විශ්වාසභංගයේ වාසිය ආණ්ඩුවට…!

418

ගෙවීගිය පසුගිය සතිය අප කොයි කාටත් කරදර බහුල කලබලකාරී උණුසුම් සතියක් ම විය.

දේශපාලනිකව ගතහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂටත්, ඔහුගේ පොදුජන පෙරමුණු ආණ්ඩුවටත් බරපතළ අභියෝග හා අලකලංචි රැසකට මුහුණ පෑමට සිදු වූ සතියක් විය. විශේෂයෙන් ම රට හමුවේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් දිය නොහැකි අපොහොසත් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට ගෙදර යන්නට කියමින් ජනතාව අතරින් නැගුණු උද්ඝෝෂණයට මුහුණපෑම ජනාධිපතිවරයාට මෙන්ම රජයට මහත් දුෂ්කර කටයුත්තක් විය.

ජන උද්ඝෝෂණ රැල්ල දැන් සති කීපයක සිට තැන තැන නගරවල හුදෙකලා සටන් ලෙස පැවතුන අතර ඒවාට සහභාගි වූ සැවොම සාමකාමී සන්සුන් නීතිගරුක පිරිස වූහ.

ඔවුන් බොහෝ විට කළේ වත්මන් ගෑස් හිඟය, පෙට‍්‍රල් හිඟය, ඞීසල් හිඟය හා විදුලිය කැපීමට එරෙහිව ගොනුකළ සටන් පාඨ සහිත පුවරු ඔසවාගෙන පාර අයිනට වී නිසොල්මනේ විරෝධතා දැක්වීමය.

මේ විරෝධතාව අලූත් මුහුණුවරක් ගත්තේ පසුගිය 31 වැනිදා කොළඹ නුගේගොඩ මිරිහානේ පැවති මහජන නැගිටීමත් සමඟය.

එය ද මුලින් පටන් ගත්තේ ප‍්‍රදේශයේ සාමකාමී මහජනතාව එක්ව මිරිහාන හන්දියේ ඉන්ධන පිරවුම්හල අසල කරන ලද සාමාන්‍ය නිහඬ අරගලයක් ලෙසය. එහෙත් ඒ පිළිබඳ ආරංචි යම් යම් මාධ්‍යවලින් හා මුහුණු පොත ඔස්සේ ජනගත වීමත් සමඟම යම් යම් සංවිධානාත්මක බලවේග ද මේ විරෝධතාවය සමඟ එකතු වන්නට වූහ.

  • ආරක්‍ෂක මණ්ඩලයේ හදිසි හමුවක්

මිරිහානේ සිද්ධිය නිසා ජනාධිපතිවරයාගේ හා රජයේ අවධානය ද වෙනස් අතකට හැරවිණි. ජනතාව ඔවුන් වෙත දැනෙන පීඩාව දරාගත නොහැකි තැන ස්වෙච්ඡාවෙන් වීදි බැස සාමකාමීව සංවිධානය කළ සටන් මේ රටේ යම්කිසි දේශපාලන බලවේගයක් දෙකක් හෝ කිහිපයක් විසින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ කරගෙන ඇති බව රජය හොඳහැටි තේරුම් ගත්තේය. ජනාධිපතිවරයා වහාම ආරක්‍ෂක මණ්ඩලය රැස්කොට මේ සඳහා ගත යුතු පියවර ගැන සාකච්ඡා කරන්නට පටන් ගත්තේ සිකුරාදා දහවල් ය. මේ අතර ආණ්ඩු පක්‍ෂයේ හදිසි මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් මෙන්ම ඇමැති මණ්ඩල රැස්වීමක් ද පවත්වන්නට ජනාධිපතිවරයා තීරණය කළේය.

හවස ඒ හමුවීම පවත්වන්නට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අගමැති මහින්ද රාජපක්‍ෂත් අතර ද විශේෂ හමුවක් පැවැත්විණි. හමුවක් කීවාට එය සුවිශේෂී සාකච්ඡාවක් විය. ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ කතාබහ ඉතා තීරණාත්මක එකක් වූවාට සැකයක් නැත.

සවස ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම බොහෝ උණුසුම් එකක් විය. ජනාධිපතිවරයා පමණක් නොව, ඊට සහභාගි වූ මැති ඇමැතිවරු ද වෙනදාට වඩා උණුසුම්ව හා වෙනස්ව හැසිරුණු හා කතාබහ කළ අවස්ථාවක් ලෙස එය ඉතිහාසගත විය.

මන්ත‍්‍රීවරු බය නැතිව කතාබහ කළහ. රජය වරද්දා ගත්තේ කොතැනින්දැයි ඔවුහු බය නැතුව ජනාධිපතිවරයා ඉදිරියේම කියා සිටියහ. වෙනදා කතා නොකරන මන්ත‍්‍රීවරු පවා මෙහිදී කතාබහ කිරීම විශේෂත්වයක් විය.

‘‘ජනාධිපතිතුමනි, අපි මුල වරද්දා ගත්තේ පොහොර වැඩෙන්. රසායනික පොහොර භාවිතා කරපු ගොවියාට එක පාරටම කාබනික පොහොර භාවිතා කරන්න දීපු එක අපිට නරකට හිටියා. මම එළවළු ගොවියෝ වැඩිපුර ඉන්න පළාතක් නියෝජනය කරන කෙනෙක්. ගොවියෙක්.

අපට රජය සතුව ගොවිපළවල් ගණනාවක් තියෙනවා. අපට තිබුණා මුලින්ම ඒ ගොවිපළවල් භාවිතා කරලා කාබනික පොහොර ගොවිතැන පටන් අරන් රටට ආදර්ශයක් දෙන්න. එහෙම නොකර එක පාරට ගොවියාට මහ බරක් පැටවීම තුළ අපි ගොවියා තරහ කරගත්තා. දැන්වත් අපි මේවා නිවැරදි කළ යුතුයි. මේ ගියා හොඳටම ඇති. මේ කාලේ සංවර්ධන කටයුතු කළ යුතු නෑ. සංවර්ධන වැඩ නතර කළ යුතුයි. පුළුවන් තරම් ජනතාවට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් මඟ හදල දිය යුතුයි.

ගෑස්, පොහොර, පෙට‍්‍රල්, ඞීසල්, විදුලිය ජනතාව පීඩාවට පත් නොකර ලබාදිය යුතුයි.’’ සී. බී. රත්නායක දිගින් දිගටම කියාගෙන යද්දී ඔහුට යම් යම් බාධාවන් ඇති විය. නමුත් ඔහු නතර කළේ නැත. චාමර සම්පත්, ජගත් කුමාර, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරු, සෙසු පක්‍ෂ එකොළහේ කණ්ඩායමේ මන්ත‍්‍රීවරු රජයේ ක‍්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කරමින් කතා කරන්නට වූහ.

ඒ අතර එස්. බී. දිසානායක ආණ්ඩුවේ පැත්තෙන් ඒ කතාවලට උත්තර දෙන්නට නැගී සිටිද්දී පසුපෙළ මන්ත‍්‍රීවරුන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ඔහුට කතාව නතර කර වාඩිවෙන්නට සිදුවිය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාව අතරතුර ජනාධිපතිවරයා කරුණු කාරණා අසා සිටියා මිස උත්තර දෙන්නට ගියේ නැත. බැසිල් රාජපක්‍ෂ වෙනදා මෙවැනි සාකච්ඡාවලදී දැඩි ලෙස අදහස් දක්වමින් කතා බහ කරන්නට පුරුදුව සිටියත් මෙහිදී ඔහු ද වචනයක්වත් කියන්නට උත්සාහ කළේ නැත.

එහෙත් ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වූවාට පසු බැසිල් රාජපක්‍ෂ කාටදෝ උස් ස්වරයෙන් දොස් පවරන ආකාරය කාට කාටත් දැක ගත හැකි විය.

බැසිල්ට හිතවත් මැති ඇමැතිවරු කිහිපදෙනා ඔහු වටකරගෙන සිටියා මිස සෙසු කිසිවෙක් ඔහු සමඟ කතා කරන්නට ඔහු සිටින පැත්තට ගියේවත් නැති තරම්ය. ඔවුහු හැකි ඉක්මනින් පිටව ආහ.

මේ වන විට විපක්‍ෂයේ බලවේග වෙන වෙනම රජයට එරෙහි ජනතා විරෝධතා සංවිධානය කරන්නට පටන් ගෙන සිටියය. සමගි ජනබලවේගය ඒ වන විට රට පුරාම උද්ඝෝෂණ රැල්ලක් 3 වැනිදා පවත්වන්නට සූදානම් වූහ. රට පුරාම ආසන හා නගර මට්ටමින් සංවිධානය කරන ලද එම විරෝධතාවල සටන් තේමාව ‘‘ගෝඨා ගෝ හෝම්’’ ලෙස යොදා ගන්නට ඔවුන් සිය අරගල සංවිධායකයන්ට උපදෙස් දී තිබිණි.

සෙනසුරාදා දිනයේ මුළු රටේම කතාබහ වූ කාරණාව වූයේ 03 වැනිදා එනම් ඉරිදා දිනයේ ආණ්ඩුවට එරෙහිව මහ පාරේ පවත්වන අරගලයයි. මෙය ඉතා හොඳින් සංවිධානය කිරීමට අවශ්‍ය උපදෙස් විපක්‍ෂ නායක කාර්යාලය මගින් වෙන වෙනම ආසන මට්ටමට ලබා දී තිබුණි.

සමගි ජනබලවේගය ඒ සඳහා හදිසියේ සූදානම් වූවත් එක්තරා සංවිධානාත්මක බලවේගයක් විසින් 03 වැනි ඉරිදා රටේම මහජනතාව පාරට බැස්සවීමේ ව්‍යාපාරය ඊට දින කිහිපයකට පෙර සිටම එම අරගලය සංවිධානය කර තිබුණේ ෆේස්බුක් සමාජ මාධ්‍යය ඔස්සේ ය. ඒ අනුව බලන විට 03 වැනිදා මහජනතාව පාරට බැස්සවීමේ ව්‍යාපාරයට වෙනමම අයිතිකාරයෙක් සිටියහ.

ඒ අයිතිකාරයා පෙරටුගාමී සමාජවාදී පෙරමුණ යැයි සමහරු කීහ. ඒ අයිතිකාරයා ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් සමාජ මුහුණුවර වන ජාතික ජනබලවේගය යැයි තවත් සමහරු තර්ක කළහ. කෙසේ වෙතත් 03 වැනිදා පවත්වන්නට සූදානම් කෙරුණු දීප ව්‍යාප්ත මහජන උද්ඝෝෂණ අරගලයට අයිතිකාරයෝ රැසක් ම සිටින බව පෙනෙන්නට වූහ.

  • සාමය සුරකින්න ආණ්ඩුවේ සූදානම

සෙනසුරාදා දවසේත් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා රජයේ සෙසු ප‍්‍රධානීන් සහභාගි වූ විශේෂ සාකච්ඡා කිහිපයක් ම පැවැත්විණි. මිරිහානේ සිදුවීම තවදුරටත් රට තුළ දීප ව්‍යාප්තව පවත්වාගෙන යමින් රජයට දැඩි ප‍්‍රතිරෝධයක් එල්ල කිරීමට මේ වන විට විපක්‍ෂයේ කලහකාරී සැලසුම්කරුවන්ගේ විශේෂ සූදානමක් ඇති බව ආරක්‍ෂක බුද්ධි අංශ තොරතුරු වාර්තා කර තිබිණි. ඔවුන්ගේ නිර්දේශය වූයේ කලහකරුවන්ගේ මෙම දීප ව්‍යාප්ත අරගලය ඇතුලාන්තයේ විවිධ කඩාකප්පල්කාරී ව්‍යාපාර ක‍්‍රියාත්මක වීමට ඉඩ ඇති බවකි.

රජයේ වගකිවයුතු නිලධාරීන් හා දේශපාලනඥයන් ආරක්‍ෂක ප‍්‍රධානීන් සමඟ සාකච්ඡා කොට 03 වැනිදා අරගල සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් දැයි කියා තවදුරටත් සාකච්ඡා කළහ.

අවසානයේ ආරක්‍ෂක මණ්ඩලය හා ජනාධිපතිවරයා කරන ලද සාකච්ඡාවකින් පසුව 03 වැනිදා දිනයේ මුළු රටටම ඇඳිරි නීතිය දමන්නට රජය තීරණය කළේය. මුළු රටම ආවරණය වන පරිදි 02 දා රාත‍්‍රියේ සිට 04 වැනිදා පාන්දර 05 දක්වා රජය ඇඳිරිනීතිය ප‍්‍රකාශ කළේ ඒ අනුවය.

  • අලූත් ආණ්ඩුවේ රනිල් අගමැති

පසුගිය සතියේ මේ අලකලංචි අස්සෙ විවිධ කට කතා හුවමාරු වන්නට ද පටන් ගත්තේය. එක් කටකතාවකින් කියවුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික‍්‍රමසිංහට අගමැතිකම භාරගන්නට ආරාධනා කළ බවකි. මේ කටකතාව පැතිර යෑමත් සමගම රනිල් වික‍්‍රමසිංහ ගේ කොල්ලූපිටිය පස්වන පටුමගේ නිවසේ දුරකථනයට ඉසිඹුවක් නොවීය.

හැමෝම මේ කතාවේ ඇත්ත නැත්ත විමසන්නට වූහ.

”පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට තියෙන්නෙ තනි ආසනයයි… ඒ තනි ආසනෙන් මම කොහොමද හලෝ ආණ්ඩුවක් හදන්නේ…”

රනිල් හැමෝටම ලබා දුන් පිළිතුර එයයි.

මේ අතර තවත් කට කතාවක් පැතිර ගියේය. එමඟින් කියැවුණේ විමල්ලා උදයලා ප‍්‍රමුඛ පක්ෂ 11 කණ්ඩායමත්, එක්සත් ජාතික පක්ෂයත්, ආණ්ඩුව තුළ සිටින බැසිල් වාදීන් නොවන කණ්ඩායමකුත් එක්ව ඉතා ඉක්මනින් ආණ්ඩුවක් පිහිටුවන්නට සාකච්ඡා කරමින් සිටින බවකි. කිසිවෙකුත් කිසිවක් ගැන ප‍්‍රකාශයක් නිකුත් නොකර නිසොල්මන්ව පිහිටි මේ සංක‍්‍රාන්ති සමය තුළ කටකතාවලට ද ලොකු වටිනාකමක් ලැබී තිබුණි.

හදිසි නීතිය පනවා එමගින් තුන්වන ඉරිදා දිනයෙහි රටපුරාම ඇඳිරි නීතිය ප‍්‍රකාශ කිරීම සම්බන්ධයෙන් දේශපාලන කරළියේ විවිධ විරෝධතා මතු විය.

මොන තරම් ඇඳිරිනීතිය තිබුණත් විරෝධතාකරුවන් ලංකාව පුරා ස්ථාන ගණනාවක දී යොදාගත් පරිදි විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබීම විශේෂත්වයක් විය. කලාකරුවන්, සිවිල් සමාජය ක‍්‍රියාකාරීන් සහ කොළඹ මධ්‍යම පන්තියේ සමහරු මේ සඳහා සහභාගී වී සිටියහ. සමගි ජන බලවේගය සංවිධානය කළ කොළඹ ප‍්‍රධාන විරෝධතා ව්‍යාපාරය පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී ය. විරෝධතා ව්‍යාපාරවලදී ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය මෙහෙය වූ විශ්වවිද්‍යාලයේ ක‍්‍රියාකාරීන්ගේ සහභාගිත්වය කැපී පෙනෙන එකක් විය. ඒ අතරින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශපාලන කණ්ඩායම් ද විරෝධතා ව්‍යාපාරවල ලොකු ඉඩක් අත්පත් කරගෙන සිටියහ.

  • විමල්ලාගේ පැත්තෙන් ආණ්ඩුවකට යෝජනා

මේ දේශපාලන අලකලංචි අතරතුර විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා ටිරාන් අලස් යන දේශපාලනඥයෝ සිව්දෙනා ජනාධිපතිවරයා හමුවන්නට ගියහ. ඔවුන් යෝජනා කළේ වත්මන් ආණ්ඩුව වහාම ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ නියෝජනය කරන ආකාරයේ අලූත් අන්තර් වාර පාලනයක් පිහිටුවා මේ ප‍්‍රශ්නයට විසඳුම් සොයන්නට මාර්ගයක් පාදා ගන්න කියාය. මේ සාකච්ඡාව ඉතා සාර්ථක ලෙස ඉදිරියට ගියේය. අන්තර් වාර පාලනයක් තුළින් මාස හයක් හෝ අවුරුද්දක් රට පාලනය කරමින් මෙම ප‍්‍රශ්නවලට යම්කිසි ඉස්පාසුවක් ලැබුණ පසු වහාම ආණ්ඩුව විසිරුවා හැර ජනතාව කැමති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මැතිවරණයක් පවත්වන ලෙස ඔවුන් යෝජනා කර සිටියහ.

මේ කතාබහ අතරතුර ආණ්ඩුව අභ්‍යන්තරයේ ද ලොකු ලොකු සාකච්ඡා ඇති විය. ඇතැම් පිරිස් දැඩි ලෙස චෝදනා කළේ බැසිල් රාජපක්ෂට හා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ටය. ඒ දෙදෙනාගේ විරසකය හා නොගැලපෙන ආර්ථික ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාදාමයන් මෙම ව්‍යසනයට පාර කැපුවේ යැයි යම් යම් උගතුන් කියන්නට වූහ. ඩොලර් බිලියන හතක් පමණ වූ අපේ රටේ සංචිතය රුපියල ස්ථාවරව පවත්වා ගැනීමට වෙළෙඳ පොළට මුදා හැරියේ කාගේ උපදෙස් ඇතිව දැයි සමහරු ප‍්‍රශ්න කර සිටියහ. නිසි කලට නිසි වේලාවට රුපියලට පාවෙන්නට දී වෙළෙඳ පොළ සාධක මත ඩොලරයේ අගය තීරණය වන්නට හැරියේ නම් මේ ප‍්‍රශ්න අද මතු නොවන බව සමහරුන්ගේ අදහස වූහ.

මේ අතරතුර සමහරු මුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි යෝජනා කළහ. සමහරු යෝජනා කළේ අජිත් නිවාඞ් කබ්රාල් සමඟම රාජපක්ෂ නම ගෑවුණ හැමකෙනෙක්ම ඇමැති මණ්ඩලයෙන් ඉල්ලා අස්විය යුතු බවය.

මේ අතර ඇතිවී තිබෙන තත්ත්වය ගැන තවත් සාකච්ඡාවක් සමගි ජන බලවේගය අභ්‍යන්තරයෙහි ඇති විය.

”03 දා රට වැහුවෙ ජනතාව ආරක්ෂා කරන්න නෙවෙයි පවුලක් රකින්නයි. ජනපති පේ‍්‍රමදාස උතුරේ කොටි හා දකුණෙ ජවිපෙ ත‍්‍රස්තවාදී අරගල දෙකක් මැද රට පාලනය කළත් අද වගේ ලයිට්, ගෑස්, ඉන්ධන බඩු හිඟ තිබුණෙ නෑ. අද ගෝඨට වගේ පේ‍්‍රමදාස ගෙදර පල කියල කවුරුත් කිව්වෙත් නෑ” නලින් බණ්ඩාර කීය.

  • විරෝධතාකරුවන් ගැන හිරුණිකාගේ පණිවිඩය

පසුගිය සතියේ මේ අරගල අතර හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ද කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළාය. ඕ උද්ඝෝෂණකරුවන් සමඟ විටෙක යාපනයට ගොස් රජයට එරෙහිව උද්ඝෝෂණ කළාය. තවත් විටෙකදී අනුරාධපුරයට ගොස් ආණ්ඩුවට උපදෙස් දෙනවා යැයි කියන එක්තරා දේවාලයක් අභියසට ගොස් එය පවත්වාගෙන යනවා යැයි කියන කාන්තාවකට එරෙහිව උද්ඝෝෂණ කළා ය. මිනිස්සු උද්ඝෝෂණ කරමින් තැනින් තැනට යන හිරුණිකාට කෑගල්ල ප‍්‍රදේශයේ දී අප‍්‍රසන්න අත්දැකීමකට ද මුහුණ දෙන්නට සිදුවිය.

උද්ඝෝෂණයේ යෙදෙන විශ්වවිද්‍යාලවලට සම්බන්ධකම් ඇති එක්තරා කලහකාරී කල්ලියක් ඇයගේ විරෝධතා ව්‍යාපාරයකට පහර දෙන්නට ඉදිරිපත් වූහ. එම විරෝධතාකරුවෝ තමන්ගේ විරෝධතාවයට තවත් පිරිසක් පැමිණ හවුල් වනවාට කිසිසේත්ම කැමැත්තක් දැක්වූයේ නැත…. පහර දෙන්නන් ගෙන් ගැලවෙන්නට හිරුණිකා දිව යන ආකාරය ද දැක්වෙන වීඩියෝ පට එදින හවස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

එදා රාත‍්‍රියේ හිරුණිකා ද වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරියා ය. එමඟින් ඇය මෙම විරෝධතාව ව්‍යාපාරවල් වර්තමානයේ පත් ඇති තත්ත්වය ගැන හොඳ පැහැදිලි කිරීමක් කළාය.

සාමකාමී සාමාන්‍ය ජනතාව ආණ්ඩුවට එරෙහිව පටන් ගත් සාධාරණ විරෝධතා ව්‍යාපාර දැන් යම් යම් කලහකාරී කල්ලි කණ්ඩායම් විසින් අත්අඩංගුවට ගෙන සමාජ විරෝධී ක‍්‍රියා කලාපයන්ට යොමු කරමින් සිටින බව ඇය එහිදී සමාජයට අනාවරණය කළාය. දැන් ඒ විරෝධතා ව්‍යාපාර වල් වැදී ඇති බවත්, තවදුරටත් මෙසේ වල්වැදී ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන් හි නිරත වුවහොත් නිසැකයෙන්ම එහි වාසිය ආණ්ඩුවට හිමිවන බවත් ඇය එහිදී අනාවරණය කළාය.

මේ අතරතුර ඉරිදා හවස ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡා ගණනාවක් ම පැවැතිණි. එම සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් හැටියට ආණ්ඩුවේ සිටින රාජපක්ෂවරු ඇමැති ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණයක් ගනු ලැබීය. එහෙත් ඒ තීරණය තවත් ටිකකින් පසු වෙනස් විය. රජයෙන් සිටින රාජපක්ෂවරු පමණක් නොව සියලූම ඇමැතිවරු ඇමැති මණ්ඩලයෙන් ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩු පක්ෂයේ යෝජනා සම්මත විය. එම යෝජනාවට අනුව ආණ්ඩුවේ ඇමැතිවරු සියලූම දෙනා ඉල්ලා අස්වීම්වලට අදාළ තම ලිපි අගමැතිවරයා වෙත බාර දුන්නේ ජනාධිපතිවරයාට ලබා දෙන ලෙසයි. උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම් ‘ගෝඨා ගෝ හෝම්’ කියා වුවත් අවසානයේ ඉල්ලා අස් වූයේ මේ අයුරින් ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයයි.

මේ සම්බන්ධයෙන් එදින රාත‍්‍රියේ සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ ද ලොකු සාකච්ඡාවක් ඇති විය. ඔවුන් කතා වූයේ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ඉල්ලා අස් වෙමින් කරන ලද දේශපාලන කටයුත්ත ගැනය.

  • අනාගතය ගැන රනිල්ගෙන් අනාවැකි

සඳුදා එජාප නායක රනිල්ගේ නිවසට පක්ෂ නිලධාරී මණ්ඩලය කැඳවූ අතර ඔවුන් සාකච්ඡා කරන්නට වූවේ ආර්ථික අර්බුදය ගැනය. ජනතාව පාරට බැසීම හා හදිසි නීතිය ගැන පිරිස දීර්ඝ ලෙස කතා කර තිබිණි. ආර්ථික අර්බුදය හා ජනතාවගේ ජීවන බර සම්බන්ධයෙන් පිරිස අදහස් හුවමාරු කර ගත්හ.

”මැයි – ජුනි වෙන කොට තමයි මේ අර්බුදය උත්සන්න වෙන්නේ. රටේ ඩොලර් නැති නිසා භාණ්ඩ කිසිවක් ගෙන්වන්න බැරි වෙයි. ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න බැරි වේවි.” නායකයා කීවේ කනගාටුවෙනි.

”ඒ වුණාට ඉන්දිය ණය පහසුකම යටතේ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න පුළුවන් වෙයි කියලා තමයි ආණ්ඩුවේ අය හිතාගෙන ඉන්නේ.” රුවන් කතාවට එකතු විය.

”කොච්චර කාලෙකට ඒක කරන්න පුළුවන්ද? ඩොලර් බිලියනයයි එතන තියෙන්නේ. ඉතින් කොහොමද කරන්නේ. මැයි, ජූනි වෙනකොට තල කැරැල්ලක්වත් ඔතාගන්න කඩදාසි නැති වෙයි.” නායකයා කීවේ රුවන් දෙස බලමිනි.

ජනතාව මතු කරන ප‍්‍රශ්න හා ඊට අදාළව කෙරෙන දේශපාලන මැදිහත්වීම් සම්බන්ධයෙන් ඔවුන් බොහෝ වේලාවක් සාකච්ඡා කළහ.

සඳුදා උදේ ජනාධිපති මන්දිරයේ දී ඇමැතිවරුන් හතර දෙනෙක් අලූත් ඇමැතිකම්වල දිවුරුම් දීම සිදු කෙරිණි. බැසිල් අමාත්‍යවරයා ඉවත්වීමෙන් පසු හිස් වූ මුදල් ඇමැතිකමට අලි සබ්රි මහතාත්, අධ්‍යාපන ඇමැතිකමට දිනේෂ් ගුණවර්ධනත්, විදේශ ඇමැතිකමට මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාත්, මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු තේරී පත්විය.

ඉන්පසුව සඳුදා තිබූ විශේෂ කටයුත්ත වූයේ ජනාධිපති මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමයි. එදින පස්වරු 03:30 ට අගමැතිගේ හා ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

එක් අතකින් මෙම අවස්ථාව මන්ත‍්‍රීවරුන්ට ලැබුණු කදිම අවස්ථාවක් වූයේ පහුගිය කාලයේ ආණ්ඩුවේ වැඩ කටයුතු විවේචනය කරන්නට ඉඩ ලැබීමයි. වරද්දා ගත් තැන් ගැන බොහෝ දෙනා කතා කළහ. සම්පත් අතුකෝරාල, ජගත් කුමාර මෙහිදී විවේචන ගෙන ආහ.

”උද්ඝෝෂණ කාරයෝ හැමතැනම ගෝඨා ගෝ හෝම් කියනවා. ආණ්ඩුවට ගෙදර යන්න කියනවා. හැබැයි ඊට පස්සෙ සිද්ධ වෙන දේ දන්නෙ නෑ. ජනාධිපතිට ගෙදර යන්න කියලා උද්ඝෝෂණය කරාට ජනාධිපති කටයුතු කරන්න ඕන ව්‍යවස්ථාවට අනුව. ඒ අවස්ථාවේ එහෙම හිටිහැටියේ ජනාධිපතිව ගෙදර යවන්න ප‍්‍රතිපාදන නෑ. ආණ්ඩුවට ගෙදර යන්නත් ප‍්‍රතිපාදන නෑ. ඕන්නම් බහුතරය පෙන්නලා ආණ්ඩුවක් ගන්න පුළුවන්. හැබැයි ඔය කලබලකාරයෝ කියන විදියට නෙවෙයි.” ඩිලාන් පෙරේරා තත්ත්වය පැහැදිලි කළේය.

”ජනාධිපතිතුමා කියලා තියෙන්නේ… දැන් වුණත් විපක්ෂයට පුළුවන් ඕන්නං බහුතරය පෙන්නලා ආණ්ඩුව බාරගන්න. හැබැයි ජනාධිපති එළවන්න බෑ. ඒකත් ව්‍යවස්ථාව අනුව තමයි කරන්න වෙන්නෙ…”

මේ වෙලාවේ ඩයනා ගමගේ මොන මොනවාදෝ කියන්නට පටන් ගත්තාය… ඒ වෙලාවේ ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරිය තම නොසතුට පෙන්වමින් මොනව ද කීවාය.

මෙම සාකච්ඡාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය ද සහභාගි වී සිටියහ. අගමැතිතුමා… කෝ අමරවීර ඉන්නවා දැයි ඇසීය.

”මම මේ ඉන්නවා අගමැතිතුමා. අපිත් දිගටම ආණ්ඩුව සමඟ ඉන්නවා. හැබැයි අද ?ට අපේ විශේෂ සාකච්ඡාවක් තියනවා. දැන් අපි ඒකට පිටත්ව යන්නට ඕන. එතනදි යම්කිසි තීන්දුවක් ගත්තොත් අපි ඒ ගැන දැනුම් දෙනවා…” අමරවීර කීවේය.

සාකච්ඡාව එදින රාත‍්‍රියේ ඒ අයුරින් අවසන් විය.

පසුදා පාර්ලිමේන්තුවේ දී විපක්ෂය බලය ලබාගන්නට සූදානම්ව මොන මොන වර්ගයේ උපක‍්‍රම අනුගමනය කරාවි දැයි කියා කතාබහක් ද මැති ඇමැතිවරු අතර ඇති විය.

  • අර්බුදය හමුවේ ශ‍්‍රීලනිප ස්ථාවරය

පසුගිය සතියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ද කැපී පෙනෙනසුලූ එකක් විය. ආණ්ඩුවෙන් ඔවුන්ටත් දිගින් දිගටම එල්ල වූ කෙනෙහිලිකම් මත ශ‍්‍රීලනිප නායකයා සහ පිරිස ද හිටියේ බලවත් කලකිරීම්වලින් යුතුවය. ඒ අතර රට තුළින් මෙවන් විරෝධයක් රජය කෙරෙහි එල්ල වූ මේ අවස්ථාවේ රජය සමඟ සිටිනවා ද නැද්ද යන වග පක්ෂය අභ්‍යන්තරයේ දිගින් දිගටම සාකච්ඡාවට ලක්විය.

අවසානයේ ශ‍්‍රීලනිපය තීරණය කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දාහතර දෙනා ආණ්ඩුවේ සියලූ තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුව තුළ වෙනම ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමටය.

එදින රාත‍්‍රියේ දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට දයාසිරි ජයසේකර සහභාගිවෙමින් දැඩි අදහස් කීපයක් ප‍්‍රකාශ කළේය. පළමුවෙන්ම ඔහු නිවේදකයාගේ ආක‍්‍රමණශීලී ප‍්‍රශ්න රටාව වෙනස් කළේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ද හොඳ විග‍්‍රහයක් කරමිනි.

”එක් එක් කෙනාට කියන්න පුළුවන් ජනාධිපතිට ගෙදර යන්න කියලා. ආණ්ඩුවට අගමැතිට ගෙදර යන්න කියන්න පුළුවන්. හැබැයි ව්‍යවස්ථාවක් කියල එකක් තියෙනවා. කවුරු මොනවා එළියෙ කිව්වත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු තමයි මේ වෙනස කරන්න ඕන. හේත්තු කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථාවට අනුකූලව විතරයි.”

කෙසේ වෙතත් දයාසිරි ඊට පසුව දා පාර්ලිමේන්තුවේ දී ලොකු වෙනසක් වනු ඇතැයි කියා ඉඟියක් වැඩසටහන තුළින් ජනතාවට ඉදිරිපත් කළේය.

දයාසිරි දෙරණ රූපවාහිනියේ සිටින අතරතුර තවත් ආන්දෝලනාත්මක දේශපාලන වැඩසටහනක් හිරු නාලිකාවේ ප‍්‍රචාරය විය. හිරු නාලිකාවේ ඒ මොහොතේ සිටියේ ජවිපෙ නායක අනුර කුමාර දිසානායකයි. එය ද ඉතා හොඳ ප‍්‍රශස්ත මට්ටමේ දේශපාලන සාකච්ඡාවක් විය.

ජනමාධ්‍ය තුළින් දැනුම් දී තිබූ කරුණු නිසාත් ඒ වන විට යම් යම් දේශපාලනඥයන් කියා තිබූ අදහස් ලෙසත් බොහෝ දෙනා අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී බලයෙහි වෙනසක් ඇතිවේ යැයි බලා සිටියහ. ඒ සඳහා අවශ්‍ය විධානය ජනාධිපතිවරයා විසින් ලබාදී තිබිණි. එක්කෝ රජය සමග එක්වී ජාතික ආණ්ඩුවක් හෝ අන්තර්වාර පාලනයක් ඇතිකිරීමට පාර්ලිමේන්තුවට නිදහස තිබිණි. එසේ නොමැති නම් බහුතරය පෙන්වා ආණ්ඩුව භාර ගැනීමට ද විපක්ෂයට අවස්ථාව තිබිණි.

එහෙත් පුදුමයට කාරණාව ඒ කිසි දෙයක් පාර්ලිමේන්තුවේ සිදු වූයේ නැත.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව තුළ හොඳ කතා කීපයක් සිදු විය. එජාප නායක රනිල් වික‍්‍රමසිංහ හොඳ කතාවක් කළේය. ඔහු පෙන්වා දුන්නේ මේ වෙලාවේ ආණ්ඩුව හෝ පක්ෂ විපක්ෂ භේද නොබලා එකට එකතු වී රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගන්නට ඒකරාශී විය යුතු බවකි. විජේදාස රාජපක්ෂ ද ඉතා හොඳ විවරණයක් කරමින් පාර්ලිමේන්තුව තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර, තිබෙන ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීමේ මාර්ගය ගැන පැහැදිලි කළේය. එහෙත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු වැඩි දෙනෙක් කළේ වැඩකට නැති කතාය. සජිත් පේ‍්‍රමදාස ඒ අතර කියාසිටියේ ජනතාව මේ වෙලාවේ යන්නට කියන්නේ පාර්ලිමේන්තුවට නොව ජනාධිපතිට බැවින් ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවකි. කොටින්ම කිවහොත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ද ඔහු යෝජනාවක් ඉදිරිපත් කළේය. එහෙත් මේ වෙලාවේ කළ යුතු කාර්යය වූයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම හෝ විධායක ජනාධිපති ධුරය වෙනස් කිරීමට නොව, පාර්ලිමේන්තුව ප‍්‍රජාතන්ත‍්‍රවාදීව එකතු වී තිබෙන අර්බුදයට විසඳුම් සෙවීම බව ඇතැම් අය පෙන්වා දුන්නත් ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජන බලවේගය ඒ සඳහා කැමැත්තක් හෝ සූදානමක් දැක්වූයේ නැති බව පැහැදිලි විය.

ඒ අතර තවත් වැදගත් කටයුත්තක් සිදු විය. ආණ්ඩු පක්ෂයේ සිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙන්ව ගියේය. අනුර ප‍්‍රියදර්ශන ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ දහ දෙනෙක් ද ස්වාධීන වූහ. ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්‍ෂ එකොළහේ මන්ත‍්‍රීවරු පහළොස් දෙනෙකු ස්වාධීනව වූහ. ඒ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය ලොකු වෙනසකට අවතීර්ණ විය.

සමගි ජන බලවේගයත් ජනතා විමුක්ති පෙරමුණත් එක් අතකින් බලන විට ඉදිරිපත් කළ තර්ක විතර්ක එකම ආකාරයේ ඒවා වූහ. ඔවුන් දෙගොල්ලොම කියා සිටියේ ව්‍යවස්ථාවේ ප‍්‍රතිපාදනවල කුමක් තිබුණත් මේ වෙලාවේ ජනතාව පාරට බැස ඉල්ලන්නේ කුමක්ද… එය ඉටු කිරීමට ආණ්ඩුව වග බලා ගත යුතු බවකි. මහජනයා ඉල්ලන්නේ ගෝඨාභයගේ ගෙදර යෑම නම් ගෝඨාභය වහා ඉවත් විය යුතුය. අන්තර් වාර පාලනයක් පිහිටුවා මැතිවරණ පවත්වන්නේ කෙසේද යන්න දෙවනුව කතා කළ යුතු බව ඔවුන්ගේ අදහස වූහ.

අනතුරුව දින දෙකක් ගතව ගියේය. පාර්ලිමේන්තුව තුළ බල තුලනයක් හෝ වෙනසක් සිදු වූයේ නැත. ඒ වෙනුවට පාර්ලිමේන්තුව තුළ විවාදයක් පැවැත්විණි. මේ වෙලාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සම්බන්ධයෙන් වූ යෝජනාවලිය ගැන පාර්ලිමේන්තුව විවාද කළේය.

ජනාධිපතිවරයා සමග ආණ්ඩුව කැබිනට් මණ්ඩලයක් පත් කළේද නැත. ජනාධිපතිවරයා බලා සිටියේ කවුරුන් හෝ පාර්ලිමේන්තුවේ වැඩි බලය පෙන්වා ආණ්ඩුව භාර ගැනීමට ඉදිරිපත් වන තුරු බව පැහැදිලිය. එහෙත් විපක්ෂයෙන් හෝ ජවිපෙන් ඊට සූදානමක් නොවීය.

ඒ අතරතුර සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සූදානම් වූහ. විශ්වාසභංගය සමගම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ද ගෙන එන බව ප‍්‍රකාශ කර සිටියහ.

එසේ නම් නැවත වතාවක් ඉරණම පැහැදිලිය. විශ්වාසභංගය හෝ දෝෂාභියෝගය තුළ පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුවට අවශ්‍ය කාලය තවදුරටත් ලබාදීමට විපක්ෂයේ ඇති සූදානම මිස වෙන කුමක්ද… ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ කල් මැරීම සඳහා කාලයයි. ඒ කල් මැරීම තුළ ලබා ගන්නා කාලය මත උද්ඝෝෂකයන්ගේ උද්ඝෝෂණවලට කුමක් වනු ඇතිද?

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment