විලියම්සන්ගේ ඉනිම නවසීලන්තයට ජය ගෙනෙයි

67

පාකිස්තාන, දකුණු අප්‍රිකා සහ නවසීලන්ත තුන්කොන් තරගාවලිය

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ දෙවන තරගය ලෙස පැවැති නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් සටහන්කර ගැනීමට නවසීලන්තය සමත්විය.

පෙරේදා (10දා) ලාහෝර්හි ගඩාබි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 304ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්විය. කෙසේ වුවද ලකුණු 305ක අභියෝගයක් හඹාගිය නවසීලන්තය කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 4ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 308ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තාකිරීමට සමත්විය.

ඒ අනුව නවසීලන්තය තරගාවලිය තුළ තමන් මුහුණදුන් තරග දෙකම ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ද හැකි විය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මැතිව් බ්‍රට්ස්කි පන්දු 148කින් ලකුණු 150ක් ලබාගැනීමට සමත්වූ අතර ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් ඇතුළත්විය. ඊට අමතරව වියාන් මුල්ඩර් ලකුණු 64ක් සහ ජේසන් ස්මිත් ලකුණු 41ක් ලැබීය.

පන්දු යැවීමේදී මැට් හෙන්රි ලකුණු 59කට කඩුලු 2ක් සහ විල් ඕරුකි ලකුණු 72කට කඩුලු 2ක් බිඳහෙලීය.

නවසීලන්තය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට කේන් විලියම්සන් සමත්වූ අතර, ඔහු පන්දු 113කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සහ හතරේ පහර 13ක් සමගින් නොදැවී ලකුණු 133ක් ලබාගැනීමට සමත්වූ අතර, ඊට අමතරව ඩෙවන් කොන්වේ ලකුණු 97ක් සහ ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 28ක් ලැබීය.

පන්දු යැවීමේදී සෙනුරන් මුත්තුසාමි ලකුණු 50කට කඩුලු 2ක් දවාලීය.

තරගයේ වීරයාට හිමි සම්මානය කේන් විලියම්සන්ට හිමිවිය.

සිසිර ඉන්ද්‍රජිත්


advertistmentadvertistment