විපුලතර දිවිසැරියක නිමාව හරහා සමාජ කියවීමක්

276

‘විපුලී නැතිවෙලා’

වැස්සක ලකුණක් හෝ පෙනෙන්නට නොතිබුණ පසුගිය 14 වන සෙනසුරාදා උදේ වරුවේ ම, ළාහිරු එළියේ ම පුපුරා ගිය අනපේක්ෂිත අකුණු පහරක් මෙනි, මේ දුරකතන ඇමතුම මට හැඟුණේ. කොහොමටත් අප මේ ගතකරමින් සිටින්නේ වැහි නැති අකුණුවලින් තොර නොවූ යුගයකි; පුංචි කැස්සක්, උගුරේ රිදීමක් පවා ඉක්මන් මරණයක් කරා මිනිසා කැඳවාගෙන යන අවිනිශ්චිත කාලවකවානුවකි. හදිසි මරණයක් පිළිබඳ හේතු විමසීම දියාරු ප්‍රයත්නයක් වන බව ඒ අනුව දැන සිටිය ද නිරායාසයෙන් මට ඇසුණේ ඒ සුපුරුදු සාම්ප්‍රදායික ප්‍රශ්නයයි.

‘ඇයි? විපුලිට මොනව වුණා ද?’

මේ ප්‍රශ්නයට විවිධ පිළිතුරු සැපයුණේ ය. මම ද මගේ උපකල්පනයන් එළිදැක්වූයෙමි. ඒ අතරින් ඇතැම් අදහසක්, තොරතුරක් සිතට ඒත්තුගැන්වීමට ද උත්සාහ කළෙමි. එහෙත් ඒ සියල්ල උපකල්පනයන්ම ය. සියල්ලෙහි පැවතුණේ විපුලි නිරෝෂණී හෙට්ටිආරච්චි නම් වූ කිවිඳියගේ, ලේඛිකාවකගේ සමුගැනීමට තුඩුදුන් සැබෑ හේතුසාධක පිළිබඳ ඡායාමාත්‍රයක් (ශේෂයක්) පමණකි. කෙසේ වුව ද විපුලී නිරෝෂිණීගේ හදිසි මරණයට හේතුවන්නට ඇත්තේ මානසික ආතතිය විය හැකි ය, යන අදහස ද අපි බෙදා හදා ගත්තෙමු. ඉකුත් කාලසීමාව තුළ විපුලිට මානසිකව බලපෑම් කළේ යැයි අපට සිතෙන සිදුවීම් ද ඒ අනුව පෙළගැස්වූයෙමු. අප බොහෝ දෙනෙක් දැන සිටි ඒ එක් කරුණක් (හේතුවක්) වූයේ විපුලිත් අම්මාත් පමණක් ජීවත් වූ නිවෙස සොරුන් විසින් ආක්‍රමණය කරනු ලැබ තිබීමයි. අවුරුදු ගණනාවකට පෙර ද විපුලි හා ඇගේ වියපත් මව මේ අත්දැකීමට මුහුණ පෑ බවක් මට සිහි කළ හැකි ය; සොරකම ගැන පොලීසියට පැමිණිලි කළ අවස්ථාවේ ‘සොරාගේ නම දන්නේ ද?’ යන අන්ධභූත ප්‍රශ්නයක් පොලිසියෙන් යොමු වූවේ යැයි කලකට පෙර මට කීවේ ද විපුලිම ය.

සාමාන්‍යයෙන් නම් සොරකමක් සිදු වූ විට මිනිසුන් ඊට විසඳුමක් හෝ සාධාරණයක් සොයා යන්නේ අදාළ පොලිස් ස්ථානයට ය. ඒ යුක්තිය පසිඳලීම සඳහා ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළේ මුල් අධියර ලෙසට ය. එහෙත් මේ වන විට පොදු මිනිසුන්ගේ දෛනික ගැටලුවලට විසඳුම් සෙවීම වෙනුවට පොලීසියට පැවරී ඇති ලොකු, බරසාර වැඩ කන්දරාවක් ද තිබේ. ඒ අතරින් ද ප්‍රමුඛ වන්නේ පොදු ජනතාවගේ නියෝජිතයන් හෙවත් ජනතා පුත්‍රයන්ට ඒ ජනතාවගෙන් ම ආරක්ෂාව සැලසීමේ මෙහෙවරයි.

මිනිසුන් සොරුන් වන්නේත්, සොරුන් සොරකම් කරන්නේත් පොලිස් නිලධාරීන්ගේ චර්යාරටා හැඩතල ගැන්වෙන්නේත් කෙසේ ද? කවරාකාරයෙන් ද? මේ ප්‍රශ්නයට දිය යුතු සැබෑ පිළිතුර කුමක් දැයි පූජක පක්ෂයට, ගුරුවරුන්ට හා ඇතැම්විට දාර්ශනිකයන්ට ද වැඩියෙන් දැන සිටින්නේ සැබෑ සාහිත්‍යකරුවා ය. සමකාලීන විඥානයේ වර්ණදේහ නිෂ්පාදනය වන ආකාරය සම්බන්ධයෙන් සමාජ විද්‍යාඥයාට ද නැති සංවේදනයක්, ඉවක් සැබෑ සාහිත්‍යකරුවාට තිබේ. විපුලිගේ හදිසි අභාවය අප හඳුනාගත යුතු වන්නේත් ඒ ගැන විමසා බැලිය යුතු වන්නේත් මේ සන්දර්භය තුළම ය.

ඉකුත් කාලසීමාව දෙස හැරී බලන විට පැහැදිලිවම පෙනී යන එක් කරුණක් වන්නේ මිනිසුන්ගේ මෘදු හැඟීම් හා රසභාවයන් ද ඕලාරික ලෙස ඝනීභූත වෙමින් පැවති බව ය. ආර්ථික අවපාතය හේතුවෙන් හෝ කඩදාසි මිල ඉහළ යෑම නිසා හෝ පුවත්පත්වලින් සාහිත්‍ය පිටු කැපී ගියේ ය. සාහිත්‍යයට වැටබැඳීම යනු චින්තනමය ඝාතනයක් වන බව වගකිවයුත්තන්ට පවා අමතකව තිබිණ. ඒ, හැමදෙනාම පාහේ යෙදී සිටියේ දිනුම් කණුවක් නැති ධාවන තරගයක ය. කෙටි පණිවුඩයකට වචන කිහිපයක් ගැටගසා ගැනීමට පමණක් භාෂා ඥානයක් තිබීම ප්‍රමාණවත් යැයි සිතුණේ ද මේ අනුව ය.

මේ මහා ප්‍රවාහය මැද විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි උත්සාහ කළේ රැල්ලට එරෙහිව උඩුගං බලා පිහිනන්නට නොවේ දැයි දැන් මේ මොහොතේදී අපට කල්පනා වෙයි. උඩුගං බලා පිහිනීම යනු දුෂ්කර ව්‍යායාමයක් වුණ ද එදා සිටම නිසර්ගයෙන්ම ඇය ලබා තිබූ එක්තරා දායාදයක් ලෙස අද දවසේදී අපට පෙනී යන්නේ ද එයයි. මුදල් මවන යන්ත්‍ර හා සමාන රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපනයක් කෙරෙහි විපුලී මුලසිටම පාහේ උනන්දු සහගත නොවූ බව පැහැදිලි ය. ඇය, තමාගේ විෂයයන් තෝරාගත්තේ ද ඒ අනුව ය. ඇගේ වෘත්තිය ජීවිතය ආරම්භ වුණේ ද මොනරකොළ පිළිබඳ සිහිනවලට ඔබ්බෙනි. බොහෝ විට ඇගේ ඉලක්කගත කණ්ඩායම බවට පත්ව සිටියේ කුඩා දරුවෝ ය. දරුවන්ගේ උදර පෝෂණය ගැන මිස භාවපෝෂණය ගැන වගේවගක් නැති වැඩිහිටියන්, මවුපියන් අතරේ විපුලී, නොසැළී සිටියා ය.

ලෝකය නායයමින් පවතින්නේ මිනිසාගේ චින්තන පරාභවයට අනුකූලව ද යන සාධාරණ සැකය, මේ දිනවල ඉහේ කෙස් ගාණට සිදුවන අකාල මරණ සම්බන්ධයෙන් ද බලපැවැත්වෙයි. මිනිසුන් පරමායුෂ භුක්ති විඳින්නේ සිතුවිලිවල ධන-ඍණ ස්වභාවයට අනුව බව පෙන්වා දෙන ජාතක කතාවක් ලේඛනගතව ඇත්තේ ජාතක පොතේ 441 වන කතාංගය වශයෙනි. ‘මහා ධර්මපාල ජාතකය’ නම් වූ එහි කතානායකයා වන්නේ පන්සිල්, අටසිල් රකිමින් දැහැමි ජීවිතයක් ගත කළ ධර්මපාල නම් වූ බමුණෙකි. දිසාපාමොක් ආචාරින්ගේ පා සෙවණෙහි ශිල්ප හදාරන බමුණාගේ බාලපුත්‍රයාගේ නම ද ධර්මපාලම ය. මේ කාලය තුළදී දිසාපාමොක් ආචාරින්ගේ බාල පුතෙක් මිය යයි. සියල්ලෝම හඬා වැළපෙන්නට වෙති. නොහඬා සිටින්නේ ධර්මපාල කුමාරයා පමණකි. ඒ ඇයි දැයි ආචාරීන් විමසූ කල, ධර්මපාල කුමාරයාගේ පිළිතුර වන්නේ ‘බාල කාලයේ කිසිවෙක් මිය යන බවක් නොදනිමි’ යන්න ය. මෙහි ඇත්ත නැත්ත දැනගැනීමේ කුකුසකින් පෙළෙන දිසාපාමොක් ඇදුරිඳු තක්සලාවේ සිට ධර්මපාල කුමාරයාගේ ග්‍රාමය බලා පිටව යයි. ධර්මපාල බමුණා හමුවන දිසාපාමොක් කියා සිටින්නේ ‘ඔබේ පුත්‍රයා හදිසි රෝගයකින් මිය ගියේ ය’ කියා ය. එය සනාථ කිරීම සඳහා පුත්‍රයා ආදාහනය කළ තැනින් රැගෙන ආවේ යැයි කියමින් එ`ඵ ඇටයක් පෙන්වීමට ද ඔහු යොමුවෙයි. ධර්මපාල බමුණා මහහඬින් සිනාසී පවසන්නේ ‘අපේ කිසිවෙක් බාල කල මියයන්නේ නැතැ’ යි කියා ය. ඉනික්බිතිව ඔහු ඒ සම්බන්ධයෙන් වන හේතුයුක්ති ද පෙන්වා සිටී. ඒවායින් පළවන්නේ මිනිසකුගේ ආධ්‍යාත්මික දියුණුව ඔහුගේ භෞතික මරණය පමා කරන බවට අදහසකි.

මේ ජාතක කතාව සැබෑවක් ද, කවුරුන් විසින් හෝ ගොතන ලද්දක් ද යන්න පිළිබඳ හේතුදැක්වීම්, තර්ක විතර්ක ඉදිරිපත් කිරීම් පසෙක තබා ඉකුත් දශක හතරක පහක කාලය දෙස සැලකිල්ලෙන් හැරී බලන්නෙකුට අඩුවැඩි වශයෙන් දැකගත හැකිවන්නේ ද මේ තත්ත්වය පිළිබඳ සංඥා ය. අප මේ ජීවත් වන්නේ අතිශයින් අඩමාන, අවිනිශ්චිත අවධියක ය. මරණය ජීවිතයට මෙතරම්ම සරදම් සහගතව බලපෑම් කළ යුගයක් ඉතිහාසයේ වූයේ ද යන්න පවා සැක සහිත ය. ඓතිහාසික යුද අපරාධ, ඝාතන කොතෙක් නම් පැවතුණ ද දැන් දැන්, දිනෙන් දිනම ඉහළ නගිමින් පවතින්නේ, උන්හිටි හැටියේ තුරුපත් සුළඟට සැළී යන අයුරින් (වයස් භේදයකින් තොරව) සිදුවන මරණවල සංඛ්‍යාත්මක අගයයි. ඇතැම්විට ඒවා වෛද්‍ය විද්‍යාවට ද නිර්ණය කරගත නොහැකි තරමටම සංකීර්ණ ය. ‘ජීවිත සිද්ධීන් සිහිනයකට සමාන කළ හැකි ය; සොල්මනකට, දිය බුබුළකට, සෙවණැල්ලකට හෝ ප්‍රභාෂ්වර විද්‍යුත් ධාරාවකට සමාන කළ හැකිය’ යන බුදුවදන මෙතරම්ම සහේතුකව සනාථ වූ වෙනත් යුගයක් නොවූ තරම් ය.

විපුලිගේ අභාවය ගැන අපට අසන්නට ලැබෙන්නේ ද මෙවැනි සන්දර්භයක් තුළ ය. මේ රටේ සංස්කෘතික මිනිසා පණ අදිමින්, මියැදෙමින් සිටින මෙකල පවා විපුලී නිරෝෂිණී හෙට්ටිආරච්චි කලාව, සාහිත්‍යය නිරන්තරව ඇසුරු කරමින් සංස්කෘතික ජීවිතයක් වෙනුවෙන් දැඩි ලෙස ඇප වී, කැප වී, පේ වී සිටියා ය. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවකව සිටි දශක ගණනාවකට පෙරදී මෙන් ම මේ නන්තත්තාර යුගයේදී ද ඇගේ ඒ සාහිත්‍ය කලා ලෝලයෙහි මෙන් ම ඒ වෙනුවෙන් සිදු කළ අඛණ්ඩ කැපකිරීම් සියල්ලෙහි ද වෙනසක් සිදු වූවේ නැත. අප එසේ කියන්නේ ඇය අපූරු කවිපොත්, ළමා පොත් එළිදැක්වූ නිසාම නොවේ; සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ නිසා ද නොවේ. සාහිත්‍යය කොතැන ද විපුලී එතැන වූ නිසා ය. විපුලී අපට හමු වූයේ, හුදෙක් විපුලිගේම සාහිත්‍ය කෘති දොරට වැඩුම් උත්සව අවස්ථාවන්හිදී පමණක් ද නොවේ. ඕනෑම කෙනෙකුගේ කෘතියක කලඑළි මංගල්‍යයකදී ප්‍රේක්ෂකාගාරය තුළ නිසැකවම දැකගත හැකි වූ මුහුණ අයත් වූයේ විපුලිට ය. ලංකා ලේඛක සංවිධානයේ සෞභාග්‍යමත් කාලවකවානුවලදී මෙන් ම එහි යම් යම් නායයාම් සිදුවූ අවස්ථාවලදී ද විපුලී නොවෙනස්ව, අචලව ඒ සමඟ රැඳී සිටියා ය. ලේඛකයා, කවියා යැයි කියන්නේ සිය පාඨකයා, සහෘදයා වෙනුවෙන් වඩා යහපත්, අර්ථවත් භාවමය ජීවිතයක් නිර්මාණය කර දෙන පුද්ගලයාට බව මනාව දැන සිටි අතළොස්ස අතරේ විපුලී ද සිටි බව අපට හොඳින්ම පසක් වන්නේ ද දැන් දැන් ය.

කිසියම් සමාජයක ආර්ථිකය (නිෂ්පාදන ක්‍රම) වෙනස් වන විට ඒ සමාජයේ සබඳතා සාධනයන්හි ද වෙනසක් සිදුවෙයි. කලක් විපුලි සමඟ ඉතා ළඟ ඇසුරක් පැවැත්වූ අප ද හදිසියේ විතැන්ව ගියාක් මෙන් වූයේ මේ සැඩපහරෙහි අප ද ගසාගෙන යමින් සිටි නිසාම විය හැකි ය. මිනිසුන්ගේ මෙන් ම සමාජයන්හි ද අනවරත වෙනස අපේක්ෂා කළ යුත්තක් වන මුත් ක්‍රම විකාශයක් වශයෙන් එසේ නොවී, ක්ෂණික නූඩ්ල්ස් න්‍යායෙන් එය සිදුවන කල උද්ගත වන්නේ අවාසනාවන්ත වාතාවරණයකි.

කෙසේ වුව ද නැටූ නැටුමකුත් නැති, බෙරේ පළුවකුත් නැති මනෝභාවයක්, සැකසාංකාවක් මේ තරගකාරි ලෝකයේ ජීවත්වන බොහෝ මිනිසුන්ගේ සිත්සතන්හි ‘ඇහේ කුණක්’ මෙන් කැවෙමින් පවතින බව නම් පෙනී යයි. මුදල් කඳු ගැසෙන තරමට, බැංකු ගිණුම් තරවන තරමට ඒවා භෂ්ම කර දමන ගින්නක් පරිද්දෙන් විවිධාකාර ලෙඩරෝග හා වෛරස ද මිනිස් සිරුරු ආක්‍රමණය කරමින් පවතී. නොමළ ගෙයකින් අබ ඇටයක් රැගෙන එන්නැයි බුදුන් වහන්සේ, කිසාගෝතමියට පැවසුවේ එදා ය. මෙදා නම් උන්වහන්සේ එය සංශෝධනය කරනු ඇත්තේ ‘බෙහෙත් පෙති නැති නිවෙසකින්’ යනුවෙනි. මෙකල හැම නිවෙසක්ම පාහේ කුඩා රෝහලක් බවට පත්ව ඇති හෙයිනි.

විපුලිගේ භෞතික මරණය, එක්තරා අධ්‍යාත්මික අවදිවීමක් සඳහා සාහිත්‍ය සමාජයට සංඥා නිකුත් කරන්නේ දැයි අපට සැක කරන්නට සිදුවන්නේ මෙවැනි සමාලෝචනයක යෙදෙන විට ය.

● කැත්ලීන් ජයවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment