතුකමක් පැවරිලා තියෙනවා. මම කැමැතියි ඒ ගැන කතා කරන්නට පෙර අද අපේ රට මුහුණ පා තිබෙන අර්බුද හා අභියෝග පිළිබඳව සාකච්ඡා කරලා ඉන්නවනම්. අපි ආරාධනා කරමු ඒ ගැන අලූත් තත්ත්වය පැහැදිලි කරන්න අපේ මහ බැංකුවේ අධිපතිතුමාට…” එසේ කියමින් ජනාධිපතිවරයා අජිත් නිවාඞ් කබ්රාල් මහතාට ආරාධනා කළේය.

‘‘මම නම් පිළිගන්නෙ නැහැ කවුරු හරි කියනවානම් අපේ රට දැන් අවදානම් අඩවියක පවතිනවා කියලා. මොකද ඒ නරකම තත්ත්වයෙන් අපි අද මිදිලා ඉන්නේ. හැබැයි හොඳ තත්ත්වයකට ඇවිල්ලාත් නෑ. ඒත් හොඳ තත්ත්වයකට එන මාවතට අපි අද ඇවිත් තියනවා කියන එක මම කියනවා.

සමහරු කිව්වා, විපක්ෂයත් කිව්වා ලෝකෙන් අපි අරගෙන තියෙන ණය මේ දුෂ්කර අවස්ථාවෙ ගෙවන්න ඕන නැහැ කියලා. හැබැයි අපි එතනට වැටුණේ නෑ. අපි ණය ගෙවමින් ඉදිරියට ආවා. අපි අපේ විශ්වාසනීය බව ලෝකෙට තහවුරු කළා. ඒ තුළ අපට අද හොඳ ස්ථාවරයක් ගොඩ නැගෙමින් පවතිනවා.

නමුත් අපි දැක්කා පහුගිය අවුරුද්දේ අපේ අපනයනයන්වලට වඩා ආනයනයන් වැඩි වෙලා තියෙනවා. අපි ඒ තත්ත්වය ටිකක් පාලනය කරගන්න ඕන.”

අජිත් නිවාඞ් කබ්රාල් එසේ කියමින් කළ පැහැදිලි කිරීමෙන් පසුව ව්‍යාපාරික ධම්මික පෙරේරා කතා කරන්නට පටන් ගත්තේ පළමුවෙන්ම ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වෙමිනි.

‘‘ඔබතුමා නිර්භීත තීන්දු කීපයක් ගත්තා. කොවිඞ් වසංගත කාලේ අන් රටවල් සිය ව්‍යාපාර අත්හැරලා බලා ඉඳිද්දි ඔබතුමා අපට අපේ ව්‍යාපාර කර්මාන්ත කරගෙන යන්න අවස්ථාව සලසලා දුන්නා. ඒකෙන් අපට ශක්තිමත් වෙන්න පුළුවන් වුණා. අද වෙනකොට ඒ ශක්තිය තුළින් අපට අපේ නිෂ්පාදනවලට ලොකු ඉල්ලූමක් ලැබුණා. සමහර රටවල් කොවිඞ් කාලේ ව්‍යාපාර අතඇරියා. ඒ ඇණවුම් පවා අපටයි ලැබුණේ.

අනෙක් අතට පහුගිය කාලේ අපේ ආනයනය වැඩිවුණා කියලා මහ බැංකුවේ අධිපතිතුමා කිව්වා. ඔබතුමා දන්නවද පහුගිය කාලේ අපේ නිෂ්පාදන වැඩි වුණ නිසා අපට කර්මාන්ත කරගෙන යන්න අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර උපකරණ හා යෙදවුම් වැඩිපුර ගේන්න සිදු වුණා. ඒක නිසා ආනයන වියදම වැඩිවුණා වගේ පේනවා ඇති. හැබැයි ඒ අපි ගෙනාපු ප‍්‍රාග්ධන භාණ්ඩ හා උපකරණවල ප‍්‍රතිලාභ රටට ලැබෙන්න තව මාස ගණනාවක් කල් යයි.” ධම්මික පෙරේරා එසේ කීමෙන් පසුව ජනාධිපති කතා කළේය.

‘‘අපි කාලයක් තිස්සේ විදේශවලින් ගෙන්වන්න හුරුවෙලා සිටි දේවල් රටේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තට පස්සේ මේ රටේ කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ ලොකු දියුණුවක් සිදු වුණා. වැවිලි බෝගත් එහෙමයි. දැන් කහ වලින් අපි ස්වයංපෝෂිතයි. මුං, කව්පි, උඳු වගේ ධාන්‍ය වර්ග ගොඩක් අපි මේ රටේ වවනවා. දැන් ටයිල් වගේ දේවල් ගත්තම පිටරටින් ගෙනාවෙ මෙහෙ නිපදවන්න පුළුවන්කම තියෙද්දි. අපි දැන් මෙහෙ ඒව නිපදවනවා. සිමෙන්ති වුණත් දැන් රටේ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. අපි රජයක් හැටියට ව්‍යාපාරිකයන්ට ව්‍යවසායකයන්ට අවශ්‍ය අවස්ථාව සලසලා දෙනවා. ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ රටේ ආයෝජන කරන්න, නිෂ්පාදන ආරම්භ කරන්න…”

සිමෙන්ති නිෂ්පාදනය ආරම්භ වීමෙන් පසුව රටට අවශ්‍ය මුළු සිමෙන්ති ප‍්‍රමාණයම ලංකාවේ නිපදවා ගත හැකි ආකාරය ගැන කතා බහක්ද ඇතිවිය.

‘‘මාධ්‍යවල ක‍්‍රියාකාරීත්වය මීට වඩා සැලකිලිමත් විය යුතුයි. සමහරවිට ඒ ගොල්ල නැතිකම ගැනම කියනවා. නරක දේවල් විතරක්ම පෙන්නනවා. ඕනවට වඩා නැතිවාදමම පෙන්නන කොට රටේ ජනතාව බය වෙනවා. අපේක්‍ෂා භංගත්වයට පත් වෙනවා.” ව්‍යාපාරිකයෝ පෙන්වා දුන්හ.

‘‘අපිට පුළුවන් රටෙන් පිටට යන මුදල් ඉතුරු කරන්න. ළමයි උපාධි ගන්න පිටරට යනවා. එන්. අයි. බී. එම්, එන්. එස්. බී. එම්, ස්ලිට් වගේ ආයතනවල උපාධි දුන්නනම් ඒ මුදල් ඉතුරු කර ගන්නවා වගේම විදේශවලින් ළමයි ගෙන්නලා ඩොලර් වලින් මුදල් ගෙන්න ගන්නත් පුළුවන්…”

ධම්මික පෙරේරා එසේ කියද්දී ජනාධිපතිවරයා තවත් අදහසක් එක් කළේය…

‘‘මම කියන්නේ ව්‍යාපාරික මට්ටමෙන් උපාධි කඩ අරින්න නෙවෙයි. අධ්‍යාපනය දියුණු කරන්න ආයතන බිහි වෙනවා නම් අපි ඒවට ඉඩ දෙනවා. මොකද මම දන්නවා රජයට විතරක් මේක තනියෙන් කරන්න බෑ. ගිය අවුරුද්දේ අපි දහදාහක් වැඩිපුර ගත්තා. මේ අවුරුද්දෙත් දහදාහක් වැඩිපුර විද්‍යාලවලට ගන්නවා. හැබැයි පුද්ගලික අංශයත් මේකට උදව් කරන්න ඕන”

‘‘විපක්ෂයෙන් එන චෝදනා ඉතාම නරකයි. අපි නිෂ්පාදන වැඩි කරලා රටේ ප‍්‍රාග්ධන සංචිත ඩොලර් බිලියන 14 ට තියෙද්දි රට භාර දුන්නෙ. ඒගොල්ලො ඒක 7ට බස්සලා අපිට ණය කන්දකුත් එක්ක රට බාර දුන්නා. පාස්කුවෙන් පස්සෙ රට වැටෙන්න ඇරියා. දැන් වගකීම අපි කරේ ගහනවා…” මහ බැංකුවේ අධිපති පෙන්වා දුන්නේය.

  • සෙසු පක්‍ෂ අගමැති හමුවෙලා
විපක්ෂයේ සටන් මැද ආණ්ඩුව අර්බුදයෙන් ගොඩ!

පොදුජන එක්සත් පෙරමුණේ සිටින සෙසු පක්ෂ මේ ගැන පසුගිය සතියේ පුළුල්ව සාකච්ඡා කරන්නට වූහ. විමල්, ගම්මන්පිල, වාසු, බන්දුල, දිනේෂ් ඇතුළු රජයේ තීරණාත්මක බලවේග නියෝජනය කරන ඇමැතිවරු මේ ගැන විවෘතව කතාබහ කළේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමගය.

මේ ප‍්‍රශ්න ඔක්කොම එකකට එකක් ගැට ගැහුණු නූල් බෝලයක් වගෙයි තියෙන්නේ. ඔක්කොටම කලින් අපි මේ තෙල් නැව්වලට මුදල් ගෙවන ප‍්‍රශ්නය විසඳාගෙන ඉමුකෝ… අගමැතිවරයාගේ මතය එය විය.

සඳුදා සුපුරුදු පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ විය. මේ සතියේ අන් සෑම ප‍්‍රශ්නයකටම වඩා කැබිනට් ඇමැතිවරුන්ගේ දැඩි අවධානය යොමු වුණේ තෙල් අර්බුදය පිළිබඳ ප‍්‍රශ්නයටයි. කැබිනට් හමුවේදී මේ ගැන මුල සිට ලොකු පැහැදිළි කිරීමක් අමාත්‍ය උදය ගම්මන්පිල විසින් කරනු ලැබුවේ මෙසේය.

ඉන්ධන ගබඩා කරගනිපුවා ඉවරයි. දැන් අපි කොහොමටත් විදුලිබල උත්පාදනයට තෙල් දෙන්නේ නෑ. ඒත් මේ සතියේ ඊළඟට එන ප‍්‍රශ්නය තමයි පොදු ප‍්‍රවාහන සහ අත්‍යවශ්‍ය සේවා ප‍්‍රවාහනයට තෙල් සපයන්නේ කොහොමද කියන එක.

කරන්නට දෙයක් නැති තැන අපි ෂෙඞ්වලට තෙල් දෙන එක පළමුව නවත්වනවා. පළමුව ඞීසල් නැතිවේවි. දැනට අත්‍යවශ්‍ය සේවාවන්වලට ලබා දෙන්න පමණක් සංස්ථාව තෙල් මෙටි‍්‍රක් ටොන් 30,000 ක් ඉතිරි කරගෙන ඉන්නවා. නැව්වලට සල්ලි බැඳලා අවශ්‍ය තෙල් ටික ගොඩබා ගන්න බැරි වුණොත් ඉතින් රටම ලොකු අර්බුදයක…’’

ජනාධිපතිතුමනි… මේ තත්ත්වය මේ විදියට දිගින් දිගටම යන්න දෙන්න බැහැ. දැනටමත් විපක්ෂය මේ ප‍්‍රශ්නය අරගෙන රට පුරාම අපට විරුද්ධව ලොකු කැම්පේන් එකක් ගෙනියනවා, කෙහෙළිය කීවේය.

මෙතන අපට තියෙන ලොකුම ප‍්‍රශ්නය තමයි මහ බැංකුවේ හැසිරීම. මහ බැංකුව නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා රාජ්‍ය බැංකුවලට අපට මොන අයුරකින්වත් ඩොලර් ලබා දෙන්න එපා කියලා. අපි රජයේ නොවෙයිද…. අපිව විපක්ෂයට දාලද සලකන්නේ. මහ බැංකුවේ අධිපතිතුමාට මේ ගැන හැඟීමක් නැද්ද? උදය ගම්මන්පිල සිය නොසතුට පළකරමින් කීවේ තරමක් වේගයෙනි.

ඇත්තම කියනවා නම් මේ වන විට විපක්ෂය මේ කියන තත්ත්වය යොදාගෙන රටේ ජනතාව බයකරන්න පටන් ගෙන තියෙනවා. මේ තියෙන නරක තත්ත්වයෙන් වාසි අරගෙන ජනතාව කුපිත කරන්නයි විපක්ෂය හදන්නේ… රමේෂ් පතිරණ කීවේය.

  • ප‍්‍රශ්න විසඳන්න බැසිල්ගෙන් පිළියමක්

මේ වෙලාවේ ප‍්‍රසන්න රණතුංග තවත් ප‍්‍රශ්නයක් මතු කරමින් කතා කළේය.

දැන් අපි සංචාරක ව්‍යාපාරය පණගහගෙන උඩට ගන්න පටන් ගත්තා විතරයි. සංචාරකයෝ 150000 කට වඩා මේ වනවිට රටට ඇතුළු වෙලා තියෙනවා. එහෙම වෙලාවක මේ වගේ ලයිට් කැපිල්ලක් ක‍්‍රියාත්මක කරනකොට සංචාරක ව්‍යාපාරයට ඒක ලොකු පාඩුවක්. ඒ ඇවිත් ඉන්න අය තුළින් මේ රටෙන් එළියට යන පණිවිඩය ඒ තරම් හොඳ නැහැ. ජනාධිපතිතුමනි බැරිද සංචාරකයන් ඉන්න කලාප ටික වත් මේ ලයිට් කැපිල්ලෙන් නිදහස් කරන්න, මොනව හරි කරන්න.

මේ ගැන අපේ විදුලි බල ඇමැතිතුමා තමයි යමක් කරන්න ඕන. කෝ ඉතින් එතුමත් මේ නරක අවස්ථාවේ රට ගිහිල්ලනේ ඉන්නේ… ඇමැතිවරු මැසිවිලි නැඟුහ.

නෑ නෑ එතුමා නියෝජනය කරන්න අපේ දුමින්ද දිසානායක ඇමැතිතුමා ඉන්නවා… ප‍්‍රසන්න කීවේය.

ජනාධිපතිතුමනි අපි මේ ලයිට් කැපිල්ල සැළසුම් සහගතව කලාප හතරකට වෙන් කරලා තරමක් සූක්‍ෂම වැඩපිළිවෙළක් අනුව කරන වැඩක්. ඉස්සර වෙලා මෙතන ඉන්න ප‍්‍රධාන ඉංජිනේරුවන් එක්ක සාකච්ඡා කරන්නේ නැතිව මට වචනයක් කියන්න බැහැ. බලමු අපි සාකච්ඡා කරලා එම කලාප හඳුනාගෙන යම් සහනදායී පියවරක් ගන්න. දුමින්ද බැහැම කීවේ නැත. ඒ අතර මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කතා කළේය.

මම කියන්නේ මේ ගැන අපි වැඩිය කලබල වෙන්න නරකයි. පසුගිය දිනවල රටේ මෙයිට වඩා භයානක තත්ත්වයක් තිබුණා. සමහර අය අනතුරු ඇඟෙව්වා අපිට ණය ගෙවා ගන්න බැරිව අර්බුදයකට ලක්වෙලා ආණ්ඩුව කඩා වැටේවි කියලා. අපි ගෙවන්න ඕන ණය වාරික පහුගිය දවස්වල කලට වේලාවට ගෙව්වා. ඊළඟට විපක්ෂය කිව්වා රටේ ජනතාවට කන්න බොන්න නැති වෙලා රටේ සාගතයක් ඇති වෙයි කියලා. අපි දන්නවා මේ රටේ සහල් ඕනෑ තරම් වෙළෙන්දෝ ළඟ තියෙනවා කියලා. ඒ ගොල්ලො රටේ හාල් හිඟයක් කෘත‍්‍රිමව ඇති කරලා හාල් මිල ඉහළ නංවන එකත් අපි පාලනය කළා. අපි ජනතාවට කොහොම හරි තුන්වේල කන්න දුන්නා. කොවිඞ් මර්දනයට අවශ්‍ය සියලූ දේවල් කළා. වැඩ වර්ජන වලින් රජය බය කරන්න විපක්ෂය උත්සහ කළා. අපි වැඩ වර්ජනවලටත් නොබියව මුහුණ දුන්නා. දැන් මොනවද තව තියෙන්නේ.

අපි ඩොලර් නිකුත් කිරීම ක‍්‍රමානුකූලව කල්පනාකාරීව කරන නිසා තමයි අර්බුදවලින් මෙච්චර කල් ගැළවෙන්න පුළුවන් වුණේ. හැබැයි මේ හැම දෙයක් ගැනම අසුබවාදීව බලන්න එපා. මේ ප‍්‍රශ්නය අපි විසඳනවා. තෙල් අර්බුදයත් ලබන සතියේ විසඳෙයි. බැසිල් කළේ සියලූ දෙනාගේ බය නැතිවන කතාවකි.

‘‘හරි අපිට ඕන මේ වෙලාවේ මේ තියෙන ප‍්‍රශ්නයට මොකක්ද කරන්නේ කියලා විසඳුමක්… ජනාධිපතිතුමා සිනහවෙමින් කීවේය.

අපි මේකටත් මුදල් දෙනවා. මේවා සාකච්ඡා කරලා හරියට සැළසුම් කරලා එකලාසයක් ඇති කර ගනිමු… බැසිල් කීවේය.

මේ අතරතුර ජනාධිපතිවරයා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ට දුරකථන ඇමතුමක් ගන්නට නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ටික වෙලාවකින් ඇමතුම පැමිණි විට ජනාධිපති මඳ වේලාවක් ඔහු සමඟ කතා කළේය.

හරි අපි හෙට සවස 5.00 ට මේ ගැන කතා කරන්න මහ බැංකුවේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වනවා. ඒක විශේෂ කැබිනට් රැස්වීමක් ජනාධිපති කීවේය.

එම තීන්දුව ගැනීමෙන් පසු එදින කැබිනට් රැස්වීමේ වැඩකටයුතු අවසන් විය.

මේ අතර ඇමැතිවරු එහිදී කතාබහ කරමින් සිටියේ ලාන්සා ඇමැති සහ සනත් නිශාන්ත අතර පසුගිය සතියේ ඇතිවී තිබූ ප‍්‍රශ්නය ගැනයි. ලාන්සා ජනාධිපති හමුවෙලා ප‍්‍රශ්නය විසඳා ගනීවි ප‍්‍රසන්න කීවේය.

  • සල්ගාදු පුරවන්න චන්ද්‍රානිට පුළුවන්ලූ

සමගි ජනබලවේගය පසුගිය සතියේ අවධානය යොමු කරමින් සිටියේ සිය පක්‍ෂ සම්මේලනය පැවැත්වීම ගැනය. මෙවර පක්‍ෂ සම්මේලනය අනුරාධපුරය සල්ගාදු පිටියේ පවත්වන්නට ඔවුන් යෝජනා සම්මත කරගෙන තිබුණේ පොහොට්ටුවේ රැලිය පසුගිය මාසයේ සල්ගාදු පිටියේ පැවැත්වීමත් සමගය.

‘‘පොහොට්ටුවේ රැස්වීමට සෙනඟ ආවේත් නැහැ. මේ දිනවල දේශපාලනයට සෙනඟ උනන්දු නැහැ.’’ සම්මේලනය ගැන කතා කරන්නට පැවැත්වූ කණ්ඩායම් රැස්වීමේදී මන්තී‍්‍රවරු සමහරෙක් කීවේ එසේය. පොහොට්ටුවට අමාරු වුණාට අපට මේ වෙලාවේ සෙනඟ ගෙන්නන එක ඔය කියන තරම් අමාරු නෑ. චන්ද්‍රානි බණ්ඩාර කීවාය.

මේ අතරතුර රජය මුහුණපා සිටින බලශක්ති අර්බුදය ගැන පාර්ලිමේන්තුවට දැනෙන විරෝධයක් ගෙන එන්නට සජිත්ට අවශ්‍ය විය. සජිත් ඒ කාර්යය භාර කළේ හරින් ප‍්‍රනාන්දුටය.

පාර්ලිමේන්තුව තුළ විදුලි පන්දම් දල්වමින් වෙනස් විදියක විරෝධයක් දක්වන්නට හරින් ප‍්‍රනාන්දු සැලසුම් කළේ ඒ අනුවය.

දින කිහිපයකට පෙර හරීන් තම හිතවතෙකුට කුඩා ප‍්‍රමාණයේ විදුලි පන්දම් පනහක් හැටක් සොයා දෙන ලෙස ඉල්ලීමක් කළේය.

බදාදා දිනයේ සවස හරින් සූක්ෂමව ඒවා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලයට ගෙන ආවේය. එතැන් සිට විරෝධතාවය පැවැත්වෙන අවස්ථාවේදී මන්ත‍්‍රීවරු ටෝච් එකින් එක අරගෙන සභා ගැබට ගොස් විරෝධය දක්වා තිබුණේය.

එම විරෝධය අවසන් කළ මන්ත‍්‍රීවරු නැවත පැමිණියේ විපක්ෂ නායක කාර්යාලයටය.

”ආණ්ඩුව මේ විදුලි ප‍්‍රශ්නයෙන් හොඳටම නාගෙන ඉන්නේ. එක පැත්තකින් ඩොලර් නෑ. අනික් පැත්තෙන් විදුලිය නෑ. පෙට‍්‍රල් නෑ. රටේ නිෂ්පාදනයත් මේ විදියට ගිහින් කඩාගෙන වැටෙනවා’ මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා කීවේය.

”ඒ විතරක් නෙමෙයි, ආණ්ඩුව ඇතුලේ දේශපාලන අර්බුදයත් හොඳටම යනවා. කුරුණෑගල රෝහිත රාජපක්ෂ එක්ක ජොන්ස්ටන් ගහ ගන්න හදන්නේ. මහින්ද මහත්තයා එක්කත් දැන් ජොන්ස්ටන් වැඩිය හිත හොඳ නෑ’ ජේ.සී.අලවතුවල කුරුණෑගල අභ්‍යන්තර දේශපාලන කතාවක් කීවේය.

”මොකක්ද ඒ කතාව’’ එස්.එම්.මරික්කාර් මන්ත‍්‍රිවරයා ඇසුවේය.

”අගමැති සම්බන්ධීකරණ කාර්යාලයක් ඉරිදාට කුරුණෑගල විවෘත කරන්න යනවා. ඒකට ජොනී කැමැති නැතිලූ. ජොනී ඒකට බාල්දි දානවාලූ’’ අලවතුවල තමන්ට ලැබුණ තොරතුර කීවේය.

”ඒ කතාව හරියට හරි. ගිය සතියේ අපි දන්න කෙනෙක් මහින්ද මහත්තයා හමුවෙන්න ගිහින් තිබුණා. කුරුණෑගල යන්නේ නැද්ද කියලා ඇහුවම වැඩිය යන්නේ නෑ කියලා තියෙනවා. ගියාම රෑට ජොන්ස්ටන්ගේ ගෙදර නවතින්න වෙනවා, ඒකට අනික් අය කැමැති නෑ, ඒ නිසා දැන් කුරුණෑගල යන්නේ නෑ කියලා තියෙනවා’’ නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයාත් තමන්ට ලැබුණ තොරතුරක් මන්ත‍්‍රීවරුන්ට පැවසුවේය.

”කොහොමත් රෝහිත පහුගිය දවස්වල කුරුණෑගල එක එක දේශපාලන වැඩවලට සම්බන්ධ වෙලා තිබුණානේ. මහින්ද මහත්තයා කියපු නිසා කුරුණෑගල වැඩවලට එනවා කියලා මාධ්‍යයටත් කියලා තිබුණේ’’ රෝහිණී කවිරත්න මන්ත‍්‍රීවරිය මාධ්‍යවල පළ වූ වාර්තා ගැන සිහිපත් කළේය.

  • ලංගමෙන් කරපු හොඳම වැඩක්…

පසුගිය 22 වැනි අඟහරුවාදා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වැඩ අධික දිනයක් විය. ඔහු උදේ වරුවේ ප‍්‍රවාහන අමාත්‍යාංශයේ උත්සවයකට ගියේය.

සංවිධානය කර තිබුණේ ලංකාවේ ලංගම ඩිපෝ 207ක් එක්වී, අබලන් වී භාවිතයෙන් ඉවත් කර තිබූ බස්රථ 200 මැනවින් අලූත්වැඩියා කොට යළි මහජන සේවය සඳහා යෙදවීම වෙනුවෙනි.

පසුගිය වසරේ ද ලංගමය මෙවන් බස්රථ 237 අලූත්වැඩියා කර භාවිතයට එක් කළේය. මෙවර රුපියල් මිලියන 135 ක් වැය කොට බස්රථ 200ක් අලූත්වැඩියා කිරීමට ලංගම සේවකයන් ක‍්‍රියා කොට තිබුණේ සිය අතිකාල දීමනා පවා නොගෙන වීම විශේෂත්වයකි.

පවිත‍්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මෙහිදී ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කළේය.

මෙතුමා තමයි ඉතින් පූර්ණ අධීක්ෂණ බලධාරියා… ඔවුන් එසේ කීවේ ලංගම සභාපති කිංස්ලි රණවක පෙන්වමිනි. කිංස්ලි රණවක ඉතා හොඳ සංවිධායකයෙක් බව ජනාධිපතිවරයා දැන සිටියේය. ඔහු වරක් විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති වරයා ලෙස සිටිමින් ලංකාවෙන් ඉතාලියට හා කොරියාවට ශ‍්‍රමිකයන් යවමින් විශාල විදේශ විනිමයක් ඩොලර්වලින් ලංකාවට ගෙනවිත් දීමට පුරෝගාමී වූ නායකයකු ලෙස බොහෝ දෙනා හඳුනාගෙන සිටියහ.

  • වැරදි හදා ගනිමින් ඉදිරියටම යමු…

23 වන බදාදා උදේ ලංකාවේ සියලූම පරිපාලන නිලධාරීන් සමග ජනාධිපතිවරයා ගේ සාකච්ඡාවක් පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට පළාත් නමයේ ආණ්ඩුකාරවරු, පළාත් ලේකම්වරු, අමාත්‍යාංශ ලේකම්වරු, දිසාපතිවරු සහ ආසන්නම පරිපාලන නිලධාරීන් පැමිණ සිටියහ. ඊට අමතරව බැසිල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ හා මහින්දානන්ද අලූත්ගමගේ පැමිණ සිටියහ. පැමිණ සිටි අය අනුව මෙය ඉතාමත් තීරණාත්මක පරිපාලන නිලධාරීන්ගේ සාකච්ඡාවක් වූහ.

සාකච්ඡාව අරඹමින් මුලින්ම කතා කළේ ජනාධිපතිවරයා ය.

‘‘රජයේ සේවකයා වැඩ කරන්නේ නැහැ, රාජ්‍ය සේවය හරිම අකාර්යක්ෂමයි කියලා පොදු සමාජයේ මතයක් තියෙනවා. හැබැයි ඒක ඉබේ ඇති වුණු දෙයක් නෙවෙයි. එහෙම ප‍්‍රශ්නයක් අපේ රටේ තියෙනවා.

මේ ප‍්‍රශ්නය තවදුරටත් විග‍්‍රහ කරල බලනකොට පේන දේ තමයි වැඩ කරන මිනිස්සුන්ටවත් කිසිම ඇගයීමක් නැති කම. අපි දන්නවා මේ හැම තැනකම වැඩ කරන්නේ මනුස්සයෝ. ඒගොල්ලො යන්ත‍්‍ර නෙවෙයි. ඒ නිසා ඔවුන්ට වැඩ කිරීම සඳහා ක‍්‍රමවේදයක් අවශ්‍යයි. මුලින්ම ඔවුන්ට හොඳ උපදෙස් ඕන. ඒ වගේම හොඳ ආදර්ශයක් ඕන. ඒ වගේම පහසුකම් සලසන්න ඕන. ඒ ගොල්ල වැඩ කරන කොට නිසි ඇගයීමක් ඕන. කරන වැඬේ අගය කරන කොට ඒක ලොකු උත්තේජනයක්. අන්න එහෙම වෙනකොට මිනිස්සු වැඩ කරනවා. කරන වැඬේ අපි අගය කරන්න ඕන. විශේෂයෙන්ම රජයේ සේවකයා ගැන අපි මීට වඩා බලන්න ඕන.

අනිත් කාරණාව තමයි පොදු ජනතාව වැඩක් කරගන්න කාර්යාලයකට ආවම අපේ අය නිතරම පුරුදු වෙලා ඉන්නේ ඒක මගඅරින්න. නැත්නම් පවරන්න. එයාලා නොයෙකුත් උත්තර කියනවා. ඒක අපට අයිති නෑ, ඕක පළාත් සභාවෙන් කරගන්න, ඕක කරන එක්කෙනා අද ඇවිල්ලා නෑ… මේ ආදී විවිධ දේවල් කියමින් ජනතාව නිකරුනේ රස්තියාදු කරවන්න අපි පුරුදුවෙලා තියෙනවා. නීති චක‍්‍රලේඛ තියනවා තමයි… හැබැයි අපි මනුස්සකම ඊට වඩා ඉස්සරහට අරන් ජනතාවට සේවය කරන කොට හිතන්න ඕන.” ජනාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීම විනාඩි 30ක් පමණ දිගු කතාවක් විය.

ඉන්පසුව කතාබහ ගියේ සාකච්ඡාවක විලාසයෙනි…

‘‘අපි මෙහෙ කිරිවලින් රට ස්වයං පෝෂණය කරන්න හිතාගෙන ඉන්නේ. ඒ වුණාට පොළොන්නරුවේ හරක් 4000කට විතර කන්න දෙයක් නෑ. කෑම තියෙනවා කැලෑවල. හැබැයි වනජීවී එකෙන් නීතිරීති ඉස්සරහට දාලා මිනිසුන්ට හරක් කැලෑවට දාන්න දෙන්නෙ නෑ… මම කියන්නේ මෙන්න මේවා වෙනස් වෙන්න ඕන කියලා….”

ඉන්පසුව කතාබහ වූයේ පොහොර ප‍්‍රශ්නය ගැනයි…

‘‘පොහොර ගැන අපි ගෙනාපු යෝජනා නරක දේවල්ද… නැහැ ඒත් ඒක ජනතාව අතරට ගියේ නැත්තේ ජනතාවට නිවැරදි උපදේශනයක් හා මග පෙන්වීමක් නොකෙරුණු නිසයි.”

ජනතාව මීට වඩා දැනුවත් කර මග පෙන්විය යුතුව තිබුණු බව මහින්දානන්ද හා ශෂීන්ද්‍ර මෙහිදී පිළිගත්හ.

‘‘තමන්ගේ දූ දරුවන්ට තමන්ගේ ඥාතීන්ට මේ ජනතාව ආදරෙයිනෙ. හරි අවබෝධයක් ලැබුනා නම් මේගොල්ලෝ කවදාවත් තමන්ගේ ඥාතීන්ට වසවිස කවන්න ඉදිරිපත් වෙන්නේ නැහැ…” ජනාධිපති කීවේය..

‘‘පහුගිය කන්නවලදී අපට මේ දැනුවත් කිරීම හරියාකාරව කරන්න බැරිවුණා. අපි මේවයින් පාඩම් ඉගෙනගෙන ලබන කන්නයෙදීවත් මේ වැඬේ හරියට කරන්න බලමු…”ශෂීන්ද්‍ර කීවේය.

‘‘අපි අලූතින් සේවකයෝ 1300ක් පමණ බඳවාගෙන මහජන සම්බන්ධීකරණය සඳහා පුහුණු කරනවා. ඒගොල්ලො යොදවාගෙන අපිට මේ දැනුවත් කිරීම කරන්න පුළුවන්…” උතුරු ආණ්ඩුකාර වරයා කීවේය. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා අද එම අදහස අනුමත කරමින් කතා කළේය.

‘‘අපේ පැත්තේ වෙලා තියෙන්නේත් මිනිස්සුන්ගෙන් දැනුම නැතිකම… අපිත් දැනුවත් කිරීම් වලට මුල්තැන දෙනවා..” මධ්‍යම ආණ්ඩුකාර වරයා තම පැහැදිලි කිරීම කළේ මධ්‍යම පළාතේ ගමක් උදාහරණයට ගනිමිනි.

ඒ අතර රසායනික පොහොර අත්‍යවශ්‍යම බෝග කීපයක් ගැන ද කතාබහක් ඇතිවිය.

‘‘සමහර ආයෝජකයෝ ඇවිල්ලා අපේ යම් යම් ප‍්‍රදේශවල තිබෙන අමුද්‍රව්‍ය හා හැකියාවන් හඳුනගෙන ව්‍යාපෘති අරඹන්න හදනවා. ඒ අයට නීතිමය බාධාවන් තියෙනවා. පරිපාලන නිලධාරීන් හැටියට අපි උත්සාහ කරන්න ඕන ඒගොල්ලන් ජෙනුයින් නම් නීති රීති වෙනස් කරලා හරි ඒගොල්ලන්ගේ ආයෝජනවලට ඉඩ කඩක් සලසලා දෙන්න.” ජනාධිපති යෝජනා කළේය. මේ අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයේ ඇති විවිධතා හඳුනාගෙන පොහොර බෙදාහැරීම හා භාවිතය සම්බන්ධයෙන් අලූත් අදහස් කීපයක් ඉදිරිපත් කළේය.

‘‘ඒ වගේ අත්හදා බැලීම් කරන එක හොඳයි… ඒ ඒ පළාත්වල වවන්න පුළුවන් බෝග වර්ග හඳුනාගෙන වැඩ කරන්න ඕන. ඉස්සර අපේ වන්නි පළාතේ මිරිස් වැවුනා. මිරිස් පිටරටින් ගෙනාවේ නෑ. දැන් මිරිස් රටින් ගේන්න වෙලා. අපි අන්න ඒ වගේ දේවල් හඳුනාගෙන ඒ ඒ පළාත්වල එම බෝගවර්ග දියුණු කරලා ස්වයංපෝෂිත කරන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න ඕන…” ජනාධිපති කීවේය.

‘‘ජල පෝෂක ප‍්‍රදේශ ආරක්ෂා කර ගැනීම සඳහා වෙනම නීති රීති ගෙනවිත් එවන් ඉඩම් වෙන්කර ගත යුතු බව යෝජනා කළේ බදුල්ලේ දිසාපති ය.

‘‘නීති රීති දාලා ගැසට් කරල ඔය වගේ තැන් නම් කළොත් ප‍්‍රශ්න ගොඩයි. දැන් පේනවනේ පුරාවිද්‍යා, වන සංරක්ෂණ, වනජීවී ඉඩම් වලට වෙලා තියෙන දේ. පුරාවිද්‍යා පළාත් වෙන් කළාම ඒ අවට ගම්වල ජීවත් වන ජනතාවට වැසිකිළි වළක් කපන්නත් තහනම්. ඔය වගේ අනවශ්‍ය ලෙඩ දාගන්නේ නැතුව අපි වෙන ක‍්‍රමයක් යොදලා ඒ වගේ තැන් ආරක්ෂා කර ගනිමු…” බැසිල් රාජපක්ෂ පැහැදිලි කිරීමක් කළේය.

‘‘රට පුරා අත්‍යවශ්‍ය ආහාර වර්ග හා බඩු භාණ්ඩ බෙදාහැරීම ගැන සොයා බලන්න අපි ඇප් එකක් ලෑස්ති කළා. මේක ඒ ඒ පළාත්වල බලලත් නිලධාරීන්ට දීලා තොරතුරු යාවත්කාලීන කරාම අපිට බලාගන්න පුළුවන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කොහොමද රටපුරා පැතිරිලා තියෙන්නේ කියලා.” මහින්දානන්ද කීවේය.

‘‘ඒක නම් ඇත්ත. දැන් රේගුවෙන් ඇහුවම කියනවා මාස තුනකට ඇතිවෙන්න රේගුවෙන් බඩු ලංකාවට ඇවිත් තියෙනවා කියලා. වෙළෙඳ පොළේ බඩු හිඟයක් තියෙනවා. කොතනද මේ බඩු ටික බ්ලොක් වෙලා තියෙන්නෙ කියලා අපිට දැනගන්න පුළුවන් ක‍්‍රමයක් තියෙනවා නම් හොඳයි…” බැසිල් කීවේය.

අඟහරුවාදා සවස 5.00ට ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් රැස්වීම පැවැත්විණි. මේ සඳහා වෙනත් කිසිවක් හේතු නොවීය. එකම හේතුව තෙල් අර්බුදයට විසඳුම් සෙවීම පමණක්ම විය.

මහ බැංකු අධිපතිවරයා ද සහභාගි වූ මෙම රැස්වීමේ ඇතුළාන්තයේ තොරතුරු පිටතට වාර්තා වූයේ නැත. කෙසේ වෙතත් අවසානයේ රටට වැදගත් ඉතා තීරණාත්මක තීන්දු කීපයක් ගැනීමට උණුසුම් වාද විවාද ඇතිවූ බව පමණක් හෙළිදරව් විය.

ඒ අනුව කිසි ලෙසකත් තෙල් මිල වැඩි නොකිරීමටත්, පැමිණ තිබෙන තෙල් නැව් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන්නටත් තීන්දු ගෙන කැබිනට් රැස්වීම හමාර විය. එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මේ දිනවල පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට සහභාගි වන්නේ මහත් උනන්දුවෙනි. ඔහු තනිවම පක්‍ෂය නියෝජනය කරමින් වාද විවාදවලට සම්බන්ධ වෙයි. හැකි සෑම අවස්ථාවකම රජයේ යම් යම් දුර්වලතා වෙත් නම් ඒවා විවේචනය කරයි. එසේම විපක්‍ෂයේ කි‍්‍රයාකාරිත්වය ගැන ද ඔහු එතරම් සතුටකින් පසුවූයේ නැත.

  • රනිල්ගෙන් ඉගෙනගන්න මන්ත‍්‍රීවරු වටවෙලා
විපක්ෂයේ සටන් මැද ආණ්ඩුව අර්බුදයෙන් ගොඩ!

අඟහරුවාදා පාර්ලිමේන්තුවට ගිය රනිල් ලොබියේ වාඩිවී සිය අයිපෑඩය නිරීක්‍ෂණය කරමින් සිටියදී එතැනට ලක්‍ෂ්මන් කිරිඇල්ල ආවේය.

ආණ්ඩුවට මේ ආර්ථික තත්ත්වයට විසඳුම් නැහැ. අපි මේ තිබෙන ආර්ථික අර්බුදය ගැන කතා කරන්න සභාව කල්තැබීමේ යෝජනාවක් ගේනවා. කිරිඇල්ල කීවේය.

හරි… මේ වෙලාවේ විපක්‍ෂයක් කටයුතු කරන්න ඕන කොහොමද කියල මම ඔයාලට කියල දෙන්නම්. රනිල් කීවේය. එසේ කියමින් රනිල් කිරිඇල්ලට උපදෙස් මාලාවක් ද දුන්නේය.

එහෙත් පසු දින විවාදයේදී විපක්‍ෂය රනිල්ගේ උපදෙස් කිසිවක් හරිහැටි ග‍්‍රහණය කරගෙන වැඩ කරන බවක් පෙන්වූයේ නැත. රනිල් ඒ ගැන කම්පා වූයේ ද නැත.

අවසානයේ කල්තැබීමේ විවාදය ඉල්ලූ විපක්‍ෂයේම වරදින් කල්තැබීමේ විවාදය පාර්ලිමේන්තු ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අවලංගු වී යන ආකාරය දෙස රනිල් බලා සිටියේ උපේක්‍ෂාවෙනි. විවාදය ඉල්ලූ කණ්ඩායමේම මන්තී‍්‍රවරයකුගේ රීති ප‍්‍රශ්නයක් නිසා විවාදය අවලංගු විය. සභාවේ ගණපූරණය නැති බව ඒ මන්තී‍්‍රවරයා පෙන්වාදීම නිසා නියමිත වේලාවට කලින් විවාදය අවසන් කෙරිණි.

කෙසේ වෙතත් ආණ්ඩු පක්‍ෂය නම් සැලකුවේ විවාදයේදී කතා කිරීමට කරණු නැතිකමින් හිතාමතාම විපක්‍ෂය මෙබඳු තත්ත්වයක් උදාකර ගත්තේ යැයි කියාය.

මේ අතර පාර්ලිමේන්තු ලොබියේදී එකිනෙකා හමුවූ සජිත් පේ‍්‍රමදාසත්, රනිල් වික‍්‍රමසිංහත් පසුගිය සතියේ කාටත් පෙනෙන්නට සැලකිය යුතු වේලාවක් සුහදව කතාබස් කරමින් සිටීම කාගේත් අවධානයට යොමු වූ කාරණාවක් විය.

ආණ්ඩු පක්‍ෂයේත් තරුණ මන්තී‍්‍රවරු මේ දිනවල රනිල් වික‍්‍රමසිංහ සමග කතාබහ කරමින් සිටින්නට දක්වන්නේ පුදුමාකාර උනන්දුවකි. බොහෝ දෙනෙක් රනිල්ගෙන් විමසා සිටියේ රුසියා – යුක්රේන අර්බුදයේ ඇතුළාන්තයේ ඇති ගැටලූව ගැනය.

ඔයගොල්ලො දන්නවද සෝවියට් සමූහාණ්ඩුව බිහිවුණේ කොතැනදි ද කියලා. සමහරු කියන්නේ ඒක වුණේ මොස්කව් නුවර මුල්කරගෙන කියලයි. ඒක වැරදියි. යුක්රේනයේ ‘කිව්’ අගනුවර මුල්කරගෙන තමයි රුසියානු සමූහාණ්ඩුව ආරම්භ වෙන්නේ. රනිල් මේ අයුරින් ලොකු ඉතිහාසයක් ඉතා රසවත් ලෙස කෙටියෙන් විස්තර කළේය.

  • සනත් – ලන්සා ගැටුමේ ඇතුළාන්තය රහසක්

මේ අතර පාර්ලිමේන්තුවේදී නිමල් ලන්සා හා සනත් නිශාන්ත අතර ඇතිවූ අරගලය ගැන ද කතාබහක් ඇතිවිය. බොහෝ දෙනෙක් දැන සිටියේ මේ ප‍්‍රශ්නයේ ඇත්ත අර්බුදය තිබෙන්නේ වෙනත් තැනක බවය. හැබෑම හේතුව ගැන බොහෝ දෙනෙක් එළිපිට කතා නොකළේ අර්බුදයට මැදිවූ පාර්ශ්ව දෙකෙන් එක පැත්තක්වත් ගැනීම සිය දේශපාලන ශරීර සෞඛ්‍යයට හිතකර නොවන බව ඔවුන් දැන සිටි නිසා වන්නට ඇත.

මේ ප‍්‍රශ්න කෙසේ වෙතත් පසුගිය සතියේ නිමල් ලන්සා ඇතිවූ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් ලීවේය. එහි මේ තිබෙන අර්බුදය කරුණු 4 කට බෙදා විස්තර කරනු ලැබීය.

අඟහරුවාදා උදේ වනවිට ලන්සා ලියූ මෙම ලිපිය ජනාධිපතිවරයාගේ අවධානයට යවා තිබිණි.

මේ අතර අඟහරුවාදා දහවල් පාර්ලිමේන්තුවේදී නිමල් ලන්සා ඇමැතිවරයා බැසිල් රාජපක්‍ෂ හමුවන්නට ගියේය. මුදල් අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කාමරයේ මෙම හමුව සිදුවූ අතර දෙදෙනාම ඒ ගැන කරුණු පිටට හෙළිදරව් නොකරන්නට වගබලාගෙන සිටියහ.

කෙසේ වෙතත් බැසිල් රාජපක්‍ෂ එකක් දැනගෙන සිටියේය. එනම් සනත් නිශාන්තගේ සහ නිමල් ලන්සාගේ ප‍්‍රශ්නයක් ලෙස අවසානයේ මෙය සමාජගත වූයේ වෙනත් තැනක දලූ, අතු, ඉති, මල්, මුල්ලා වැඩුණු ප‍්‍රශ්නයක් බවය.

කෙසේ වෙතත් මෙහිදී නිමල් ලන්සා පෙන්නුම් කළ ඉවසීම හා නිහඬතාවය කාගෙ කාගේත් පැසසීමට ලක්විය.

මේ අතර නැවත වතාවක් සනත් හා ලන්සා අතර දුරස්ථ වචන හුවමාරුවක් සිදුවූයේ එදින නිමල් ලන්සා පාර්ලිමේන්තුව හමුවේ සිදුකරන ලද පැහැදිලි කිරීමක් නිසාය.

මම ටික දවසකට විවේකයක් ගන්න පිටරට යනවා. නිමල් ලන්සා මේ අතර තම මිතුරකුට පවසා තිබිණි.

ඒ අතර ‘‘ගහේ එතෙන වැල් ටික ටික ඒ ගහ විනාශ කරනවා’’ යනුවෙන් නිමල් ලන්සා පාර්ලිමේන්තුවේදී කරන ලද කතාව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරු බොහෝදෙනකුගේ අවධානයට යොමු වූ කාරණාවක් විය.

  • පවිත‍්‍රාගේ පාරෙ යන්න ජනපති බැහැ කියලා…

ජනාධිපති 24 වන බ‍්‍රහස්පතින්දා ප‍්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින රත්මලාන තාක්ෂණික ඉංජිනේරු ආයතනය බලන්නට ගියේය.

උදේ 11.00 ට ජනාධිපතිවරයා රත්මලාන වැඩබිමට යනවිට ප‍්‍රවාහන ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මැතිනියත් රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගමත් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරිනුත් කල්වේලා ඇතිවම එතනට පැමිණ සිටියහ.

ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ එම වැඩ බිම පුරා ඇවිද යෑමටය. මෙම නිරීක්ෂණ චාරිකාවේදී ජනාධිපතිවරයා හැම තැනම ඇවිද යන බව කල්තියා දැනගත් නිලධාරීන් ඒ සඳහා ඊතල ගසා ගමන් මාර්ගයක් ද සූදානම් කර තිබිණි. එම ගමන් මාර්ගයට පෙනෙන අවට පරිසරය පමණක් සුද්ද පවිත‍්‍ර කර ඇතැම් තැන්වල සායම් ගා නවීකරණය කර තිබුණු බව නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා ඒ මඟට පිටින් යන්නට උපායක් යෙදුවේය…

‘‘අර පැත්තෙත් අර කට්ටියක් ඉන්නව නේද… ඒ ගොල්ල මොනවද කරන්නේ… අපි බලමු මේ පැත්තට ගිහින්…” කියමින් ජනාධිපති පාර මාරු කළේය.

ඒ අනුව නිලධාරීන් ද ආපසු හැරී ජනාධිපති පස්සෙන් දුවන්නට වූහ. කසළ ගොඩවල් මැදින්, වල්බිහිවී කැලෑ වැවී ඇති පැත්තෙන් ජනාධිපති එනු දුටු මාධ්‍යවේදීන් ද ඒ පිටුපස දුවන්නට යද්දී ඒ එක් අයෙක් වළකට ඇද වැටුණේය. එය කසළ දමා ගොඩ කරන ලද පැරණි ටැංකියකි. ඊට වැටුණේ ජනාධිපති යන මග රූපගත කරමින් සිටි හිරු මාධ්‍යවේදියෙකි… ඒ බැව් දැනගත් ජනාධිපතිවරයා විහිළුවක් කළේ මෙසේය…

‘‘තුවාල නෑනේ… අද හිරු නිවුස් එකේ යයිද දන්නෑ ජනාධිපති මාධ්‍යවේදීන් ගෙන්නලා වළවල් වල දැම්මා කියලා”…

‘‘මේ බලන්න… මේ හැම තැනකම යකඩ ගොඩගහල නිකරුනේ දිරාපත් වෙනවා. මේ යකඩවලට වටිනාකමක් නැද්ද. හැමතැනම කැලෑ වැවිලා. හැමතැනම කුණුගොඩවල්. ඇයි මේ ආයතනවලට මෙහෙම වෙලා තියෙන්නේ…” ජනාධිපති තරමක් නොමනාපයෙන් කියද්දී අසල උන් නිලධාරීන් කීප දෙනෙක් කුටු කුටු ගෑවේ එකිනෙකාට දොස් පවරමිනි…

‘‘මම කිව්වා තමුසෙලාට… ඔය පාත් හදලා ඊතල ගහලා පාට කරලා වෙන්කරලා තිබුණාම ජනාධිපතිතුමා කවදාවත් ඕවයි යන්නෙ නෑ කියලා. දැන් ඉතින් අහන ඒවට උත්තර දෙනවලා…” රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීවේය.

මෙම වැඩ අංගනය ආරම්භ කර තිබුණේ 1934 දී ය. එදා ආරම්භ වූවාට පසු මේ දක්වා එතනට කිසිදු රාජ්‍යය නායකයෙක් පැමිණ තිබුණේ නැත. ජනාධිපතිවරයාගේ පැමිණීම එහි සේවය කරන කම්කරු මට්ටමේ සේවකයන්ට තම ගැටලූ කියන්නට හොඳ අවස්ථාවක් වූයේ ඒ නිසාය.

‘‘මොනවද දැන් ඕගොල්ලන්ට තියෙන ප‍්‍රශ්න…” ජනාධිපති සේවකයන්ගෙන් විමසා සිටියේය.

‘‘මම අවුරුදු තිහක් වෙනවා සර් මෙතැනට ඇවිල්ලා. තවමත් ඉන්නේ කම්කරු ශ්‍රේණියේ. මං පැන්ෂන් යන්නෙත් මේ විදියට…”

‘‘කම්කරු හැටියට සේවයට ආපු කෙනෙකුට අවුරුදු තිහක් වෙනකොටවත් උසස්වීමක් ලබා දෙන්න ක‍්‍රමයක් මෙතන නැද්ද… කරුණාකරලා මේගොල්ලන්ගේ සේවය පිළිබඳ ඇගයීම් ක‍්‍රමයක් ඇති කරලා උසස්වීම් දෙන ක‍්‍රමයක් හදන්න. ඒකට කමිටුවක් දාන්න. වැඩපිළිවෙළක් හදන්න. මට මාස දෙකක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ඕන.” ජනාධිපති නිලධාරීන්ට කීවේය.

‘‘අර මොකක්ද අර වෑද්දුම් අංගනය කියලා ගහලා තියෙන්නෙ බෝඞ් එකක්. අපි යමු ඒක ඇතුළට…” ජනාධිපති එදෙසට ගිය වේගයට ඇමැතිනී පවිත‍්‍රා ද සාරිය අතින් ගෙන ඒ දෙසට දුවන්නට වූවාය… ‘‘ළමයි එන්න… එන්න…. මේ පැත්ත බලන්න’’ කියමින් ඕ ආරක්ෂක නිලධාරීන්ට කතා කළාය.

ජනාධිපතිවරයා එහි ඇතුළට ගොස් තවත් පොඩි දොරකින්ද ඇතුළට ගියේය…

‘‘මම මීට ටික දිනකට කලින් මෙතෙන්ට ආවා. මේ අය මාවවත් මේ තැන්වලට එක්ක ගිහින් නෑ… සර්ව එක්කන් යනවා…” සේවකයන් ජනාධිපතිවරයාට එහි ඇති සුවිශේෂී තැන් පෙන්වමින් විස්තර කියනු දුටු පවිත‍්‍රා කීවාය.

මෙම අංගනයේ වැඩකරන අය අතරින් වැඩි පිරිස (80%) කම්කරුවන් බව දැනගත් ජනාධිපතිවරයා ඔවුන්ගේ උසස්වීම් ක‍්‍රියාදාමය සකසන්නට නිලධාරීන් හා කතාබහ කරද්දී ඔවුන් කිව්වේ යෝග්‍යතාව ඔප්පු කරන්නට ඔවුන්ට මිනුම් දණ්ඩක් නොමැති බවයි.

‘‘පළපුරුද්ද ගන්න. පළපුරුද්ද කියන එක හරිම වටිනවා. පළපුරුද්දට අනුව ලකුණු දෙන ක‍්‍රමයක් හදන්න…”

‘‘ඉස්සෙල්ලා මේක දියුණු කරන්න මානව සම්පත් සැලැස්මක් හදා ගන්න. ඊට පස්සේ මෙතන ආයතනය දියුණු කරන්න පුළුවන්.”

  • දිනේෂ්ට අතීතය මතක්වෙලා

මහජන එක්සත් පෙරමුණේ, තරුණ සංවිධානයේ නියෝජිත සමුළුව පසුගිය සතියේ මතුගම නගර ශාලාවේ පැවැත්වුණේ පක්ෂ නායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙනි. සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනයේ නායකත්වය දරන පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා මෙන්ම පක්ෂයේ උප සභාපති රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කළුතර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන, රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු වන ලලිත් වර්ණකුමාර, මර්ජාන් ෆලීල්, සංජීව එදිරිමාන්න, අනූප පැස්කුවල්, ලලිත් එල්ලාවල යන මහත්තුරු ද මීට සහභාගී වූහ.

ඉදිරි පෙළ අසුන් ගෙන සිටි තවත් විශේෂ අයෙකු කෙරෙහි ම.එ.පෙ. නායකයාගේ ඇස යොමු විය. මතුගම නියෝජනය කළ සුවිශේෂ දේශපාලන චරිතයක් වූ අනිල් මුණසිංහගේ පුත් විනෝද් මුණසිංහ එහි අසුන් ගෙන සිටියේය.

”1983 අතුරු මැතිවරණවලදී ජයග‍්‍රහණය කරපු හතර දෙනාගෙන් එක් කෙනෙක්, අනිල් මුණසිංහ මැතිතුමා. මම, රිචඞ් පතිරණ, අමරසිරි දොඩංගොඩ අනිත් අය.”

එසේ කී දිනේෂ්, අනිල් මුණසිංහ මහතා නියෝජ්‍ය කථානායක ධුරය දරන සමයේ, අතීත කතාවක් සිහිපත් කළේ රැස්ව සිටි තරුණ පිරිස ඉදිරියේය.

”මේ අපි රැස්වෙලා ඉන්න, හැම පැත්තෙන් ම ආලෝකය එන, මතුගම මේ නගර ශාලාව විවෘත කරන එකටත් එදා අනිල් මුණසිංහගේ ආරාධනයෙන් මම ආවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් ආවා.”

”දිනේෂ් කතාවක් කරන්න ඕනෙ” අනිල් කිව්වා.

”මම ඒක භාරගත්තෙ නැතිවුණාම, මැතිනිය කිව්වා, මට කතා කරන්න කියලා.”

”මම ඇහුවෙ එක දෙයයි, මැතිනියනි, මෙච්චර පළපුරුදු, ජ්‍යෙෂ්ඨ අනිල් මුණසිංහව, මොකද නිශ්ශබ්ද කරලා, උප කථානායක පුටුවෙ වාඩිකරවලා තියෙන්නෙ?”

මැතිනිය මහ හයියෙන් හිනාවෙලා කිව්වා, ”ඒක නම් ඇත්ත තමයි” කියලා.

ජාතික තරුණ සේවා සභාව මෑතකාලීනව හඳුන්වාදුන් වැඩසටහන් අතර විදෙස් රැකියා වැඩසටහන ප‍්‍රමුඛ විය. මීට ටික කලකට පෙර රුමේනියාවේ රැකියා සඳහා තරුණ තරුණියන් පිටත් කර යැවුණු අතර, මේ වන විට අවධානය යොමුව ඇත්තේ තරුණ තරුණියන්ට ජපානයේ රැකියා වරම් හිමිකර දීමටය.

එම වැඩසටහන යටතේ ජපන් ශිෂ්‍යත්වයක් හිමිකරගෙන ජපන් යන මුල්ම රැකියාලාභියා අද හෙටම මෙරටින් පිටව යෑමට නියමිත අතර, ඒ පිළිබඳව තතු දැනගත් අමාත්‍ය නාමල් රාජපක්ෂ සුපුරුදු ලෙස සභාපති දමිත වික‍්‍රමසිංහට සුබ පතමින් මෙසේ කීවේය…

”දමිත…! ජපන් ජොබ් ප්‍රෝග‍්‍රෑම් එක ඔයාල නිසි විදියටම කරගෙන යනවා. ඒ ගැන සතුටුයි. මේක තව තවත් වැඩිදියුණු කරන්න බලන්න. ඊළඟ සෙට් එක විදියට 500ක්වත් යැවුවොතින් තමා හොඳ. කොහොමත් අඩුම තරමින් අවුරුද්දකට 10,000ක්වත් යවා ගත්තොතින් තමා අපේ ටාගට් එක සම්පූර්ණ වුණා වෙන්නේ” ඇමැති නාමල් රාජපක්ෂ කීය.

  • හරීන්ගේ විරෝධයට කවින්දගෙන් උත්තර

හරීන් පාර්ලිමේන්තුවේ සිදු කරන ලද විදුලි පන්දම් විරෝධයෙන් පසුව සභාවේ වැඩ කටයුතු අවසන් වීමෙන් මන්ත‍්‍රීවරු විසිර ගියහ.

සජබෙ කාවින්ද ජයවර්ධන හා අජිත් මාන්නප්පෙරුම කතාබහ කරමින් විදුලි සෝපානයට නැගුනේ මන්ත‍්‍රීවරුන්ගේ අවන්හල දෙසට යාම සඳහාය. ඔවුන් දෙදෙනා පහත මාලයේ සෝපානයෙන් බසින විටම ඉදිරියේ වූ සෝපානයෙන් පැමිණ බැස්සේ ෂෙහාන් සේමසිංහ හා කංචන විජේසේකරය.

ෂෙහාන් සජබෙ මන්ත‍්‍රීවරු දෙදෙනා දැක මෙසේ කීවේය.

”ඔය ගොල්ලන්ගෙ ටෝච් විරෝධය නරක නෑ… ඒ උනාට ආණ්ඩු පක්ෂයේ හැටියට අපටත් අදහස් දක්වන්න ඉඩ දෙන්න ඕන. මම මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න කීප පාරක්ම කතා කරන්න උත්සාහ කරත් කිසි කෙනෙක් මට කතා කරන්න දුන්නේ නෑ… කෑ ගැහුවා විතරයි…” ශෙහාන් කීවේය.

” ඕව ඉතින් අර හරින් මන්ත‍්‍රීතුමාගේ ප්ලෑන්වලට සිද්ධ වෙන දේවල් නෙ…” කාවින්ද එසේ කීවේ අපි ඕවට නෑ කියන්නාක් මෙනි.

”ඒක නෙවෙයි… අර මොකක්ද හරින් බෙල්ලෙ එල්ලගෙන හිටපු බෝඞ් එක. තුනෙන් දෙකක් වැඩක් නැද්ද මොකක්ද නේ ලියලා තිබුණෙ. අනිත් එක ඒක එල්ලිලා තිබුණේ එතුමාගෙ වටිනාම ශරීරාංගයට උඩින්.” කංචන කීවේය.

”මට නම් ඒක දකිනකොට මතක් වුණේම අර පළාත් සභා මන්ත‍්‍රී තුමිය වීඩියෝ එකකට කියපු කතාව…” ෂෙහාන් කීය.

අනිත් තිදෙනා ඒ කතාව වැටහී හිනාවෙන්නට පටන් ගත්තේ තප්පර කිහිපයකට පසුය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment