විවිධ සමාජ විෂයයන් තේමා කරගත් නිර්මාණ සංග‍්‍රහයක්

936

දීර්ඝ කාලයක් පුවත්පත් කවි පිටු අතර නිර්මාණ පළ කළ කුලියාපිටියේ නන්දා සඳරත් කිවිඳියගේ මංගල කාව්‍ය මංජරිය ”ගීත රචකයාගේ අවනඩුව” නමින් පසුගිය දා ජනගත කෙරිණි. ප‍්‍රාදේශීය කිවිඳියක ලෙස සාහිත්‍ය තරග බොහොමයක් ජයගෙන ඇති ඇයගේ මෙම කෘතිය 2018 වර්ෂයේ වයඹ පළාත් සාහිත්‍ය තරගාවලියේ ප‍්‍රශස්ත කාව්‍ය අත්පිටපත ලෙස සම්මානයට පාත‍්‍ර විය. විවිධ සමාජ විෂයයන් අරමුණු කරගනිමින් රචිත නිර්මාණ පනස්හතරක් මෙහි අන්තර්ගත ය. චිරන්තන සම්භාව්‍ය බස, ජනබස මෙන් ම නූතන ම බස කෙරෙහි සමාන නිපුණතාවක් දක්වන බව ඇයගේ බොහෝ පද්‍ය නිර්මාණ සාක්ෂි දරයි. ළමා කාව්‍ය, බොදු බැති කාව්‍ය හා ගීතාත්මක කාව්‍ය නිර්මාණ ද මෙහි සුලබ ය. බහුතර නිර්මාණ සඳහා ඇය ස්වභාවික පරිසරයේ චමත්කාරය පසුබිම් කර ගන්නී ය.

 ”බුලතා සහ සොරබොර වැව” කවි පන්තිය විශිෂ්ට නිමැවුමකි. සොරබොර වැව් ජලයෙන් පෝෂණය ලබන කුඹුරු ලියැදි පිළිබඳ කිවිඳිය රූපකාර්ථවත් ලෙස පබදන්නේ මෙලෙසිනි.

 ”නැළවිලා කැරකිලා ඉවුරතේ හැපි හැපී
 සොරොව්වෙන් ආදරය ගලනවා
 වියළිලා මැලවිලා පරව ගිය කෙත් හිමිට
 ළෙන්ගතුව ජීවිතය බෙදනවා”

 සොරොව්ව හරහා ගලා යන්නේ ජලය නොව ආදරයයි. වියළුණු පොළෝ හිමි හා තුරුළු වී

 ගෙවන්නේ ජීවිතය යි. නන්දාගේ රූපක භාවිතය සාර්ථක ය.

 සොරබොර වැව තැනූ බුලතා පිළිබඳ කිවිඳිය මවන සිතුවම අපූරු සංකල්පනාවකි. බාහිර ස්වරූපය රෞද්‍ර වුවද ඔහුගේ හදවතේ සොඳුරු බව ඇය මේ හරහා නිරූපණය කරන්නී ය.

 ”හැඩිදැඩිය යුහුසුළුය කළු ගලක් සේ රළුය
 ”බුලත” වෑ කණ්ඩියේ හිඳිනවා
 මලකි හද සියුමැලිය පැහැසරය ළෙන්ගතුය
 සුළඟ වී වෑ බිමේ සරනවා”

 බුලතගේ හද සියුමැලි වර්ණවත් මලකට කිවිඳිය උපමා කරන්නී ය. මිනිසකුගේ යහපත් බව බාහිරින් නොව අභ්‍යන්තරයෙන් විඳින්නට ඇය පාඨකයන්ට ආරාධනා කරන්නී ය.

 සිවුපද ආකෘතියට වඩාත් රුචිකත්වයක් දක්වන, කිවිඳිය සතු චිරන්තන බස්වහරේ බුහුටි බව ”කාශ්‍යප මම වෙමි” පද්‍ය පෙළෙන් මැනවින් විශද වේ. රජුගේ චිත්තාභ්‍යන්තරය අනුභූති කරගනිමින් මෙය රචිත ය.

 ”වත සිසි නිල්ල මුදු කියොඹුව කෙහෙ රැල්ල
 නෙත නිලූපුල්ල හස තුඩු මනනඳ ලොල්ල
 මුව හසරැල්ල උවනට දෙන සැර සිල්ල
 මතු නොව තබමි කවි සිත්වල නුඹ පල්ල”

 සම්භාව්‍ය බස සමඟින් නූතන බස සම්මිශ‍්‍ර කරමින් භාවිකාර්ථ මතු කිරීම ඇය සතු භාෂා නිපුණතාව යි.

 සමාජ පන්ති විෂමතාව අරමුණු කරගනිමින් ”අහිමි” කව රචිත ය. ධනපති පන්තියේ මුදල් නාස්තිය මෙන් ම ව්‍යාජ දේව වන්දනා කිවිඳිය උත්ප‍්‍රාසවත් ලෙස මෙහි ලා රූපණය කරන්නී ය.

 ”කිරි කළයෙන් රුක් නාවන
 මේ සදහම් දෙරණේ
 කහට පොදෙන් කුස පුරවා
 නිදාගනින් පුතුනේ”

 මෙහි ”කහට පොදෙන්” යන දෙපදයෙන් කථකාව සතු ආර්ථික දරිද්‍රතාව මැනවින් ප‍්‍රතීත වේ.

 රටක සංවර්ධන උදෙසා දරදිය අදිනු ලබන්නේ කම්කරුවන් ය. නමුදු සීතල කාමරවල සුව සේ වෙසෙන මහත්වරු ඒ වෙනුවෙන් සම්මානයට පාත‍්‍ර වෙති. එවැනි ඇගයීමට ලක් නොවන කම්කරු පන්තිය පිළිබඳ හඬ නැගීම පැසසිය යුතු ය. නිර්මාණකාරිනියක ලෙස ඇය සතු මනුසත් බවත්, සමාජ සවිඥානික බවත් මින් මැනවින් ප‍්‍රකට වන්නී ය.

 ”මහත්වරුන් අතහැර ගිය
 කුණු කන්දල් දෝතින් ගෙන
 සොඳුරු හෙටක් තනා දෙන්න
 පිරිපහදු කළේ නුඹමය”

 පියකුගේ හදෙහි උපන් දාරක සෙනෙහස පාදක කරගනිමින් ”සකුණ වත” පද්‍ය පෙළ නිර්මිත ය. ආර්ථික අපහසුතා මධ්‍යයේ දරුවන් තිදෙනෙකු කථකයා රක්ෂා කරයි. ඔහුගේ ප‍්‍රාර්ථනය යහපත් සමාජයක් දැකීම ය.

 ”පුතුනි අද ඉගිළ යන තුරුණු ගණ කුළු මතිනි
 දකිනු මැන දුබල උන් දිළිඳු උන් සෙනෙහසිනි
 ළෙන්ගතුව ලෙවන් වෙත දැහැමි පල ගෙන තුඩිනි
 නුබ සරා එනතුරා කැදලි දොර මම ඉඳිමි”

 ”බදුලූ කඳුළු” මෙහි අන්තර්ගත තවත් විශිෂ්ට නිර්මාණයකි. කඳුකර ජන ජීවිතයේ යථාර්ථය කිවිඳිය අව්‍යාජ ලෙස නිරූපණය කරන්නී ය. කඳුකර පරිසරයේ සොබා සෞන්දර්යය හා සශ‍්‍රීකත්වය කවියට නගන නන්දා එකී ජනයාගේ දිළිඳු බව චිත‍්‍රණය කරන්නේ පාඨක හදවත සංවේගයට පත් කරමිනි.

 ”අනුබුදු”, ”අපි බුදු මග” හා ”නිවන” යන නිමැවුම් බොදු බැති කාව්‍ය ලෙසත් ”සතර”, ”මං තනියම”, ”සතුට” හා ”සියපත” නිර්මාණ ළමා කාව්‍ය ලෙසත් රසවිඳිය හැකි ය. පේ‍්‍රමයේ විප‍්‍රයෝගය අරමුණු කරගනිමින් ”අබිනික්මන” කාව්‍ය පන්තිය රචනා කර තිබේ.

 ”අප විසල් රිය නිදන අඩ අඳුරු මාවතේ
 දොඩමළුව ඇය සමඟ ඔබ අවන්හල් කොනේ
 අඩවන්ව සිව් නෙතක නුරා ගලනා පැයේ
 සමුගතිමි ඉකිබිඳින ඔබෙ මන්දිරෙන් රැයේ”

 කිවිඳියගේ පබැඳුම පාඨක හද සංවේගාත්මක කරමින් කරුණා රසය තීව‍්‍ර කිරීමට සමත් ය.

 සියලූ කලා මාධ්‍යයන් වාණිජකරණය වෙමින් පවතින සමාජයක ගීතය ද ඒ අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබේ. මේ හේතුවෙන් වර්තමානයේ ආර්ථික පහසුකම් සහිත ඕනෑම පුද්ගලයකුට ගී පද රචකයකු හා ගායකයකු විය හැකි ය. කොතරම් අර්ථ ශුන්‍ය නිර්මාණ වුව ඒවා වැළඳ ගන්නා බාල සිවිල් සමාජයක් බිහිවීම ද අවාසනාවකි. ආර්ථික දුෂ්කරතා නිසාවෙන් තම නිර්මාණ ලෝකයට බෙදා හැරීමට නොහැකි නිර්මාණකරුවන් පිළිබඳ සමාජ කතිකාවක් ඇති කිරීම අගය කළ යුතු ය. ”ගීත රචකයාගේ අවනඩුව” ලෙසින් පද්‍යයට නැගෙන්නේ මෙකී සමාජ ඛේදවාචකය යි.

 ”ලාබ අවර සිල්ලර පද පාට උලා ගෙන
 බාල බොළඳ පැළැන්තියට හීන බෙදා දෙන
 පේන කියති දැනමුත්තෝ දෑස පියා ගෙන
 කාට කියන්නද අවනඩු පේන විනේ ගැන”

 ”අහස හඬයි”, ”සඳ තනියට”, ”තනි තරුව”, ”අසන් සකි සඳ”, ”මෙහෙකාර මල් කැකුළ”, ”විත්තිකරුගේ ප‍්‍රකාශය”, ”කොහෝ කොහෝ”, ”පළමු මල?” හා ”නිල් අහසට පණිවිඩයක්” යන කාව්‍ය නිර්මාණ ද මා විඳි සාර්ථක නිර්මාණ ලෙස සඳහන් කළ හැකි ය.

 කාව්‍ය කෘතිය නිර්මාණයේ දී කිවිඳිය ව්‍යාකරණ දොස් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඇති බව මැනවින් අවබෝධ වේ. එය පැසසිය යුතු කරුණකි. නමුදු කෘතියේ සාර්ථකත්වය පුනුරුක්ති දෝෂ හේතුවෙන් අඩු වීදැයි මට හැෙඟයි. ”දෙමට මල”, ”අලූත් දලූ”, ”වසු දරුවෝ”, ”මහගිරිදඹ”, ”කඬාඩු”, ”මංකඩ” යන පද බොහෝ නිර්මාණවල නිරන්තරයෙන් භාවිත කර තිබේ. ”කොහෝ කොහෝ” යන කවි පන්තිය ආරම්භ වන්නේ ”රුංද රුංද ගත නේක සුරල් පද – පාවී ආ ඒ ලන්ද දිගේ” ලෙසිනි. ”බාල මස්සිනේ” නම් නිර්මාණයේ ”රුංද රුංද ගත නේක සුරල් පද පාවී එනවා ලන්ද දිගේ” ලෙස ආරම්භ වේ. කිවිඳිය සතු භාෂා භාවිතයේ නිපුණතාව මේ හේතුවෙන් හීන වීම පාඨක ප‍්‍රතිරූපය බොඳ වීමට හේතු විය හැකි ය. මේ නිසා එවැනි සුළු අතපසුවීම් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම තුල නාන්දා ස`දරත්ගේ නිර්මාණ හැකියාව තව තවත් සාරවත් වනු ඇත.

 * අශෝක කුලතුංග

 සංස්කරණය – රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment