‘බූරු මූණා’ට නම වැටුණු හැටි!
නාවික හමුදාවේත් හිටපු පුද්ගලයෙක්
ගස් කපන කියතකින් මැරයන් පිරිසක් කෑලි කපා පාතාලයේ අත්පොත් තියලා….
මුලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ රත්ගම විදුරගේ කල්ලියට
කරන ලද සමහර ඝාතන තවමත් අභිරහසක්
මේ සිදුවීම මීට වසර දහයකට දොළහකට උඩදී සිදුවූ එක්තරා සිදුවීමකි. රත්ගම ප්‍රදේශයේ එක්තරා පාසලක පන්ති කාමරයක මහා ගුටි කෙළියකි. එක් ශිෂ්‍යයකු තවත් ශිෂ්‍යයන් කීප දෙනකුට පෙරළාගෙන පහර දෙයි. මේ ප්‍රහාරය වළක්වාලන්නට කිසිවකුත් ඉදිරිපත් වුණේ නැත.
අනෙක් සිසුන්ට මේ ගුටිකෙළිය මහා විනෝදයකි. ඔවුන් අත්පුඩි ගසමින් ඔල්වරසන් දෙමින් ගුටි කෙළිය තව තවත් ඇවිලුවෝය. පාසලේ විෂය භාර ආචාර්යවරයා පැමිණ ගුටි කෙළිය නතර කරන තුරු එක් ශිෂ්‍යයකු තවත් කීප දෙනකුට එක සීරුවට පහර දුන්නේය. “උඹට මොකද වෙලා තියෙන්නෙ. මොකද මේ කොල්ලන්ට තඩිබාන්නෙ. මං සෑහෙන දවසක ඉඳලා උඹ ගැන නෝට් කරන් ඉන්නෙ. හැමදාම අහිංසක ළමයින්ට තඩිබානවා. විනය භාර ආචාර්යවරයා එක ශිෂ්‍යයකුගේ කනෙන් අල්ලාගෙන ඔහුව දණගස්සවා ප්‍රශ්න කරන්නට වුණේය. සර්… මුන් මට එක එක නම් හදනවා. මට පාරේ බැහැලා යන්න නෑනෙ. ඉස්කෝලෙ ඉන්නන් නැහැ. දැන් හැමෝම මට ඒ නම කියලා විහිළු කරනවා.
කොල්ලන්ට පහර පිට පහරදුන් ශිෂ්‍යයා කෝපයෙන් වෙව්ලමින් කීවේය.
“සර්…. මෙයාට ‘බූරු මූණා’ කිව්වම හොඳටම තරහා යනවා. ඒ නිසා දැන් හැමෝම එයාට ඔය නම කියනවා. මුළු ඉස්කෝලෙම මෙයාට කියන්නෙ බූරු මූණා කියලා. ඒ නම දාපු අයට තමයි මෙයා හැමදාම ගහන්නෙ….”
මේ ශිෂ්‍යයා කොල්ලන්ට පහර දෙන්නට හේතුව අනෙක් සිසුන් විසින් විනය භාර ආචාර්යවරයාට පැහැදිලි කර දුන්හ.
රත්ගම පාසලේ කොල්ලන් සමග නිතරම ගෝරි දාගත් මේ ශිෂ්‍යයා කිසියම් දිනක රටේ නමගිය මිනීමරුවකු වනු ඇතැයි කිසිවකුත් සිතුවේ නැත. රවිඳු සංඛ ද සිල්වා ‘බුරු මූණා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වන්න පටන් ගත්තේ පාසල් සමයේ සිටය. රවිඳු සංඛගේ මුහුණේ ස්වභාවය විශාල දෑස් කෙසඟ සිරුර නිසා ඔහුට මේ නම පටබැඳීමට පාසලේ කොල්ලන් කිහිප දෙනකු කටයුතු කළහ. රවිඳු සංඛ ද සිල්වා හෙවත් බූරු මූණා උපන්නේ රත්ගමය. ආර්ථික දුෂ්කරතාවලින් ගහන පවුලක උපන් බූරු මූණා ජීවිතය ගෙන ගියේ දහසකුත් එකක් ප්‍රශ්න මැදය. බූරු මූණාගේ පියා වෘත්තියෙන් ගස් කපන්නෙකි. බූරු මූණාට බාල සොහොයුරකු සහ වැඩිමහල් සොහොයුරියක සිටි අතර ඔවුන් දිවි ගෙව්වේ ද දහසක් ප්‍රශ්න මැදය. අධ්‍යාපනයට ඒ හැටි දක්ෂතාවක් නොදැක්වූ නිසා බූරු මූණා අපොස සාමාන්‍ය පෙළ විභාගය යන්තමට සමත් වීමෙන් පසු අධ්‍යාපනයට සමුදුන්නේය.
ආරක්ෂක අංශයකට සම්බන්ධ වීමට බූරු මූණාට කුඩා කල සිටම තිබුණේ මහා ආශාවකි. අපොස සාමාන්‍ය පෙළ සමත් වීමෙන් පසු ඔහු නාවික හමුදාවට එක්වීමට අයැදුම් කළේය.
නාවික හමුදාවට තෝරා ගත් දිනය බූරු මූණාගේ ජීවිතයේ වටිනාම සතුටුදායකම දිනය විය. තාත්තෙ මාව නේවි එකට අරගෙන ලබන සතියෙ ටේ්‍රනින් යන්න තියෙන්නෙ. බූරු මූණා ඒ සතුටුදායක පුවත තම පියාට සහ පවුලේ උදවියට කීවේ මහත් සතුටින්ය. උඹ කොහේ ගියත් ඔය දඩබ්බරකම් අතහැරලා හොඳට ඉන්න බලපන්. කොල්ලො එක්ක ගහමරා ගන්න යන්න එපා. පියා බූරු මූණාට නිතර අවවාද කළෛ්ය. නාවික හමුදාවට එක්වූ බූරු මූණා එහි පුහුණුවීම් කටයුතු ඉතාම උනන්දුවෙන් කරගෙන ගියේය.
නාවික හමුදාවේ සාමාන්‍ය පුහුණුවීම්වලට අමතරව විශේෂ පුහුණු පාඨමාලා කීපයකටම සම්බන්ධ වූ බූරු මූණා ඒ සියල්ල සාර්ථකව නිම කළේය.
ගාල්ල රත්ගම යනු පාතාලයට නම් දැරූ මැරයන්ගෙන් ගහන වූ ප්‍රදේශයකි. රත්ගම විදුර, කොස්ගොඩ තාරක, පොඩි ලැසී, කොස්ගොඩ සුජී ඇතුළු පාතාල මැරයන් කීපදෙනකුම මේ ප්‍රදේශයේ හොල්මන් කරමින් සිටියහ. වසර ගණනාවකට උඩදී රටින් පලා ගොස් ඉතාලියේ වාසය කරන රත්ගම විදුර සිය ප්‍රධාන ආදායම් මාර්ගයන් ලෙස කරගෙන ගියේ මත්ද්‍රව්‍ය අලෙවිය සහ මහා පරිමාණයෙන් කප්පම් ගැනීමය.
රත්ගම විදුර මෙහෙය වූ පාතාල කල්ලිය දකුණු පළාත පුරා මහා භීෂණයක් පතුරුවා ගෙන සිටියහ. කොස්ගොඩ තාරක නමැති පාතාල මැරයා සිටියේ ද විදුරගේ පැත්තේය.
ඩුබායිහි සැඟවී සිටිමින් දකුණේ තවත් පාතාල කල්ලියක් මෙහෙය වූ කොස්ගොඩ සුජී විදුරගේ ප්‍රධාන ප්‍රතිවාදියකු විය. පොඩි ලැසී නමැති මිනීමරුවා කොස්ගොඩ සුජීගේ සමීපතමයකි. මේ පාතාල කල්ලි දෙක අතර පැවතියේ මහා වෛරයකි. පාතාල කිරුල සඳහා මොවුන් එකිනෙකා මරා ගත්හ. ඉකුත් 2015 වර්ෂය වන විට කොස්ගොඩ සුජී පොඩි ලැසී මෙහෙය වූ පාතාල කල්ලිය දකුණු පළාත පුරා මහා භිෂණයක් පතුරුවාගෙන සිටියහ. බූරු මූණාගේ ජීවිතය කනපිට පෙරලූ සිද්ධිය වන්නේ ඔය අතරතුරදීය. නාවික හමුදාවේ සේවය කරන බූරු මූණා මාසයකට දෙකකට වතාවක් නිවාඩු ලබා සිය නිවසට එන්නට පුරුදුව සිටියේය. බූරු මූණාගේ ඥාතීන් කීප දෙනකුම පදිංචිව සිටියේ යාබද නිවෙස්වලය. 2015 වර්ෂයේ එක්තරා දිනක රත්ගම ගිනි ගත්තේය. එදින බූරු මූණා නිවාඩු ලබා සිය නිවස වෙත පැමිණ සිටියේය. බූරු මූනාගේ ලොකු තාත්තා එහෙමත් නැත්නම් පියාගේ වැඩිමහල් සොහොයුරාගේ නිවස දෙසින් මහා ගාලගෝට්ටියකි. පොඩි ලැසියගෙ සෙට් එකක් බැහැලා ලොකු තාත්තාගේ ගෙදර සේරටම ගහනවා. බේරා ගත්තෙ නැත්නම් උන්ව මරලා දායි බුරු මූණාගේ නිවසට පැමිණි පවුලේ ඥාතියකු උදව් ඉල්ලා කෑගසන්න වුණේය. ඒ වනවිට බූරු මූණාගේ පියා සහ සොහොයුරා ද නිවසේ සිටියහ. ඔවුන් යාබද නිවස දෙසට දිව ගියහ.
පහළොස් දෙනකුගෙන් පමණ සමන්විත වූ පොඩි ලැසීගේ පාතාල කල්ලියේ මැරයන් පිරිසක් යකා නටමින් සිටියහ. ඔවුන් ලොකු තාත්තාටත් ඔහුගේ පුත්‍රයාටත් පෙරළාගෙන පහර දෙමින් සිටියහ.
බූරු මුණා සහ පියා මේ ගැටුමට මැදිහත් වුණේය. මැරයන්ගෙන් ගැළවීමක් නැත. ලොකු තාත්තාට සහ පුත්‍රයාට පහරදීම පසෙක තැබූ මැරයන් බූරු මූණාට සහ පියාට පහර දෙන්නට වූහ. ‘පණට’ ආදරයක් තියනවා නම් ඕක නතර කරපියව් නැත්නම් තොපි සේරම කෑලි කෑලිවලට කපනවා. යක්ෂාරූඩව සිටි බූරු මූණා කෑගැසුවේය. එහෙත් මැරයන් සිය ප්‍රහාරය නතර කළේ නැත. මැරයන්ගෙන් ගැළවුණු බූරු මූණා සිය නිවස වෙත දිව ගියේය. පියා ගස් කැපීමට යොදා ගන්නා විදුලි කියත අතට ගත් බූරු මූණා ලොකු තාත්තාගේ නිවස වෙත හැල්මේ දිව ආවේය. ඒ වනවිටත් පාතාල මැරයන් බූරු මූණාගේ පියා ඇතුළු පිරිසට ඉතා අමානුෂික ලෙස පහර දෙමින් සිටියහ. “යකෝ ඕක නතර කරපියව්. නැත්නම් කපනවා තොපි කෑලි කෑලිවලට. ගස් කපන විදුලි කියත ක්‍රියාත්මක කළ බූරු මූණා පාතාල මැරයන් වෙත කඩා පැන ඔවුන් කපා දමන්නට පටන් ගත්තේය. මරුවිකලෙන් හැසිරෙන බූරු මූණාගෙන් ගැළවීමක් නැති බව තේරුම් ගත් මැරයන් පැන දුවන්නට වූහ. එහෙත් ඒ වනවිට මැරයන් හත්අට දෙනකුගේම සිය දෑත් දෙපා අහිමිව තිබිණි. බූරු මූණා විදුලි කියතින් මැරයන් පසුපස පන්න පන්නා ඔවුන් කපා දැමුවේය.
රත්ගම ප්‍රදේශය ගිනි ගත් මේ සිදුවීම පිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කළහ. එදිනම බූරු මූණා ඇතුළු කීප දෙනකු පොලිස් අත්අඩංගුවට පත් විය. දෑත් දෙපා අහිමි වූ පොඩි ලැසීගේ කල්ලියේ හත්අට දෙනකු රෝහල්ගත කර තිබිණි. අධිකරණය වෙත ඉදිරිපත් කළ බූරු මූණා මාස කීපයකට බන්ධනාගාරගත කරන ලදී. පසු දින රාත්‍රියේ නැවතත් පොඩි ලැසීගේ කල්ලිය ක්‍රියාත්මක වූහ. තම සගයන් කපා කොටා බරපතළ තුවාල කිරීමේ වරදට බූරු මූණාගේ පවුලේ සාමාජිකයන්ට වන්දි ගෙවීටම සිදු විය.
බූරු මූණාගේ සහ සමීප ඥාතීන් කීප දෙනකුගේ නිවෙස්වලට කඩා වැදුනු පොඩි ලැසීගේ පාතාල කල්ලියේ මැරයන් ඔවුන්ගේ නිවාස ඇතුළු වටිනා දේපළවලට ගිනි තබා විනාශ කළහ. මාස කීපයක් බන්ධනාගාරයේ ලැග සිටි බූරු මූණා ඇප ලබා ආපසු එද්දි බොහෝ දේ සිදුවී තිබිණි. කොටින්ම ඔහුට ඉන්න සිටින්නට තැනක් පවා අහිමිව තිබුණේය.පොඩි ලැසීගේ සෙට් එක උඹත් එක්ක පුදුම වෛරයකින් ඉන්නෙ. උඹව දැක්ක තැන උන් මරන්න ලෑස්ති වෙලා ඉන්නෙ. පරිස්සම් වෙයන්. බූරු මූණාගේ සමීප මිතුරන් කීප දෙනකුම ඔහුට අනතුරු ඇඟෙව්වෝය. ඇප ලබා නිවසට පැමිණ වැඩි දවසක් ගතවන්නට පෙර නාවික හමුදාවෙන් බූරු මූණා අත්අඩංගුවට ගත්තේය. පුද්ගලයන් හත් අට දෙනකු කපා කොටා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බූරු මූණාට එරෙහිව නාවික හමුදාවෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබුණේය.
විමර්ශන අවසන් වන තුරු බූරු මූණා නාවික හමුදා සිර අඩස්සියේ තැබුවේය. මාස කීපයක් තිස්සේ බන්ධනාගාරයේ ඉතාම කටුක ජීවිතයක් ගත කරමින් සිටි බූරු මූණා ඒ වනවිට දැඩි ලෙස කලකිරීමට පත්ව සිටියේය. රැකියාව පවා එපා වන තත්ත්වයට පත්ව සිටි ඔහු ඉන් පලා යෑමට සැලසුම් කළේය.
නාවික හමුදා සිර මැදිරිය කඩා ඉන් පිටවූ බූරු මූණා කඳවුරේ විශාල තාප්පයෙන් ද පැන පලා ගියේය.
මට දැන් ගමේ ඉන්න බැහැ. එක්කො පොඩි ලැසීගේ උන් මාව මරනවා, නැත්නම් නේවි එකෙන් මාව අල්ලගෙන යනවා. කොහොම හරි පැනලා ජීවිතේ බේර ගන්න ඕනෙ. බූරු මූණා සිය සමීපතම මිතුරන්ට කීවේය.
උඹ ඔහොම ඉඳලා හරියන්නෙ නැහැ. මොකක් හරි රැකවරණයක් හදා ගන්න ඕනෙ. නැත්නම් ලැසියගෙන් මැරුම් කන්න වෙනවා. උඹට දැන් තියන හොඳම දේ තමයි ලැසියට එගේන්ස්ව ඉන්න විදුර අයියගෙ සෙට් එකට එකතු වෙන එක.
බූරු මූණාගේ සමීපතම මිතුරකු අලුත් යෝජනාවක් ගෙන ආවේය. තමන්ට වෙන විකල්පයක් නොමැති බව තේරුම් ගත් බූරු මූණා රත්ගම විදුරගේ පාතාල කල්ලියට සම්බන්ධ වීමට තීරණය කළේය. බූරු මූණාගේ සමීපතම මිතුරකුගේ මාර්ගයෙන් ඉතාලියේ සිටින රත්ගම විදුර දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තේය. මල්ලි මං උඹ ගැන අහලා තියනවා. උඹ හොඳ වැඩ කාරයෙක්ලු නේද? අපටත් ඕනෙ උඹ වගේ හිත හයිය උන්. උඹ මාත් එක්ක වැඩ කරපං. මං හැම දෙයක්ම බලා ගන්නම්. රත්ගම විදුර දුරකථනය ඔස්සේ බූරු මූණාට කීවේය. එතැන් පටන් බූරු මූණා රත්ගම විදුරගේ පාතාල කල්ලියට සම්බන්ධ වී විවිධ අපරාධවල නිරතවන්නට පටන් ගත්තේය. රත්ගම විදුර මෙහෙය වූ මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ වූ බූරු මූණා ඉතා කෙටි කාලයකින් අතමිට සරු කර ගන්නට සමත් වුණේය. මත්ද්‍රව්‍ය අලෙවියට පමණක් නොව මත්ද්‍රව්‍ය භාවිතයට ද ඇබ්බැහි වූ බූරු මූණා වැඩි කල් නොගොස් දකුණු පළාතේ නමගිය අපරාධකාරයකු බවට පත් වුණේය.
දිනක් ඉතාලියේ සිට රත්ගම විදුර බූරු මූණාට දුරකථනයෙන් කතා කළේය.
මල්ලි පොඩි වැඩක් තියනවා උඹට කියලා කර ගන්න. වැඩේ කළොත් මම උඹට ලක්ෂ 10 ක් දෙනවා. මම එගේන්ස් යන එකෙක් ඉන්නවා රත්ගම නන්දලාල් කියලා. මට ඕනෙ ඌව අයින් කර ගන්න. මේ වැඩේ උඹට හරියටම කරන්න පුළුවන්. ඕන කරන දේවල් සේරම මම ලෑස්ති කරලා දෙන්නම්. රත්ගම විදුර කීවේය. මුලින් අදිමදි කළ ද ලැබෙන විශාල මුදල ගැන සිතා බූරු මූණා විදුරගේ ඉල්ලීමට කැමති වුණේය. ඒ වනවිට මොහු කිසිදු මිනිස් ඝාතනයක් කර තිබුණේ නැත. ස්වයංක්‍රීය අවි හැසිරවීමේ මනා දැනුමක් ඇති බූරු මූණා නන්දලාල් නමැත්තා ඝාතනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම සකස් කළේය.
ඝාතනය සඳහා ටී56 අවියක් මෙන්ම සහයකයකු ද ලැබුණේය. රත්ගම විදුරට බූරු මූණා හඳුන්වා දුන් රොෂාන් නැමත්තා මේ ඝාතනයේ හවුල්කරු විය. නන්දලාල් නමැත්තා සොයා ගිය බූරු මූණා සහ රොෂාන් ටී56 අවියෙන් ඔහුට වෙඩි තබා ඝාතනය කර පලා ගියහ. මේ ඝාතනය බූරු මූණාගේ මුල්ම මිනීමැරුම ලෙස අපරාධ ගිණුමට බැර වුණේය. පොරොන්දු වූ පරිදි විදුර රුපියල් මිලියනයක් බූරු මූණාට ලබා දුන්නේය. මේ ආකාරයට විදුර ලබාදුන් කොන්ත්‍රාත් ගණනාවක්ම බූරු මූණා විසින් සිදු කළේය. හික්කඩුව ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා විදුරගෙන් රුපියල් විසිලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලැබුණේ ඔය අතරතුරදීය. කට් රොෂාන් නමැති පාතාල මැරයකු දකුණේ පාතාලයේ රජ කරමින් සිටියේය. ප්‍රතිවිරුද්ධ කල්ලියක් විසින් කට් රොෂාන් කපා කොටා ඝාතනය කර තිබිණි.
කට් රොෂාන්ගේ සොහොයුරිය කුඩු සිඟිතිය. රොෂාන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම කාලයක සිට මෙහෙයුවේ කුඩු සිඟිති විසින්ය. තම සොහොයුරු ඝාතනය කළ පුද්ගලයන්ගෙන් පලි ගැනීමට මාන බලමින් සිටි සිඟිති ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙව්වාය.
රත්ගම විදුර මේ පලිගැනීම සඳහා සහාය කරවා ගන්නට කුඩු සිඟිතිට හැකි විය. කට් රොෂාන් ඝාතනයේ පලිගැනීම සඳහා පුද්ගලයන් දෙදෙනකු මරා දැමීමේ කොන්ත්‍රාත්තුව රත්ගම විදුරට ලැබෙන්නේ කුඩු සිඟිති හරහාය. හික්කඩුවේ පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීම සඳහා බූරු මූණා වෙත කොන්ත්‍රාත්තුව ලබාදුන් විදුර ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ද සලසා දුන්නේය. ඉකුත් වසරේ ඔක්තෝබර් 31 වැනිදා මේ ද්විත්ව ඝාතනය ක්‍රියාත්මක කෙරිණි. අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීම සඳහා තිදරු පියකු වන ප්‍රසන්න මෙන්ඩිස් සහ ඔහුගේ ඥාති පුත්‍රයකු වන ඉසුරු ප්‍රසන්න යතුරුපැදියක නැඟී හික්කඩුව ප්‍රදේශය හරහා යමින් සිටියහ. තම ගොදුර හික්කඩුවට පැමිණ සිටින බව සැලවූ වහාම ක්‍රියාත්මක වූ බූරු මූණා විදුරගේ සගයකු සමග යතුරුපැදියකින් ඔවුන් ලුහුබැන්දේය. හික්කඩුව ආසන්නයේදී බූරු මූණා ක්‍රියාත්මක වුණේය. ටී56 අවියකින් යතුරුපැදියේ යමින් සිටි පුද්ගලයන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කළ බූරු මූණා සහ සගයා නිරුපද්‍රිතව පලා ගියහ. මේ ආකාරයට බූරු මූණා විසින් සිදු කළ ඝාතන රාශියකි. ඇතැම් ඝාතන පොලිසිය හෙළි කරගෙන ඇතත් සමහර ඒවා තවමත් අභිරහස්ය.
රත්ගම විදුර ලබාදුන් මිනිස් ඝාතන කොන්ත්‍රාත් ක්‍රියාත්මක කිරීම නිසා බූරු මූණාට නිදහසේ ජීවත් වීමේ අවකාශය හිමිව තිබුණේ නැත. කොයි මොහොතක හෝ තමන් පොලිසියෙන් කුදලාගෙන යාවි යන සැකයෙන් ඔහු හැම විටම ගත කළේ ඉතාම රහසිගත ජීවිතයකි. ඒ වනවිට බූරු මූණා එක් දරු පියකු විය. එහෙත් ඔහුට තම දරුවා සමග හෝ බිරිඳ සමග එකට නිදහසේ ජීවත් වීමේ වාසනාව හිමිව තිබුණේ නැත. මේ පිළිබඳව දැඩි කලකිරීමෙන් පසු වූ බූරු මූණා රත්ගම විදුරට කතා කළේය. විදුර අයියා මට දැන් මේ ජීවිතේ එපා වෙලා. හැමදාම හැංගිලා ඉන්නෙ. මට මගේ දරුවයි ගෑනියි එක්ක නිදහසේ ඉන්න ඕනෙ. මාව ඩුබායිවලට යවන්න, එතකොට මට මගේ ගෑනිවයි ළමයවයි එහෙට ගන්න පුළුවන්. බූරු මූණා රත්ගම විදුරගෙන් ඉල්ලා සිටියේය.
හරි උඹ ලෑස්ති වෙයන්. මං උඹව ඩුබායිවලට යවන්නම්. හැබැයි මින් ඉදිරියටත් උඹ අපි එක්කම ඉන්න ඕනෙ.
විදුර බූරු මූණාට කීවේය. ඩුබායිවල ඉන්නවා ලලිත් කියලා අපේ එකෙක්. මං ඌට කියන්නම් උඹ ඌට කතා කරපන්, පාස්පෝට් එකයි අයිඩින්ටි කාඩ් එකයි හොරට හදලා දෙයි. මං ලලිත්ට කියන්නම් රත්ගම විදුර කීවේය. ඒ අනුව ඊට දින කීපයකට පසු ලලිත් බූරු මූණාට දුරකථනයෙන් කතා කළේය.
මට විදුර අයියා සේරම විස්තර කිව්වා. ඩුබායි ගෙන්න ගන්න අවශ්‍ය කරන හැම දෙයක්ම මම කරලා දෙන්නම්. ඩුබායි ආවහම මගේ ළඟ තමයි ඉන්න වෙන්නෙ. ඒ සේරම දේවල් මම ලෑස්ති කරලා තියෙන්නෙ. ලලිත් බූරු මූණාට කීවේය. කෝරල කන්කානමලාගේ රවිඳු වර්ණ රංග යන ව්‍යාජ නමින් විදේශ ගමන් බලපත්‍රයක් සහ හැඳුනුම්පතක් සකස් කර ගත් බූරු මූණා ඩුබායි රාජ්‍යයට පලා යෑමට සැලසුම් කරන්න වුණේය. ඊට අවශ්‍ය කරන සියලු දේ ඉටු කර දීමට ලලිත් කටයුතු කළේය. ලලිත් රත්ගම විදුරගේ පාතාල කල්ලියේ සමීපතම සගයෙකි. විදුරගේ මත්ද්‍රව්‍ය ජාලය මෙන්ම කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධ මෙහෙය වනු ලැබුවේ ලලිත් විසින්ය.
මේ අතර දිනක් ලලිත් හදිසියේම බූරු මූණාට දුරකථනයෙන් කතා කළේය.
“මල්ල උඹ ඩුබායි එන්න ඉස්සර කරන්න ලොකු වැඩක් තියනවා. මං විදුර අයියටත් මේ ගැන කිව්වා. විදුර අයියා වැඩේ උඹට භාර දෙන්න කිව්වා” ලලිත් තම අවශ්‍යතාව කීවේය. හංවැල්ලෙ ඉන්නවා මුස්ලිම් බිස්නස් කාරයෙක්. ඌ එක්ක අපට ලොකු ඇරියස් එකක් තියනවා. මේ බිස්නස්කාරයගෙ අයියා හංවැල්ල පැත්තෙ හෝටල් කරන ලොකු සල්ලි කාරයෙක්. අපි මිනිහගෙන් කෝටි 2 ක් ඉල්ලුවා. ඌ ඒක දුන්නෙ නැහැ. අපිව සත පහකට ගණන් ගත්තෙ නැහැ. පස්සෙ මම සෙට් එකක් උගේ ගෙදරට ඇරලා මිනිහව කපලා කොටලා ලොකු පනිෂ්මන්ට් එකක් දුන්නා. මේ කේස් එක පොලිසියෙන් හොයද්දි ඒකට ෆුල් සපෝර්ට් කළේ ඔය හංවැල්ලෙ මුදලාලි. අපි ඌට කීප සැරයක් වෝන් කළා වැඩක් වුණේ නැහැ.
අපිට ඕනෙ ඌට පාඩමක් උගන්වන්න. මල්ලි උඹ වැඩේට ලෑස්ති වෙයන්. මං සේරම සෙට් කරන්නම් ගේම් එක දීලා උඹට තියෙන්නෙ ඩුබායි පනින්න. ලලිත් සියලු තොරතුරු කීවේය. ලලිත්ගේ ඉල්ලීමට බූරු මූණා එක පයින් කැමති වුණේය. අයියා මේ කරන උදව්වල හැටියට මේක මොකද්ද මං වැඩේ කරන්නම් ඕන කරන දේවල් ලෑස්ති කරලා දෙන්න බූරු මූණා කීවේය. කරවිට සීයා විදුරගේ පාතාල කල්ලියේ සගයෙක්. මුස්ලිම් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සැලසුම සඳහා බූරු මූණාගේ සහායකයා ලෙස ලබාදී තිබුණේ කරවිට සීයාය. මුස්ලිම් ව්‍යාපාරිකයා සිය වෙළෙඳසලේ කටයුතු නිම කර එය වසා දමා නිවසට යෑමට සූදානම් වෙද්දි බූරු මූණා එහි කඩා වැදුණේය. ඔහු අත තිබූ හිත් පිත් නැති පිස්තෝලය ක්‍රියාත්මක වුණේය.
ව්‍යාපාරිකයා අවසන් හුස්ම හෙලමින් වෙළෙඳසල තුළ ඇද වැටුණේ සිය සොහොයුරා වෙනුවෙන් ජීවිතයෙන් වන්දි ගෙවමින්ය මේ සියලු අපරාධ සිදු කර බූරු මූණා හොර රහසේම ඩුබායි රාජ්‍ය වෙත පලා යන්නට සූදානම් වුණේය. ඔහුගේ අරමුණ වී තිබුණේ ඩුබායි රාජ්‍ය වෙත ගොස් තම බිරිඳ සහ දරුවා එහි ගෙන්වා ගැනීමය.
එහෙත් ඒ සියලු සැලසුම් අවසානයේ ව්‍යර්ථ වුණේය. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගෙන කටුනායක ගුවන් තොටුපළෙන් රට පනින්න හැදූ බූරු මූණා පොලිසියට කොටු වුණේය. එහෙත් බූරු මූණා ගලවා ගැනීමට ඔහුගේ පාතාල සගයන් කටයුතු කළහ. චීවරධාරීන් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපළ පොලිසියට යවා ඉතාම සුක්ෂම ලෙස බූරු මූණා අත්අඩංගුවෙන් මුදා ගැනීමට පාතාල සගයන් කටයුතු කළේය. පලා ගිය බූරු මූණා දින ගණනක් යනතුරු පොලිසියට කට්ටි පනිමින් සැඟවී සිටියේය. එහෙත් පොලිස් නිලධාරීන්ගෙන් බූරු මූණාට ගැලවීමක් තිබුණේ නැත. බූරු මූණාට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයන් පොලිස් අත්අඩංගුවෙන් මුදාගත් චීවරධාරීන් ඇතුළු නන් අයුරින් ඔහුට සහය වූ පුද්ගලයන් දසදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වූහ.
පොලිස් ඇසට වැලි ගසමින් තවදුරටත් සැඟවී සිටීම භයානක බව තේරුම් ගත් බූරු මූණා අවසානයේ අවිස්සාවේල්ල අධිකරණයට භාරවීමට තීරණය කළේය. ඔහු අධිකරණය වෙත යද්දි අවිස්සාවේල්ල පොලිසියට කොටු වුණේය.
මේ වනවිට බූරු මූණා සිටින්නේ බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය භාරයේය. වසර හත අටක් තිස්සේ තමන් සිදු කළ මහා අපරාධ එකින් එක බූරු මූණා වමාරමින් සිටියි. හිත්පිත් නැති ලෙස අහිංසක මිනිසුන් ඝාතනය කළ බූරු මූණා අද අනුකම්පාව අයදිමින් සිටියි. එහෙත් අපරාධකරුවන්ට නිසි දඬුවම් දිය යුතුය.
හේමන්ත රන්දුණු