විප්ලවයේ ආර්ථිකය…. සියවසක සටහන්

123
  • 46 වැනි කොටස

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (අපිට පුරුදු විදිහට නම්, චීන කොමියුනිස්ට් පක්‍ෂය) පිහිටුවලා 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වුණා. ගතවුණු අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලන සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිටත් යමක් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. ඒ ඉතිහාසයේ සටහන් වී තිබෙන මූලික කරුණු කීපයක් මේ ලිපි පෙළින් ඉදිරිපත් කරනවා. මේ ලිපියෙන් කියන්නේ විප්ලවයේ ආර්ථිකය සම්බන්ධයෙන් මා ඕ ත්ස-තුං ඉදිරිපත් කළ අදහස් ගැනයි.

දේශපාලන සහ හමුදා කටයුතුවලින් මා ඕ ත්ස-තුංව ඈත් කරපු වං මිංගේ පාර්ශ්වය චියං-ශි සෝවියට් ප‍්‍රදේශයේ බලය තහවුරු කරගන්න උත්සාහ කළා. මා ඕ ත්ස-තුං විසින් හඳුන්වාදීපු හමුදා උපක‍්‍රම වෙනුවෙන් පෙනී හිටිය අයවත් අක‍්‍රීය කරන්න, ඈත්කරන්න, මර්දනය කරන්න ඒ පිරිස මහන්සි වුණා. ”ලූ ඕ මිංවාදය’’ ගැන චෝදනාව ඉදිරිපත් කළෙත් ඒ වෙනුවෙන්. ඒ ගැන විස්තර මීට පෙර ලිපියෙන් කිව්වා.

හතුරාට වඩා දුර්වල තැනක රතු හමුදාව ඉන්න හින්දා මුහුණට මුහුණ සටනක් කරන්න බැරි බව තමයි මා ඕ ත්ස-තුං නිතරම අවධාරණය කළේ. තමන්ට හුරු පුරුදු ප‍්‍රදේශය ඇතුළට එන්න ඉඩදීලා ගරිල්ලා ප‍්‍රහාරවලින් හතුරා දුර්වල කරන්න ඕන බව ඔහු කිව්වා. චියං-ශි සෝවියට් ප‍්‍රදේශයට එරෙහිව කු ඕ-මින්-තං හමුදා විසින් දියත් කරපු මුල් වැටලීම් තුනම පැරැද්දුවේ ඒ ක‍්‍රමයට. ඒ සටන්වලට අවශ්‍ය නායකත්වයත් මා ඕ ත්ස-තුංගෙන් ලැබුණා. ඒත් හතරවැනි වැටලීම සිද්දවෙද්දි ඔහුට පැවරිලා තිබුණේ නාමික රාජ්‍ය නායක තනතුරක් විතරයි. දේශපාලන සහ හමුදා තීරණ ගන්න ඔහුව සම්බන්ධ කරගත්තේ නෑ.

හතර වැනි වැටලීමට එරෙහිව රතු හමුදාව මෙහෙයෙව්වේ චෝ අන්-ලයි සහ චූ ත විසින්. මුහුණට මුහුණ සටනක් ගැන මධ්‍යම කාරක සභාව කිව්වත් ඒ ක‍්‍රමය ප‍්‍රායෝගික නැති බව සටන ආරම්භයේ දී ම චෝ අන්-ලයි සහ චූ ත තේරුම් ගත්තා. ඉතින් හතර වැනි වැටලීමට එරෙහි සටන කළෙත් මා ඕ ත්ස-තුං හඳුන්වා දීපු උපක‍්‍රම අනුගමනය කරලා. 1933 මාර්තු 22 වැන දා අවසන් වෙච්ච ඒ සටනිනුත් රතු හමුදාව දිනුවා. ලක්‍ෂ පහකට වැඩි කු ඕ-මින්-තං හමුදාව හැත්තෑ දාහක රතු හමුදාවට පැරදුණා. කු ඕ-මින්-තං හමුදාවල තිස් දාහකට වැඩි පිරිසකට ජීවිත අහිමිවුණා. රතු හමුදාව විසින් විශාල ආයුධ තොගයකුත් අත්පත් කරගත්තා. මේ ජයග‍්‍රහණයෙන් පස්සේ රතු හමුදාවේ පිරිස් බලය අසූදාහ ඉක්මවන්න වැඩි කාලයක් ගතවුණේ නෑ.

මේ යුද්ධ සහ ආරවුල් මැද්දේම, ජපන් ආක‍්‍රමණයට විරුද්ධ පෙරමුණක් හදන්න පොදු නිෂ්පාදන පක්‍ෂය මහන්සි වුණා. මේ වෙනුවෙන් ෆං ය්‍යු-ශියං මහ සෙනෙවියා එකඟ කරගන්නත් ඒ අයට පුළුවන් වුණා. (මේ ලිපි මාලාවේ 14, 17 කොටස්වලින් සහ තවත් තැන් ගණනාවක ෆං ය්‍යූ-ශියං සෙනෙවියා ගැන කියලා තියෙනවා). මේ ගනුදෙනුවල ප‍්‍රතිඵලයක් විදිහට 1933 මැයි 26 වැනිදා ඡා-හාර් පළාතේ ජපන් විරෝධී මහජන සන්ධානය පිහිටුවනු ලැබුවා. (ඒ පළාත යටතේ පාලනය වුණු භූමිය දැන් අයිති ඇතුළු මොංගෝලියාවට). මේ සන්ධානයට මුල්වෙලා හිටියේ ෆං ය්‍යූ-ශියං, චී හුං-ඡං සහ ෆං චන්-වූ කියන මහා සෙන්පතියෝ තුන්දෙනා. ජපන් ආක‍්‍රමණයට විරුද්ධව හදපු මේ හමුදා සන්ධානයට ජයග‍්‍රහණ ගණනාවක් අත්පත් කරගන්නත් පුළුවන් වුණා.

විප්ලවයේ ආර්ථිකය.... සියවසක සටහන්

චියං-ශි සෝවියට් ප‍්‍රදේශයේ ඉඩම් සමීක්‍ෂණයක් කරන්නත්, ගොවියන්ට ඉඩම් බෙදාදීමේ කටයුතු විධිමත් කරන්නත් මධ්‍යම කාරක සභාව තීරණය කළා. 1933 ජුනි මාසයේ කළ මේ කටයුත්තේ දී ගම්වල හිටිය මධ්‍යම ප‍්‍රමාණයේ ගොවියන්වත් ධනපතියන් විදිහට වර්ග කෙරුණා. මේ හේතුවෙන් ගොවියන් අතර විශාල අසහනයක් මෝරන්න පටන්ගත්තා. මේ ආරවුලේ බරපතළකම හඳුනාගත්තේ ඒ වෙද්දි වගකීම්වලින් ඉවත් කරලා හිටිය මා ඕ ත්ස-තුං විසින්. ගම්මානවල සංචාරය කරන අතර ගොවියන්ට කන්දීලා මේ ප‍්‍රශ්න හඳුනාගන්න ඔහුට පුළුවන් වුණා. ඒ ප‍්‍රශ්න ගැන වාර්තාකරන්නත් පුළුවන් තරමින් ඒවා විසඳන්නත් ඔහු මැදිහත් වුණා.

මහජන කටයුතුවලට වගේ ම හමුදා කටයුතුවලට අදාළ වැරැදිත් මධ්‍යම කාරක සභාව කළා. රතු හමුදාව කොටස් දෙකකට බෙදලා සංවිධානය කරන්න තීරණය කිරීමත් එහෙම වැඩක්. රතු හමුදාව පිහිටුවනු ලැබුවේ 1928 අපේ‍්‍රල් 28 වැනි දා චිං-කං කන්දේ දී මා ඕ ත්ස-තුංගේ සහ චූ තගේ සේනා එකතුවීමෙන් පස්සෙයි. (මේ ලිපි මාලාවේ 30 වැනි කොටසින් ඒ ගැන කියලා තියෙනවා). ඒ වුණත්, හතුරාට විරුද්ධව පක්‍ෂය මුලින්ම ආයුධ සන්නද්ධ නැ`ගිටීමක් කළේ ඊට අවුරුද්දකට විතර කලින්. ඒ කියන්නේ 1927 අගෝස්තු 1 වැනිදා. (මේ ලිපි මාලාවේ 23 වැනි කොටසින් ඒ ගැන කියලා තියෙනවා). ඉතින් මේ කාරණය මුල් කරගෙන රතු හමුදාව පිහිටුවීමේ දිනය විදිහට 1927 අගෝස්තු 1 වැනිදා නියම කරන්නත් මධ්‍යම කාරක සභාව තීරණය කළා.

තුන්වැනි වටලෑමත් අසාර්ථක වෙලා කු ඕ-මින්-තං හමුදා පසුබැස්සත් ඒ අය චියං-ශි සෝවියට් ප‍්‍රදේශයෙන් ඈතට ගියේ නෑ. ඒ හමුදා සෝවියට් ප‍්‍රදේශය ආසන්නයේ රඳවන්න චියං කායි-ෂෙක් කටයුතු කළා. ඒ හමුදා බලය යොදාගෙන සෝවියට් ප‍්‍රදේශයට ආර්ථික සම්බාධක පනවන්නත් ඔහු ක‍්‍රියා කළා. මේ හේතුවෙන් බාහිර නිෂ්පාදන සෝවියට් ප‍්‍රදේශය තුළට ලැබීමත්, ඇතුළත නිෂ්පාදන පිටත ප‍්‍රදේශවලට අලෙවිකිරීමත් සීමාවුණා. මේ සම්බාධක හින්දා මධ්‍යම සෝවියට් ප‍්‍රදේශය ඇතුළේ බරපතළ ආර්ථික ගැටලූ ඉස්මතුවෙන්නත් පටන්ගත්තා.

සටන් කිරීමට, දේශපාලන කටයුතු කිරීමට අමතරව රතු හමුදාව ආර්ථික කටයුතු කරන්නත් මැදිහත්වෙන්න ඕන කියලා මා ඕ ත්ස-තුං අවධාරණය කළා. ඒත් මේ කාර්යය විප්ලවයට අදාළ එකක් නෙවෙයි කියන එකයි බොහෝ දෙනෙක්ගේ අදහස වුණේ. ඒ හින්දා මේ කාරණය සම්බන්ධයෙන් පුළුල් විග‍්‍රහයක් ඉදිරිපත් කරන්න මා ඕ ත්ස-තුං කටයුතු කළා. මේ සම්බන්ධයෙන් සම්පාදනය කරපු වාර්තාව ඔහු ඉදිරිපත් කළේ 1933 අගෝස්තු 12 වැනි දා ඉඳලා 15 වැනිදා දක්වා පවත්වපු සම්මේලනයක දී. ”ආර්ථික කාර්ය සාධනයට අවධානය යොමු කළ යුතුයි’’ කියන නමින් ඉදිරිපත් කරපු ඒ වාර්තාව ඉතාමත් වැදගත් එකක්.

”විප්ලව කටයුතුවලට කැපවෙලා ඉන්න හින්දා ආර්ථික වැඩ ගැන හිතන්න වෙලාවක් නෑ කියලා සමහර සහෝදරවරු හිතනවා. ආර්ථික කටයුතු වෙනුවෙන් කතාකරන අපිව ‘දක්‍ෂිණාංශික නැඹුරුවක් තියෙන අය’ කියලා හංවඩු ගහන්නත් ඒ අය ක‍්‍රියාකරනවා. ඒ අය හිතන විදිහට විප්ලවය මැද්දේ, ඒ වෙනුවෙන් කරන යුද්ධය මැද්දේ ආර්ථික කටයුතු කරන්න බෑ. ඒක කරන්න පුළුවන් වෙන්නේ අන්තිම ජයග‍්‍රහණයත් ලබාගෙන සාමකාමී වාතාවරණයක් ඇති කරගත්තට පස්සේ.’’

”සහෝදරවරුනි, මේ අදහස වැරැදියි. ආර්ථිකය ගොඩන`ගන්නේ නැතුව විප්ලවය කරන්න ඕන සම්පත් ලබාගන්නේ කොහොම ද? අවශ්‍ය සම්පත් නැතිනම් දීර්ඝ කාලීන විප්ලවය තුළ දී මිනිස්සු හෙම්බත්වෙන්න පුළුවන්. හතුරා විසින් දැනටමත් ආර්ථික සම්බාධක පනවලා. සාධාරණය ගැන පොඞ්ඩක්වත් හිතන්නේ නැති සමහර වෙළෙන්දොත්, ප‍්‍රතිගාමියෝත් අපේ රතු භූමියේ මූල්‍ය වෙළෙඳපොළ සහ වෙළෙඳාම වට්ටන්න හදනවා. මේ ගැටලූ විසඳගත්තේ නැතිනම් අපේ විප්ලවීය යුද්ධය ඉස්සරහට කරගෙන යන්නේ කොහොම ද?’’

විප්ලවයේ ආර්ථිකයට අදාළව මා ඕ ත්ස-තුං විසින් ඉදිරිපත් කරපු මේ දීර්ඝ අදහස් දැක්වීම ඉතාමත් වැදගත්. පක්‍ෂය ආරම්භ කරලා ඉතාමත් සුළු කාලයක් ඇතුළත (1922 සැප්තැම්බර් 14 වැනි දා) මෙහෙයවපු අන්-යුවන් වැඩවර්ජනය ඇරෙන්න වෙනත් කම්කරු සටනකට නායකත්වය දෙන්න මා ඕ ත්ස-තුං සම්බන්ධ වෙලා නෑ. ඒ කාලයේ, හූ-නන් පළාත් පක්‍ෂ කමිටුවේ ලේකම්වරයා විදිහට වැඩ කරපු හින්දා අන්-යුවන් වැඩවර්ජනයට අදාළ කටයුතු මෙහෙයවන්න ඔහුට සිද්දවෙලා තිබුණා. ඇත්තෙන්ම දවස් පහක් ඇතුළත අවසන් කෙරුණු ඒ වර්ජනයට නායකත්වය දුන්නේ ලියු ෂ ඕ-ඡී සහ ලී ලී-සන් දෙන්නා විසින්. (මේ ලිපි මාලාවේ 11 වැනි කොටසින් ඒ වර්ජනය ගැන කියලා තියෙනවා).

චීන මහජන විප්ලවය කම්කරු පංතියක බලයකින් ක‍්‍රියාත්මක කරපු එකක් නෙවෙයි. ඒ මහා විප්ලවයට ප‍්‍රධාන වශයෙන් දායකවුණේ ගොවියෝ. මේ සඳහා ගොවියන් දායක කරගත යුතු බව අවධාරණය කළේ මා ඕ ත්ස-තුං විසින්. ඔහු විසින් ඉදිරිපත් කරපු පංති විග‍්‍රහයෙන් ගොවිජන දායකත්වයේ වැදගත්කම ඉස්මතු කළා. (මේ ලිපි මාලාවේ 17 වැනි කොටස බලන්න). ගොවි බලවේගයේ ශක්තිය ඔහු විසින් පෙන්නලා දුන්නේ ”හූ-නන් වාර්තාව’’ පළකිරීමෙන්. (මේ ලිපි මාලාවේ 20 වැනි කොටස බලන්න). චීනය පාලනය වුනේ හමුදා බලයෙන් හින්දා දේශපාලන බලය ලබාගන්න තුවක්කුවේ අවශ්‍යතාවත් මා ඕ ත්ස-තුං අවධාරණය කළා. (මේ ලිපි මාලාවේ 22 වැනි කොටස බලන්න). චූ ත සෙනෙවියා එක්ක එකතුවෙලා රතු හමුදාව හදන්නත් ඔහු මුල්වුණා. (මේ ලිපි මාලාවේ 30 වැනි කොටස බලන්න).

පක්‍ෂය ඇතුළේ බලවත් වෙලා තිබුණු පොතේගුරුවාදයට එරෙහියත් මා ඕ ත්ස-තුං අරගල කළා. (මේ ලිපි මාලාවේ 38 වැනි කොටස බලන්න). පොතේගුරුවාදීන්ට ඕන වුණේ නාගරික ප‍්‍රදේශවල කම්කරු සටන් මෙහෙයවලා බලය තහවුරු කරගන්න. ඒත් ඒ අදහසට මා ඕ ත්ස-තුං එකඟවුණේ නෑ. පිටිසර ප‍්‍රදේශවල බලය තහවුරු කරගෙන, ‘‘ගම්වලින් නගර වැටලිය යුතුයි’’ කියන න්‍යායත් ඔහු ඉදිරිපත් කළා. (මේ ලිපි මාලාවේ 39 වැනි කොටස බලන්න). ඒ වගේම, විප්ලවයට අදාළ සටන් උපක‍්‍රම පවා ඔහු හඳුන්වලා දුන්නා. ගරිල්ලා සටන් ක‍්‍රමයට අදාළ න්‍යායකුත් ඔහු වර්ධනය කළා. (මේ ලිපි මාලාවේ 29 වැනි කොටස බලන්න). මේ කොටසින් පෙන්නපු විදිහට විප්ලවය වෙනුවෙන් ආර්ථික කටයුතුවල නිරතවීමේ වැදගත්කමක් ඔහු පෙන්නලා දුන්නා.

ඉතින් චීනයේ මහජන විප්ලවයට අදාළ ප‍්‍රධාන අදහස්, මතවාද, උපක‍්‍රම හැම එකක්ම වගේ ඉදිරිපත් කළේ මා ඕ ත්ස-තුං විසින්. ඒ වගේම, දේශපාලන සහ හමුදා නායකත්ව හැකියාවත් ඔහු සතුව තිබුණා. ජනතාව එක්ක ඉතාමත් ළඟ සම්බන්ධයකුත් ඔහු පවත්වාගෙන ගියා. රතු හමුදාවේ සෙබළු, ගොවි ජනතාව පුදුමාකාර විදිහට මා ඕ ත්ස-තුංට ආදරය කළා. ඒත් ”රට පාන් කාපු අය’’ (විදේශ අධ්‍යාපනය ලබපු අයව හඳුන්වන්නේ ඒ විදිහට) මා ඕ ත්ස-තුංගේ අදහස් සහ නායකත්වය පිළිගන්න කැමැතිවුණේ නෑ. මධ්‍යම කාරක සභාවේ සහ අනෙකුත් නායක මණ්ඩලවල බලවත්වෙලා හිටියේ ඒ පිරිස. ඉතින් පුළුවන් තරමින් මා ඕ ත්ස-තුං කොන්කරන්න, දේශපාලන – හමුදා කටයුතුවලින් ඔහුව ඈත්කරන්න ඒ අය මහන්සි වුණා.

1920 දෙසැම්බර් ඉඳලා 1924 සැප්තැම්බර් දක්වා අවුරුදු හතරකට කිට්ටු කාලයක් ප‍්‍රංශයේ සහ ජර්මනියේ රැඳිලා හිටියත් චෝ අන්-ලයි විදේශ අධ්‍යාපනයක් ලබාගත්තේ නෑ. ඉතින් විදේශ අධ්‍යාපනය ලබපු අයට වඩා වෙනස් හැසිරීමක් ඔහුගෙන් ප‍්‍රකාශ වුණා. නිශ්චිත මතයකින් බැඳිලා හිටියේ නැතත්, තමන් කරන්න ඕන මොකක්ද කියලා තහවුරු කරගෙන නොතිබුණත් ප‍්‍රංශයේ, ජර්මනියේ සහ සෝවියට් දේශයේ ඉගෙනගත්ත අය අතර එකතුවක් ඇතිවෙලා තිබුණා. මා ඕ ත්ස-තුං ඉදිරිපත් කරන අදහස් මාක්ස්වාදී විප්ලවයට අදාළ නැති බවක් තමයි ඒ අය හිතුවේ. වං මිං මුල්කරගත්ත ”බොල්ෂෙවික්වරු විසි අටදෙනා සහ භාගය’’ කැපවෙලා හිටියේ සෝවියට් ක‍්‍රමය වෙනුවෙන්. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සහ සෝවියට් දේශයේ අනුබලයත් ඒ අයට ලැබුණා.

1933 සැප්තැම්බර් මාසය වෙද්දි වං මිං පොදු නිෂ්පාදන පක්‍ෂයේ නායකත්වයට පත්වෙලා අවුරුදු දෙකකට වැඩි කාලයක් ගතවෙලා තිබුණා. නායකත්වයට පත්වීමෙන් පස්සේ 1931 සැප්තැම්බර් මාසයේ දී තමන්ගේ බිරිඳත් එක්ක සෝවියට් දේශයට ගිය වං මිං කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ චීනය පිළිබඳ අංශයේ ප‍්‍රධානියා බවටත් පත්වුණා. (මේ ලිපි මාලාවේ 42 වැනි කොටස බලන්න). වං මිංගේ පාලන කාලයේ දී දේශපාලන සහ හමුදා මෙහෙයවීම් කටයුතුවලින් ඈත්කළත් මා ඕ ත්ස-තුංගේ අනුහස තවදුරටත් රතු හමුදාව ඇතුළේ රජකළා. හතරවැනි වැටලීමට එරෙහි සටනේ දී ප‍්‍රකාශ වුනෙත් ඒ කාරණය. ඉතින් මේ ”ප‍්‍රශ්නය’’ ඉක්මනින්ම විසඳිය යුතු බව වං මිං තේරුම් ඇරගෙන හිටියා.

මේ වෙනුවෙන් හඳුනාගත්ත විසඳුම ඇරගෙන චියං-ශි සෝවියට් ප‍්‍රදේශයට ආවේ ජර්මන් ජාතිකයෙක්. ඔහු තමයි ඔටූ බ‍්‍රවුන්. හැබැයි ඔහු චීනයේ දී හැඳින්වුණේ ”ලී ත’’ කියන නමින්. ඔටූ බ‍්‍රවුන් කියන්නේ වයස අවුරුදු දහ අට සම්පූර්ණ වෙන්නත් කලින් හමුදාවට බැඳිච්ච කෙනෙක්. 1918 ජුනි මාසයේ දී හමුදාවට බැඳුණත් එයින් මාස හතරක් ගතවෙද්දි පළමුවැනි ලෝක යුද්ධය අවසන් වෙච්ච හින්දා සටනට යෑමේ අවස්ථාවක් ඔහුට ලැබුණේ නෑ. 1921 දී, ජර්මන් කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධ වුණු ඔටූ බ‍්‍රවුන් 1928 දී සෝවියට් දේශයට ගියා. ඊට පස්සේ ඔහු හමුදා පුහුණුවකුත් ලබාගත්තා. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ක‍්‍රියාකාරිකයෙක් බවට පත්වෙච්ච ඔහුට පැවරුණේ චීනයේ විප්ලවයට සහායවීමේ වගකීම. 1932 දී චීනයට ආපු ඔහු ෂං-හයි නගරයේ නැවතුණා. චීනයේ සහ පොදු නිෂ්පාදන පක්‍ෂයේ කටයුතු ගැන මූලික දැනුමක් ලබාගත්තට පස්සේ 1933 සැප්තැම්බර් මාසයේ දී ඔහු චියං-ශි සෝවියට් ප‍්‍රදේශයේ අගනුවරට (රුයි-චින් නගරයට) ආවා. කොමියුනිස්ට් ජාත්‍යන්තරය විසින් ඔහුව පත්කරලා තිබුණේ රතු හමුදාවේ හමුදා උපදේශකයා විදිහට.

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

advertistmentadvertistment