විරෝධතා මැද්දේ දුමින්ද එළියට ආ හැටි

575

මනෝජ් අබයදීර

මහින්දාගමනය සිදු වූ පොසොන් පොහොය දිනයේ දුමින්ද සිල්වා නිදහස ලැබීම මේ වන විට දේශපාලන පිටියේ පමණක් නොව නීති ක්‍ෂේත‍්‍රයේ ද මාතෘකාවක් බවට පත්ව තිබේ. දුමින්දට ලබා දුන් ජනාධිපති සමාව සම්බන්ධයෙන් භාරත පාර්ශ්වයෙන් විරෝධතා එල්ලවීම සාමාන්‍ය වුවත් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය, ශ‍්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය පවා දුමින්ද නිදහස් කිරීමට එරෙහිව විරෝධතා දක්වා තිබුණි.

දුමින්දගේ නඩු තීන්දුවේ ඉතිහාසය සැකවින් බැලූත් එය දැඩි දේශපාලන වටපිටාවක් සහ වුවමනාවක් සහිත අධිකරණ ක‍්‍රියාදාමයක් විය.

දුමින්ද සහ භාරත පාර්ශ්ව අතර ගැටුම ඇතිවන්නේ, 2011 වසරේ ඔක්තෝබර් 08 වෙනිදා පළාත් පාලන ඡන්දය පැවති දිනයේදීය.

විරෝධතා මැද්දේ දුමින්ද එළියට ආ හැටි

එදා දහවල් මුල්ලේරියාව වල්පොළ හන්දියේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක පුස්තකාලය ඉදිරිපිටදී මුණගැසෙන්නේ එකම පිලේ දේශපාලනය කෙරුවද ජන්මාන්තර වෛරයකින් පෙළුණු කණ්ඩායම් දෙකකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශක වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර සහ ඔහුගේ ආධාරකරුවන් කණ්ඩායමක් මුල්ලේරියාව සිරිමාවෝ බණ්ඩාරනායක පුස්තකාලය ඉදිරිපිට පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබල ආධාරකරුවකුගේ නිවසට පැමිණ සිටියෝය. පාරේ අනිත් පසින්, ඡන්ද උණුසුම දරාගත් කොළොන්නාවේ ශ‍්‍රීලනිප සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු පිරිසකි.

ඔවුන්ගේ පැමිණීමත් සමඟ කිසියම් දරුණු වෙඩි තැබීමක් සිදු වූ අතර ඒ සමඟම කොලොන්නාව ප‍්‍රදේශය එකම යුද පිටියක් බවටත්, රටටම ගිනිගත් ප‍්‍රවෘත්තියක් බවටත් දෙපාර්ශ්වයේ වෙඩි හුවමාරුව පත්වී තිබුණි. සිදු වූ වෙඩි හුවමාරුවකින් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් හා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු හතර දෙනකු මියගොස්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ඇතුළු තිදෙනෙක් බරපතළ තුවාල ලැබූහ. දරුණු වෙඩි ප‍්‍රහාරයකට ලක්වී බරපතළ තුවාල ලැබූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා හදිසි මූලික ප‍්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට රැගෙන එන විටත් මියගොස් සිටියේය. වෙඩි හුවමාරුවෙන් බරපතළ තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා ප‍්‍රතිකාර සඳහා නවලෝක රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබිණි.

ඝාතනයට ලක්වූ සිය පියාගේ දේහය ඔක්තෝබර් 12 වැනිදා උමගිලිය පිටියේ ඉදි කළ චිතකයක දැවෙද්දී භාරත දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇගේ සටන ඇරඹුවාය. ඒ සමඟ භාරත – දුමින්ද යුද්ධයේ නව පරිච්ෙඡ්දය ආරම්භ විය. ඒ හිරුණිකා – දුමින්ද යුද්ධය ය. මාධ්‍ය සටන්, දේශපාලන සටන්, ෆේස් බුක් සටන් ආදියෙන් ක‍්‍රියාත්මක වූ එය අවි හරඹයකට නොගියා පමණය.

පියාගේ මරණය සටන් පාඨයක් ලෙස ගෙන හිරුණිකා, ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසුණාය. හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර සිය දේශපාලනයේ සංධිස්ථානයකට පත් කරමින් බස්නාහිර පළාත් සභාව සඳහා තේරී පත් වූ අතර 2015 ජනවාරි 8 වැනිදා පැවති ජනාධිපතිවරණයට, දින ආසන්න වෙද්දී තීරණාත්මක පියවරක් තබමින් ඇය පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සිය සහය පළ කළා ය.

ආණ්ඩු පෙරළියෙන් පසු විශේෂ අධිකරණ කටයුත්තක් ලෙස සලකමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ ‘භාරත ඝාතන නඩුව’ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතාගෙන් ඉල්ලීමක් කරන ලද්දේය. එයට අනුමැතිය ලැබී, ශිරාන් ගුණරත්න (සභාපති), පද්මිණි රණවක සහ එම්. සී. බී. එස්. මොරායස් යන මහත්ම මහත්මීන්ගේ යුත් ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ භාරත ඝාතන නඩුව විභාග කිරීම සිදු විය.

2011 ඔක්තෝබර් දොළොස් වැනිදා සාක්ෂි විමසීම ආරම්භ වූ භාරත ඝාතන නඩුව, 2016 ජුලි මස 14 වැනිදා අවසන් වූ අතර, තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම, සැප්තැම්බර් අට වැනිදාට නියම විය.

පිටු 297 කින් යුත් නඩු තීන්දුවේ වැදගත් කොටස, විනාඩි විසිපහක පමණ කාලයක් විනිසුරු පද්මිණි එන්. රණවක මහත්මිය විසින් ප‍්‍රකාශ කරමින් තීන්දුව ප‍්‍රකාශ කිරීම ආරම්භ කළාය.

නඩුවේ පළමු වැනි විත්තිකරු වූ අනුර තුෂාර ද මෙල්, තෙවැනි විත්තිකරු චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, හත් වැනි විත්තිකරු සරත් බණ්ඩාර, නඩුවේ 10 වැනි විත්තිකරු ජනක බණ්ඩාර ගලගොඩ සහ 11 වන විත්තිකරු දුමින්ද සිල්වා යන පිරිස වරදකාර ලැයිස්තුවට ඇතුළු වූ අතර ඔවුන් සියලූ දෙනාට මරණ දණ්ඩනය නියම කරනු ලැබීය. ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවත් වැලිකඩ සිර මැදිරියේදී ජනාධිපතිවරයා නියම කරන දිනයක චූදිතයන් ප‍්‍රාණය නිරුද්ධ වන තෙක් එල්ලා තැබීමට මහාධිකරණ නියෝග කරන ලද්දේය.

මෙම නඩුවේ 11 වැනි විත්තිකරු වූ දුමින්ද සිල්වාගේ ප‍්‍රචණ්ඩකාරී හැසිරීම නිසා මෙම සිදුවීම වී ඇති බවට පද්මිණි එන්. රණවක මහත්මිය සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් පැවසුවාය. අධිකරණ වෛද්‍ය වාර්තා අනුව දුමින්ද සිල්වා මත්පැන් පානය කර ඇති බවටත් මිය ගිය භාරත පේ‍්‍රමචන්ද්‍ර මහතා මත්පැන් පානය කර නොමැති බවට අනාවරණය වී ඇති බවටත් ප‍්‍රකාශ කළ විනිසුරුවරිය, දුමින්ද සිල්වාගේ නායකත්වය මෙම සිද්ධියට හේතු වී ඇති බවට තීන්දු කළාය. විනිසුරු පද්මිණි රණවක මහත්මියගේ තීන්දුවට තමන් එකඟ බව විනිසුරු එම්. බී. සී. එස්. මොරායස් මහතා විවෘත අධිකරණයේදී ප‍්‍රකාශ කළේය.

එමෙන්ම එම විත්තිකරුවන් පස්දෙනා අතරින් පළමු වැනි විත්තිකාර පොලිස් කොස්තාපල් අනුර තුෂාර ද මැල් නමැත්තා 1, 9 හා 17 යන අධිචෝදනා තුනට ද වරදකරු බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල එම චෝදනා 3 ට ජීවිතාන්තය දක්වූ සිරදඬුවම් හා වසර 20 යි මාස හයක සිර දඬුවමක් ද නියම කළහ. නඩුවේ සෙසු විත්තිකරුවන් 8 දෙනා චන්දන ජගත් කුමාර, ලංකා රසාංජන, මාලක සමීර, විදානගමගේ අමිල, සුරංග පේ‍්‍රමලාල්, සමන් කුමාර අබේවික‍්‍රම, රෝහණ මාරසිංහ සහ නාගොඩ ලියනආරච්චි චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරනු ලැබූවාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනය කිරීම, ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ඡන්දදායකයන් හට ගිනි අවි භාවිත කරමින් සාපරාධී බිය ගැන්වීම, නීති විරෝධී රැස්වීම ඇතුළු චෝදනා 10 කට වරදකරුවන් කර රුපියල් 40,000 බැගින් වූ දඩ මුදලක් ද ගෙවීමට විත්තිකරුවන්ට අධිකරණය නියෝග කළේය.

විනිසුරු මණ්ඩලයේ දෙදෙනකු එක් තීන්දුවක් සහ සභාපති විනිසුරු විසින් සම්පූර්ණ වශයෙන් ඊට වෙනස් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කිරීම මෙම නඩුවේ විශේෂත්වය විය. නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා 17 න් විත්තිකරුවන් 13 දෙනාම නිදොස්කොට නිදහස් කළ යුතු බව එම ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස කටයුතු කළ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිය තීන්දු ප‍්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය. 3 වැනි විත්තිකාර චමින්ද රවි ජයනාත් නමැත්තා එම ඝාතනයෙන් පසුව ඉන්දියාවට පලාගොස් සිටියදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළව ඉදිරිපත් කළ පැමිණිල්ලේ සාක්ෂි සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විත්තිය ප‍්‍රබල ලෙස මතු කළ පැමිණිල්ලේ සාක්ෂිවල ඌනතාවන් බිඳ දැමීමට පැමිණිල්ල අසමත් වී ඇති බවත් සිය තීන්දු ප‍්‍රකාශය  මගින් සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේය. නඩුවේ විත්තිකරුවකු අත්අඩංගුවට ගැනීමක් වැනි කරුණක් පිළිබඳව අධිකරණය හමුවේදී සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි මගින් තහවුරු කිරීමට පැමිණිල්ල අපොහොසත් වීමක් මගින් සමස්ත නඩු ක‍්‍රියාදාමයට බලපාන්නේ යැයි ද සභාපති විනිසුරුවරයා සිය තීන්දු ප‍්‍රකාශය මගින් පෙන්වා දුන්නේය.

දුමින්ද ඇතුළු පිරිසට මරණ දඬුවම ලද දිනයේම ඔහුගේ පවුලේ පිරිස පවසන ලද්දේ මෙම තීන්දුව උදෙසා තමන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවය. දුමින්ද සිල්වා ඇතුළුව සියලූම විත්තිකරුවන් වෙනුවෙන් ඔවුන්ගේ නීතිඥවරුන් එදිනම ති‍්‍රපුද්ගල විනිශ්චය මණ්ඩලයට දන්වා සිටියේ මෙම තීන්දුවට එරෙහිව තම සේවාදායකයන් අභියාචනාධිකරණයේ පිහිට පතන බවය.

ඒ අනුව සෑම පුරවැසියකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් මහාධිකරණයේදී දුමින්ද සිල්වා මහතාට නොලැබුණ බව සඳහන් කරමින් අභියාචනය ගොනු විය.

ති‍්‍රපුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද නඩු තීන්දුවක් හෙයින් අනෙකුත් මහාධිකරණ නඩු තීන්දු මෙන් ඊට එරෙහි අභියාචනා විභාග කිරීමට අභියාචනාධිකරණයට නෛතික ප‍්‍රතිපාදන නොමැති වීම මත මෙම විශේෂ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලදී.

එවැනි ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක නඩු තීන්දුවක් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී වූවද නෛතික ප‍්‍රතිපාදන සැලසී ඇත්තේ ‘පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයකට…’ පමණක් වන හෙයින් මේ සඳහා අගවිනිසුරුවරයා විසින් තම ප‍්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් පත් කරනු ලැබීය.

අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, පි‍්‍රයන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ විජිත් කේ. මලල්ගොඩ යන පංච පුද්ගල පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එකී අභියාචනය ප‍්‍රථම වරට 2017 නොවැම්බර් මස 27 වැනිදා කැඳවා මූලික කරුණු තහවුරු කිරීම සඳහා නීතිපතිවරයාටත් පෙත්සම් පාර්ශ්වයටත් දින නියම කරනු ලැබීය.

මෙම නඩු විභාගයේදී නීතිපති දෙපාර්තමේන්තුව සහ දුමින්ද සිල්වාගේ නීතිඥයන් අතර බරපතල වාද විවාද ඇතුළත් වූයේ නමුදු මෙම දෙපාර්ශ්වයම එකඟ වූ කාරණා කිහිපයක් ද විය.

* දුමින්ද සිල්වාට පළමුව වෙඩි වැදුණු බව

* දුමින්ද සිල්වාගේ හිසට වෙඩි ප‍්‍රහාර දෙකක් භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමීණි එල්ල කළ බව

* ඉන් දුමින්ද සිල්වාට පළමුව මරණීය තුවාල ලැබූ බව

* ඉතා ඉක්මනින් දුමින්ද සිල්වා එම ස්ථානයෙන් ඉවත් කර රෝහල් ගත කළ බව

* දුමින්ද සිල්වා කිසිදු අවස්ථාවක වෙඩි නොතැබූ බව

* කිසිදු අවස්ථාවක දුමින්ද සිල්වා කිසිදු ගිනි අවියක් පරිහරණය නොකළ බව

යන්න ඒ අතර ප‍්‍රධාන විය.

දුමින්ද ඇතුළු පිරිසගේ අභියාචනය පිළිබඳව මාධ්‍ය පමණක් නොව දේශපාලන ක්‍ෂේත‍්‍රයේ බොහෝ දෙනෙකුද නෙත් යොමා බලා සිටියේය. තීන්දුව නිකුත්වීමට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය, තමන්ගේ සුපුරුදු රිද්මයට පිවිසෙමින් ආවේගාත්මක කතාවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විය. තමන්ට එරෙහිව විද්‍යුත් මාධ්‍ය දෙකක් සහ පුවත්පත් විසින් පළ කර ඇති පුවතක් සම්බන්ධව සඳහන් කළ ඇය, දුමින්දගේ සොහොයුරාට අයත් නාලිකාවට ද දොස් තබන්නට වූවාය. තමා තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනාවන් අධිකරණය හමුවේ පිළිගත්තේ යැයි එම නාලිකා විසින් වාර්තා කිරීම ගැන විරෝධය පළ කරමින් මන්ත‍්‍රීවරිය මේ බව කියා සිටියාය.

මහින්ද රාජපක්ෂ කාලයේ දුමින්ද සිල්වා සමග හැප්පුණු තමනට ජනාධිපති මෛත‍්‍රිපාල, අගමැති රනිල් වික‍්‍රමසිංහ එක්ක සිටියදී ඔවුන් දෙදෙනා සමගින් දුමින්ද සිල්වා සමග හැප්පෙන එක මහලොකු දෙයක් නොවෙන බවද ඇය මෙහිදී සඳහන් කළාය. එදින පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ද කෙළින් නොකියා පසුදා නිකුත් වන යම් නඩු තීන්දුවක් පිළිබඳව සඳහන් කළේය. හෙට දිනයේදී මෙරට ඉතිහාසයේ සුවිශේෂී නඩු තීන්දුවක් ලැබෙනු ඇති බවට තොරතුරු ඇති බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

මාධ්‍ය හමුව අතරතුරදී පුද්ගලයන් දෙදෙනකුට ද අමතා එම තොරතුර තහවුරු කරගත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, පසු දිනයේදී තීන්දුව ලබාදීමට නියමිත නඩුවකින් අදාළ විත්තිකරු නිදොස් කර නිදහස් කරනු ඇති බවට තමන්ට 99% ක් විශ්වාස බවයි. එසේ වුවත් එම නඩුව කුමක්ද යන්න ඔහු සඳහන් නොකළේය.

2018 ඔක්තෝබර් 11 වැනිදා පස්වරු 1.20 පමණ වන විට දුමින්ද ඇතුළු පිරිසගේ අභියාචනය පිළිබඳ අවසන් තීන්දුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල නිකුත් කළේය. පළමුවැනි විත්තිකරු වූ අනුර තුෂාර ද මැල් නමැති දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයා නිදොස් කොට නිදහස් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, දුමින්ද සිල්වා, ජී. එම්. සරත් කුමාර බණ්ඩාර සහ චමින්ද රවි ජයනාත් යන තිදෙනාගේ අභියාචනා ඉවතට දමන්නට තීන්දු කරන ලද්දේ, ඔවුන්ගේ මරණ දඬුවම යළිත් වරක් තහවුරු කරමිනි.

සියල්ල අනික් පිට හැරවෙන්නේ, රන්ජන්ගේ දෙබස් සහිත හඬපට කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ රටේ සවන් අතරට එක්වීමත් සමගය. එහි පළමු දුරකථන සංවාදය ලෙස බොහෝ දෙනා ඇසුවේ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ රන්ජන් අතර කතාවක් ලෙසය. එය ආරම්භ වන්නේ

ශානි: සර් වඳින්නම් නඩුවේ සිද්ධිය ගැන කිසිම කෙනකුට කතා කරන්න එපා. ලොකු ප‍්‍රශ්නයක් වෙනවා.

රන්ජන්: ඇත්තද?

ශානි: වැඳලා කියන්නම් සර්, කිසිම තැනක සර්ගෙ කටවත් අරින්න එපා. දැන් හොඳම තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නෙ.

රන්ජන්: හා… හා… හා…

ශානි: සර් කතා කරපු එකත් ලොකුවට පත්තුවෙලා යන්න හදන්නෙ. අපි ඒක බැලැන්ස් කරගන්නම්. වඳින්නම් කිසිම කෙනකුට කතා කරන්න එපා. සර් දන්න දෙයක්වත් කියන්න එපා.

රන්ජන්: රයිට් රයිට් මං කාටවත් කිව්වෙ නැහැ. අද ජනාධිපතිතුමා හම්බවෙනවා පහමාරට.

ශානි: එපා එපා සර්. වඳින්නම් මොකුත් කියන්න එපා. දැන් ප‍්‍රශ්නෙ හරි.

රන්ජන්: ප‍්‍රශ්නෙ හරිද?

ශානි: ප‍්‍රශ්නෙ හරි. හැබැයි සර් වඳින්නම් රණවක මැඩම්ට කෝල් දීලා කියන්න එපා. ලොකු ප‍්‍රශ්නයක් වෙනවා අපි ඔක්කොටම.

රන්ජන්: ඇත්තද? ඔතන කවුරුත් නෑ නේද?

ශානි : නෑ නෑ

රන්ජන්: මම කතා කරලා කිව්වා. මොකද එදා ඔයා හිතේ අමාරුවෙන් කතා කරානේ. මට කතා කළාම මම එහෙම්ම ගත්තා එයාට. මම කතා කරලා කිව්වා ‘අනේ මැතිනිය මම මේ බලපෑමක් කරනවා නෙවෙයි, මුළු රටම බලන් ඉන්නවා මේ 9 වැනිදා තීන්දුව ගැන. ඔව් රන්ජන් මොකද්ද කියලා ඇහුවා. මැඩම් මුළු රටම දන්නවා මහ දවල් මිනී මැරුමක්. ඔබතුමිය මම දන්න ශ්‍රේෂ්ඨ විනිසුරුවරියක්.’

‘ඉතින් මොකද්ද ප‍්‍රශ්නෙ. කියලා ඇහුවා. මං කිව්වා මුළු රටම බලන් ඉන්නවා මැඩම්. ආ රන්ජන් කට්ටියක් ඇවිල්ලා මං පස්සෙ ගන්නම් කියලා කිව්වා.

ශානි: එච්චරයි නේ සර්.

රන්ජන් : එච්චරයි. වෙන මොකුත්ම නෑ.

ශානි: ඔය ඇරෙන්න වෙන මොකුත්ම.

රන්ජන්: වෙන මොකුත්ම නෑ

ශානි: සර් ආයේ එහෙම මැඩම්ට කතා කෙරුවොත් ඒගොල්ලොත් ඔක්කොම අනිත් පැත්තට එකතුවෙලා අරයාගෙ තීන්දුවට එකඟ වෙයි.

යන දෙබස් මාදිලිය ඔස්සේය.

පටිගතයෙන් ඇසෙන පරිදි ශානි අබේසේකර විසින් රන්ජන්ගේ ගෙදර වළං ඉඳුල් හෝදන තැන දක්වා පහළට වැටෙන්නේ, දුමින්දගේ නඩු තීන්දුව පිළිබඳවය. රටේම අවනම්බුවට භාජන වෙමින් සිරගත වෙන දුමින්ද වෙත ලබාදෙන ලද්දේ, නෛතික දඬුවමක් නොව සැලසුම් සහගත ලෙස පොලිසිය සහ අධිකරණයේ සමහර නඩුකාරයන් මෙහෙයවා ලබා දුන් තීන්දුවක් බව රටම තේරුම් ගන්නේ මෙම හඬපට ඇසීමෙනි. තමාගේ උසස්වීම පිළිබඳව ඇමැති රන්ජන් සමග දුමින්දට මරණ දඬුවම ලබාදුන් විනිසුරුවරිය වූ පද්මිණි රණවක සිදුකරන කතාබහ ද මේ හඬපට තුළ විය.

මේ සියල්ල සමග දුමින්දට ලැබුණු තීන්දුව පිළිබඳව නව සමාජ කතිකාවතක් මතු විය. ආණ්ඩුව යළි වෙනස්වීමත් සමග යහපාලන ආණ්ඩුවෙන් සිදු වූ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීමට නව ආණ්ඩුව ජනාධිපති කොමිසමක් පත් කළේය. එම කොමිසමේ නිර්දේශය වුයේද, පුළුල් විනිශ්චය මණ්ඩලයක් මගින් අධිකරණ සමාලෝචනයක් කරා නීතිපතිවරයා විසින් දුමින්ද සිල්වා ඇතුළු පිරිස යොමු කළ යුතු බවය. එසේම දුමින්ද නිදහස් කරන්නැයි පාර්ලිමේන්තුවේ බහුතර මන්ත‍්‍රීවරුන් පිරිසකගේ අත්සනින් යුතු ලිපියක් ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කෙරුණු අතර ඊට සමගි ජනබලවේගය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් ද ඇතුළු මන්ත‍්‍රීවරුන් 115 දෙනෙකු අත්සන් තබා තිබිණ. වසර හතරයි මාස නවයක් සහ දින දහසයක් සිපිරිගෙදර සිට, එල්ලූම් ගහ බලමින් දෙස බලාගෙන සිටි දුමින්ද සිල්වා, ජනාධිපති සමාව යටතේ දැන් නිදහස ලබා, සිය නිවසේ සිට නිරෝධායනය වෙමින් සිටියි.


advertistmentadvertistment