විභාගය ලියන්න අඹගමුව පාසලට ගිය සිසුවියෝ දෙදෙනා අතුරුදන්

85

දෙමාපියන්ගෙන් පොලිසියට පැමිණිලි

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා පෙරේදා (14 දා) විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් එම සිසුවියන් දෙදෙනාගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. විරාජ් විතානගේ මහතා පැවසීය.

පෙරේදා උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවත්, ඉන් එක් සිසුවියක් දෙමව්පියන් සමග විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇති බවද පැමිණිල්ලේ සඳහන් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

ගිනිගත්හේන අග්‍රාඔය සහ නාවලපිටිය නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචි එම සිසුවියන් දෙදෙනා මිතුරියන් බවත්, විභාග මධ්‍යස්ථානය අසල අතුරුදන් වූ බව පවසන සිසුවියන් දෙදෙනා එදින විභාගය ආරම්භ කිරීමට ප්‍රථම විභාග මධ්‍යස්ථානය අසල කතා කරමින් සිට ඇති බව විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් කිහිපදෙනෙකු දැක ඇති බවත්, ඉන් මඳ වේලාවකට පසු එම සිසුවියන් දෙදෙනා නාවලපිටිය නගරයේ නිල ඇඳුමෙන් සිටින අයුරු කිහිපදෙනකු දැක ඇති බවට දැනට කරන ලද මූලික විමශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටී. අතුරුදන් වූ බවට පවසන සිසුවියන් දෙදෙනාගේ ඡායාරූප සියලුම පොලිස් ස්ථාන වෙත යොමුකර ඇති බවත්, සිසුවියන් දෙදෙනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment