විපක්ෂය එක්වී ආණ්ඩුව වටලයි… ආණ්ඩුව එක්වී ගම අමතයි

379

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවැනි සංශෝධනය සම්මත වීමත් සමගම අපේ රටේ දේශපාලන කරළියට අලුත් ප්‍රශ්නයක් පැමිණියේය. ඒ වූ කලී ද්විත්ව පුරවැසියන්ගේ ප්‍රශ්නයයි.විසි දෙවැනි සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව එහි ද්විත්ව පුරවැසියන්ට පනවා ඇති තහනමත් සමඟම ද්විත්ව පුරවැසියන් මන්ත්‍රී ධුර දැරීම නීතියට පටහැනි වූහ. ඉන් පසුව බොහෝ දෙනෙක් කතා කරන්නට වූයේ දැනට පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කවුද කියාය. මේ රටේ ප්‍රකට නීතිවේදීන් ප්‍රතිභා මහානාම හේවා, යූ. ආර්. ද සිල්වා වැනි නීතිවේදීන් රාශියක්ම පෙන්වා දී තිබුණේ මෙම පනත සම්මත වීමත් සමඟම ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීවරුන් වශයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමේ අයිතිය අහෝසි වන බවයි. ඒත් තවත් පිරිසක් තර්ක කළේ එම නීතිය වත්මන් පාර්ලිමේන්තුවට බල නොපාන බවකි. මේ කවරක් වුවත් දේශපාලන කරලියේ ඒ පිළිබඳ ඇතිවුණු උණුසුම අඩු වූයේ නැත. ද්විත්ව පුරවැසියන් සිටී නම් ඒ පිළිබඳ කථානායකවරයා දැනුවත් කර ඉල්ලා අස්විය යුතු යැයි සමහරු තර්ක කළහ. පාර්ලිමේන්තුව තුළ දැනට ද්විත්ව පුරවැසියන් සහ දෙදෙනකුට වැඩි සංඛ්‍යාවක් සිටින බව දේශපාලන කරලියේ කියවුණත් ඒ කවුද යන වග නම් පැහැදිලි නොවීය.

මේ පිළිබඳ පක්ෂවල මන්ත්‍රීවරු අතර ද සාකච්ඡාවක් ඇති විය. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු ගණනාවක්ම ද්විත්ව පුරවැසියන් බව මන්ත්‍රීවරු අතර ද සැකයක් තිබුණත් කිසිවෙක් ඒ ගැන එළිපිට කතා කරන්නට කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් ඒ පිළිබඳව මන්ත්‍රීවරු හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් එක්වී කරන ලද සාකච්ඡාවකදී ගීතා කුමාරසිංහ වැනි රාජපක්ෂවාදී අයට පමණක් මේ ප්‍රශ්නය මතු වන්නේ ඇයි දැයි කියා සාකච්ඡාවක් ඇති විය. උත්තර දුන්නේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකි.

“ඇයි ද්විත්ව පුරවැසියන් කවුද කියලා හොයා බලන්න බැරි. කථානායකට පුළුවන්නේ ඒක කරන්න.” මාධ්‍යවේදියෙක් විමසා සිටියේය.

“කථානායකට වුණත් එහෙම කරන්න හේතුවක් තියෙන්න ඕන. තමන්ට ඕන ඕන දේවල් කරන්න කථානායකට බෑ..”

“එහෙමනම් ගීතා කුමාරසිංහට විරුද්ධව කළේ…”

“එතන හේතුවක් මතු වුණා නේ. ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසියෙක් විදියට ඉඳගෙන මන්ත්‍රීවරියක් වෙලා පාර්ලිමේන්තු ආපු එකෙන් තමන්ගේ අයිතිවාසිකම් කඩ වුණා කියලා පියසේන ගමගේ මන්ත්‍රීවරයා උසාවි ගියා. ඒකයි ගීතා වෙනුවෙන් පරීක්ෂණයක් කෙරුණේ.”

“ඒ කියන්නේ දැන් වුණත් කවුරු හරි උසාවි ගිහින් මේ වගේ ලෙඩක් දැම්මොත් හරි…”

“නිකං බැහැ.. හරියට ඒ කවුද කියලා හොයාගෙන එයා හින්දා තමන්ගේ අයිතිවාසිකම් නැති වුණා කියලා ඊළඟට ඉන්න පුද්ගලයා උසාවි ගියොත් හරි යයි…” ජ්‍යෙෂ්ඨ දේශපාලඥයා ඒ සියල්ලන්ටම එම ක්‍රමවේදය පහදා දුන්නේ එසේය.

පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් නොවීය. පාර්ලිමේන්තුව තිබුණා නම් මේ ගැන මීටත් වඩා සාකච්ඡා හා වාද විවාද ඇති වන්නට ඉඩ තිබිණි… පාර්ලිමේන්තුව නොතිබුණු බැවින් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ද පසුගිය සතිය පුරා මද විවේකයකින් ගත කළහ. ඇතැම්හු ගම් පළාත් වලය. තවත් අය විදේශීය සංචාරයන්වල ය. කෙසේ වෙතත් බොහෝ දෙනකුට එය විවේකී සතියක් විය.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට නම් කිසිදු විවේකයක් නොවීය. ඔහුට පසුගිය සතියේත් උත්තර හොයන්නට බරපතළ ප්‍රශ්න රාශියක් තිබුණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනවල අවධානය යොමුකොට සිටි ප්‍රධානතම කාරණාව වූයේ 2023 අයවැයයි. ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ ඉදිරි වර්ෂය සඳහා ඉදිරිපත් කරන අයවැය අද රටේ පවතින දැවෙන ප්‍රශ්න සියල්ලටම පාහේ විසඳුම් සොයන යථාර්ථවාදී විසඳුමක් සහිතව ඉදිරිපත් කරන්නට ය. ජනාධිපතිවරයා මේ ගැන දිගින් දිගටම මහ බැංකුවේ අධිපතිවරයාත් රාජ්‍ය මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටියත් සමඟ සාකච්ඡා කරමින් සිටියේය.

රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, ණය ආපසු ගෙවීම හා පොලිය වැනි කටයුතුවලට දේශීයව මුදල් සොයා ගැනීමට සජීවී ආදායම් සෙවීමට වැඩිපුර අවධානය යොමු කෙරිණි. පසුගිය දිනවල සෘජු හා වක්‍ර බදු ඉහළ දැමුණේ මේ හේතුව නිසාය. ඒ හැරුණු විට මුදල් රාජ්‍ය ඇමැතිවරයාගේ අවධානය රජයට ආදායම් ලැබෙන ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් කරා යොමු විය. ශ්‍රී ලංකා රේගුවේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් තැන්වල ඇති ඇතැම් අක්‍රමිකතා නිවැරදි කළේ නම් දැනට ලබන ආදායමට වඩා සැලකිය යුතු ඉහළ ආදායමක් ලබා ගැනීමට රජයට හැකි වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා විශ්වාස කළේය. විශේෂයෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ දූෂණ අක්‍රමිකතා නිවැරදි කළේ නම් වෙන වෙන පාරවල්වල යන ආදායම් ප්‍රමාණයක් මහා භාණ්ඩාගාරයට ලැබෙනු ඇති බව ඇමැතිවරයාගේ මතය විය.

● තරුණ පරපුර ගැන රනිල් කියපු කතාව…

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සුපුරුදු සාමාන්‍ය වැඩකටයුතු ද පෙර පරිදිම පවත්වාගෙන ගියේය. පසුගිය සෙනසුරාදා ඔහු සිය පාසල වන කොළඹ රාජකීය විද්‍යාලයේ වර්තමාන ශිෂ්‍ය නායකයන් පිරිසක් සමඟ සුහද සාකච්ඡාවක් පවත්වනු ලැබීය.

මෙය කාලාන්තරයක් තිස්සේ කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයන් විසින් කරගෙන යනු ලබන්නකි. මෙම පාසලෙන් බිහි වූ රාජ්‍ය නායකයන් හා රටේ ප්‍රධානීන් හමුවී සුහද සාකච්ඡාවන් පවත්වමින් රටේ පවතින දේශපාලන වාතාවරණය හා විශේෂ තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීම මෙම හමුවීමේ අරමුණ විය. වරක් රාජකීයයේ ශිෂ්‍ය නායකයන් පිරිසක් මේ සඳහා මාලදිවයිනට ද ගියේය. මාලදිවයින් ජනාධිපති මයුමි අබ්දුල් ගයුම් ද රාජකීයයේ ආදි ශිෂ්‍යයකු වීම ඊට හේතුවයි. මෙම හමුව සංවිධානය කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ද මැදිහත් විය. ඊට හේතුව රාජකීයයේ වත්මන් ප්‍රධාන ශිෂ්‍ය නායකයා සාගල රත්නායකගේ වැඩිමල් සහෝදරයා ගේ පුත්‍රයා වීමය.

“පුතාත් බාප්පාගේ අඩි පාරෙම යන්නයි හදන්නේ… පුතා වගේම සාගලත් රෝයල් එකේ හෙඩ් ප්‍රිෆෙක්ට්…” කියමින් රනිල් දරුවන් හා කතාබහ ආරම්භ කළේය. ශිෂ්‍ය නායකයන් කීවේ ඉදිරියේදී නායකත්වයේ අභියෝග භාර ගන්නට තමන් සූදානම් බවයි…

“එදත් තරුණ නායකයන් හැදුවා. අදත් තරුණ නායකයන් හදනවා…” සාගල රත්නායක කිව්වේ ජනාධිපති රනිල් 1978 තරම් අතීතයේ යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස තරුණ සේවා සභාව හා යොවුන් සේනාංකය හරහා රටට තරුණ නායකයන් බිහි කරන්නට ආරම්භ කළ වැඩසටහන මතක් කරමිනි.

“ඉදිරියේදී දේශපාලනයට එන්න ඕන තරුණයෝ. හැබැයි නිකං තරුණයෝ නෙවෙයි. නිර්මාණශීලී බුද්ධිමත් තරුණයෝ. ඒ වගේම ජාත්‍යන්තරය ආමන්ත්‍රණය කරමින් ජාත්‍යන්තරය සමඟ වැඩ කළ හැකි තරුණයෝ. අපි වගේ වයසක අය දැන් දේශපාලනයෙන් සමුගන්න ඕන. ඒ වෙනුවට තරුණ පිරිසක් එන්න ඕන….”

හැබැයි ඒ එන්න ඕන රැවුල් කොණ්ඩ වවාගෙන නාන්නේ දත් මදින්නෙ නැතුව උද්ඝෝෂණය කර කර ඉන්න, රටට බරක් වෙච්ච තරුණ පිරිසක් නම් නෙවෙයි… රනිල් එසේ කියනවිට සියල්ලෝම සිනාවෙන්නට පටන් ගත්හ. ජනාධිපති රනිල් පසුගිය සඳුදා සුපුරුදු පරිදි කැබිනට් රැස්වීම් හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම්

රැස්වීම් පවත්වනු ලැබුවේ නැත. දීපාවලි දිනය එදාට වැටී තිබීම හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ එදින දීපාවලී ජාතික උත්සවය පවත්වනු ලැබීය. උත්සවයට සජබ මන්ත්‍රී මනෝ ගනේෂන් ද එක්ව සිටියේය. හින්දු සංස්කෘතික උත්සවය ගැන මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය ගැන ද ඔවුනොවුන් අතර අදහස් හුවමාරු විණි. එදින පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීන් ජනාධිපති මුනගැසුණේ ලේකම් කාර්යාලයේදීය. දීපවාලි උත්සවයට පෙර මෙම හමුව පැවැත්විණි.

“අපිත් එක්ක දැන් අනෙක් පක්ෂවල අය එකතු වෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඒකට අපි සූදානම් වෙන්න ඕනේ..” නායකයා කතාව ආරම්භ කළේය.

“සර් ගමින් ගමට යද්දී අපිත් ගමින් ගමට යන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙන්නේ.” මහ ලේකම් රංගේ ද කීවේය.

“ඔව් ඒක හොඳයි පක්ෂ දේශපාලන වැඩකටයුතු ආරම්භ කරගෙන යන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඉන්න අයටත් ඒක ලොකු හයියක් වෙයි.” ජනපති කීය. ඉන් පසුව කතාබහ කළේ අනෙකුත් දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැඳගෙන අනාගතයේදී දේශපාලනය කරන්නට ඇති සූදානම ගැනය….

“අපි අනිත් හිතවත් දේශපාලන පක්ෂ එක්ක එකතුවෙලා ගමට ගිහිල්ලා ගම අමතන්න ලෑස්තියි. ඒ අතර විපක්ෂයේ ඉන්න සමහර අය එකතුවෙලා කොළඹට ඇවිත් අපිව වටලන්න ලෑස්ති වෙනවා. සමහර අය අපිව ‘වාෂ්ප කරනවා’ කියලා එහෙමත් කියලා තියෙන්නේ….” රනිල් එසේ කියන විට එජාප සෙසු පිරිස සිනා වෙන්නට පටන් ගත්හ…

“බිම් මට්ටමේ පාක්ෂිකයෝ ආරක්ෂා කරගන්න ඕනේ. අපේ ආසන සංවිධායකවරුන්ගේ ඉල්ලීමක් තියෙනවා රජයෙන් ආරම්භ කරලා තියෙන සුබසාධන වැඩපිළිවෙළට අපේ අයත් සම්බන්ධ කර ගන්න කියලා.” නියෝජ්‍ය නායක රුවන් ද යෝජනාවක් කළේය.

“රජයේ වැඩවලට දේශපාලනය ගාව ගන්න එපා කියලා මම කියලා තියෙනවා. අපි මේකට වෙන විදියක් බලමු.” ජනපතිගේ ප්‍රතිචාරය එය විය. සභාපති වජිර, ජාතික සංවිධායක සාගල ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

● වනෝද්‍යානවල යෑම සැප වාහනවලට තහනම්

යාල ජාතික වනෝද්‍යානයට සුඛෝපභෝගී වාහන රැසක් ඇතුල්වී තහනම් සංවේදී කලාපයක කරන ලදැයි කියන ‘ඕෆ් රෝඩ්’ ධාවනයක් සම්බන්ධ පුවත ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරංචි වූයේ පසුගිය සතිය මැද ය. ඇතැම් සමාජ මාධ්‍ය මෙය වාර්තා කර තිබුණේ මෙම සිද්ධියට ඇමැතිවරයකුගේ පුතෙකු ද සම්බන්ධ බව ප්‍රසිද්ධ කරමිනි. එහෙත් ඒ කවුදැයි හෙළිකරන්නට එම සමාජ මාධ්‍යවලටද කොන්දක් නොතිබිණි.

ඒ අතර ෆේස්බුක් ඔස්සේ මහින්ද අමරවීර ඔහුගේ පුත්‍රයාත් සමග සිටින ඡායාරූපයක් ප්‍රසිද්ධ කරමින් ඇතැම් පිරිස් උත්සාහ කර තිබුණේ අමරවීරගේ පුත්‍රයා මේ නොහික්මුණු ක්‍රියාවට නායකත්වය දී ඇති බව ප්‍රසිද්ධ කිරීමට ය. අභ්‍යන්තර ආරංචිමාර්ග මේ බව ජනාධිපතිවරයාව ද දැනුවත් කර තිබිණි.

“ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ මොකක්ද කියලා හොයලා බලන්න…”

ජනාධිපතිවරයා තම ලේකම් සමන් ඒකනායකට දැනුම් දුන්නේය. මහින්ද අමරවීර ඒ වන විට සිටියේ විදේශගතව ය. ඔහු නොමැති වුවත් පරිසර අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන ප්‍රධානීන් එදින හවස ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවන්නැයි ජනාධිපති සිය ලේකම්ට උපදෙස් දුන්නේය.

“මොකක්ද මෙතන වෙලා තියෙන්නේ. ඔයාලා දන්නවා ඇතිනේ…” සවස තමන් මුණ ගැසීමට පැමිණි නිලධාරීන්ගෙන් ජනපති විමසා සිටියේය. සිද්ධිය ගැන මෙන්ම ඊට අදාළ පාර්ශ්වයන් ගැන ද එහිදී නිලධාරීන් තොරතුරු හෙළි කළහ. තවද වනජීවී දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති විමර්ශනයන් හි ප්‍රගතිය ද ඔවුන් හෙළි කර තිබුණි.

“මින් ඉදිරියට ලියාපදිංචි නොකළ කිසිදු වාහනයකට යාල වනෝද්‍යානයට ඇතුල් වෙන්න බෑ. වන සතුන්ට නිදහසේ ඉන්න තියෙන්න ඕනේ. ඕෆ් රෝඩ් වාහනවලට යන්න වෙනත් ස්ථාන තියෙනවා. කැලේ ගිහින් ඒවා කරන්න බෑ.” රනිල් තදින් කියා සිටියේය. යාලට පමණක් නොව විල්පත්තු, හෝටන්තැන්න, සිංහරාජය, ශ්‍රීපාද රක්ෂිතය ආදී කිසිදු ජාතික වනෝද්‍යානයකට අවසර නැති වාහන කිසිවකට ඇතුල්වීමට ඉඩ නොදන ලෙසද ජනපතිවරයා නිලධාරීන්ට එහිදී උපදෙස් දුන්නේය. ඊට අමතරව පරිසරය, වනාන්තර මෙන්ම සොබා සෞන්දර්ය සුරැකෙන නීති ගෙන ඒමේ නව පනතක් ගැනද මෙහිදී සාකච්ඡා කෙරිණි. එම පනත් කෙටුම්පත ඉක්මනින් සකස් කරන ලෙසත් පරිසර හානි කරන්නන්ට දෙන දඬුවම් වැඩිකරන ලෙසත් ජනපති රනිල් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නව පනත තුළට ඒ සියල්ල ඇතුළත් කළ හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මෙහිදී ජනපති හමුවේ කියා සිටියේය.

“කැබිලිත්තටත් දැන් යන පිරිස වැඩියි නේද? මේ ගැනත් මට බොහෝ දෙනෙක් කියලා තියෙනවා.” ජනපති විමසද්දී සෙස්සෝ හිස සැලූහ.

“සර් මේ කාරණයත් අපිට අලුත් පනත ඇතුළටම ගන්න පුළුවන්.” අනිල් ජාසිංහ කීවේය.

කැබිලිත්ත ශුද්ධ භූමියක් ලෙස තවදුරටත් ආරක්ෂා කරගනිමින් වනජීවීන් ද සුරැකීමට අදාළ නීති ඊට ඇතුළත් කරන ලෙස ජනපති ඒ අනුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එසේම ඉලෙක්ටි්‍රක් වාහන හෝටන්තැන්න වැනි වැසි වනාන්තරවලට එන සංචාරකයන් වෙනුවෙන් යෙදවුවහොත් එය පරිසර ආරක්ෂණයට උපකාරයක් වන බවද ජනපතිවරයා පෙන්වා දුන්නේය. විදුලි වාහන වැසි වනාන්නතර වෙත යන සංචාරකයන් වෙනුවෙන් හඳුන්වාදීමට අදාළව ව්‍යාපෘති වාර්තාවක් සකස් කරනා ලෙස ද ජනපති රනිල් නිලධාරීන්ට දැනුම් දුන්නේය.

● පක්ෂ මාරුව ගැන ප්‍රසන්න කට ඇරලා…

ඇමැති ප්‍රසන්න රණතුංග පොහොට්ටුවෙන් ඉවත්ව රනිල් සමග එකතු වන බවට පළ වූ කථාව පසුගිය සතියෙත් පැතිර ගියේය. ප්‍රසන්න පසුගිය දෙසතිය ගත කළේ ප්‍රංශයේය. එබැවින් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමට සහභාගිවීමටද ඔහුට නොහැකි විය. එම නිසා එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට පළවූ කතාවට තටු ලැබුනාක් මෙන් විය. පසුගිය සඳුදා ඔහු යළි ලංකාවට පැමිණිවේලේ සිටම ඇමැති ප්‍රසන්නගේ දුරකථනයට මැති ඇමැතිවරුන්, පාක්ෂිකයන් ඇතුළු විවිධ පිරිස් ඇමතුම් දෙන්නට වූහ. ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද වූහ.

මේ අතර ජනපති රනිල් හා ඇමැති ප්‍රසන්න අතර හමුවක්ද සිදුවිය. එම හමුව ඒ දෙදෙනාට පමණක් සීමා වූවකි.

“ඔයා පක්ෂ මාරු කරන්න හදනවයි කියන කතාව මොකද්ද ප්‍රසන්න?”

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද දුරකථන ඇමතුමක් දෙමින් ඇමැතිවරයාගෙන් විමසුවේය.

“සර්.. මම කවදාවත් පක්ෂ මාරුකරන්නේ නෑ. ඒ වගේම කරදරේක වැටුණු වෙලාවට මිනිස්සු අතාරින්නෙත් නෑ”

“ඒක තමයි මම ඔයා ගැන දන්නවනේ” හිටපු අගමැතිවරයා කීය.

“මේ වෙලාවේ මම ජනාධිපතිතුමා ශක්තිමත් කරන්න කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා. ඒකට මිනිස්සු එක එක අර්ථකථන දෙනවා”. ඇමැති ප්‍රසන්න යළි පැවසීය. මේ අතර ඇමැති ප්‍රසන්න හිටපු ජනපති ගෝඨාභයට ද සිය දේශපාලන ස්ථාවරය පැවසුවේය.

“ මම තාමත් සර් එක්ක ඉන්නවා. සර් වැරදි කරපු කෙනෙක් නෙවෙයි.” ඇමැතිවරයා කීවේය.

● විපක්ෂයේ පක්ෂවල මැතිවරණ සූදානම…

ඉදිරි වසර මහ මැතිවරණයක් ඇතුළු මැතිවරණ වර්ෂයක් වනු ඇති බව විපක්ෂයේ විශ්වාසයයි. ඒ සඳහා දේශපාලන මං වෙන් වෙන් වශයෙන් සූදානම් වන ආකාරය අපට පසුගිය සතියේ දැකගත හැකි විය. මෙම සූදානමේ ඉහළින්ම සිටියේ ජනතා විමුක්ති පෙරමුණ යැයි කීවොත් නිවැරදිය. ඔවුන් ගමින් ගමට යමින් ගෙන් ගෙට යමින් ජනතාව දැනුවත් කරමින් යටි පෙළෙන් තම ක්‍රියාකාරීත්වය ආරම්භ කර ඇති අතර ජාතික මට්ටමෙන් ද සංවිධානය වූ වැඩසටහන් ගණනාවක්ම විය. රට පුරා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගොස් සම්මන්ත්‍රණ මට්ටමින් ජනතාව දැනුවත් කිරීම ඔවුන්ගේ ආරම්භක ප්‍රචාරක උපක්‍රමය වූහ.

සමගි ජනබලවේගය ද ඔවුන් හා කරට කර සටනකය. සටන්කාමීව රජයට විරෝධය පළකරමින් එක පැත්තකිනුත් රට වටේ යමින් ජනතාව සංවිධානය කරමින් හා දැනුවත් කරමින් තව පැත්තකිනුත් සජිත් ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යායාමය ආරම්භ කර තිබුණි. සමගි ජන බලවේගය ආසන බල මණ්ඩල රැස්වීම් ඒ වන විට මහනුවර ගලගෙදර නුවරඑළිය හඟුරන්කෙත වැනි ප්‍රදේශවෙල පවත්වා තිබුණි. බ්‍රහස්පතින්දා තවත් රැස්වීමක් කතරගම පැවැත්වීමට නියමිතව තිබුණි. ජවිපෙය පසුගිය බදාදා කොළඹ හයිඩ් පිටියට සිය වෘත්තීය සංවිධාන හා බලවේග ඒකරාශී කළේ රජයට දැඩි විරෝධයක් දක්වන්නට ය.

ජවිපෙ තනියම කළ වටලෑම ඒ තරම් ප්‍රතිඵලදායක නොවන බව තේරුම් ගත් සජබය, ඔවුන් ඊළඟට ලබන මස දෙවැනිදා පවත්වන විරෝධතාව ඊට වඩා වැඩි ජවයකින් පවත්වන ආකාරය සැලසුම් කළහ. ඔවුන්ට වුවමනා වූයේ නිදහස ව්‍යාපාරය, අරගලයේ පෙරටුගාමී බලවේගය, වෘත්තීය සමිති හා විපක්ෂයේ සිටින අනෙකුත් කුඩා කුඩා කණ්ඩායම් ඒකරාශී කරගෙන දෙවැනිදා කරන කොළඹ වටලෑම ජවිපෙ කළාට වඩා දැවැන්ත එකක් සේ පවත්වන්නටය. පසුගිය සතියේ ඒ සඳහා සාකච්ඡා රැසක්ම පැවැත්විණි.

ඒ අතර සජිත් පසුගිය සතියේ විශේෂ අමුත්තෙකුට විශේෂ සුබපැතුමක් යැව්වේය.

අමුත්තා බ්‍රිතාන්‍යයේ නව අගමැති රිෂී සුනුක්ය. ඔහුගේ නව පත්වීම ගැන සුබපතමින් පණිවුඩයක් යවා පසුදා තම දේශපාලන කණ්ඩායම හා පැවති සාකච්ඡාවේදී විපක්ෂ නායක සජිත් මෙසේ කීවේය.

“ධනපතියන්ට ලිබරල් බදු සහන දෙන්න මූලිකත්වය දීපු අගමැතිනි ලීස් ට්‍රස් මැතිනියට බලයේ ඉන්න පුළුවන් වුණේ දාවස් 45යි. ඒ වගේනේ ගෝඨාභයත්. එයත් ධනපති හිතමිතුරන්ට බදු සහන දුන්නා. අවුරුදු දෙකහමාරෙන් පැනලා ගියා. පුංචි මිනිස්සුන්ගේ පැවැත්ම එක්ක සෙල්ලම් කරන නායකයන්ට අත්වෙන ඉරණම තමයි ඒ….” සජිත් කීවේය.

“උද්දච්ඡ වැඩවසම් පාලනයත් එක්ක නූතන ජනතාව හිටගන්නේ නෑ ”… මුජිබර් රහුමාන් කීවේය.

මේ අතර ගයන්ත කරුණාතිලක පෙන්වා දුන්නේ රට පුරා පවතින ඡන්දවලින් දැන් පොහොට්ටුව පරදා තම කණ්ඩායම ලබා ගන්නා ජයග්‍රහණයන් ගැනය. කොලොන්නේ හා හිනිදුම සමුපකාර ඡන්ද ජයග්‍රහණය කිරීම උදාහරණයට ගනිමින් ගයන්ත කතා කළේය.

මේ දෙකම පොහොට්ටුවේ බලකොටු දෙකක්…

“දැන් තමයි සමගි ජනබලවේගයේ හොඳ කාලේ උදා වෙන්නේ… තියන තියන හැම ඡන්දෙකින්ම අපි දිනනවා.” රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.

ඒක තමයි ආණ්ඩුව දැන් ඡන්ද තියන්න බය වෙලා ඉන්නේ… අශෝක් අබේසිංහ කීවේය…

ඉන් පසුව ඔවුන් සාකච්ඡා කළේ මහින්ද රාජපක්ෂ බැරි බැරි ගානේ රට පුරා විවිධ මට්ටමේ රැස්වීම්වලට යෑම ගැනය…

“මෙම රටේ හැම තාත්ත කෙනෙක්ම හැම අම්මා කෙනෙක්ම ඔහොම තමයි. ඔවුන්ට වගකීමක් තියනවා තමන්ගේ පුතා රජ කරන්න අමාරුවෙන් හරි ඔය දුෂ්කර ක්‍රියාව කරන්න.” එසේ කීවේ ඉමිතියාස්ය.

නොවැම්බර් දෙවැනි දා කොළඹ දී පවත්වන රජයට එරෙහි දැවැන්ත රැලියට සහභාගිවනවාද නැද්ද යන කාරණය සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුමලාගේ “නිදහස ජනතා සභාව” තුළ ද සාකච්ඡාවක් ඇති විය. විපක්ෂයේ පොදු වේදිකාවක් වුවත් එවන් ස්ථානවලට තමන් සහභාගි වද්දී තමන් ගරු කරන සීමාවන් මොනවාද යන්න ගැන පුළුල් අවබෝධයකින් යුතු වැඩපිළිවෙළක් තිබිය යුතු බව වැඩි දෙනකුගේ අදහස වූහ.

● පුත්තලමේ පොහොට්ටුව කලබල නැතිව පිපිලා…

පසුගිය සතියේ අපේ දේශපාලන කරලියේ අවධානය යොමු වූ තවත් රැස්වීමක් පුත්තලම ආරච්චිකට්ටුවේ පැවැත්විණි. ඒ ගැන ද කතා බොහෝය.

පොහොට්ටුවේ නායක හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහභාගි වූ මෙබඳු රැස්වීම් දෙකක් මීට පෙර කළුතර හා නාරාහේන්පිට පැවැත්විණි. කළුතර රැස්වීමට විවේචන බොහෝ විය. නාවලපිටියේ රැස්වීමට විවේචන වලින් නොනැවතී විරෝධතාවයන් ද පැමිණියේය. රටේ පවත්නා නීතියට අනුව රජයේ සහ අදාළ අංශවල නිසි අවසරය ගෙන අදාළ කාලවකවානුවල රැස්වීමක් පැවැත්වීම වූ කලී ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. එහෙත් නාවලපිටියේදී සංවිධානාත්මක පිරිසක් ඒ රැස්වීමට ප්‍රසිද්ධියේ විරෝධතාවය පළ කරන්නට වූහ. අවසානයේදී හෙළිවූයේ එම විරෝධතාවය දැක්වූයේ සමග ජනබලවේගයේ නාවලපිටි ආසන සංවිධායකවරයා ඇතුළු පිරිසක් බවයි. බදාදා ආරච්චිකට්ටුවේ පවත්වන රැස්වීම සංවිධානය කළේ සනත් නිශාන්ත ය. ඔහු පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස සමග ආලින්දයේ දී මුහුණට මුහුණ කතා කළේය.

“ලබන 27 වැනිදා මහින්ද මහත්තයා සහභාගි වෙන රැස්වීම තියෙන්නේ ආරච්චිකට්ටුවේ මගේ ගිනි තියපු ගෙදර….”

“ඔව් ඉතිං….” සජිත් කීවේ ය.

“අපේ ගෙවල් ගිනි තිව්වා. වාහන ගිනි තිව්වා. දේපළ අලාභහානි කළා. අපි ඒත් ඉවසුවා….”

මේ කතාව තමන්ට කියන්නේ ඇයි දැයි සජිත් බලා සිටියේය…

“නාවලපිටියේදී වුණා වගේ දෙයක් ආරච්චිකට්ටුවේ දී එහෙම වුණොත් මගේ මිනිස්සු නිකන් ඉන්නේ නෑ. මම ඒකට මිනිස්සු දාල තියෙන්නේ…”

සජිත් ඉතා ඉවසිලිවන්තව සිනාවී සනත්ට මෙසේ කීවේය…

“මල්ලි… ඔයා ගිහිල්ලා ඔයාගේ ලොක්කා මහින්ද රාජපක්ෂ හමු වෙන්න. එයාගෙන් අහන්න මේ සජිත් ප්‍රේමදාස හම්බන්තොට දේශපාලනය කරන හැටි. අපි කවදාවත් මැර දේශපාලනය අනුමත කරපු අය නෙවෙයි.” එසේ කියා සිනාසී සජිත් යන්නට ගියේය.

කීවාක් මෙන් ආරච්චිකට්ටුවේ රැස්වීම සනත් නිශාන්ත ඉතා පරිස්සමින් සංවිධානය කර තිබිණි. වෙන වෙනම කණ්ඩායම් සාදා වෙන වෙනම ස්ථානගත කර ඔහු ඔහුගේ ආරක්ෂාව සලසා ගෙන තිබිණි.

ඒ නිසා පොහොට්ටුවේ රැස්වීම්වලට යන ජොන්ස්ටන් රෝහිත පවිත්‍රා, මහින්දානන්ද වැනි නායකයෝ කිසිවෙක් මේ රැස්වීමට ගෙන්වාගෙන තිබුණේ නැත. පැමිණි එකම ඉහළ පෙළේ දේශපාලඥයා වූයේ ප්‍රසන්න රණතුංගයි. ඔහුද සුබපතමින් රැස්වීම පටන් ගන්නට පෙර යන්නට ගියේය. ආරච්චිකට්ටුවේ රැස්වීම කලබලයක් කරදරයක් නොමැතිව සාර්ථකව පැවැත්විණි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment