විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

165

වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමග සිවිල් සංවිධාන කිහිපයක පිරිසක් ඊයේ (16 දා) සවස පැවැත්වූ විරෝධතා පා ගමනට කොල්ලුපිටිය සහ සෞන්දර්ය සරසවිය අසල ප්‍රදේශයේදී පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබීය.

මෙම විරෝධතා පෙළපාලිය තුන්මුල්ල ප්‍රදේශයේදී ආරම්භ වී කොල්ලුපිටිය දෙසට ගමන් කරන අවස්ථාවේදී පොලිසිය මෙලෙස විසුරුවා හැරීය.

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

විරෝධතාකරුවෝ දහවල් 12.00 පමණ වන විට ටවුන් හෝල් ප්‍රදේශයට එක් රැස්වූ අතර අධිකරණ නියෝගයන් හේතුවෙන් පසුව ඔවුන් තුන්මුල්ල හන්දියට පැමිණ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවේ නිරත වූහ.

මේ අතර විරෝධතාවේ නිරත පිරිසට ගාලුමුවදොර පිටියට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

දින 150 කට අධික කාලයක් රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, විදුලි ගාස්තු හා ජීවන වියදම පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන මෙම විරෝධතාව පැවැත්වුණි.

විරෝධතා හේතුවෙන් තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට පිවිසෙන මාර්ගවල හා කොල්ලුපිටිය ප්‍රදේශවල දැඩි වාහන තදබදයක් පැවතුණි.

පසුව ස්ථාන කිහිපයකම විරෝධතාවට එක්වූ පිරිස් කොල්ලුපිටියේ සිට බම්බලපිටිය දෙසට පැමිණීමේදී ඩුප්ලිකේෂන් මාර්ගයේදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හරිනු ලැබීය.

විසුරුවා හැරි පිරිස් නැවත තුන්මුල්ල හන්දියට රැස්විය. විරෝධතාකරුවන් පිරිසක් මේ අතර නෙළුම්පොකුණ ප්‍රදේශයේ සිට නිදහස් චතුරශ්‍රය දෙසට ගමන් කළේය.

සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලදී ඔවුන්ට ද පොලිසිය විසින් කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබීය.
සටහන සහ ඡායාරූප – නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment