විමසා බලා කටයුතු කිරීම  නොහොත්  “නිසම්මකාරිත්වය”

159

“නිසම්ම” යන වචනය තනි වචනයක් ලෙස ගත් කල්හි පූර්ව ක්‍රියා පදයකි. එහි අරුත නම් විමසා බලා, පරිස්සමින්, ”Carefully”, යන අදහසයි. ගිහි පැවිදි අප කාටත් මෙන්ම සමාජයේ සෑම පැතිකඩකටම බලපාන පැවතිය යුතු ගුණාංගයක් ලෙස මෙම විමසා බලා කටයුතු කිරීම නොහොත් නිසම්මකාරීත්වය හැඳින්විය හැකිය.

විමසා බලා කටයුතු කිරීම  නොහොත්  “නිසම්මකාරිත්වය”

වර්තමානයෙහි මෙකී නිසම්මකාරීත්වය නොමැතිකම හේතුවෙන් සමාජය තුළ නොයෙකුත් ආකාරයේ වැරදි සහගත ක්‍රියාවන් සිදුවන බව පෙනී යයි. අප දැනුම ලබාගන්නේ ඉන්ද්‍රියයන් මඟිනි. එහෙත් ඉන්ද්‍රියයන් තුළින් ලබා ගන්නා දැනුම නිවැරදි ම යැයි කිව නොහැකිය. ඒ අනුව ඇසීම, තර්කය යන කරුණු පදනම් කරගෙන ඒවා නිවැරදි යැයි පිළිගන්නා කොටසක් ඇත. මජ්ක්‍ධිම නිකායේ එන ‘සන්දක’ සූත්‍රයේදී ඇසීමෙන් ලබාගන්නා දැනුම නිවැරදි ම යැයි සඳහන් නොකළ හැකි බවට කරුණු 04 ක් දක්වා ඇත. එනම්,

 1. සුස්සුතම්පි හෝති – හරි දැනුමක් දෙන ඇසීමක් විය හැකිය.

 2. දුස්සුතම්පි හෝති – වැරදි දැනීමක් දෙන ඇසීමක් විය හැකිය.

 3. තථා’පි හෝති – එසේ ද විය හැකිය.

 4. අඤ්ඤථාපි හෝති – අන් අයුරක් ද විය හැකිය.

 සත්‍ය පිළිබඳව ස්ථිර වශයෙන්ම සහතික වීමක් කළ නොහැකි නිසා ශ්‍රැතිය නොහොත් ඇසීම දැනුම ලබාගැනීම සඳහා නොඑසේ නම්, යමක සත්‍ය වටහා ගැනීමට සතුටුදායකම ක්‍රියා මාර්ගයක් නොවේ. එසේම තර්කය ද මේ අයුරින්ම සඳහන් කළ හැකිය. එනම්,

 1. සුතක්කිතම්පි හෝති – හරි දැනුමක් දෙන තර්කයක් විය හැකිය.

 2. දුතක්කිතම්පි හෝති – වැරදි දැනුමක් දෙන තර්කයක් විය හැකිය.

 3. තථා’පි හෝති – එසේ ද විය හැකිය.

 4. අඤ්ඤථාපි හෝති – වෙනත් අයුරක් ද විය හැකිය.

 මේ අයුරින් තර්කය, ශ්‍රැතිය යමක සත්‍ය තීරණය කර ගැනීම සඳහා නිවැරදි ම ක්‍රමවේදයක් යැයි කිව නොහැකිය. එසේම ඉන්ද්‍රියන් ඉක්මවා ගිය නොහොත් අතීන්ද්‍රිය වූ කරුණු ද ලෝකය තුළ ඇති බව අප පිළිගත යුතුයි.

 බුදු දහම යනු ප්‍රත්‍යක්ෂය මත තීන්දු තීරණ ගනු ලබන දහමකි. ඒ සඳහා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය මෙන්ම අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය ද භාවිත කරනු ලබයි. මජ්ක්‍ධිම නිකායෙහි සංගාරව සූත්‍රයෙහි එන පහත සඳහන් පාලි පාඨය නිදසුන් වශයෙන් සඳහන් කළ හැකිය.

 “තත්‍ර භාරද්වාජ, එකෙ සමණබ්‍රාහ්මණා පුබ්බෙ අනනුස්සතෙසු ධම්මෙසු සාමංයෙව ධම්මං අභිඤ්ඤාය සච්ජිකත්වා දිට්ඨිධම්මාභිඤ්ඤා වොසාන පාරමිපපත්තා ආදී බ්‍රහ්මචරියං පටිජානාති, තේසාහමස්මි”

 ‘මෙහි තේසා හමස්මි’ යන්නෙන් දක්වා ඇත්තේ තමන් වහන්සේ ද ඔවුන් අතරින් අයෙකු බවයි. එනම් ප්‍රත්‍යක්ෂය මත කටයුතු කරන බවයි. මෙයින් පෙනී යන්නේ යමක් පිළිබඳ විමසා බලා කටයුතු කිරීමේදී අනුමානය නොව ප්‍රත්‍යක්ෂය පැවතිය යුතු බවයි. අනුමානය මත කටයුතු කිරීම හානිකර විය හැකිය. විමසා බලා කටයුතු කරන්නෙකු තුළ පැවතිය යුත්තේ ප්‍රත්‍යක්ෂයයි.

 ධම්මපද පාලියෙහි අප්පමාද වග්ගයෙහි එන ඉතා ප්‍රසිද්ධ ගාථාවක් ලෙස,

 “උට්ඨානවතෝ සතිමතෝ – සුචිකම්මස්ස නිසම්මකාරිනෝ

 සඤ්ඤතස්සච ධම්ම ජීවිනෝ – අප්පමත්තස්ස යසෝ භි වඩ්ඪති”

 කෙනෙකුගේ කීර්තිය නොහොත් යසස වැඩිවීම සඳහා අවශ්‍ය කරන කරුණු 07 ක් පිළිබඳව මෙම ගාථාවෙන් සඳහන් කර ඇත. එහි එක් කරුණක් නම්, නිසම්මකාරීත්වය නොහොත් නුවණින් විමසා බලා කටයුතු කිරීමයි. වෛiවරයකු රෝගියාගේ රෝග නිදානය පරීක්‍ෂා කොට බලා එකී රෝගය සංසිඳවීම සඳහා බෙහෙත්, වෙදකම් කරන්නා සේ සියලු දේ පිළිබඳව නුවණින් විමසා බලා කටයුතු කිරීම කළ යුතු බව මෙහි අදහසයි. මෙහි එන නිදාන කතාව ද ඉතා ප්‍රසිද්ධ ප්‍රවෘත්තියකි. ධම්මපද අටුවාවෙහි සඳහන් වන “කුම්භඝෝෂක” කතා වස්තුව මෙහි නිදාන කතාවයි.

 රජගහ නුවර අහිවාතක නම් වසංගත රෝගයක් ඇතිවී ගිය කල්හි ඒ රෝගය සිටුබිරිඳට හා සිටාණන්ට බෝ විය. ස්වකීය දරුවා කැඳවා ඔහුට නුවරින් පිටත්ව යන ලෙසත් අසවල් තැන හතළිස් කෝටියක් ධනය නිධන් කර ඇති බවත් දැන්වීය. මවුපියන්ගේ උපදෙස් පිළිගත් සිටු පුතණුවන් රජගහ නුවරින් පලා ගොස් වර්ෂ 12 කට පසු නැවතත් ඒ නුවරට පැමිණියේය. හතලිස් කෝටියක් ධනය ඇතත් ඒවා ගෙන පරිහරණය කරන්නට ගිය හොත් නොයෙකුත් ප්‍රශ්නකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බැවින් රාජ සේවකයන් උදෑසනම අවදි කිරීමේ රාජකාරිය ගෙන කටයුතු කළේය. බිම්බිසාර කටයුතු කළ හෙයින්, ප්‍රවේශම් සහගත වූ හෙයින් ධනය ද රැකගෙන ස්වකීය ජීවිතය ද රැක ගත්තේය.

 මෙම කතා පුවතෙහි එන කරුණු අතර එකක් නම් ඝෝෂකගේ දුරදිග බලා විමසා බලා කටයුතු කිරීමේ නුවණයි. එසේම රජතුමා ද විමසා බලා කටයුතු කිරීමේ සමතෙකු බව පෙනී යයි. එබැවින් රටෙහි පාලකයා විමසා බලා කටයුතු කරන කෙනෙකු විය යුතු බව එයින් පැහැදිලි වෙයි. ඒ පිළිබඳ දැනුම කුඩා කල පටන්ම ලබාගැනීම ද නිවැරදි රාජ්‍ය පාලනයකදී කපටිකම්වලට හසු නොවී සිටීමට හේතුවක් කරගත හැකිය. රජතුමාට ද උපදෙස් දීමට බමුණු පුරෝහිතයන් සිටියද රජතුමා සතුව ද පවතින දැනුම අවබෝධය මත පුරෝහිතයන් කියන කරුණු මතම තීන්දු තීරණ ගන්නට රජවරු කටයුතු කර නැත. වර්තමාන රාජ්‍ය පාලනයේ යෙදෙන අයට ද එය කදිම උපදෙසකි.

 බෝසත් දම් පුරන උතුමන් වහන්සේ කෙනෙක් පාරමිතා සමය තුළදී කටයුතු කරන ආකාරය පිළිබඳ සැලකීම ද අතිශය වැදගත් වේ. එකී අවස්ථාවන් හිදී විමසා බලා කටයුතු කිරීම පාරමිතා සම්පූර්ණ කරන කෙනෙකු තුළ පැවතිය යුතු බව මනාව පැහැදිලි වේ. පාරමිතා ධර්ම පිළිබඳ විමසීමේදී ‘කරුණුපාය කෝසල්ල පරිග්ගහිතා’ යනුවෙන් දක්නට ලැබේ. එයින් කියැවෙන්නේ කරුණු මැනවින් දැනගෙන උපාය කෞශල්‍යයෙන් යුක්තව දානාදී පාරමිතා පුරන බවයි. ඒ අනුව බෝධි සත්ත්වවරයකුගේ ද ඉතා වටිනා ගුණාංගයක් ලෙස විමසා බලා කටයුතු කිරීම හැඳින්විය හැකිය.

 අප බොහෝ දුරට විමසා බලා කටයුතු නොකිරීම නිසා කරදරවලට මුහුණපානු ලබයි. විමසා බලා කටයුතු කිරීමේදී පැවතිය යුතු කාරණා කිහිපයක් විෂ්ණු ශර්මන් පඬිවරයා විසින් රචිත “පංච තන්ත්‍ර” නම් ග්‍රන්ථයෙහි අපරීක්‍ෂිත කාරක කොටසෙහි සඳහන් කර ඇත. එහි එන ‘කුද්‍රෘෂ්ටං කුපරිඥාතං කුශ්‍රැතං කුපරීක්‍ෂිතං’ යමක් පිළිබඳ හරියට නොදැක, මැනවින් නොදැන, මැනවින් නොඅසා, මැනවින් පරීක්‍ෂා නොකොට තීන්දු තීරණ නොගත යුතු බව එයින් කියැවේ.

 යමක් සිදු වූ පසු ඒ පිළිබඳව පසුතැවිලි වීමෙන් පලක් නැත. යමක් කිරීමට පෙරාතුවම ඒ පිළිබඳ සිතා බලා කටයුතු කළ යුතුය. ලෝකෝපකාරයෙහි එන,

 ‘කිසියම් කම් කරව්

 සොඳට නුවණින් බලා විමසා

 එකකට පටන් ගෙනැ

 පසු ඉඳ තැවෙනුවෝ ඇවිදු වෙත්’

 යන්නෙන් කියැවෙන්නේ ද එම අදහසමයි. වර්තමාන සමාජය තුළ සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳ බැලීමේදී පෙනී යන්නේ අප එම කටයුතු සැබැවින්ම විමසා බලා සිදුකරනු ලබන ඒවා ද යන්නයි. තාක්‍ෂණ අවභාවිතය, මාධ්‍ය ක්‍රියාකාරකම් ආදිය ද මෙහිදී සැලකිය යුතු කරුණුය.

 හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වරක් ගැටලුවක් නිරාකරණය කළ අයුරු මෙහි දී අපට සිහියට ගත හැකිය. එක් ගම්මුලාදෑනියෙක් තමන්ගේ විහාරස්ථානයෙහි තරුණ භික්ෂුවක් සමඟ පෞද්ගලික අමනාපකමක් ඇතිව සිටියේය. කිසියම් හෝ අවස්ථාවක ඉහත භික්ෂුවට නිග්‍රහ කිරීමට ඔහු බලාපොරොත්තුවෙන් සිටියේය. එක් අවස්ථාවක තවත් පිරිසක් එකතු කොට ගෙන මෙකී තරුණ භික්ෂුව අනාචාරයේ හැසිරුණු බවට චෝදනාවක් සිදු කළේය. මෙකී ගැටලුව විසඳීම සඳහා මල්වතු මහා විහාරයෙන් පත්කරනු ලැබුයේ සුමංගල නාහිමියන්වය. උන්වහන්සේ චෝදක, චූදිත දෙපක්ෂය කැඳවා චෝදනා පිළිබඳ කරුණු විමසුවේය. චෝදනා කළ පිරිස සඳහන් කළේ ඉහත භික්ෂුව අනාචාරයේ යෙදුන බව තමන් සියැසින් දුටු බවය. ඒ දුටුවේ කෙසේ දැයි නාහිමියන් ප්‍රශ්න කළ විටදී ඉස්තෝප්පු කාමරයේ දොර අගුලෙන් යැයි ප්‍රකාශ කර ඇත. පසුව සුමංගල නාහිමියන් මෙකී පිරිස ද කැටුව අදාළ විහාරස්ථානයට ගිය විටදී දැකගන්නට ලැබුණේ එම විහාරස්ථානයේ ඉස්තෝප්පු කාමරයක් නොමැති බවයි. එයින් පැහැදිලි වූයේ මෙකී චෝදනාව නිකරුණේ කළ බවය. අදාළ භික්ෂුව නිදහස් වූ නමුත් උන්වහන්සේට එහි වැඩ නොවසන ලෙසත් සිවුරු හැර නොයන ලෙසත් සුමංගල නාහිමියෝ උපදෙස් දී ඇත. මෙයින් පෙනී යන වඩාත් වැදගත් කරුණක් නම් යමක් පිළිබඳ නිගමනයකට පැමිණීමේදී අදාළ කරුණ පිළිබඳව විමසා බලා ප්‍රත්‍යක්ෂ කරගත යුතු බවයි.

 බුදුන් දවස වැඩ සිටි දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේට ද මෙබඳු චෝදනා එල්ල වූ බව සංඝාදිසේස ශික්ෂා විමර්ශනය කිරීමේදී පැහැදිලි වේ.

 විමසා බලා කටයුතු කිරීම සෑම පුද්ගලයෙකුටම, සෑම ක්ෂේත්‍රයකටම අදාළ වූ කාරණාවකි. එසේ නොවුන හොත් ඔවුන් අපකීර්තියට පත්ව යසස නැතිවී යා හැකිය. එබැවින් අප සියලු දෙනා විමසා බලා කටයුතු කිරීමට අදිටන් කර ගැනීම අද අදම කළ යුත්තකි.

 “කෘතස්‍ය කරණං නාස්ති

 ප්‍රාගේවාතඃ පරික්ෂ්‍යතාම්

 අවිචින්ත්‍ය කෘතං කර්ම

 පශ්චාත්තාපාය වර්තතේ” කර නිමකරන ලද්දෙහි යළිත් කළ යුත්තක් නොමැත. එබැවින් යමක් කරන්නට පෙරම මැනවින් සිතා බලා කටයුතු කළ යුතුය. සිතා නොබලා කරන ලද කටයුත්ත පසුව තැවීම පිණිස වන්නේය.

ශ්‍රී පුණ්‍යවර්ධනාරාමාධිකාරී. ජගද්දලා සමාජ සුබසාධක ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, නියෝජ්‍ය ලේඛකාධිකාරී,
 සියම්වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත, දර්ශනපති, කථිකාචාර්ය  පූජ්‍ය අගලවත්තේ ඤාණවිමල ස්ථවිර
 

 මෙම දහම් පඬුරේ බැතිබර දායකත්වය දරනු ලබන්නේ  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් නිෂ්පාදකයින් වන DSI නිවසිනි.

සම්බන්ධීකරණය – අචලා ඉරෝමි

advertistmentadvertistment
advertistmentadvertistment