ශ්‍රී ලංකා නීතිඥ සංගමය් සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න

මට මගේ වෘත්තීය දායකත්වයට ලැබුණු මුදලත් නීතිඥ සංගමයට පරිත්‍යාග කළා

පසුගියදා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා විසින් අන්තර්ජාතික ජපන් අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) සමග සිදු කරන ලද වැඩසහනකදී මූල්‍ය වංචාවක් සිදුවුණු බවට චෝදනා එල්ල විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වීසන් පත් කළ විමර්ෂණ කමිටුවේ වාර්තාව එළිදැක්වීමත් සමග ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය් සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය – කෞෂල්‍ය නවරත්න කියන නම ජනප්‍රිය වෙන්න ගත්තේ නීතිඥ සංගමයේ සභාපති වුනායින් පසුව. නමුත් සමහර ජනාධිපති නීතිඥයන් විවිධ නඩු සඳහා ජනප්‍රියත්වයක් උසුලනවා. ඔබතුමාගේ ඒ වගේ මොනව හරි සංධිස්ථාන තිබෙනවද?

පිළිතුර – මම අවුරුදු 27කට ආසන්න කාලයක් වෘත්තියේ යෙදිල තමයි මෙතෙන්ට එන්නෙ. මගේ ජනප්‍රියතාවයට වඩා නීතිඥ සංගමයේ සාමාජිකත්වය මා කෙරෙහි තැබූ විශ්වාසය. ඒ විශ්වාසෙ ඇතිවෙන්න නම් මා යම් කිසි දක්ෂතාවක් පෙන්නුම් කරල තියෙන්න ඕන. ඒ දක්ෂතාව නිසා තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ දශක තුනහමාරකට පසු සභාපතිවරයෙක් වසර 02කට පත්වෙන්නෙ නිතරගයෙන්. කෙසේ වෙතත් මම සහභාගි වෙච්ච නඩු තීන්දු රැසක් වාර්තාගත වෙලා තියෙනවා නීති පොත්වල. නමුත් මම මාධ්‍ය ඉදිරියේ කැපී පේන්න ගිය නීතිඥයෙක් නෙවෙයි.

ප්‍රශ්නය – නමුත් ඔබතුමාගේ නම මාධ්‍යයට ආව පසුගිය කාලෙ වංචාවක් සම්බන්ධයෙන්. එහිදී ජනතාව කතා කළේ නීතිඥ සංගමයේ සභාපතිවරයාත් මෙවැනි වංචාවලට හවුල් වනවා නම් අනිත් අය ගැන කුමන කතාද යන්න. මොකක්ද මේ ප්‍රශ්නෙ? ඇයි ඔබතුමා වගේ කීර්තිමත් නීතිඥයකුගේ නම මේ වගේ දෙයකට ගෑවුණේ?

පිළිතුර – ඒක හොඳ ප්‍රශ්නයක්. පසුගිය කාලයේ මගේ නම සහ නීතිඥ සංගමයේ නම භාවිත කරල මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධව සමාජ මාධ්‍යවල පමණක් නොවෙයි මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම රූපවාහනියේත් විවිධ පුවත් මැවීමක් සිදු වුණා. නමුත් සත්‍ය කතාව ඒක නොවේ. සත්‍ය කතාව මම කෙටියෙන් කියන්නම්. නීතිඥ සංගමයේ මහා සභාව ඒ කටයුත්ත විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කළා. එය විමර්ශනය කරල එම කමිටුවේ තීරණය දැන් මුද්‍රිතව ප්‍රකාශයට පත් කරල තියෙනවා පසුගිය සැප්තැම්බර් 07 වෙනිදා. එහිදී ඔප්පු වෙලා තියෙනවා මෙහිදී කිසිදු මූල්‍ය වංචාවක් හෝ අවභාවිතාවක් සිදු වෙලා නෑ කියල. ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පෙර ජපන් අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය (JICA) මෙරට අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් වූ වැඩසටහනක් සම්බන්ධයෙන් රාමුවක් සැකසීමට ටෙන්ටර් කැඳවල තිබෙනවා. නමුත් ඔවුන්ට ඒ සඳහා සුදුසු විශේෂඥ කණ්ඩායමක් ඒ ටෙන්ඩර්වලින් සොයා ගැනීමට බැරි වෙලා තිබුණා. ඒ අනුව මෙම වැඩසටහන සාර්ථකව ඔවුන්ට අවශ්‍ය පරිදි සිදුකර ගැනීමට සුදුසු කණ්ඩායම ලෙස පසුව ඔවුන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා සම්බන්ධ වුණා. ඉන් පසු මම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම්තුමත් උප ලේකම්තුමත් සම්බන්ධ කරගෙන මෙම කටයුතු ආරම්භ කළා. ඒවායේ ලේඛණ තියෙනවා අපේ කාර්යාලයේ. JICA ආයතනය කියන්නෙ මේ සඳහා 05 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් නම් කරන්න කියල. ඒ අනුව අපේ කළමනාකරණ කමිටුවේ සාමාජිකයන් තුන් දෙනකු සහ ලේකම්තුමා සහ උපලේකම්තුමාගේ කණිෂ්ට නීතිඥයන් දෙදෙනකුගෙන් යුතු කණ්ඩායමක් ලේකම්තුමා සහ උප ලේකම්තුමා යෝජනා කරනවා. මුල් අවස්ථාවේ අපි දන්නෙ නෑ මේ වැඩසටහනට මුදලක් ගෙවනව කියල. නමුත් පසුව අපිට ඒක දැනගන්න ලැබුණ. ඒ නිසා මෙම මුදල නීතිඥ සංගමයට ලබාගත හැකි නිසා අපි ඉතා කැමැත්තෙන් මේ අවස්ථාව ලබා ගත්තා. ඒ වගේම JICA ආයතනය කියන්නෙ ලෝකයේ තිබෙන මෙවැනි ආයතන සම්බන්ධයෙන් ඉතාමත් කීර්තිමත් ආයතනයක්. ඒ නිසා ඔවුන් සමග වැඩ කිරීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් කීර්තියක්. නමුත් අපි කරපු පළමු යෝජනාව ඔවුන් විසින් ප්‍රතික්ෂේප වුණා. එවකට අපේ හිටපු ලේකම්තුමා තමයි සංගමයේ පරිපාලකයා ලෙස තමයි මේ කටයුතු සම්පාදනය කළේ. පසුව නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස JICA ආයතනය මම සමගත් සාකච්ඡාවක් කරල මේ සඳහා ලේකම්තුමා සහ උපලේකම්තුමා නම් කරන ලද කමිටුවේ සාමාජිකයන් තුන් දෙනකු සහ මම විසින් යෝජනා කළ පර්යේෂණ කටයුතුවලට සහභාගි වන කණිෂ්ට නීතිඥයන් දෙදෙනකු ද සමග ඔවුන් ඒ කටයුත්ත සිදු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තෝරා ගන්නවා. අපි සමග ඒ වැඩසටහන ඉතාම සාර්ථකව සිදු කළ බව තමයි JICA ආයතනය ඔවුන්ගේ නිළ වෙබ් අඩවියේ පවා සඳහන් කර තියෙන්නේ.

ප්‍රශ්නය – නමුත් ටික දවසක් යද්දි ඔබතුමාට චෝදනවක් එල්ල වෙනවා මෙම මුදල් ඔබ වංචා කළා කියලා. මේ සම්බන්ධව මොකක්ද ඔබතුමා කියන්නෙ?

පිළිතුර – මේ සඳහා මුදලක් ගෙවන බව JICA ආයතනය විසින් දැනුම් දුන් අවස්ථාවේ සිට අපේ අරමුණ වුණේ ඒ මුදල ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලබා ගැනීම. ඒ අනුව JICA ආයතනයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික අපි මූල්‍ය යෝජනාවක් ඔවුන් වෙත ලබා දුන්නා. නමුත් පසුගිය කාලෙ මාධ්‍යවල පළවුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලැබුණු මුදලත් සභාපතිවරයා සහ උප සභාපතිවරයා විසින් අවභාවිත කළා කියල. මෙහිදී JICA ආයතනය විසින් තමන් සපයන ලද වෘත්තීය සේවාව සඳහා කණ්ඩායමේ සාමාජිකයන්ටත් මුදලක් ලබා දුන්නා වගේම ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් මුදලක් ලැබුණා. මේ සියලු මුදල් ඉතාම විනිවිධභාවයෙන් යුතුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට තමයි ලැබුණේ. මේ මුදල් ලබාගත හැක්ක් නීතිඥ සංගමයේ භාණ්ඩාගාරික හරහා පමණයි. අපිට ඕන විදියට ඒ මුදල් හසුරන්න හැකියාවක් තිබුණේ නෑ. මෙහිදී මට මගේ වෘත්තීය දායකත්වය සඳහා ලැබුණු මුදල පරිත්‍යාගයක් විදියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලබා දුන්නා. එසේ ප්‍රදානය කරන්නේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවෙන්න බොහෝ කාලයකට පෙර. නමුත් පසුගිය මැයි මාසේ පැවති විධායක සභාවකදී මෙය ගැටලුවක් ලෙස මතු කිරීමත් සමග මේ ගැන සොයා බලන්න කමිටුවක් පත් කළා. ඒ කමිටුවෙන් ඔප්පු වුණා කිසිදු මූල්‍ය වංචාවක් වගේම මූල්‍ය අවභාවිතාවක් නොමැති බව.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ උන්නතිය වෙනුවෙන් ඔබ තුමා මොනවද කළේ?

පිළිතුර – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඔය අරගල වගේ එක එක දේවල් වෙනුවෙන් පෙනී සිටියට අපේ වෘත්තීය ඇතුළෙම තියෙනවා ඉවස ගන්න බැරි ප්‍රශ්න. කාන්තා නීතිඥයකුට හරි සේවාදායිකාවකට හරි අත දරුවෙක් හිටියොත් ඒ දරුවට කිරි ටිකක් දෙන්නවත් තැනක් නැහැ. කාන්තා නීතිඥයකුට හරියට යන්න පුළුවන් වැසිකිළියක්වත් නැහැ. සියයට 60 ගාණක් ඉන්නේ කාන්තා නීතිඥයෝ. ඒත් ඔවුන්ට නියෝජනයක් නෑ. ඒ වගේම නීතිඥ සංගම් කාර්යාලයේ සුබසිද්ධිය උදෙසා මම විශාල කාර්යභාරයක් කළා.

ප්‍රශ්නය – ඔබ කොළඹින් පිට පළාතකින් ඇවිල්ල ජනාධිපති නීතිඥයෙක් දක්වා තම වෘත්තීය දිවියේ ඉහළටම ගිය කෙනෙක්. ඒ පිළිබඳව ආපසු හැරිල බලද්දි ඔබට මොකද හිතෙන්නෙ?

පිළිතුර – මම මූලික අධ්‍යාපනය ලැබුවේ මාතලේ විජය විද්‍යාලයෙන්. 05 වසරෙන් පසුව මම මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුණා. 1993 වසරේදී මම නීති විද්‍යාලයට ඇතුළත් වෙලා 1997 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙස දිවුරුම් දුන්නා. මේ වෙනකොට මගේ නීතිඥ දිවියට අවුරුදු 27ක් වෙනවා. නීතිඥ සංගමයේ සභාපති වීමට පෙර නීතිඥ සංගමයේ ව්‍යවස්ථා ප්‍රකාරව නීති වෘත්තියේ අවුරුදු 20කට වැඩි සේවා කාලයක් තිබිය යුතුයි සභාපති තනතුරට තරග කිරීමට. නීතිඥ සංගමයේ ප්‍රධාන ශාඛාව වන්නේ කොළඹ නීතිඥ සංගමය. මම එහි කමිටුවේ සාමාජිකයකු ලෙස තෝරා පත්කර ගත්තා නීතිඥවරුන් විසින්. ඉන් පසු මම 2014-16 වර්ෂවල එහි ලේකම් ධූරයට පත් වුණා වගේම 2017 වසරේදී සභාපති ලෙස තේරී පත් වුණා. 2018 සිට 2020 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ලෙස මම තරගයකින් තේරී පත් වුණා. නීතිඥ සංගම් ඉතිහාසයේ නිලවරණයකදී ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව හිමි වුණේ මට. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ශාඛා අසූ ගණනින් ශාඛා දෙකක පමණයි මම පරාජයට පත් වුණේ. ඉන් පසු 2023 වසරේදී මම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට නිතරගයෙන් තේරී පත් වුණා.

ප්‍රශ්නාය – ඔබ තුමා නීතිඥ සංගමයේ සභාපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදු කරපු මූලිකම දේවල් ඇතුළුව ඔබ විසින් කළ සේවය ගැන පැවසුවොත්?

පිළිතුර – රටේ දේශපාලන මෙන්ම සාමාජික ලෙස විශාල ආන්දෝලනයක් තිබුණු කාලයක් අවසානයේ තමයි මම මේ සභාපති ධුරයට පත් වන්නේ. පැසසුම් වගේම ගැරහුම් ලැබිච්ච කාල සීමාවක්. මට තිබුණු මූලිකම වගකීම තමයි ආර්ථිකමය වශයෙන් අපහසු ඒ කාලයේ නීතිඥවරුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම මෙන්ම වෘත්තීයමය වශයෙන් තිබුණු ගැටලු නිරාකරණය කර ගැනීම.

කොළඹට පමණක් සීමා වෙලා තිබුණු සමහර දේවල් පිට පළාත්වල නීතිඥ සංගම්වලටත් බෙදා හැරීමට මම කටයුතු කළා. පිට පළාත්වල සිටින නීතිඥයන්ට නීති දැනුම යාවත්කාලීන කර ගැනීමේ යම් යම් අපහසුතා තිබෙනවා. අපි ඒ සඳහා වැඩසටහනක් කරගෙන ගියා සියල්ලට පරිගණක ලබා දීලා නීති දැනුම යාවත්කාලීන කිරීම. මම කළ තවත් දෙයක් තමයි පිට පළාත්වල පුස්තකාල පහසුකම් වැඩි කිරීම සහ විවිධ පහසුකම් ස්ථාපිත කිරීම. සමහර ප්‍රාදේශීය නීතිඥ සංගම්වල වාඩිවෙන්න පුටුවක්වත් තිබුණේ නැහැ. ඉතිං අපි මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළා. ඒක වැඩසටහනක්. ඊට අමතරව මමත් පිට පළාතකින් ආපු නීතිඥයකු ලෙස රට පුරා හැම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි කණිෂ්ට නීතිඥයන් නඟාසිටුවන්න රට පුරා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා.

ඒ වගේම කාන්තා නියෝජනය ඉතා ඉහළයි නීතිඥ වෘත්තියේ. පිරිමි අයට වඩා ඉන්නේ කාන්තා නීතිඥයන්. ඒත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පරිපාලනය තුළ කාන්තා නියෝජනය ඉතාමත් අඩු මට්ටමක තියෙන්නෙ. ඒ නිසා මම සාකච්ඡා කරලා, යෝජනා ලබාදීල තීරණය කරල තිබුණා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාව සංශෝධනය කරල කාන්තාවටත් එහි පරිපාලනය තුළ යම් කිසි අවස්ථාවක් ලබා දිය යුතුයි කියල.

සාකච්ඡා කළේ
සිරිමන්ත රත්නසේකර
ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment